කොහොඹා යකුම හෙවත් කොහොඹා යක්‌ කංකාරිය

2017-12-07 11:00:00       20
feature-top
ශ්‍රී ලංකාවේ උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් ශාන්තිකර්මයන් අතර ප්‍රධානතම ශාන්තිකර්මය වූ කොහොබා යක්‌ කංකාරිය මහනුවර, උඩුනුවර, යටිනුවර, සත් කෝරලය, සතර කෝරලය, දුම්බර, හාරිස්‌පත්තුව වැනි උඩරට ප්‍රදේශ ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන සංස්‌කෘතිකමය වටිනාකමක්‌ සහිත ශාන්තිකර්මයක්‌ ලෙස සැලකිය හැකිය.

ලංකාවේ ඉපැරණි චාරිත්‍ර පූජාවක්‌ වන කොහොඹා යක්‌ කංකාරිය දෙවියන්ට පූජෝපහාර දැක්‌වීමට පවත්වනු ලබන ශාන්තිකර්මයක්‌ ලෙස සැලකේ. කොහොඹා යක්‌ කන්කාරිය, කොහොඹා යකුම, කොහොඹා යක්‌කඩ යන නම් වලින් හඳුන්වන මෙම ශාන්ති කර්මය පඬුවස්‌ දෙව් රජුට වැලඳුණු රෝගයක්‌ සුවපත් කිරීම පිණිස මලේ රටෙන් පැමිණි මලේ රජු ඇතුළු පිරිස විසින් අනුරාධපුරයේ මහමෙව්නා උයනේ මණ්‌ඩපයක්‌ සාදවා මෙම ශාන්තිකර්මය කරවන ලද බව සඳහන් වේ. මෙම යාතුකර්මය සඳහා මධුරාපුරයෙන් බමුණන් කිහිපදෙනකු ද පැමිණ කළ ශාන්තිකර්මයෙන් පසු රජුගේ අසනීපය සුව වූ බව පැවසේ.

කොහොඹා යනු මෙම ශාන්තිකර්මයේදී පළමුවෙන්ම පුද ලබන දෙවියන් වන අතර කොහොඹා යක්‌ කංකාරිය පවත්වනු ලබන්නේ අලුත් කොහොඹා පරණ කොහොඹා සහ මහ කොහොඹා යන දෙවිවරුන් තුන් කට්‌ටුව ප්‍රධාන කොට ගෙන බණ්‌ඩාර දෙවිවරු හත් කට්‌ටුවත්, වැදි යකුන් දොළොස්‌ කට්‌ටුවත් කඩවර යක්‌කු දෙතිස්‌ කට්‌ටුවත් පිදුම් ලබයි.

ක්‍රි. ව. 1707 - 1739 අතර කාලයේ මහනුවර රජ කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට සෙත් පතා කොහොඹා යක්‌ කංකාරියක්‌ පවත්වා ඇති බව පොතපතවල සඳහන් වේ.

මෙම ශාන්තිකර්මය පැවැත් වීමේ මූලික පරමාර්ථය වනුයේ ධන, ධාන්‍ය, ගව මහිෂාදි භව භෝග සම්පත් වැඩිදියුණු කරගැනීම සහ පවතින උවදුරුවලින් ආරක්‍ෂාකර ගැනීඹ අද්‍රDශ්‍යමාන බලවේගයන් විසින් ඇතිකරනු ලබන්නේ යෑයි විශ්වාස කරනු ලබන රෝගාබාධ සහ වසංගත පිටුදැකීම රටකට, ප්‍රදේශයකට, ගමකට බලපවත්වන්නා වූ ව්‍යසනයකදී සෙත් ශාන්ති පතා මෙම ශාන්තිකර්ම පවත්වනු ලැබේ.

උඩරට ජනතාව අතර පවත්නා ඇදහිලි විශ්වාස මෙන්ම මෙම ප්‍රදේශවල පවත්නා නර්ථනාංග බොහොමයක්‌ම මෙම ශාන්තිකර්මය තුළ අන්තර්ගත වේ.

කොහොඹා යක්‌ කංකාරියට මුල් වූ කතා ප්‍රවෘත්තියට අනුව පන්සීHක්‌ පිරිස සමග ලක්‌දිවට ගොඩබට විජය ඇතුළු පිරිස ලංකාව පාලනය කළ යක්‌ෂ ගෝත්‍රිකයන් පලවාහැර බලය ලබාගැනීමට කටයුතු කළේය. බලය ලබාගැනීමට කළ සටනේදී යක්‍ෂ ගෝත්‍රික කාන්තාවක්‌ වූ කුවේණියගේ සහාය විජයට හිමි වීම නිසා ලක්‌දිව පාලනය විජය රජුට හිමි විය.

