කුරුඳු සොයා පැමිණි ලන්දේසීන් පරංගින්ගෙන් මීගමුව ඇල්ලූ හැටි......

2016-09-26 11:03:00       219
feature-top
“ලංකාව නැමැති දිවයින, මේ දක්වා සොයාගන්නා ලද විශිෂ්ටතම දූපත් අතුරින් එකක් බවද, මේ මිහිපිට දක්නට ලැබෙන සාරවත්ම ප්‍රදේශය බවද කියනු ලැබේ”

පෘතුගීසි ජාතික ලින්ස් කෝටන්ගේ මේ වදන් නෙදර්ලන්තයෙහි වෙළෙන්දන් විසින් ඉතා ආශාවෙන් කියවන ලද අවධිය වනවිට ඔවුන්ගේ සතුරු පෘතුගීසි ජාතිකයෝ අඩසිය වසකට වැඩි කාලයක් මුළුල්ලෙහි මේ දිවයිනේ ඵල ප්‍රයෝජනවලින් වැඩි කොටසක් භුක්ති විඳිමින් සිටියහ. පෘතුගීසින් විසින් ලංකාවේ මේ වටිනාකම හඳුන්වනු ඇත්තේ “මිහිපිට සුරලොවක්” යනුවෙනි. පෘතුගීසි ලේඛක “ජොආම් රිබෙයිරෝ” විසින් රචිත The Historic Tragedy of The Island Off Ceilao'' නම් කෘතියෙහි ලංකාව හඳුන්වා ඇත්තේද ඒ නමිනි. පෘතුගීසි මේ රටේ වටිනාකම මනින ලද ප්‍රධාන දේ වූයේ රට තුළ වූ කුරුඳු වගාවය. වර්ෂ 1663 දී “ගාසියාඩා ඕටා” එහි අගය හා ප්‍රයෝජන මෙසේ විස්තර කරයි.

“එය පෘතුගාලයේ නම් නිසැක වශයෙන්ම ඉතා හොඳ වෙළෙද භාණ්ඩයක් වේ. හොඳ ඖෂධයක් වනු පමණක් නොව, ඉන්දියාවේ පවතින පුරුද්ද මෙන් ව්‍යංඤ්ජන රසවත් කිරීම සඳහා ද ප්‍රයෝජනවත්ය.”

ලංකාවේ කුරුඳු කොතරම් උසස් වර්ගයකට අයත් වී දැයියත්, වෙනත් රටවල වැවෙන පහත් වර්ගයේ කුරුඳුවල කිසිම අගයක් නැති තරමැයි සැලකු “රිබෙයිරෝ” “මේ කුළු බඩු වර්ගය ලංකාවේ විනා අන් කිසි ප්‍රදේශයක නොවැවෙන බව අපි දනිමු”යි සිය ග්‍රන්ථයක සඳහන් කර තිබේ.

එක්දාස් හයසිය තිස්ගණන්වලදී රට පාලනය කළ රාජසිංහ රජු පෘතුගීසින් සිදුකරන ක්‍රියා පිළිවෙත පිළිබඳව නොසතුටින් සිටියේය. ලංකාවේ සාරවත්ම වූ හා විශාල වූ ප්‍රදේශ පෘතුගීසින් විසින් පාලනය කරනු ලබමින් රජතුමාගේ රාජ්‍යය පෘතුගීසින් බළකොටු ගණනාවක් ඉදිකිරීමත්, රජතුමා බාහිර ලෝකය සමඟ කරගෙන ගිය ගනුදෙනු පෘතුගීසින් විසින් පාලනය කරනු ලැබීමත් නිසා දිවුරුම් දී පෘතුගීසින් සමඟ අත්සන් කළ ගිවිසුම පෘතුගීසින් අමු අමුවේම උල්ලංඝනය කිරීම පිළිබඳව රජතුමා පසුවූයේ දැඩි කලකිරීමෙනි. පෘතුගීසින් විසින් ඉදිකරන ලද ප්‍රධාන බළකොටු තුන පිහිටියේ කොළඹ, මීගමුව හා ගාල්ල ප්‍රදේශවලය.

තවෙකක් උතුරු වෙරළේ යාපනයේ ඉඳිවිය. අනෙක් බළකොටු දෙක නැගෙනහිර වෙරළේ මඩකළපුවේ හා ත්‍රිකුණාමලයේ ඉදිවිය. බටහිර, උතුරු හා නැගෙනහිර වෙරළ තීරයේ තම ආධිපත්‍ය පෘතුගීසින් තහවුරු කර ගැනීමත් සමඟ රාජසිංහ රජු පෘතුගීසින් මෙරටින් පන්නා දැමීම සඳහා ලන්දේසි ආධාර ඉල්ලන තත්ත්වයට පත්විය. 1636 සැප්තැම්බර් 09 දින රාජසිංහ රජතුමා පුලිකට්හි ආණ්ඩුකාර කැරල් රිජ්නියර්ස්ට ලිපියක් යවමින් පෘතුගීසින් මෙරටින් පන්නා දැමීමට උපකාර ඉල්ලා සිටියේය.

ගෝවේ ප්‍රතිරාජයාත්, කොළඹ පෘතුගීසි කපිතාන්වරයාත් රහසේ රජුට එරහිව කුමන්ත්‍රණයක් ආරම්භ කරමින් සිටියහ. රාජසිංහ රජුගේ සොහොයුරු මාතලේ කුමරා රජතුමාට විරුද්ධව නැගී සිටීමට පොළඹවා ගැනීමේ අදහසින් ඔහු සමඟ රහසේ ලිපි හුවමාරු කරගනිමින් සිටියේය.

බතාවියේ ලන්දේසි පාලකයෝ රාජසිංහ රජුගේ ඉල්ලීම ගැන දැනගැනීමටත් පෙර එතුමාට ආධාර කිරීමට තීරණය කර සිටියහ. ඉතාම වැදගත් කුළුබඩුවූ ලංකා කුරුඳු වෙළදාමෙහි මුළු අයිතිය හෝ ඒ වෙළදාමෙන් කොටසක් හෝ මෙතෙක් අත්කර ගතහැකි වූ ඔවුහු අවම වශයෙන් ඉන් කොටසක් හෝ අත්කර ගැනීමට උනන්දු වූහ.

මේ අනුව බතාවියේ ලන්දේසි පාලකයෝ 1637 ජුලි 31 දින මහනුවර හා කොළඹ රජවරුන්ට පෘතුගීසින්ට විරුද්ධව ලන්දේසි ආධාර ලබාදෙන ලෙස නියම කරමින් කැරල් රිජ්නියර්ස් වෙත ලිපියක් යැවූහ. ඒ රජවරුන් කුරුඳු පෘතුගීසින්ට ලබා නොදී ලන්දේසින්ට දීමට පොරොන්දු වෙත්නම්, ඔවුන්ට ආධාර, යුද්ධායුද සහ වෙඩි බෙහෙත් පමණක් නොව ඒ සඳහා පෘතුගීසින් ගෙවූ මුදලට වඩා සියයට පනහක මුදලක්ද ගෙවීමට කැමැත්ත ප්‍රකාශ කරන ලෙස ඔහුට නියම කරන ලදී. රජවරුන්ගේ අභිමතය අනුව කුරුඳු සඳහා ගෙවීම මුදලින් හෝ වෙළඳ භාණ්ඩවලින් හෝ යුද්ධ උපකරණවලින් ගෙවනු ඇත.

මේ ලිපිය යවා නොබෝ දිනකින් මහනුවර රජතුමාම ලන්දේසින්ට ඉතාමත් වාසි සහගත අයුරින් ඇති කොන්දේසි යටතේ ඔවුන්ගේ ආධාර ඉල්ලා සිටින ආකාරය රිජ්නියර්ස් විසින් බතාවියේ පාලකයන්ට දන්වා යවන ලදී. අවශ්‍ය ආධාර ලැබෙන්නේ නම් ත්‍රිකුණාමලයේ හෝ මඩකළපුවේ හෝ බළකොටුවක් ඉදිකිරීම සඳහා අවශ්‍ය සියලුම උපකරණ ලන්දේසීන්ට සැපයීමටත්, පෘතුගීසි බළකොටුවලට පහරදීම සඳහා නැව් පහක් සඳහා වැයවන සියලුම වියදම්ද දැරීමටද රජතුමා පොරොන්දු විය.

ලන්දේසි ජාතික අග්‍රාණ්ඩුකාර ඇන්තෝනියෝ වැන් ඩීමන්ගේ පාලන සමය ආරම්භවූ 1636දී පටන් බතාවියානු පාලකයෝ ආසියාවේ පෘතුගීසි බලයෙහි මධ්‍යස්ථානය වූ ගෝව වැටලීම පිණිස අවුරුදු පතා නැව් හමුදාවක් යැවීය. ගෝවවලට ආපසු පැමිණීමෙන් පසුව නැව් හතක්ද, නැව් හමුදාවේ වූ සෙබළුන් 250දෙනා ලංකාවට එවීමට වැන් ඩීමන් නියෝග කළේය. ලන්දේසි තමාට උදව්වට පැමිණ ඇති බව දැනගත් රජු බෙහෙවින්ම සතුටට පත්විය. කුරුඳු, ගම්මිරිස් හා මී ඉටි ලන්දේසීන්ට පමණක් විකුණන බවට රජතුමා ඔවුන්ට පොරොන්දු විය. ලන්දේසීන් පළමුව තීරණය කරන්නේ මඩකළපුව බලකොටුවට පහරදීමටය. ලන්දේසි හමුදාවේ අණදෙන නිලධාරි ටෙස්ටර්වල්ට් හා රජතුමාගේ දුතයෝ 1637 දෙසැම්බර් 23 දින රැස්වී මේ පිළිබඳව අවසන් නිගමනයකට පැමිණියහ. හමුදාවේ දෙවන අණදෙන නිලධාරියා වූ විලම් ජේ. කබ්ස් කොස්ටර්ගේ ප්‍රධානත්වයෙන් මෙම පහරදීම සංවිධානය කෙරිණි.

1938 මැයි 14 දින ලන්දේසි හමුදාව හා රාජසිංහ රජුගේ සේනාව මඩකළපුව බළකොටුවට ප්‍රහාර එල්ල කළහ. පෘතුගීසින් ශ්වේත වර්ණ ධජය එසවීමෙන් යටත්වී මේ සංඥාව දුන් නිසා එහිදී බලවත් සටනක් නොවිණි. පසුව ලන්දේසීහු පහර දුන්නේ ත්‍රිකුණාමලයේ පිහිටි පෘතුගීසි බළකොටුවටය. නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි පෘතුගීසි බලකොටු අල්ලාගත් ලන්දේසිහු තම ප්‍රධාන ඉලක්කය බවට පත්කර ගන්නේ කොළඹ හා මීගමුව බලකොටුය. පෘතුගීසින් ද වඩා ශක්තිය යෙදවූයේ එම බලකොටු දෙක ආරක්ෂාව වෙනුවෙනි. තම සේනාව මීගමුව හා කොළඹ බලකොටුවල ආරක්ෂාව පිණිස යෙදවූ පෘතුගිසිහු ඒවා ලෙහෙසියෙන් ලන්දේසින්ට ලබාදීමට සුදානම් නොවූහ.

පෘතුගීසින් හා ලන්දේසින් කොළඹ හා මීගමුව බළකොටු සඳහා වැඩි අවධානයක් යොමු කළේ කුරුදු වගාව ඉතා සාර්ථකව පැවතියේ මෙම ප්‍රදේශවල වූ නිසාය. විශේෂයෙන්ම මීගමුව හා අවට ප්‍රදේශ මෙරට කුරුඳු ගහණයේ සාරවත්ම ප්‍රදේශ ලෙස පැවතිණි. මේ නිසා ලන්දේසීහු හැකිතාක් ඉක්මණින්ම කොළඹට හා මීගමුව බළකොටුවලට පහරදීමට සැලසුම් සකස් කළහ. ජනරාල් ෆිලිප්ස් ලුකස්ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ලද ලන්දේසි හමුදාව 1639 දෙසැම්බර් මස 18 දින කොළඹ පිහිටි පෘතුගීසි බළකොටුවට පහරදීමට සුදානම් වුවද එදින පැවැති අධික වර්ෂාවත්, අධික සුළඟත් රජතුමාගේ හමුදාව සහ ඒ සමඟ පැමිණීමට නියමිතව සිටි ලන්දේසි භටයන් 200කගේ නොපැමිණීමත් නිසා ඔහු හදිසියේම තීරණය කළේ මීගමුව බළකොටුවට පහරදීමටය.

මේ අතරතුර ලුකස්ට ඇතැම් දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවිය. සති ගණනක සිටම බලවත් ලෙස රෝගාතුරව සිටි ඔහු තම සේනාපතිත්වය උප සේනාධිපති කොස්ටර්ට භාරදී බතාවියට යෑමට දෙසැම්බර් මස අග හරියේදී තීරණය කර සිටියේය. එහෙත් මීගමුවට පහරදීම සඳහා ඔහු දිගටම රැඳී සිටියේය. ලුකස් ප්‍රමුඛකරගත් ලන්දේසි නැව් හමුදාවට බොන ජලය ගිඟවූයේ 1640 ජනවාරි මස අගභාගයේදී පමණ මීගමුවට සැතපුම් කීපයක් උතුරින් පිහිටි කම්මල නම් ගමට ගොඩබැසීමට ඔහුට සිදුවිය. පෘතුගීසිහු මේ පුවත දැන ගත්හ. පෘතුගීසි කපිතාන්වරයා තම හමුදාවන්ට නියෝග කළේ කම්මල තෙක් පසුබැස හැකිනම් ලන්දේසීන් ඔවුන්ගේ ආරක්ෂක අගල්වලින් පලවාහරින ලෙසය. පෘතුගීසි හමුදාව ඒ වනවිට රඳවා සිටියේ ආරන්දර නම් ප්‍රදේශයේය. ආරන්දර ප්‍රදේශයේ ස්ථානගත කර සිටි පෘතුගීසි හමුදාව සිදුකරමින් සිටියේ රජතුමාගේ හමුදාව ලුකස්ගේ හමුදාවට සහයදීම සඳහා පහතරටට ඒම වළක්වාලීමය. පෘතුගීසි සේනා ආරන්දර සිට කම්මල වෙත ගමන් ගනිද්දී රාජසිංහ රජුගේ හමුදාවද ඒ පසුපසින් ගමන් ගත්හ.

පෘතුගීසින් ආරන්දර සිට කෙතරම් වේගයෙන් ගමන් කළාද කිවහොත් තෙදිනක් තිස්සේ පැමිණි ගමනේදී කිසිම ස්ථානයක ආහාර පිසීම සඳහා කිසිදු ස්ථානයක නොනැවතුණු බව කියනු ලැබේ. ඔවුහු අධික වෙහෙසද නොතකා “කම්මල” නම් ස්ථානයේ දැඩි ආරක්ෂක සංවිධානයක් තිබූ ලන්දේසීහු දැඩි ලෙස පහර දුන්හ. ලන්දේසීන්ට මොහොතකට පසු බසින්නට සිදුවුවත්, සෙබළුන් සංඛ්‍යාව වඩා විශාලවීමත් ආරක්ෂක අගල් ශක්තිමත්වීමත්, සතුරා විඩාවට පත්ව සිටීමත් නිසා පෘතුගීසි හමුදාවට දරුණු ප්‍රහාරයක් එල්ල කරන්නට ලන්දේසිහු සමත් වූහ. ජනවාරි 29 දින රාජසිංහ රජුගේ සේනාවද ලුකස්ගේ සේනාවට එකතුවිය. ඒකාබද්ධ වූ ලන්දේසි සිංහල සේනා පෙබරවාරි 06 දින මීගමුවට ළඟාවූහ. ඉන් තෙදිනකට පසුව බළකොටුවට ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කරන ලදුව වැඩි අලාභයක් සිදුනොවීමට නොදී එය අල්ලා ගන්නා ලදී.

සිංහලයන්  විසින් පලාගිය පෘතුගීසිහු ලුහුබඳින ලද අතර ලන්දේසීහු මීගමුව බළකොටුව අල්ලාගෙන එහි විනාශ වී ගිය ප්‍රාකාර අලුත්වැඩියා කරන්නට වුහ. හමුදාවත් සමඟ සිටි රාජසිංහ රජු ලන්දේසීන් මීගමුව බලකොටුව විනාශවී ගිය ප්‍රාකාර අලුත්වැඩියා කරනු දැක තමා මුළුමනින්ම බළකොටුව අලුත්වැඩියා කිරීමට අපේක්ෂා කරන හෙයින් එහි අලුත්වැඩියා කටයුතු නතර කර තමාට භාරදෙන ලෙස ෆිලිප්ස් ලුකස්ට නියෝග කළේය. ලුකස් එයට එකඟ නොවීය. ඒ අවස්ථාවෙහි වර්ෂ 1638 ගිවිසුමෙහි 3වන වගන්තිය මුල් කරගෙන ලුකස් රජතුමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව, පුදුමයකට මෙන් රාජසිංහ රජු මීගමුව බළකොටුව ඉල්ලා සිටීමද මේ වගන්තියම මුල්කොට ගෙන පෙනී යයි. අවසානයේ තහවුරුවූයේ ලුකස්ගේ තර්කය නොව රජතුමාගේ තර්කයයි.

1638 ගිවිසුමේ 3 වන වගන්තිය අනුව එහි සඳහන් වන්නේ පෘතුගීසින්ගෙන් අල්ලා ගන්නා බළකොටුවල ලන්දේසීන් විසින් ආරක්ෂක සේනා නතර කරනු ලබන්නේ එසේ කිරීම සුදුසුබව රජතුමා කල්පනා කළහොත් පමණය.’ යනුවෙනි. එය ගිවිසුමේ මුල් පිටපතේ සඳහන්ය. පෘතුගීසි භාෂාවෙන් ලියන ලද මේ මුල් ලේඛනයේ පිටපත් දෙකේ එක් පක්ෂයක් වෙනුවෙන් රජතුමාද අනෙක් පක්ෂක වෙනුවෙන් වෙස්ට්ර්වලිට් සහ කෝස්ටර් අත්සන් කොට තිබිණි. දෙපක්ෂයටම මුල් ලේඛනයේ පිටපත බැගින් ලැබිණි. එහෙත් ලන්දේසීන් මේ මුල් ලේඛනය බැහැර කොට සියලු අවශ්‍යය කටයුතු සඳහා ලන්දේසි පරිවර්ථනයක් පමණක් උපයෝගී කර ගත්තේය.

ගිවිසුම ප්‍රකාරව තමන්ට අවාසිදායක තත්ත්වය තේරුම්ගත් ලුකස් 1638 ගිවිසුම වෙනුවට අලුත් කෙටුම්පතක් රජතුමාට ඉදිරිපත් කළේය. ලන්දේසීන් තැත් කරන්නේ කුමක් කර ගැනීමටද යනබව තේරුම් ගියවිට රාජසිංහ රජු බලවත් කෝපයට පත්විය. ලුකස්ට තවදුරටත් කන්දීම ප්‍රතික්ෂේප කළ රජු ලන්දේසීන් සමඟ සියලු ගනුදෙනු අත්හළේය. ඊට පසු රජු තම හමුදාවත් සමඟ සැතපුම් කිහිපයක් රට අභ්‍යන්තරයට ගියේය. ලුකස් මීගමුව බළකොටුව රජතුමාට භාර නොකළේය.

ලන්දේසීන් විසින් රාජසිංහ රජු රවටනු ලැබීම දෙපක්ෂයම තුළ තිබූ සබඳතා කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවේය. ලන්දේසීන්ගේ ප්‍රකාශන හා ක්‍රියා කෙරේ වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බව රජතුමා කල්පනා කළේය. එහෙත් ඔහු දිගටම ලන්දේසීන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කළේ පෘතුගීසීන් තරමටම දුෂ්ට නැතැයි සිතාය. පෘතුගීසින් මේරටින් සඳහටම පලවා හැරිය යුතු නිසා එය ඉටුකර ගැනීම සඳහා රජු ලන්දේසීන් සමඟ තවදුරටක් සහයෝගයෙන් කටයුතු කළේය.

ලන්දේසි හමුදාව මෙහෙයවූ උප සේනාපතියා වූ කෝස්ටර් 1640 ජුලි 15 දින රජතුමා බැහැදැකීම පිණිස මහනුවරට ගියේය. රජතුමාගේ සොහොයුරා වූ විජයපාල කුමාරයා සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා රජුට එරෙහි කුමන්ත්‍රණය කිරීම, රාජසභා ආචාර විධි කඩකර රජතුමාට අපහාස කිරීම සහ රජතුමා ඊට කලින් කෝස්ටර් වෙත ලබාදුන් රන් මාලය ගලවා උඩරට රාජ්‍ය නිලධාරියකුගේ දෙපා මුලට විසි කිරීමෙන් රජතුමාට අපහාස සිදුකිරීමත් යන කාරණා මත උරණවූ උඩරට සිංහල වැසියෝ විසින් රජතුමාගේ රාජ්‍ය තුළ පිහිටි ‘නිල්ගල’ නම් ස්ථානයේදී කෝස්ටර්ව මරාදමන ලදහ.

මේ මිනීමැරුම පිළිබඳව ඇසූ රජතුමා කළේ එය තමා විසින් නොදැනුවත්ව සිදු කරන ලද බවත්, එය සිංහලයන් විසින් පුද්ගලික කාරණාමත කරන ලද්දක් බවත් කියමින් මඩකළපු ලන්දේසි ප්‍රධානියා වූ ජදන් නිසන් වෙත ලිපියක් යැවීමයි. මෙම මරණය සිදුකළේ පෘතුගීසින්ට හිතවත් සිංහලයන් බව ලන්දේසීහු සිතූහ. ගාල්ල බළකොටුව මේ වනවිටත් පෘතුගීසින්ගේ පාලනයෙන් මුදාගෙන ලන්දේසී පාලනයකට යටත්ව තිබූ අතර එහි ප්‍රධානියා ලෙස සිටි කපිතන් වොල්රේවන්ද සෙන්ට් ආමන්ට් 1640 ඔක්තෝබර් 10 දින නෙදර්ලන්තවාසින් දෙදෙනෙකුද, කළු ජාතිකයින් නව දෙනෙකුද සමඟ පෘතුගීසින්ට එක්ව සිටියහ. සෙන්ට් ආමන්ට් ඉතා කෙටි කලකදී පෘතුගීසින්ගේ ඉතාම විශ්වාසවන්තයෙකු බවට පත්වූ අතර, ඔහු සතුවූ ලන්දේසීන් පිළිබඳ රහස් තොරතුරු පෘතුගීසින්ට ලබාගත හැකිවූ නිසා අවස්ථාවලත් වහාම ලන්දේසීන් සතුව තිබූ මීගමු බළකොටුවට පහරදීමට පෘතුගීසි කපිතාන් ජනරාල් දොන් ඇටෝනියෝ මැස්කරක්‍ද්ක්‍දා සැලසුම් සකස් කළේය.

මෙම සැලසුම සකස්වෙද්දී ඇන්ටෝනියෝගේ සොහොයුරාවූ දොන් ෆිලිපෝ මැස්කරක්‍ද්ක්‍දා සෙබළුන් 360 දෙනෙකු හා යුද්ධෝපකරණ සහිතව ගෝවේ සිට මෙහි ළඟා විය. නව කපිතාන් ජනරාල් ලෙස පත්වී මෙහි පැමිණි ෆිලිපෝ මීගමුව වැටලීමේ ගමන ආරම්භ කළේය. මෙවැනි වැටලීමක් සිදුවන බව ලන්දේසීහු දැන නොසිටියහ.

උඩරට සේනාවේ මිනිසුන් 3000ක පිරිසකින් යුත් හමුදාවක් ලන්දේසීන්ගේ සහයට පැමිණෙන බව සිංහල පණිවිඩකරුවකු අත දන්වා එවුවද දින අටක් තිස්සේ මීගමුව බළකොටුව වටකර සිටි පෘතුගීසින්ට යටත්වීමට ලන්දේසි සේනාපතියා තීරණය කළේය. ලන්දේසින් යටත්වන අවස්ථාවේදී බළකොටුවෙන් ඉවත් වෙමින් සිටි සිංහල පණිවිඩකරු පෘතුගීසින් විසින් අල්ලා ගන්නා ලදී. උඩරට සිට හමුදාවක් එන බව ඇසූ දොන් ෆිලිපෝ ඊට පහරදීම සඳහා පෘතුගීසි භට කණ්ඩායම් කිහිපයක්ද, ලැස්කරික්‍ද්ක්‍ද භටයින් 2000ක්ද යැව්වේය. මේ අතරතුර උඩරට සේනාපති දොන් බ්ලැස්තාර් මීගමුව බේරා ගැනීම සඳහා වේගයෙන් ගමන් ගත්තේය. තමන්ගේ ධජය මීගමුවේ ඔසවන විට ඊට ආචාර දැක්වීමක් ලෙස පෘතුගීසින් විසින් තබන ලද වෙඩිමුරය, බළකොටුවට පහරදීමක් ලෙස වරදවා තේරුම්ගත් දොන් බැලිනසාර් හමුදාවේ ගමන තවත් ඉක්මන් කළේය. අපේක්ෂා නොකළාමෙන් ඉක්මණින් උඩරට සේනාපතියාට හා ඔහුගේ 3000ක්වූ සෙබළ පිරිසට පෘතුගීසි හමුදාව මුහුණට මුහුණ හමුවූ අතර, උඩරට සේනාව පලවා හරිනු ලැබිණි. එහිදී ඇතිවූ ගැටුම්වලින් බැලිනසාර් හා ඔහුගේ ආරච්චිවරුන් හතරදෙනාද මරුමුවට පත්වූහ.

එම සටන ජයගැනීම පිළිබඳව පෘතුගීසින් හිතුවේ මීගමුව බළකොටුව අත්පත් කර ගත්තාටත් වඩා ජයග්‍රහණයක් ලෙසය. ඒ මගින් මෙරට පිහිටි සාරවත් කුරුඳු ඉඩම් යළි අත්පත් කරගත්තා සේම, ආසියාවේදී ලන්දේසින් සතුව තිබී අල්ලා ගන්නා ලද ප්‍රථම බළකොටුව වන්නේද මීගමුව බළකොටුවයි. එම ජයග්‍රහණයේ උණුසුම මැදින් පෘතුගීසිහු කල්පනා කළේ රට අභ්‍යන්තරයේ පිහිටි සතරකෝරළේ, සබරගමුව හා මාතර යළිත්වරක් පෘතුගීසි පාලනයට නතුකර ගැනීමටය. එහෙත් ඒ උත්සාහයන් එතරම් සාර්ථක නොවීය. එහෙත් රජතුමාගේ මිනිසුන් විසින් එකතුකරන ලද රට අභ්‍යන්තර ප්‍රදේශවල තිබූ කුරුඳු තොග අත්පත් කරගන්නට පෘතුගීසිහු සමත්වූහ.

අලුත්ගමදී පමණත් බහැර (කුරුඳු මනින ලද ඒකකය) 1150කින් බහැර 800ක් පමණ පෘතුගීසින් අතට පත්විය. ඉන් නොනැවතුණු පෘතුගීසිහු මුහුදුබඩ ප්‍රදේශ යළිත් තම පාලනයට නතුකර ගත්හ. මීගමුව පෘතුගීසින්ට පත්වීමෙන් පසුව රාජසිංහ රජුත්, ලන්දේසින්ටත් අවාසි අත්වූ අතර පහරදීමට යාමට වඩා ඔවූහු ආරක්ෂාවීමේ පිළිවෙතක් අනුගමනය කළහ. 1642 ජනවාරි මාසය මුළුල්ලේත්, පෙබරවාරි මාසය පුරාත් ලන්දේසි නැව් කණ්ඩායම් යළිත් කොළඹ හා මීගමුව ප්‍රදේශවල බටහිර මුහුදේ එහා මෙහා ගිය අතර, නිසන් සහ බොවන්ස් යන කපිතාන්වරු තීරණය කර තිබුණේ යළි කොළඹ හා මීගමුව වැටලීමටය. ඒ සඳහා ලන්දේසි නැව් කණ්ඩායමක් මග එමින් තිබුණි. පෙබරවාරි 10 දින නැව් දොළහකින් පැමිණි සෙබළු 1100ක් වූහ. යුද උපකරණද විය. නිසන් සමඟ නැව් කණ්ඩායම මීගමුව බළකොටුව අසලින් ගමන් ගන්නා විට ඇතිවූ අහිතකර සුළං තත්ත්වය නිසා වෙරළට කිට්ටුවෙන් ගමන් කළ නැව්වල ගමන පෘතුගීසි නෙත ගැටිණි. මේ නිසා මීගමුවට පහරදීමේ අදහස ලන්දේසීන්ට අතහැර දැමීමට සිදුවිය.

මීගමුව හා කොළඹ අල්ලා ගැනීමට යැවූ නැව් කණ්ඩායම් විසින් ඒ දෙකින් එකක්වත් අල්ලාගෙන නොතිබුණු බව ඇසූ බතාවියානු පාලකයෝ අතිශය කනගාටුවට පත්වූහ. යටත් පිරිසෙන් මේ බළකොටු දෙකින් එකක් හෝ අත්පත් කර ගෙන ලංකාවේ කුරුඳු වගාව මුළුමනින්ම හෝ ඉන් වැඩි කොටස තමාවෙත නතුකර ගැනීමට ලන්දේසිහු අපේක්ෂා කළහ.

කොළඹ සහ මීගමුව අල්ලාගතහොත් පෘතුගීසින්ගේ ඉරණම විසදෙන බව දැනසිටි ලන්දේසිහු බතාවියේ සිට මෙතෙක් ලංකාවට එවනලද විශාලතම පිරිසවූ 1700ක භට පිරිසක් හා නැව් 13ක් එවීය. ඒ ෆරැන්ක්වා කැරන් යටතේය. ලන්දේසින් මීගමුවට පහරදීමට අදහස් කළ බව පෘතුගීසින්ට කල්තියාම අවබෝධවිය. එබැවින් දොන් ෆිල්ප්, මීගමුව ආරක්ෂා කිරීම භාරව සිටි තම සොයුරු දොන් ඇන්ටෝනියෝ මැස්කරක්‍ද්ක්‍දා වෙත පෘතුගීසි සෙබළුන් 600ක් හා ලන්දේසි ලැස්කරික්‍ද්ක්‍දා භටයන්ගෙන් යුතු සේනාවක් ලබාදුන්නේය. දොන් ඇන්ටෝනියෝගේ පමණ ඉක්මවා ගිය විශ්වාසය නිසා රාත්‍රී කාලයේදී මිනිසුන් 1500ක් ගොඩබැස්සවීමේ දුෂ්කර කාර්යය කිසිදු බාධාවකින් තොරව කිරීමට ලන්දේසීන්ට හැකිවිය.

1644 ජනවාරි 09 දින පැය දෙකක් ඇතුළත දොන් ඇන්ටෝනියෝ ඇතුළුව 300ක් මරුමුවට පත් කරමින් මීගමුව බළකොටුව යළි අත්පත් කරගන්නට ලන්දේසිහු සමත්වූහ.

මෙම යටත්කර ගැනීමට දින දෙකතුනකට පෙර පෘතුගීසින් හා ලන්දේසින් අතර සාමගිවිසුමක් සඳහා සූදානමක් තිබූ අතර, දෙපාර්ශ්වයම ඒ සඳහා එකඟව සිටියහ. මීගමුව බළකොටුව අල්ලාගනු ලැබුයේ තාවකාලික සාම ගිවිසුම ප්‍රකාශයට පත් කළයුතු වූ දිනට පසුදින හෙයින් අල්ලාගන්නා ලද මීගමුවද, නැව් භාණ්ඩද ආපසු භාරදිය යුතුබව පෘතුගීසින් කියා සිටියහ. මීගමුව සම්බන්ධයෙන් ලන්දේසින් සතු අයිතිවාසිකම් පිළිගන්නා තුරු යුද්ධය කරගෙන යෑමට ලන්දේසින් සූදානම් බව ප්‍රකාශ කළවිට ලන්දේසින්ට යටත්වීම හැර අන් කිසිවක් කිරීමට  පෘතුගීසින්ට නොහැකිවිය. එහෙත් පෘතුගීසිහු එසේ කිරීමට පෙර, මීගමුව ආපසු ලබාගැනීම සඳහා අවසාන වෑයමක්ද ගත්හ. මීගමුව ආපසු භාරදෙනු ලැබුවහොත් විශාල මුදලක් ගෙවීමටද පෘතුගීසින් එකඟවුවත් කිසිදු මුදලකට මීගමුව යළි ලබාදීමට ලන්දේසිහු එකඟ නොවූහ. මේ තරමට මීගමුව පෘතුගීසින්ට හා ලන්දේසින්ට වැදගත් වූයේ කුරුඳු වගාව නිසාය. කෙසේ වෙතත් 1645 ජනවාරි මස 10 දින දෙපක්ෂයේ මායිම් නියම කරමින් කොළඹදී ගිවිසුමකට එළැඹි පෘතුගීසින් හා ලන්දේසින් ගාල්ල හා කොළඹ අතර පිහිටි ප්‍රදේශ බෙන්තොට ගඟෙන් දෙකට බෙදන ලදී. මේ ගඟෙන් දකුණු දෙසට ඇති ප්‍රදේශය ලන්දේසීන්ටද ගඟෙන් උතුරු දෙසින් ඇති ප්‍රදේශ පෘතුගීසින්ටද අයිති විය.

ඒ කෙසේ වෙතත් කොළඹ හා මීගමුව අතර ඇති ඉඩම් සමව බෙදිය යුතු බවත්, මීගමුව ලන්දේසින් යටතේද, මීගමුවට උතුරින් පිහිටි පුත්තලම හා කල්පිටිය පෘතුගීසින් යටතේද තිබිණි. ලන්දේසින්ගේ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානය වූ මීගමුව නගරය ගොඩනැගී ඇත්තේද බළකොටුව හා ඒ වටා තිබූ පාරවල්වල රටාව අනුවය. වෙළඳාම ලන්දේසි යුගයේ සුවිශේෂීම කාර්යය විය. ඕලන්ද ඇළ ලන්දේසින් විසින් සකස් කරනු ලැබුවේද ඒ සඳහාය.

බි්‍රතාන්‍ය පාලනය සමයේදී පැරණි බළකොටුව කඩාදමා බන්ධනාගාරය සකස් කරනු ලැබූ අතර නටඹුන් ලෙස ප්‍රධාන දොරටුව හා දෙපස කොටස පමණක් දැන් දක්නට ලැබේ. මුලින් තිබූ ලන්දේසි බළකොටුවේ සැලසුම තවම දක්නට ලැබේ. බළකොටුවේ ලාංඡනය වන්නේ බැස්ටිනයක් හා ඉරටු දෙකකි. එසේම එහි නටඹුන්වලින් කුරුඳු ගබඩා කිරීම සඳහා විශේෂ ගබඩා තිබූ බවද පැහැදිලිව දක්නට ලැබෙයි. එහෙත් මෙම නටඹුන් අද වනවිට කෙතරම් දුරට සුරක්ෂිතදැයි සැකසිතෙන තරම්ය.

Wmqgd .ekSu u��u mqj;am; weiqfrks

More News »