අපට අහිමි වූ පාරම්පරික ගොවිතැන

2017-11-28 10:53:00       39
feature-top
මෙරට පාරම්පරික ගොවිතැනට වසර දහස් ගණනාවක ඉතිහාසයක් ඇත. එය ගොවිතැනක්මෙන්ම ගොවි සංස්කෘතියක් ද විය. මෙම පාරම්පරික ගොවිතැන් පද්ධතිය නියමාකාරව අවබෝධ කර ගැනීමට නම් එය අනුගමනය කළ යම් යම් මූලධර්ම තේරුම් ගැනීම , ඒවා විශ්ලේෂණාත්මකව බැලීම ප‍්‍රයෝජනවත් විය හැක.
මෑත කාලයේ බොහෝ දෙනෙකු කතාකරන ”පාරිසරික ගොවිතැන” ,”තිරසර ගොවිතැන” , ”ප‍්‍රති උත්පාදනගොවිතැන” ආදී නම් වලින් හඳුන්වන ගෙවිතැන් ක‍්‍රම අනුගමනය කරන්නේද එම පාරම්පරික ගොවිතැනේ යම් යම් අංග ලක්ෂණයන්ය. බොහෝ විද්වතුන් වර්තමානයේ විවිධ නම් වලින් හඳුන්වන ඉහත කී ගොවිතැන් ක‍්‍රම පාරම්පරික ගොවිතැනේ සහ ස්වාභාවික පරිසර පද්ධතිය වල මූලධර්ම වල සංයෝජනයක් , මිශ‍්‍රණයක් හෝ සංකලනයක් ලෙස හඳුනාගෙන ඇත.
1868 නාවලපිටිය ලූල්කඳුර වත්තේ පළමු තේ පැළය සිටුවීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ජනතාවට එතෙක් උරුමව තිබූ පාරම්පරික ගොවිතැනට මුල් වරට බලපෑමක් ඇති කළේය. එතෙක් තිබූ ස්වයංපෝෂිත ආර්ථික සංස්කෘතිය වෙනුවට තනි බෝග වගාව හා අපනයන කෘෂිකර්මයට මඟ පෑදුනි. අපනයන බෝග වගා කළ සීමිත ප‍්‍රදේශයක මෙම තත්ත්වය දක්නට තිබුනත් 1960 ගණන් අවසානයේ පමණ හඳුන්වා දුන් ”හරිත විප්ලව” තාක්ෂණය හා එම තාක්ෂණ කට්ටලයත් , 1977 න් පසුව කැඳවාගත් විවෘත ආර්ථිකයත් , අපේ පාරම්පරික ගොවිතැන සමස්ත වශයෙන් මුලිනුපුටාදැමීමට සමත් විය. පාරම්පරික ගොවිතැන ප‍්‍රාථමික , ඵලදායි නොවන දෙයක් ලෙස, එම භාවිතයන්දුර්භික්‍ෂයකට ඇද දමන ගොවිතැන් ක‍්‍රමයක් බවත් හඳුන්වා දීමට ඔවුහු සමත් වූහ. 
මේ අනුව ගොවිතැන යාන්තී‍්‍රකරණය හා රසායනිකරණය වූ අතර , විදේශීය යෙදවුම් මත යැපුනු පරපුටු ගොවිතැනනක් පාරම්පරික ගොවිතැනට ආදේශ විය.
පාරම්පරික ගොවිතැනේ ලක්‍ෂණ මොනවා ද?

මෙම ගොවිතැන සඳහා බාහිර යෙදවුම් කිසිවක් යෙදුවේ නැත.
ගොවිතැන සඳහා ප‍්‍රාදේශීයව ලබා ගත්, ජෛවීයව වියෝජනය වන සම්පත් භාවිතා කළහ. සමහරවිට තම ගොවි බිමේ නොමැති වුවොත්, අඩු වශයෙන් තම අසල්වැසියාගෙන් එම සම්පත් ලබා ගත්තේය. සමහරවිට බීජ වැනි යෙදවුමක් විය හැක. ගොම පොහොර හෝ කොළ පොහොර තම ගොවි බිමේම විය.
පෝෂක ද්‍රව්‍ය ප‍්‍රතිචකී‍්‍රකරණයතුලින් ගොවිතැනට අවශ්‍ය පාංශු සාපල්‍යතාවයරැුක ගත්තේය. වනාන්තරයක සිදුවන ආකාරයටම පදාර්ථ දිරාපත් වීම හා විවිධ පාංශු ස්ථර වලදී නැවත ද වරක් මුලෙන් ඒවා අවශෝෂණය කර, වැඩෙන ශාකයට අවශ්‍ය පෝෂණය සපයා දෙන්නේය. මෙම මූලධර්මය හේන් ගොවිතැනේ දී හා කුඹුරු ගොවිතැනේ දී ද යොදා ගැනුනේපුරන් කාලය තුලිනි. ගොඩ ගොවිතැනේ දී කන්න කිහිපයක් වගා කර එම ඉඩම කැලෑවීමට නැතිනම් ” පුරන් ”වීමට ඉඩ හලේය. මෙම පුරන් කාලය තුළදී නැවතත් වනාන්තරය වැඞී වල් පැළෑටි යටපත් වී නැවතත් පසේ පෝෂණය වර්ධනය වේ. පුරන් කාලය දික් වන විට මෙහි රැඳෙන පෝෂක ප‍්‍රමාණ අධිකය. හේනක් කරන විට, වැවී ඇති ගස් වලඅතු කඳු බා, පඳුරුකපා මඳ ගින්නකින් ඒවා පිළිස්සීමෙන් බිම සකස් කර ගනී. බීජ ඉසින්නේ මේ පසටය. ඩුමේගුවේස් විද්‍යාඥයාට අනුව, මෙම ගිනි තැබීම නිසා ඇතිවන අළු, පසට එකතු වනවිට පස ක්‍ෂාරිය වේ. මෙම පරිසරය ස්වාභාවිකව වර්ධනය වන ක්‍ෂුද්‍ර ජීවින්ට හිතකරය, පහළ ස්ථර වල සිටින ක්‍ෂුද්‍ර ජීවිහු පස මතු පිටට පැමිණ ක‍්‍රියාකාරී වීමෙන් පසේ පෝෂණ තත්ත්වය ප‍්‍රවර්ධනය කරති. මෙය ස්වාභාවිකව සිදුවන ක‍්‍රියාවලියක් වන අතර, මිනිසා විසින් මෙවන් පරිසරයක බීජ ප‍්‍රරෝහනයට හා බෝග වර්ධනයට අවශ්‍ය සාධක ළඟා කර දෙයි. කුඹුරේ සිදුවන්නේ ද මෙම කාර්යයමය. අස්වැන්න නෙළීමෙන් පසු කුඹුර පුරන් වීමට ඉඩ හලේය. එහි විවිධ පැළ වර්ග වැඩිනි. නිදිකුම්බා , පිල , ලෙගුමිනෝසිකුලයේ රනිල ශාකද මෙහි වැඩුනි. පුරන් කාලයේ දී ගමේ හරකුන් සිය කෑම ලබා ගත්තේ කුඹුර උලා කෑමෙනි. මෙමඟින් ගව මූතා‍්‍ර සහ ගොම ද කුඹුරට එකතු විය. කුඹුරේ තැනින් තැන මීගස් ලොකුවට වැවී තිබුනි. ගෙඩි කෑමට එන වවුලන්ගේ මළපහද , එහි පත‍්‍ර දකුඹුරට එකතු විය. ඊළඟ කන්නය සඳහා සී සාන විට මේවා කුඹුරට එකතු විය. මේවා පොහොර වී පැළයට පෝෂණයලබා දුන්නේය. මෙම පුරන් කාලය පෝෂණ ද්‍රව්‍ය ප‍්‍රතිචකී‍්‍රකරණයට හොඳම නිදර්ශනයකි.

පාරම්පරික ගොවිතැනේ, විශේෂයෙන් ගොඩගොවිතැනේ දී බිම සකස් කිරීමක් සිදු නොවන තරම්ය. පිහිටි පොළොව ගොවිතැනට යොදා ගනී. බොහෝ විට වියළි කලාපයේ හා අතර මැදි කලාපයේ ගොවි බිම්වල මෙම ගොවිතැන සිදුවන විට, එම භූ විෂමතාවයට සරිලන ආකාරයට බෝග රටා ද තෝරාගනු ලැබීය. බිමේ උස ස්ථානවල,වියළීම ඉක්මන් නිසා ඒ ස්ථානවල වට්ටක්කා, බඩ ඉරිඟු , ඉදල් ඉරිඟුද වගා කළ අතර තෙතමනය ටිකක් වැඩි බෑවුමේ මිරිස් , මුං , උඳුවගා කළහ. බෑවුමේ තවත් පහළට වනවිට තෙතමනය වැඩි කාලයක් පවතින ස්ථානවල කෙටි කාලීන වී වර්ග වගා කෙරුණි. මේ අනුව එකම භූමියේ තෙතමන රෙජිමය අනුව වගාවන් ද බෝග රටාවද වෙනස් විය.
සෑම විටමබෝග වගා කළේ මිශ‍්‍රවය. එය ගොවියාගේම අත්දැකීමකි. අබහාකුරක්කන් එකට වැපිරීය. හුඹස් ඇතිතැන්වල බඩ ඉරිඟුද, වට්ටක්කා, ද තවත් පහළට වන විටවම්බටු , මිරිස් , බණ්ඩක්කා ,මුං , උඳු එකම බිමේම වගා කෙරුනි. මේ අනුව විශාල බෝග විවිධත්වයක් එම වගා බිම්වල දක්නට තිබුණි. වර්තමානයේ මෙන් මුළු වගා බිම අතුරා ගෙන එක බෝගයක් , තනි බෝගයක් වගා කළේ නැත. මිශ‍්‍ර වගාව අවදානමට හොදම උපක‍්‍රමයකි. ලෙඩ රෝග අවම වීම , නියඟය හෝ ගං වතුරෙන් වන හානි අවම වීම මෙහි ඇති ලක්ෂණයන්ය. කුඹුර ද මෙසේම විය. ගොයම ප‍්‍රධාන වූවත් ලූනුවිල , කංකුංද, තවත් තැනක පං , ගල්ලැහැද වගා විය. කුඹුරේ වෙල් මාළු , කාවයියන් , මගුරන් , වැලි ගොව්වන් ඕනෑ තරම් සිටියහ. මැඩි වර්ග ද ඒ අතර සිටියහ , මෙය සමස්ත ජෛව විවිධත්වයම නියෝජනය කළේය. ගෙවත්ත නිර්මාණය කළේද පාරම්පරික ගොවියාය. මෙය ප‍්‍රදේශයට ගැලපෙන ලෙස සකස් කර ගත් බව පෙනේ. ස්ථරායනයක්සහිත ශාක වර්ග මෙහි වගා කර තිබුණි. එළවළු ද වගා විය. මෙයද ජෛව විවිධත්වයෙන් අනූන විය.

ගොවිතැනට උපකාර කර ගැනීමට, පරිභෝජනයට හා සංචාරක කටයුතු සඳහා සතුන් ගෘහස්ථ කළේ ද , තෝරා ගැනීම , හා මේච්චල් කර ගැනීම කළේ ද අපේ මුතුන් මිත්තන් විසිනි. අද තිබෙන සියලූම බෝග හා අද සිටින ගොවිපළ සතුන් නිර්මාණය කළේ ඔවුන්ය. සිය පරිශ‍්‍රය තුලමය.රසය, ඖෂධීය ගුණය , දේශගුණ වෙනස් වීම්වලට හෝ පලිබෝධ වසංගත වලට ඔරොත්තු දෙන ලෙස ජාන විවිධත්වයක් පරිණාමනය කළේ ද මෙම පාරම්පරික ගොවියා සිය පරිශ‍්‍රය , ගොවිපළ තුල දී මය. විවිධ බෝග මිශ‍්‍රණ ද මෙලෙස ගොවිතැනට අදාළ කර ගනු ලැබීය.
සමස්ත භූමිය පුරාම වගා කරනවා වෙනුවට වගා නොකරන බිම්, පොදු අයිතීන් ලෙස සලකා ඉතිරි කිරීම ද පාරම්පරික ගොවිතැනේ ලක්ෂණයක් විය. මෙම භූමි නිර්මාණයන් මුහුදක ඇති තනි දුපත් ලෙස හඳුනාගත හැක. මෙම භූමි නිර්මාණ, විවිධ නම් වලින් හඳුන්වන අතර , ඒවා ස්ථානයේ ස්වභාවය අනුව වෙනස් වේ. ඕවිට , බඩවැට , දෙනිය , පිල්ලෑව , ලන්ද , ගම් කැලෑව මෙවැනි භූමි නිර්මාණයන්ය ඒවායේ සෑදෙන වෘක්‍ෂලතා වලද වෙනස්කම් දැකිය හැක. තෙතමනයවැඩි ඕවිටහෝ දෙනි වල විවිධ පං වර්ග ගල්ලැහැ වැනි ශාක වැඬේ. උස්බිම්වල සෑදෙන්නේ මධ්‍ය ශාකය.විශේෂයෙන් වියළි කලාපයේ කුඩා වැව් වල බැම්මට පහළින් පිහිටා ඇත්තේ පහළරක්‍ෂිතයයි. එය කට්ට කඩුව නම් වේ. වැවට ඉහළින් ඇත්තේ ගස් ගොම්මනය. දෙපැත්තේ ශාකවල වෙනස්කම් තිබේ. මේවාට බාධා නොකර එලෙසම පවත්වා ගැනීමෙනි විශේෂයෙන් වැවේ ආරක්ෂාව මෙමඟින් ඇතිකරයි. මෙලෙස විවිධ භූමි නිර්මාණ එලෙසම ඉතිරි කර ඇත්තේ පරාගකාරයින්ට සහ විලෝපිකයින් හෝ පරපෝෂිතයින් බෝ වීමට වාසස්ථාන වන බැවිනි.
ගොවිතැන හා බැඳුනු සිරිත් විරිත් හා යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ද පාරම්පරික ගොවියා රැකගත්තේය. ස්වභාවධර්මය , ඉර , හඳ මෙනෙහි කරන ගොවියා සමස්ත ගොවිතැනම ගොවි සංස්කෘතියක් බවට පත් කර ගත්තේය.ඔවුන් සතුවූූ පාරම්පරික ඥානය ගොවිතැන හා බැඳුනි.
පාරම්පරික ගොවියන් ගොවිතැනේ සියළුම අංග, ක‍්‍රියාකාරකම් යම් පාලනයකට ගෙන තිබුනි. සමස්ත සම්පත් පරිහරණය , ජලය , භූමිය , වැව රැකගැනීම ඔවුන් සතුවිය. බීජ , බෝග නිෂ්පාදනය , හුවමාරුව ඔවුන්ගේම විය. වගා කරන්නේ කවදා ද වගාව සඳහා ජලය ලබා දෙන්නේ කවදා ද යන්න තීරණය කළේ දඔවුන්මය. කැලෑව ඔවුන් අරපරිස්සමින් පාවිච්චිකළේ තවත් පරම්පරාවක්ගැන සිතමිනි. මුළු මහත් ග‍්‍රාමයම ගැමියාට නතුවිය. එය කුඩා රාජ්‍යයක් විය. අවාසනාවකට මෙන් අද වන විට ගොවිතැන වාණිජ අරමුණු වලට යටවී ඇති නිසා ගොවිතැන පරිසර පද්ධතියක් ලෙස සලකන්නේ නැත. එහි තිබූ අංග ලක්‍ෂණ, සංරචක, තනි බෝග වගා හා වැඩිදියුණු කළ බීජ වලින් අවලංගු කර තිබේ. එයට උරුම වූ සංස්කෘතියත් , සිරිත් විරිත් ද අහිමි වී ඇත.

courtesy : monlar.lk


More News »