බලය ලබාගැනීමෙන් පසු විජය රජු කුවේණිය සරණපාවා ගත් අතර කුවේනියට දාව ජීවහත්ත, දිසාල නම් දරුවන් දෙදෙනකු උපන් බව පුරාවෘතයන් හි සඳහන් වේ.

පසුකාලීනව විජය රජු කුවේනිය පලවාහැර මදුරා පුරයෙන් ගෙන්වාගත් කුමාරියක්‌ සරණපාවා ගත් අතර මෙයින් කෝපයට පත් කුවේනිය දිවි වේශයක්‌ මවාගෙන විජය රජු මැරීමට කටයුතු කළේය.

විජය රජු ලංකාද්වීපයේ බුදු සසුන ආරක්‍ෂා කිරීමට පවරනු ලැබූවකු හෙයින් විජය රජුගේ ආරක්‍ෂාව සඳහා ශක්‍ර, බ්‍රහ්ම, මහේෂ්වර, කිහිරැලි උපුල්වන්, සමන්, බොක්‌සැල් යන දෙවිවරුන්ගේ බැල්ම ආරක්‍ෂාව විජය රජු කෙරේ යොමුව තිබූ බැවින් කුවේනියගේ අපේක්‍ෂාවන් ඉටුනොවීය.

තමා නෙරපා හැරීමේ පලිය වශයෙන් කුවේනිය විජය රජුට ශාප කළේය. අධිෂ්ඨාන හතරකින් එම ශාපය කළ බව සඳහන් වේ. පතිවෘතතා බලයත් දැහැමි බලයත්, අධිෂ්ඨාන බලයත්, මන්ත්‍ර බලයත් එක්‌කොට මෙම ශාපය කර ඇත.

කුවේනිය විසින් විජය රජුට කළ ශාපය විජය රජුගෙන් පසු රජ වූ පඬුවස්‌ දෙව් රජුට වැදී රෝගාතුර වූ බව පැවසේ. රජු සිහිනෙන් දිවි වෙසක්‌ දැක වියපත් වී රෝගාතුර වීම හේතුවෙන් ශාන්තිකර්ම රාශියක්‌ පවත්වා ඇත.

පඬුවස්‌ දෙව් රජුට වැදුනාවූ දිවි දොස්‌ නිසා හටගත් රෝගයට කළ එක්‌ ශාන්තිකර්මයක්‌ ලෙස කොහොඹා යක්‌ කංකාරිය හැඳින් වේ. කොහොඹා යක්‌ කංකාරියේ දිවි දොaෂය යනුවෙන් හඳුන්වනුයේ රජුට වැළඳුනා වූ මෙම දිවි දොaෂයයි.

ශ්‍රී ලංකාවේ ඉපැරණි සෙත් ශාන්ති ක්‍රමයක්‌ වන මෙහිදී යක්‌ වෙස්‌ මවා පෑමක්‌ නොවන අතර යන්ත්‍ර මන්ත්‍ර ජපකිරීමක්‌ ද නොකෙරේ. උඩරට නර්තන සම්ප්‍රදායට අයත් වස්‌ත්‍රාභරණයෙන් සැරසෙන යක්‌ දෙස්‌සන් එම සම්ප්‍රදායට අයත් ශීර්ෂ පළඳනාව පළ¹ නැටුම් ඉදිරිපත් කෙරේ. සම්ප්‍රදායානුකූල ක්‍රමයට වෙස්‌ ගන්නා යක්‌ දෙස්‌සන් (ඇදුරන්) පස්‌වරු 6.00 සිට පසුදා වන තෙක්‌ නර්තනාංග රැසකින් යුක්‌තව ශාන්තිකර්ම කරනු ලබයි.

මෙම ශාන්තිකර්මයේ දී ද සංවාදයේ යෙදෙන අතර උපහාස, ඇනුම්පද, හාස්‍ය රසයෙන් යුත් කතා ඉදිරිපත් කොට ප්‍රේක්‍ෂකයන්ට හා ආතුරයාට සිනහ උපද්දවා බිය සංකා දුරුකොට රෝගය සුවපත් කරයි.

මෙම ශාන්තිකර්මය කිරීමට ප්‍රථම සුදුසු බිමක්‌ තෝරාගෙන සුබ මොහොතින් කප් සිටුවීමක්‌ කෙරේ.

කංකාරිය පැවැත්වීමට නියමිත දිනට පෙර දිනයේ කංකාරි මඩුව සාදයි.

කංකාරියේ යක්‌කම් පහක්‌ රඟදක්‌වනු ලබති. ඌරා යක්‌කම, නාග යක්‌කම, වැදි යක්‌කම, දර්ශන යක්‌කම සහ සීතා යක්‌කම යනුවෙන් හැඳින් වෙයි.

මෙම ශාන්තිකර්මයට කතා පහක්‌ ද අන්තර්ගත වේ. සිංහවල්ලි කතාව, විඡේරාජ කතාව, පඬුවස්‌දෙවි කතාව, සීතාපති කතාව සහ මලය රාජකතාවයි. මෙයට අන්තර්ගත දාන පහක්‌ ද වේ. ඌරු දානය, දිවි දානය, පලවාල දානය, සුරභ (සුරබි) දානය සහ වැදි දානය යනුවෙන් හැඳින් වේ.

කොහොඹ යක්‌ කංකාරියේ පූජා රටාව අනුව

අගහස්‌ වෙන් කිරීම

ගොවිතැනෙන් ලැබෙන ප්‍රථම අස්‌වැන්න (අග්‍ර ශස්‍ය) කොටස දෙවියන් වෙනුවෙන් වෙන් කෙරේ. මෙම නිවසේ උස්‌ තැනක තබයි. දෙවියන් සඳහා වෙන් කිරීම අක්‌යාල වෙන් කිරීම යනුවෙන් උඩරට ප්‍රදේශවල හැඳින්වේ.

රුක්‌ පේ කිරීම

කංකාරියේ සියලුම අවශ්‍යතා සඳහා යොදා ගන්නා පොල්, පුවක්‌, කෙසෙල් ආදී ගස්‌ ඒ වෙනුවෙන් වෙන් කිරීම රුප් පේ කිරීම යනුවෙන් හඳුන්වයි. මෙම ගස්‌ වටා ගොක්‌ රැහැන් අඳිනු ලබයි.

කප සිටුවීම

තෙවසක්‌ ගතවීමට ප්‍රථම කංකාරිය කරන බවට දෙවියන්ට වන පොරොන්දුවක්‌ ලෙස කප සිටුවනු ලබයි.

මඩුව සෑදීම

රංග භූමියට අයත් මඩුව සාදනු ලබන්නේ නියමිත නැකතට අනුවයි. මඩුව සාදා කෙසෙල් පතුරු ගොක්‌ කොළ, වැනි ස්‌වභාවික ශාඛවලින් අලංකාර කරයි. රන්තැඹිලි පොල්, නවසි, කුන්දිරා, තල් ගෙඩි යන ගෙඩි වලින් මඩුව අලංකාර කරයි. කෙසෙල් කැන් පිටින් ගස්‌ කපා ගෙන විත් මඩුව වටේ තබයි.

මඩුව පේ කිරීම

දෙවියන් සඳහා මඩුව කැප කිරීම මඩුව පේ කිරීම නමින් හඳුන්වයි.

තොට පේ කිරීම

මුරුතැන් හෙවත් දේව දානයට අවශ්‍ය ජලය ලබා ගන්නා පැන් තොට දෙවියන් උදෙසා වෙන් කිරීම මෙයින් අදහස්‌ කෙරේ.

අතොරකරුවන් පේ කිරීම

අතෝරකරුවන් හෙවත් කොට්‌ටෝරුවන් වෙනුවෙන් හැඳින්වෙන්නේ යක්‌ දෙස්‌සන්ගේ සහායට ගන්නා පුද්ගලයන්ය. මේ අය ද චාරිත්‍රානුකූලව පේ කරනු ලබයි.

මල පේ කිරීම

දෙවියන් වෙනුවෙන් පේ කරන ලද පොල් ගසින් කපාගත් පොල් මල දේව කාර්ය සඳහා සකසා ගැනීම මල පේ කිරීම නම් වේ.

ආභරණ වැඩමවීම හෙවත් දෙවියන් වැඩමවීම

කංකාරියට සම්බන්ධ දෙවි දේවතාවුන්ගේ ආභරණ පින්තූර යහන්වලට වැඩමවීම කරයි.

මල් යහන් කවි/යහන් කවි කීම

මල් යහන්වලට වඩින ලෙස දෙවියන්ට කවියෙන් ආරාධනා කරයි.

දෙවියන්ගේ කවි කීම

සියලුම දෙවිවරුන් පිළිබඳ තොල්මුර කවි කියනු ලැබේ.

අඩුක්‌කු (මුරුතැන් පිසීම)

මඟුල් බෙර වාදන කරද්දී දෙවියන් සