“මේ වගේ පුතෙක් හදපු එක ගැන ඇත්තටම මම අද ලැජ්ජා වෙනවා”

2017-08-15 10:31:00       31
feature-top
අම්මා කෙනෙක් තමන්ගේ දරුවව යහ මගට අරගෙන ජීවිතේ ලස්සන කරන්න කොයි තරම්නම් දුකක් විඳිනවද..

ඒත් ඒ දුක තේරුම් නොගන්න දරුවෝ නිසා අම්මලා තාත්තලා ගොඩක් අසරණ වෙනවා.

ඒ විදිහට වැරදි පාරේ ගිහින් හිරගෙදරට යන්න සිද්ධවුණු තරුණයෙකුගේ මවක් සිදුකළ සංවේදී හෙළිදරව්වකි මේ.

“හැමෝම කියනවා මට මේ ගමන යන්න එපා කියලා. ඒත්.. කොහොමද මගේ කුසින් වදාපු දරුවා හිරේ ඉන්නවා උහුලගෙන ඉන්නේ..?”

ඇයට කතා කර ගැනීමට බැරි විය. ඇය ඉකිබිඳ හඬන්නට වූවා ය. ඒ නිසාම ඇගේ හිතේ වූ වේදනාව නිම වනතුරු මම ඇය දෙස බලා සිටියෙමි.

වයස අවුරුදු හැටපහක් පමණ වන මේ අම්මා තවමත් ජව සම්පන්න ය.

“මම බොහොම වැදගත් පවුලක කෙනෙක්. අපේ අම්මා තාත්තා හොඳ රැකියාවල් කළේ. ඒත් මම ඉස්කෝලේ යන කාලෙම අපේ ගෙදර වත්තේ වැඩට ආව තරුණයත් එක්ක හිතුවක්කාරෙට විවාහ වුණා. අම්මයි තාත්තයි ඒ විවාහය නිසා මාව ගෙදරින් අයින් කෙරුවා. එයාගෙ නම නිමල්. නිමල්ට හරි හමන් රස්සාවක් තිබුණේ නැහැ. එයා හැදිලා වැඩිලා තිබුණේ පුංචි අම්මා කෙනෙක් ළඟ. අපි විවාහ වුණාට පස්සේ පුංචි අම්මා හිටියේ කොළඹ වත්තක. එයාට දරුවො හිටියේ නැහැ. නිමල්ගේ පුංචි අම්මා ළඟට මම එනකොට මට වයස අවුරුදු දාහතයි.”

“අපරාදේ කියන්න බැහැ පුංචි අම්මා මට දරුවකුට වගේ සැලකුවා. අඩුම තරමේ උයන්න පිහන්නවත් දැනගෙන නොසිටිය මට උයන්න පිහන්න වගේම ජීවත් වෙන හැටිත් කියලා දුන්නා.”

“අපේ ගමට ඇවිත් වතුවැඩ කරපු නිමල්ට කොළඹට ආවට පස්සේ කරන්න රස්සාවක් තිබුණේ නැහැ. ඒ වෙනකොට පුංචි අම්මා ජීවත් වුණේ පලා විකුණලා. නිමලුත් පුංචි අම්මා එක්ක පලා විකුණන්න ගෙයක් ගෙයක් ගානේ ගියා. පුංචි අම්මා එයා දන්න ගෙවල් නිමල්ට හඳුන්වලා දුන්නා. ඒ වෙනකොට පුංචි අම්මට වයස අවුරුදු පනස් පහක් විතර වෙන්නැති. පුංචි අම්මා අපි දෙන්නට සැලකුවේ එයාගෙම දරුවෝ දෙන්නෙක් විදිහට. කොහොම හරි නිමල්ගේ පලා විකුණන රස්සාව හොඳට දියුණු වුණා. එයා බයිසිකලයක් ගත්තා. ඊට පස්සේ එයා බයිසිකලෙන් තමයි පලා විකුණන්න ගියේ. පුංචි අම්මා ඊට පස්සේ ගෙදර නතර වුණා.

මමයි පුංචි අම්මයි මහරගමින් රෙදි ගෙනැල්ලා කොට්ට උර මහලා විකුණන්න ගත්තා. තව පුංචි පුංචි ඇඳුම් මැහුවා. අවුරුදු කාලෙට වත්තේ අය අපෙන් රෙදි ගත්තා. අපි ටිකෙන් ටික දියුණු වුණා. ඒත් නිමල් කොළ විකුණන රස්සාව අත්හැරියේ නැහැ. ඒ වෙනකොට අපිට පුංචි ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන් වුණා. අපි ඒක ගත්තේ කොළඹ නගරයට ටිකක් ඈතින්. ගෙවීමේ ක්‍රමයට ගත්ත ඉඩමට හැම මාසෙම මුදල් ගෙවුවා. අපි මුලින්ම ලෑලිවලින් කාමර දෙකක් හදා ගත්තා. ඊට පස්සේ ළිඳක් කපා ගත්තා. ලයිට් ගත්තා. කාමර දෙකක්, සාලයක් කුස්සියක් එක්ක ගේ හැදුවා. පුංචි අම්මා මේ හැමදේටම අපට උදව් දුන්නා. අපි ගෙදරට ටිකෙන් ටික බඩු ගත්තා. ටී.වී එකක්, රේඩියෝවක් ගත්තා. මහලොකු සම්පත් නොතිබුණාට අපේ පුංචි ගෙදර හරි සමඟියක් තිබුණා. පුංචි අම්මයි අපි දෙන්නයි හරිම සතුටින් හිටියේ.

පුතාව ලැබුණේ මට අවරුදු විසි අටේ දී. අපි බැඳලා හුඟක් කල් යනතුරු දරුවෝ ලැබුණේ නැහැ. ඒත් පුතා ලැබෙන්න කලිනුත් මට දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ දරුවා ලැබෙන්න මාස හතක් විතර තියෙද්දී මාව ගෙදර ළිඳ ළඟ ලිස්සලා වැටුණා. ඊට පස්සේ දරුවා බඩේදීම මැරුණා. කොහොමහරි පුතා ඉපදිලා අවුරුද්දක් විතර යද්දී නිමල් වාහනේක හැප්පිලා මැරුණා. පුංචි අම්මයි මමයි දරුවයි තනිවුණා. නිමල්ගෙ මරණයත් එක්ක අපේ ජීවිත කඩා වැටුණා. අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නැතිව ගියා. දරුවා හදාගන්න ඕන නිසා මම කොළ වික්කා. මහරගමට ගිහින් රෙදි ගෙනැල්ලා රෑ තිස්සේ කොට්ට උර බෙට්ෂීට් මැහුවා.

මං මේ හැමදේම කරන තුරු පුංචි අම්මා තමයි දරුවව බලා ගත්තේ. දරුවා ටිකෙන් ටික ලොකු වුණා. ඉස්කෝලේ ගියා. විභාගේ හොඳට පාස් වුණා. ඒත් උසස්පෙළ විභාග ප්‍රතිඵල එනතුරු මං පුතාව ඉංග්‍රීසි පන්තියකට යැව්වා. මං දැනගෙන හිටියේ නැහැ පුතා ඇසුරු කරන යාළුවෝ මොන වගේද කියලා. පුතා හරි ලස්සනයි. අපිට හැම උදව්වක්ම කරපු අම්මා වගේ හිටපු පුංචි අම්මා මැරුණේ මේ කාලේ. පුංචි අම්මගෙ මරණයෙන් පස්සේ අපි හොඳටම තනිවුණා. පුතාගේ තනිවට ගෙදර ඉන්න කෙනෙක් නැතිව ගියා.”

“මං ගෙදරින් එළියට ගියාම පුතා විතරයි ගෙදර හිටියේ. අපි අපි ගැන බැලුවා මිසක් වටපිට ගැන හෙව්වේ බැලුවේ නැහැ. මං කිසිම වෙලාවක දරුවව අවිශ්වාස කළේ නැහැ.

“‘අම්මේ.. අද මගේ යාළුවෙක් ගෙදර එනවා.’ පුතා සමහර දවසට උදේට මට කියනවා. මං ඒ දරුවටත් එක්කම උයලා තියලා යනවා. ඒත් හවසට ඇවිත් බැලුවම කවුරුත් කාලා නැහැ. පුතා නිදි මං එයාට කතා කරන්නෙත් නැහැ. මට හිතෙනවා දෙයියනේ දරුවට පාඩම් කරලා මහන්සි ඇති කියලා.”

“ඔයා ඔයිට වඩා දරුවා ගැන හොයලා බලන්න… දවල් තිස්සේ ඔය ගෙදරට හරියට කොල්ලෝ එනවා යනවා.”

“දවසක් අහල පහළ ගෑනු දෙන්නෙක් මට කිව්වා. මං පුතාගෙන් ඒ ගැන ඇහුවත් එයා මට උත්තර දුන්නේ නැහැ.”

“එක දවසක් මම ගෙදර එනකොට අපේ ගේ ළඟ මිනිස්සු රැස් වෙලා. මං සෙනඟ අතරින් ගිහින් බැලුවා. මගේ දරුවා බිම වැටිලා. ‘අනේ ! ඇයි මේ…. ‘ මං කෑගහලා ඇඬුවා.”

“පව්! අහිංසක ගෑනි ඒ ගෑනි දහදුක් විඳීනවා. මුං ගෑනිගේ සල්ලිවලින් කුඩු ගහනවා.” කවුදෝ එහෙම කියනවා ඇහුණා.”

“ මං පුතාව ගෙට අරන් ගියා. පැයකට දෙකකට විතර පස්සේ පුතාගේ යාළුවත් ආවා. මං ඒ දරුවගෙන් ඇහුවා පුතාට මොකද වුණේ කියලා. ඒ දරුවා ඇවිල්ලා ටික වෙලාවකට පස්සේ පුතා හොඳට හිටියා.”

“මොනදේ කළත් කවුදෝ කියපු කතාව මගේ හිතේ තිබුණා. මම කවදාවත් බැංකුවල සල්ලි දැම්මේ නැහැ. මං සල්ලි එකතු කළේ අල්මාරියේ රෙදි යට. මට මතක හැටියට රුපියල් ලක්ෂයක් විතර තියෙන්න ඇති. මං එහෙම සල්ලි එකතු කළේ පුතාට බයිසිකලේකුයි මට චේන් පොටකුයි ගන්න හිතාගෙන. ඒත් අල්මාරියේ රෙදි යට තිබුණේ රුපියල් පන්දාහක් විතරයි. හිතේ තරහට මං පුතාට ගැහුවා. ඒත් උත්තරයක් ලැබුණේ නැහැ”

“දවස් ගණන් ගෙවිලා ගියා. පස්සේ තමයි මට අවබෝධ වුණේ පුතා කුඩු ගහනවා කියලා. කිහිප දවසක් පුතාව පොලිසියෙන් අල්ලගෙන ගියා. ඒ හැම වතාවකම වගේ පුතාව හිරේ නොයවා බේරගන්න මට පුළුවන් වුණා. එක පාරක් පුතා පුනරුත්ථාපන කඳවුරකට දැම්මා. ඒත් වැඩක් වුණේ නැහැ. පුතා ගෙදර තිබුණ බඩු විකුණ විකුණා කුඩු ගැහුවා. අන්තිමට මටත් ගහන්න පටන් ගත්තා. දවසක් පුතා බයිසිකලෙත් විකුණලා තිබුණා. ඒත් මම ගිහිල්ලා බයිසිකලේ බේරගත්තා.”

“කොච්චර උත්සාහ දැරුවත් මට දරුවා බේරගන්න බැරි වුණා. අන්තිමට පුතාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේ කුඩු පැකට් දෙකක් එක්ක. මේ හිරගෙදර ඉන්නේ මගේ කුසින් වදාපු දරුවා තමයි. ඒත් මං කැමති වුණා පුතාව හිරේ දානවට. මට දරු කැක්කුම තිබුණට පුතා නිසා ගමේ මිනිස්සුන්ට හරියට කරදර වුණා. පුතා හොරකම් කරන්න පටන් ගත්තා. මිනිස්සු අපේ ගෙදරට ගල් ගැහුවා. දැන් පුතා හිරේ ඇවිත් අවුරුදු දෙකකට වැඩියි. තව අවුරුදු කීයක් හිරේ ඉන්නවද කියලවත් මං හොයලා බැලුවේ නැහැ. මට ඒවායින් වැඩක් නැහැ. දැන් එයා අඬනවා. දැන් නම් කුඩු ගහන්නේ නැහැ කියලා කියනවා. ඒත් කාටද ඕවා විශ්වාස කරන්න පුළුවන්.”

“මං මගේ කකුල් හයිය තියෙනකම් ඇවිත් කොල්ලව බලලා යනවා. එතැනින් එහාට දෙයක් නැහැ. ඇත්තම කිව්වොත් මේ වගේ පුතෙක් හදපු එක ගැන ඇත්තටම මම අද ලැජ්ජා වෙනවා.”

More News »