මහත්වරුනි............කෝ අපේ දරුවෝ හයදෙනා?
හිඟා කෑව කියල පරිවාසේ මහත්වරු ඇවිත් දරුවො හයදෙනා අරන් ගියා

2017-09-12 12:00:00       37
feature-top
හතරදෙනෙක්‌ ඉස්‌කෝලෙ යනව
දරුවන් අත්අඩංගුවට ගත්තේ කතරගම පූජා භූමියේදී

ගැහැනුකමත් ඒ තුළ වන මව්වත්කමත් පිළිබඳ ලියෑවෙන මේ සටහනට මුල පුරන්නත් පෙර මා අභියස වන කාන්තාවන් දෙදෙනාගේ දැස්‌ කඳුළින් පිරෙන්න ගත්ත. මින් කියෑවෙන්නේ පෝරුවට කලින් යහනට ගොඩවෙලා බාල වයසින් අම්මාවරුන් වූ අක්‌ක, නඟොa දෙදෙනකුගේ අනුවේදනීය කතාවක්‌. අපේ කතාබහ සිදුවන්නේ ජයවර්ධනපුර කෝට්‌ටේ බැද්දගාන ප්‍රදේශයේදී. පුරවර ජනී ජනයාගේ කුණු කන්දල් අරන් ගලා බහින කුණු ඇළ ඉවුරේ ලී, ටකරන්වලින් වට කළ දුප්පත් නිවසක්‌ තුළ සිදුවන මේ කතාවෙ කතා නායිකාවන් වෙන්නෙ දමයන්ති සහ කුමාරි කියන අක්‌ක නඟොa දෙදෙනා.

දමයන්තියි, කුමාරියි කියන්න හදන කථාවට සවන් දෙන්න වගේ එවෙලේ ඔවුන්ගේ ගෙපැ=ළ පාමුලින් ගලන කුණු ඇළ ගල් ගැහිල වගේ නිසොල්මනේ තිබුණ. ඇලේ පල්වෙවී තිබෙන උකු දුඹුරු බොර දියෙත් මා අභියස සිටින අක්‌ක නඟොa දෙදෙනාගේ දැස්‌වල පැහැයත් අතර වැඩි වෙනසක්‌ පේන්න තිබුණෙ නෑ. ඒ දැස්‌ මේ තරමටම බොර පැහැය ගන්න ඇත්තෙ ඔවුනගේ දරුවන් හයදෙනෙක්‌ම හොරු අරගත්ත වගේ ඔවුන්ගෙන් උදුර ගත්ත හින්ද වෙන්න ඇති කියල මම අනුමාන කරන්න ගත්ත.

මේ ලියන්න යන කතාව ඒ තරමටම රිදුම් සහගතයි. පුදුම උපදවන සුලුයි. දුප්පත්කමට අසරණකමට මේ තරම් කෙණෙහිලිකම් සිද්දවෙන්නේ කොතැනක සිදුවෙච්ච වරදකින්ද කියල මේ අකුරු දිගේ පහළට යද්දි කාට කාටත් තේරුම් යයි.

ඔවුන්ගේ කඳුළු කතාව ලියන්න පෙර ලියා තැබිය යුතු අතුරු කතාවක්‌ තියෙනව. ඒ තමයි මේ පුවත සොයා යන්න අපට පාර පෙන්නුව ඉන් නොනැවතී ඒ සඳහා අපව පෙළැඹුව කෙනාව හඳුන්වා දීම. ඇය මධුෂා රාමසිංහ. දක්‍ෂ රංගන ශිල්පිනියක්‌ වන මධුෂා රාමසිංහ කියන නම මේ දවස්‌වල සමාජ ජාලා වෙබ් අඩවි හරහා රටම හඳුනා ගත්ත නමක්‌. ඇය සමාජ ක්‍රියාකාරිනියක්‌ "ලක්‌මවට හඬක්‌" සංවිධානයේ සභාපතිනිය ලෙසරටේ තැන් තැන්වල අසරණවෙලා ඉන්න කාගෙවත් හව්හරණක්‌ නැති දරුවන්ට "අම්මා" කෙනෙක්‌ වෙනව. හොටු නාවර පෙරාගත් දරුවන්ව සෝදා පිරිසිදු කරනව. අලුත් ඇඳුම් අන්දවනව. ඇය පවසන්නෙ ඔවුනුත් දැයේ දුවා දරුවන් කියල. ඊට අමතරව ඇය කියන තවත් දෙයක්‌ තමයි තමන් 2020 ජනාධිපතිවරණ අපේක්‍ෂිකාවක්‌ ලෙස ඉදිරිපත්වෙලා මේ ගඳගහන සමාජ ක්‍රමය වෙනස්‌ කරනව කියලත්. දවසක්‌ මධුෂා "දිවයින" කාර්යාලයට ඇවිත් කියපු දුක්‌බර පුවතක්‌ හින්ද තමයි දමයන්තිගෙයි කුමාරිගෙයි පුවත රටට කියන්න පසුබිම සැකසෙන්නෙ.

ආපහු කතාව මුලට යනව. තමන්ට වෙච්ච අවනඩුව මුලින්ම කියන්න ගත්තෙ කුමාරි.

"මුල්ම දරුව ලැබෙනකොට මට අවුරුදු 17 යි. ඒක නීත්‍යානුකූල විවාහයක්‌ නෙවෙයි. මට උප්පැන්න සහතිකයක්‌වත් තිබුණේ නෑ. දරුවවත් හදාගෙන කාලයක්‌ යන කොට තමයි මගේ මහත්තය මට වෙනස්‌කම් කරන්න ගත්තෙ. එයත් අපේ ගමේම කෙනෙක්‌ එහෙම කාලයක්‌ යනකොට ඒ මනුස්‌සයගෙන් ගුටි කන්න බැරිකමට මම දරුවවත් අරන් අම්මල ළඟට ආව. අම්මලටත් ගෙයක්‌ දොරක්‌ ජීවත් වෙන්න මාර්ගයක්‌ තිබුණේ නෑ. ඒත්.. මාවයි මගේ දරුවවයි ඒ අය අහක දැම්මේ නෑ. කාලයක්‌ යනකොට මට ගෙදර ඉන්න එපා වෙනව. ඒ පාර මම දරුවවත් අරගෙන කතරගම අපේ ලොකු අම්මලගෙ ගෙදර යනව. එහේදි තමයි මට අනුරාධව මුණගැහෙන්නෙ. එයා මාවයි දරුවවයි භාර ගන්න කැමැති වෙනව. ඊට පස්‌සෙ 2010 අවුරුද්දේ අපි කතරගම දී විවාහ වෙනව. ඒ කසාදෙන් මට දරුවො තුන්දෙනෙක්‌ ලැබෙනව. මගේ මුල් කසාදෙ දරුවත් එක්‌ක දරුවො හතර දෙනයි. අපි පදිංචිවෙලා හිටියෙ අනවසර ගේක. අනුරාධ.... ඒ කියන්නෙ මගෙ මහත්තයා කතරගම පූජා භූමියෙ පලතුරු විකුණල අපිව ජීවත් කළේ. කාලයක්‌ යනකොට අනුරාධ අපිට වෙනස්‌කම් කරන්න ගන්නව. හැමදාම බීල ඇවිත් මට දසවධ දෙන්න ගන්නව. ඔය අතරේ මට ක්‍ෂය රෝගය හැදෙනව. මං ගැන හොයල බලන්නෙ නැතුව මාව මැරෙන්න අරිනවා. ඔය අතරෙ තමයි අනුරාධ එයාගෙ මල්ලිගෙ නෝනවත් අපේ ගෙදරට ගේන්නෙ. එයාටත් දරුවෙක්‌ ඉන්නව. දැන් දරුවො පහයි. අනුරාධ එයාගෙ මල්ලිගේ පවුලත් එක්‌ක පවුල් කන්න පටන් ගන්නව. මමයි දරුවො හතර දෙනාටයි වෙන්නෙ ඒ අය මොනව හරි දුන්නොත් ඒ ටික කාල ජීවත් වෙන එක විතරයි. ඔහොම ටික දවසක්‌ යද්දි තමයි මාවයි දරුවො ටිකවයි ගෙයින් එළියට දැම්මෙ. එතකොට මට ක්‍ෂය රෝගය හැදිල හොඳටම අමාරුයි. ඒ පාර තමයි මම දරුවො හතරදෙනාත් අරගෙන ආපහු අක්‌ක ළඟට එන්නෙ."

එතැන් සිට කුමාරි හට ජීවිතය මහගිරිදඹක්‌ වී ඇත. තෙරක්‌ නැති ජීවිත මංතලාවේ අතරමං වන ඇය දරුවන් සිව්දෙනකු සමග සිය අක්‌කා වන දමයන්තිගෙ සරණ පතා නැවත බැද්දගානට පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය. එතැන් සිට මේ දක්‌වා ඔවුන්ට විඳින්නට වූ දුක්‌ ගැහැට පිළිබඳ මෙතැන් සිට විස්‌තර කියන්නෙ කුමාරිගේ අක්‌කා වන දමයන්ති විසින් ය.

"දරුවන් හතරදෙනකුත් එක්‌ක නංගි ආපහු මගේ ළඟට එනවා. මටත් දරුවො තුන්දෙනෙක්‌ ඉන්නව. අපි ජීවත් වෙන්නෙත් කුලී වැඩ කරල. ඒaත් නංගිවයි ඒ දරුවො හතරදෙනාවයි අහක දාන්න බෑනේ. අපිට කියල ඉන්න හිටින්න තැනක්‌ නැතත් මගෙ මහත්තය කියනව එයා කොහොම හරි දරුවන්ට කන්න දෙන්නම් නංගිවයි දරුවන්වයි අහක දාන්න එපා කියල. එදා ඉඳල ඒ අයත් හිටියෙ දුප්පත් අපේ ගෙදර....... නංගිගෙ පුංචිම දරුවට මාස 07 යි ඒ දරුවගෙ උප්පැන්නෙ හදල තිබුණේ නෑ.

"ඔහොම ඉන්න අතරේ තමයි මධුෂා නෝනව අපිට මුණගැහෙන්නෙ. ඒ නෝන සහභාගි වුණ ආගමික උත්සවයකට අපිත් යනව. එතැනදී හැමෝම අපේ දිහා වපර ඇහෙන් බලද්දි නෝන ඇවිත් අපෙන් විස්‌තර ඇහුව. ඊට පස්‌සෙ නංගි අතේ හිටිය මාසහතක්‌ වයස දුව වඩාගෙන නෝන එ තැන හිටිය අයගෙන් ඇහුව "මේ දරුව මගේ නම් ඔයගොල්ල වපර ඇහෙන් බලන්නෙ නෑ නේද?" කියල.

"පස්‌සෙ නෝන අපිව පැත්තකට කතා කරල කිව්ව එයාගෙන් ඕනම උදව්වක්‌ ඉල්ලන්න කරල දෙන්නම් කියල. එදා එහෙම කියල ගිය නෝන දවස්‌ දෙකකට පස්‌සෙ කතා කළා. අපෙන් ආපහු ඇහුව මොනවද ඕන කියල. අපි කිව්ව අපට මදුරු දැලක්‌ අරන් දෙන්න කියල. ඊටපස්‌සෙ ඒ නෝන අපිව බලන්න ගෙදරට ආව. ඒ ඇවිත් අපේ දුක දැකල මදුරුදැලක්‌, කොට්‌ට මෙට්‌ට ගෙනැත් දුන්න. දරුවන්ට දත් මදින්න දත් බෙහෙත්, බුරුසු පවා ගෙනත් දුන්න. දරුවන්ව පිරිසිදුව තියාගන්න කියල වතුර ටික කෑම ටික අරන් දුන්න. ඉන් පස්‌සෙ අපේ හැම දෙයක්‌ම හොයල බැලුව. සතියකට දෙපාරක්‌ විතර ඇවිත් අපේ දුක සැප බැලුව. එදා ඉඳල නෝන තමයි අපිට අලුත් ජීවිතයක්‌ හොයල දෙන්න ඉදිරිපත් වුණේ."

එතැන් සිට රංගන ශිල්පිනී මධුෂා රාමසිංහ එම දරුවන් හත්දෙනාහට දෙවැනි මවක්‌ වී ඇත. ඇගේ දින චරියාවේ එක්‌ අංගයක්‌ වී ඇත්තේ එම දරුවන්ගේ උවමනා එපාකම් සොයා බැලීම සහ ඒ සඳහා මැදිහත්වීමය. එම මැදිහත්වීම සම්බන්ධව අප කළ විමසුමකට පිළිතුරු දුන් රංගන ශිල්පිනී, ලක්‌මවට හඬක්‌ සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ.

"මං මේ අයව මුණගැහෙන කොට ඉතාමත් අසරණ තත්ත්වයක හිටියේ. දරුවො හතරදෙනකුට තාත්ත නෑ. ගෙයක්‌ දොරක්‌ නෑ. අක්‌කයි නංගියි ඒ අයගෙ දරුවො හත්දෙනාවයි ගොඩනඟන්න ඕන කියන සිතුවිල්ලත් එක්‌ක තමයි මම මේ අයට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ. මේ අයගෙ දුප්පත්කමයි හරිහමන් අධ්‍යාපනයක්‌a නැති කමයි හන්ද සමාජයෙන් හරියට හිරිහැර සිද්ධවෙලා තිබුණ. සමහර දරුවන්ට උප්පැන්න නෑ. මේ අයගෙ මූලික මිනිස්‌ අයිතිවාසිකම් පවා කඩවෙලා තිබුණේ. මම නීති ආධාර කොමිසම හමුවට මේ අයව ගෙනියනව. එතැනින් වෙන්න ඕන සේවය මේ අයට ලබා දෙනව. එහෙම ඉන්න අතරේ පහුගිය ජුලි මාසෙ තමයි මේ අයගේ දරුවන් හයදෙනෙක්‌ම පරිවාසෙට අරන් තියෙන්නෙ. එදා ඉඳල මේ අම්මල ඉන්නෙ ඇඬූ ක\qළින්. මම හොඳින්ම දන්න දෙයක්‌ තමයි මේ අය දරුවන්ව විකුණගෙන කෑවෙ නැති විත්තිය. එදා ඉඳල මේ අයට තමන්ගෙ දරුවන් දකින්නවත් බැරිවෙලා තියෙනව. මම මේ සම්බන්ධව වග කිවයුතු නිලධාරීන්ගෙන් අහනව දුප්පත්කම මවුවත්කමට බාධාවක්‌ වෙන්නෙ කොහොමද කියල..."

නැවතත් කතාවේ ඉතිරිය ඇසිය යුත්තේ සිය දරුවන්ව තමන්ගෙන් උදුරාගත් මවුවරුන් දෙදෙනාගෙන්ය. දින දෙක තුන නොකා නොබී තම දරුවන්ට කන්න දුන් ආකාරයත් තම දරුවන් හදා වඩා ගැනීම පිණිස කාරුණික මිනිසුන් අවස්‌ථා කීපයකදී ඔවුන්ගෙන් ඉල්ලා ඇතත් එසේ නොකොට සෙනෙහසින් දරුවන් රැකගත් ආකාරයත් අවසානයේදී පැටව් ටික තමන්ගෙන් වෙන් කළ අයුරුත් පිළිබඳ රිදුම් උපදවන සුළු වදන් ඔවුන්ගේ කටහඬෙහි විය.

"නංගිගේ පොඩි දරුවට මාස හතයි. දරුවට උප්පැන්නයක්‌ තිබුණෙ නෑ. දරුව ඉපදුනේ කතරගම හින්ද ඒක හදාගන්න තිබුණෙ කතරගමින්. පසුගිය ජුලි මාසෙ දවසක්‌ නංගිගෙ මහත්තය කිව්ව දරුවට උප්පැන්නෙ හදල දෙන්නම් කතරගමට එන්න කියල. ඒ පාර මමයි නංගියි මගෙ මහත්තයයි දරුවො හත්දෙනයි කතරගම යනව. අපි ගියේ නංගි කසාද බැඳල හිටපු අනුරාධගේ නිවසට. ඒ වෙනකොට එයාගෙ මල්ලිගේ නොනත් එක්‌ක තමයි අනුරාධ ඒ ගෙදර හිටියෙ. එහෙම ගිහින් දවස්‌ දෙකයි හිටියෙ. ඒ දෙන්න අපිට ගහල එලෙව්ව. අපිට කරන්න දෙයක්‌ නැති තැන අපි කතරගම අංගනයට ආව. ඒ ඇවිත් මැණිග් ගඟෙන් නාල රෙදි වේලෙන්න දාල ඉන්න අතරේ තමයි පරිවාසෙ මහත්වරු ඇවිත් අපේ දරුවන්ව ඒ අයගෙ භාරයට ගත්තෙ.

"ඒ වෙනකොට මාස හතේ දරුව හිටියේ නංගිගෙ අතේ. නංගිගෙ අනිත් දරුවො තුන් දෙනයි මගේ දරුවෝ තුන්දෙනයි සෙල්ලම් කර කර හිටිය. එහෙම ඉන්න අතරෙ නංගිගේ ලොකු දුව පලතුරු වට්‌ටියක්‌ අරන් යන කෙනෙක්‌ගෙන් පලතුරු කෑල්ලක්‌ ඉල්ලගන්න ගිහින් තියෙනව. ඒ අවට හිටිය පරිවාසෙ මහත්වරු හිතල තියෙන්නේ දුව හිඟා කනව කියල. එක පාරටම අපි ගාවට ආව ඒ මහත්වරු දරුවො හය දෙනාවම ඒ ගොල්ලන්ගෙ භාරයට ගත්ත. අපි වැඳල කිව්ව දරුව හිඟා කෑවෙ නෑ කියල. ඒ මහත්වරු ඒකට කන්දුන්නෙ නෑ. අපිව වාහනයක පටවගෙන එදාම තංගල්ලට ගෙනාව."

ඒ ගෙනැත් ජුලි 30 වැනිදා නංගිව උසාවියට ඉදිරිපත් කළා.. නංගිගේ පුංචිම දරුවට මාස හතයි කියල. ඒ දරුවව විතරක්‌ නංගිට දුන්න. මගේ දරුවො තුන්දෙනයි නංගිගෙ දරුවෝ තුන් දෙනයි හය දෙනාවම පරිවාසෙට භාර දුන්න. අපි වැඳල කිව්ව" මහත්තයෝ.... අපි හිඟා කෑවෙ නෑ... දරුවො ටික අපට දෙන්න කියල" ඒත්........ ඒ මහත්වරු අපි කියපු දේවල් පිළිගත්තෙ නෑ. ඊට පස්‌සෙ නංගිව රිමාන්ඩ් කළා. දවස්‌ හතරකට පස්‌සෙ තමයි එයාට ඇප දුන්නෙ. මේ පුංචි දරුපැටියගෙ කන විදල දාපු දරාබු දෙක උකස්‌ කරල තමයි එදා අපි වෙනුවෙන් පෙනී හිටිය නීතිඥ මහත්තයට සල්ලි දුන්නෙ. ඊට පස්‌සෙ ආපහු අගෝස්‌තු අට වැනිදා උසාවියෙ පෙනී ඉන්න කියල නියෝග කළා. එහෙම ඉඳල දහවැනිදා තමයි ආපහු අපි මේ දැන් ඉන්න බැද්දගානෙ ගෙදරට ආවේ. ඒත් දරුවො හත් දෙනෙක්‌ අරන් උප්පැන්නයක්‌ හදන්න කතරගම ගිය අපි තුන් දෙනා ආපහු ආවේ අපේ දරුවො හයදෙනෙක්‌ව එහේ තියල මහත්තයෝ......... එදායින් පස්‌සෙ අද වෙනකම් ඒ අහිංසකයන්ගෙ මූණක්‌වත් බලන්න යන්නවත් අපිට බැරි වුණා.

අපේ දරුවො හයදෙනාගෙන් හතරදෙනෙක්‌ ඉස්‌කෝලෙ යනව. අපි දහදුක්‌ වින්දෙ උන්ට උගන්වන්න. ඒ හැම දේම අපේ දුප්පත්කම ඉදිරියෙ පරාද උනා මහත්තයෝ. අපි කිව්ව මේ දරුවො හයදෙනාගෙන් හතරදෙනෙක්‌ ඉස්‌කෝලෙ යනව කියල. ඒ පාර මහත්වරු කිව්ව එහෙනම් ඉස්‌කෝලෙන් ලියුමක්‌ ගේන්න කියල. ඒ බව ඇවිත් ඉස්‌කෝලෙට කිව්වහම කියනව ලියුමක්‌ දෙන්න නම් පරිවාසෙන් ලියුමක්‌ ගේන්න කියල අපි හරිහමන් අධ්‍යාපනයක්‌ ඇති අය නෙවෙයි. අන්තිමට අපට වුණේa අපේ අවනඩුව උඩ ඉන්න දෙවියන්ට කියන්න විතරයි."

පස්‌සෙ දවසක අපිව බලන්න මධුෂා නෝනා අපේ ගෙදරට එනව. ඒ එද්දි දරුවො ටික නෑ. නෝන ඇහුව "කෝ දරුවො" කියල. ඊට පස්‌සෙ මධුෂ නෝනට අපි විස්‌තරේ කිව්ව. ඊට පස්‌සේ නෝන කතරගම පොලිසියට කතා කළා. නෝන පොලිසියෙ මහත්වරුන්ට කිව්ව මේ අය හිඟා කෑව කට්‌ටියක්‌ නොවෙයි කියල ඒ පාර පොලිසියෙන් කියල තියෙනව "එහෙම කියන්නෙ ඒ අයනෙ" ඒක උසාවියෙන් බේර ගන්න කියල." පස්‌සෙ අපිට ආරංචි වුණා. අපේ දූල හතරදෙනා හික්‌කඩුවෙ සිල්වියා අභිවෘද්ධි මධ්‍යස්‌ථානයේත්, පුතාල දෙන්න බණ්‌ඩාරවෙල කැප්පෙටිපොල ළමා නිවාසයෙත් රඳවල ඉන්නව කියල. දූල හතර දෙනාගෙන් එක්‌ කෙනෙක්‌ වයස අවුරුදු 15 යි. අනිත් දුවට 7 යි. තුන්වැනියට අවුරුදු 06 යි. බාලයට අවුරුදු 3 1/2 යි. පුතාල දෙන්නගෙන් එක්‌කෙනකුට අවුරුදු 12 යි. අනෙක්‌ එක්‌ කෙනාට අවුරුදු 07 යි. ආපහු නඩුව තියෙන්නෙ. ලබන ඔක්‌තෝබර් මාසෙ. අපි නොකා නොබී බලන් ඉන්නව මහත්තයො එදාටවත් අපේ දරුවන් හයදෙනා වෙනුවෙන් සාධාරණය ඉටුවෙයි කියල."

ඉහත සඳහන් කරන ලද්දේ දරුවන් අහිමි වූ මවුවරුන් දෙදෙනා අපත් සමග පවසා සිටි කතාවය. මේ වන විට ඉහත සිදුවීම නීතිය හමුවට පමුණුවා තිබෙන බැවින්a ඉදිරියේදී නීතිය විසින් යුක්‌තිය පසිඳලනු ඇත. මේ වනවිටත් කොතැනක හෝ සිදුවූ වරදක්‌ විසින් වයස අවුරුදු 15 න් පහළ දරුවන් හයදෙනකුට නන්නාඳුනන තැනක වෙන්වෙන්ව ජීවත් වීමට සිදුවීමත් උන් අහිමිවීමේ වේදනාව අම්මාවරුන් දෙදෙනකුට විඳින්නට වීමත් තුළ ඇත්තේ උපන් බිම තුළ වන නිවැරැදි කළ නොහැකි වරදක්‌ද?. නොඑසේ නම් වෙනත් කරුණක්‌ දැයි යන්න සැකහැර දැනගත හැකි වන්නේ නුදුරේදී නීතිය විසින් ලබාදෙන නිගමනයන්ට අනුවය.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »