ගවයන්ට හෙල්ලෙන් ඇන්න ගුණාට අත්වූ ඉරණම

2016-07-27 11:02:00       548
feature-top
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවූ කතාවක් මෙසේය.

කර්මය වනාහී බුදු දහමට අනුව  ගැඹුරින් විස්තර වන දහමකි. තියුණු ලෙස ගවේෂණය කළ යුතු කරුණකි. කර්ම පලදුන් ආකාරය පිළිබඳ පන්සිය පනස් ජාතක පොත, ධම්මපදට්ඨ කථා ඇතුළු ග්‍රන්ථවල නිදසුන් කථා බොහෝ ඇත. බොහෝදෙනෙකු විසින් තම අවධානය යොමු කරනු ලබන්නේ පත පොතේ සඳහන් වන නිදසුන් කථා ගැන පමණකි. එහෙත් සත්‍ය තත්ත්වය නම් කර්මය පලදෙන ආකාරය පිළිබඳ නිදසුන් අප ජීවත්වන, අප අවට සමාජය තුළම දැක ගත හැකි වීමය. බොහෝ විට රැකියාවක් වශයෙන් හෝ ව්‍යාපාරයක් වශයෙන් සත්ත්ව ඝාතනය කරන පුද්ගලයන්ගේ නවීන යාන වාහන, ගෙවල් දොරවල් සමඟ විඳින අනේකවිධ සැප සම්පත් දෙස බලා ඔවුන් ඉතා ඉහළ මට්ටමේ දිවි පෙවෙතක් ගෙන යන බවට අපි නිගමනවලට එළඹෙමු. එසේ අවසන් නිගමනයකට එළඹීමට තරම් ඉක්මන් විය යුතු නැත. කිසිවෙකුත් එවැනි පුද්ගලයන්ගේ අවසාන කාලය පිළිබඳ අවධානය යොමු නොකරති.

අප විසින් කරන ලද ගවේෂණවලට අනුව නිරතුරුව සත්ත්ව ඝාතනය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, මත්පැන් මත් ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයන්ගේ අවසානය ඉතා ඛේදනීය තත්ත්වයට පත්ව ඇති බව සොයා ගත හැකි විය. සත්ත්ව ඝාතනය රැකියාවක් වශයෙන් සිදු කරන ලද පුද්ගලයන් පහළොස් දෙනකු පිළිබඳ ගවේෂණය කිරීමට හැකි විය. ඔවුන්ගේ පවුල් ජීවිතය, දරුවන්ගේ තොරතුරු, සෞඛ්‍යය තත්ත්වය වැනි කරුණු විශේෂ අවධානයට ලක් කරන ලදී. දැන ගත හැකි වූයේ ඔවුන් සියලුදෙනාම විවිධ රෝගාබාධවලට ලක්වීමෙන් සහ විවිධ අනතුරුවලට ගොදුරු වීමෙන් මිය ගිය බවයි. එසේ නැතහොත් සදාකාලික අබ්බගාතයන් බවට පත්ව සිටිනු දක්නා ලදී. ඇතැම් කෙනෙකුගේ දරුවෝ අංග විකල, විරූපී දරුවන් බවට පත්ව සිටිති. ඇතැම් පව්කාරයෝ සුව කළ නොහැකි අසනීපවලට ගොදුරුවී සිටියහ. ඇතැම් අයෙක් හරි හම්බ කළ මිල මුදල් යාන වාහන ඉඩකඩම් සියල්ල අහිමි වී ගොස් මහ මගට වැටී අන්ත අසරණ දුගී යාචකයන් බවට පත්වූහ. ඇතැම් පුද්ගලයන් තාම ජීවත් වුණත් ඔවුහු පිළිකා, ඇදුම, ලියුකේමියා වැනි රෝගාබාධවලට ගොදුරුව දුක් විඳිති.

අසනීපවලට ගොදුරු වී සිටින සියලුදෙනාම, මේ ජීවිතයේදීම කළකම් පලදෙන, තත්ත්වයට ලක්වූ අයයයි වරදවා සිතිය යුතු නැත. බුදු දහමට ද එය එකඟ නොවේ. අප ජීවත්වන පරිසරය, අප ගන්නා ආහාර පාන, අපගේ ඇවතුම් පැවතුම් වැනි හේතු සාධක ද බලපායි. විශේෂයෙන් වත්මන් පරිසර විනාශයත් සමඟ මිනිස්සු විවිධ ආබාධවලට ලක්වෙති. ජලය, වායුව දූෂණය මුළු මහත් ලෝකයටම බලපා ඇත. ලෝකයේ ඇතැම් දියුණු රටවල ප්‍රධාන නගර කොතරම් දුරට වායු දූෂණයට ලක්ව ඇත්ද යන්නට එක් නිදසුනක් නම් එම නගරවල ජනයාට පිරිසිදු වායුව මිලයට ගෙන ආඝ්‍රාණය කිරීමට සිදුවීමයි. එවැනි පරිසර දූෂණයක් යටතේ කිසිදු පාප කර්මයක් නොකර, නිතර පිං දහම් කටයුතුවල යෙදුනත් අසනීපවලට ගොදුරු විය හැකිය. මරණයට පත් විය හැකිය. ‘වාත සමුට්ඨානා සෙම්හ සමුට්ඨානා උතුපරිනාමජා, විසම පරිහාරජා, ඕපක්කමිකා, කම්ම විපාකජා ආබාධා’ වාතය නිසා, සෙම නිසා, සෘතු විපර්යාශය නිසා, විෂම පැවැත්ම නිසා, උපක්‍රම නිසා, කර්ම විපාක නිසා ආදී වශයෙන් ආබාධයන්ට ලක්වීමේ හේතු සාධක රැසක් බුදු දහමෙහි පෙන්වා ඇත. එය කෙසේ වෙතත් අප කළ ගවේෂණයට අනුව බරපතළ අකුසල් කළ පුද්ගලයන්ගේ අවසානය ඛේදාන්තයක් බව සක්සුදක්සේ පැහැදිලි විය. එයට එක් නිදසුනක් දක්වමි.

උතුරු මැද පළාතේ තරමක දුෂ්කර ගම්මානයකි. එම ගමෙහි එක්තරා පව්කාර මිනිසෙක් විසුවේය. ඔහුගේ නම ‘ගුනේරිස්’ වුවද පහසුවට කවුරුත් ආමන්ත්‍රණය කළේ ‘ගුණා’ යන නමිනි. නම එසේ වුවද ඔහු තුළ කිසිදු ගුණයක් නොතිබුණි. රැකියාව වශයෙන් හේන් ගොවිතැන කළත් එයින් ලද ආදායම ඔහුගේ හත් අටදෙනකුගෙන් යුතු පවුල නඩත්තු කිරීමට තරම් ප්‍රමාණවත් නොවුණි. ඒ නිසා සත්ත්ව දඩයමද කළේය. කුමන උප්පරවැට්ටියකින් හෝ සතෙකු ඝාතනය කර ගැනීමට තරම් ඔහු දඩයමට දක්ෂ විය. ඒ නිසා ඔහුගේ පැල්පතෙහි කොතරම් අගහිඟකම් තිබුණත් දඩ මස් වලින් හිඟයක් නොවුණි. ඔහුගේ පව්කාරකම නිසාම ඔහුට දඩයම් වරදින්නේ නැති බවට ගම්වාසීන් තුළ විශ්වාසයක්ද ගොඩනැගී තිබුණි. එම ගම්මානයෙහි ගම්වාසීන්ට අයිති නිදැල්ලේ හැසිරෙමින් තණකොළ උලා කන ගව රංචු සිටියහ. එම ගවයෝ ඇතැම්විට ගුණාගේ හේනට ද ඇතුල් වෙති. හරිහමන් වැටවල් නැති නිසා හේනට ඇතුළුවන ගවයෝ එළවළු බඩ ඉරිඟු, කුරහන් කා දමති. එම අවස්ථාවල බෙහෙවින් කෝපයට පත්වන ගුණා ගවයන් පසු  පස හඹාගොස් ගවයාගේ පශ්චාද් භාගයට කැත්තෙන් කොටයි. ඇතැම් විට තියුණු හෙල්ලයකින් දමා ගසයි. මෙම තුවාල පැසවා පණුවන් ගසා ගවයෝ මහත් දුකක් විඳිති. ඇතැම් අවස්ථාවල එල්ලය වැරදී ගියොත් මතක තබාගෙන පසු අවස්ථාවක ගවයාට තියුණු ආයුධයකින් පහර දෙයි. එකල එම ගමෙහි සිටි ගවයන් බොහෝදෙනකුගේ පසු භාගයෙහි තුවාල තිබෙන බව දැක ගත හැකි විය. ඒ සියල්ල ගුණාගේ අපරාධ ගිණුමට බැර විය. කාලයක් තිස්සේ මෙසේ කරගෙන ගිය අතර දිනක් ගුණාට අනපේක්ෂිත කරදරයකට මුහුණ දීමට සිදු විය.

ඔහු වාසය කළ පැල් කොටය වෙනුවට ස්ථිර නිවසක් ඉදිකර ගැනීමට අදහස් කළේය. එයට සුදුසු බිම්කඩ යන්තම් එළිපෙහෙළි කරගෙන ගෙපළ කැපීමට සූදානම් විය. පෙදරේරු කාර්මික ශිල්පියෙක්ද කැඳවා ගත්තේය. අත්තිවාරම කැපීමට නූල් ගැසීමට සූදානම් විය. නූලෙහි එක් කෙළවරක් පෙදරේරු ශිල්පියා අල්ලා ගත් අතර අනෙක් කොන ගුණා අල්ලා ගත්තේය. නූල් අදිමින් කණු ගැසුවේය. එක් කොනකට නූල අල්ලා කණුවක් ගැසීමට පහත් විය. සරම කැස කවාගෙන පහත්වූ ගුණාගේ පසුපස තියුණු උලක් ඇනුණි. මහත් වේදනාවෙන් හඬ නැගූ ගුණා පශ්චාද්භාගයේ ඇනුණු උලත් සමගම රෝහල් ගත කිරීමට අසල්වාසීහු පියවර ගත්හ. තියුණු උල ඇනීම නිසා ගුණාගේ වෘෂණ කෝෂවලට බලවත් හානියක් සිදුවිය. කොතෙක් ප්‍රතිකාර කළද සුවයක් නොවුණි. දවසින් දවස තුවාලය පැසවා ලේ සැරව ගලන්නට විය. ඇවිද ගැනීමට නොහැකිව එක් තැන් විය. ඔහු විසින් තුවාල කරන ලද ගවයන් විඳි වේදනාවට වඩා සිය දහස් ගුණයක වේදනාවක් ඔහුට විඳීමට සිදුවිය. කාලයක් තිස්සේ මෙසේ බලවත් දුකට පත්ව සිටි ගුණා එයින්ම මරණයට පත්විය. ඔහු විසින් කරන ලද පාප කර්මවලට මේ ජීවිතයේදීම විපාක ලැබුණු බව පැහැදිලිය.

ගාල්ල ධනංජනී ජයසිංහ ලියා එවූ කතාවක් මෙසේය.

අනුන්ට අපහාස කළ පියසිරිගේ ඉරණම

එක්තරා ගම්මානයක ‘පියසිරි’ නම් පුද්ගලයෙකු විසුවේය. පිරිමි දරුවන් නව දෙනෙකුගේ පියෙක් වූ ඔහු කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වශයෙන් සේවය කළේය. පියසිරිට මව්පිය උරුමයෙන් ලද ධනයක් නොවූ බැවින් සිය දරුවන් කුඩා කල බොහෝ වෙහෙස වී ඔවුන් ඇති දැඩි කර ගත්තේ ඔහුගේ එම ලිපිකරු වෘත්තියට පිංසිදු වන්නටයි. නිසි අධ්‍යාපනයක් නොලැබුවද තම පියා සේම උත්සාහවන්ත වූ දරුවෝ නවදෙනා විවිධ රැකියාවල නියැළෙමින් ටිකෙන් ටික දියුණුවට පත්වූ අතර වසර කිහිපයක් ගතවන විට පියසිරිගේ දරුවෝ ප්‍රදේශයේ විශාල ගොඩ මඩ ඉඩම් ප්‍රමාණයක හිමිකරුවන් බවට පත්වූහ.

කෙතරම් වැඩිහිටි බවට පත්වුවද පියසිරි සතුව එක්තරා අධම පුරුද්දක් විය. එනම් ඔහු කිසිදිනෙක කිසිම පුද්ගලයෙකුට හෝ නම්බු දී වැදගත් ලෙස කතා කිරීමට උත්සුක වූයේ නැත. යම් පුද්ගලයෙකු පිළිබඳ කතා කිරීමේදී ඔහුගේ මුවින් නිතරම පාහේ පිටවූයේ අර මිනිහා ඒ ගෑනි, පරබල්ලා, ජරා මිනිහා, පෙරේතයා, බල්ලා, තිරිසනා ආදී වචනයි. තම දරුවන්ට සෙනෙහෙබර පියෙක් වුවද ඔහු ගමට, රටට හෝ මිනිසුන්ට කිසිදු ගරුත්වයක් දැක්වූයේ නැත.
මේ අයුරින් කාලය ගතවන විට ලිපිකරු වෘත්තියෙන් විශ්‍රාම ලද පියසිරි දරුවන්ගේ සැලකිලි ලබමින් ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටියේය. එහෙත් ඒ වන විටත් ඔහු ඇදුම රෝගයෙන් දැඩිලෙස පීඩා විඳි අතර ඔහුගේ මූණ ඉදිමී බැලීමට පවා අප්‍රසන්න බවට පත්විය. වඳුරකුගේ මෙන් මුහුණ එල්ලා වැටී ශරීරය පුරාම කුෂ්ඨ සෑදුණේය. පියාට වැළඳුණු රෝගාබාධ සුව කිරීම සඳහා දරුවන් නොයෙක් ලෙස උත්සාහ ගත්තද ඒ සියල්ල ව්‍යර්ථ කරමින් පියසිරි මිය පරලොව ගියේය.

දරුවන්ට යහමින් මිල මුදල් තිබුණද පියසිරිගේ අවමංගල්‍යයේදී අපූරු සිදුවීමක් විය. ඔහුගේ පුතුන් නම දෙනාටම අධික වත්කම් හිමිවී තිබූ මුත් ඔවුන් කිසිවකු හෝ තම පියාගේ අවසන් කටයුතු ගෞරවනීය අයුරින් සිදු කිරීමට කටයුතු කළේ නැත. මියගිය දිනයට පසුදාම අවසන් කටයුතු සිදුකළ අතර අක්කර සිය ගණනින් ඉඩකඩම් තිබුණද පියසිරිට අවසන් ගමන් යාමට සිදුවූයේ ප්‍රදේශයේ පොදු සුසාන භූමිය වෙතටයි. පියසිරිගේ නිවසේ සිට පොදු සුසාන භූමිය දක්වා කිලෝමීටරයක පමණ දුරක්වූ නමුත් ඒ දුර ඔහුගේ දෙණ රැගෙන ගියේ උඩට උඩු වියනක් හෝ පයට පාවඩයක් හෝ නොමැතිවයි. පාංශකූලය අවසන් වනවාත් සමගම පොද වැස්සක් වසින්නට වූයෙන් ඔහුගේ පුත්‍රයෝ ඒ වැසි බිඳු සිය පියාගේ පෙට්ටිය මතට පතිත වන බව හෝ නොතකමින් බල්ලෙකු, බළලෙකු රැගෙන යන පරිද්දෙන් දෙණ ඔසවාගෙන වැස්සට පෙර මිනිය කනත්තට ගෙන යා යුතු යැයි කියමින් හැල්මේ දුවන්නට වූහ. ජීවිත කාලය පුරාම සමාජයටත්, එහි වෙසෙන්නන්ටත් ගරු නොකළ පියසිරි මහා ධනස්කන්ධයක් හිමි පිරිමි දරුවන් නව දෙනෙකුගේ පියෙකු වුව අවසන් ගමන ගියේ “රජකම් කළත් කළ කම් පලදෙයි” යන පුරාණ කියමන සනාථ කරමින් බල්ලෙකු, බළලෙකු පරිද්දෙනි.

බිංගිරිය කොස්වත්ත ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.

පියා කළ විපත් දරුවන් පිටින් යාම


ඔහු අපි “හරක් සෝමේ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. කුඩා කල සිටම පාසලක පැත්ත පළාතකවත් නොගිය ඔහු බහ තෝරෙන වයසේ සිටම තම පියා සමඟ දහස් ගණනක් හරකුන් මස් කඩවලට දක්කමින් තරුණ වියට පත්වත්ම තම පියාගේ ජාවාරම අතට ගත්තේය. ප්‍රදේශයේ නිවෙස් කරා ගොස් ඉතාමත් අඩු මුදලට හරක් මිලදී ගෙන ඔවුන් රැගෙන ගොස් තම නිවස වටා ගැට ගහගනී.

හරක් දහ දොළොස් දෙනෙක් එකතුවත්ම පණිවුඩ යවා හරක් මස්කඩ හිමියන් ගෙන්වා ගන්නා ඔහු අධික ලාභයක් තබාගෙන සියලුම හරක් එකවරම විකුණා ගන්නේ ප්‍රාණඝාත අකුසල් පිළිබඳව තඹදොයිතුවක්වත් සිතට නොගනිමිනි. මීට පෙර දහස් ගණනක් හරකුන් මස් කඩවලට අලෙවි කළ හරක් සෝමේ මේ අතර අංශභාග රෝගියකු බවට පත්වී ලෙඩ ඇඳට වැටුණු අතර රෝගය උත්සන්න වී අවසානයේ දහදුක් විඳ මිය පරලොව ගියේය. ඔහුට කොතෙක් ප්‍රතිකාර කළද ඒ කිසිවකින් සුවවූයේ නැත.

මේ අතර හරක් සෝමේගේ එක් පුතෙකු දිනක් යතුරුපැදි අනතුරකට ලක්ව ඉන් තදබල ලෙස තුවාල වී අත් පා බිඳී ඔත්පල වූ අතර ඔහු අද අංගවිකල තත්ත්වයකට පත්ව අසරණව ජීවත් වෙයි. හරක් සෝමේගේ දියණියන් දෙදෙනාගෙන් එක් අයෙක් විවාහ වී ඇගේ ස්වාමි පුරුෂයාගේ නොයෙකුත් තාඩන පීඩනවලට ලක්ව විවාහය කඩාකප්පල්වී නැවත මහගෙදර පදිංචියට ආවාය. අනෙක් දියණියට දරුණු ලෙස පිළිකාවක් වැළඳී නොයෙකුත් ප්‍රතිකාර කරමින් අද එම ගෙදරම දුක්ඛිතව වාසය කරයි. පියාගෙන් පටන් ගත් එම පාපකර්ම හේතුකොටගෙන අද “හරක් සෝමේගේ” මුළු පවුලම ජීවත්වන්නේ අන්ත අසරණවය. පවුලේ සියලුදෙනාම අද අසල්වාසීන්ගේ උදව් උපකාර මත ජීවත්වන අතර පියා කළ විපත් මුළු පවුලටම පඩිසන් දීම “මේ ජීවිතයේදීම කළකම් පලදෙන හැටි” යස රඟට කියා පාන්නක් බැව් අසල්වාසීහු ප්‍රකාශ කරති.

මෙය තම පියා කළ ඒ පාප කර්ම කවදා හෝ දරුවන්ටද පඩිසන් දෙන බැව් කීමට හොඳ නිදසුනක් වේ.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »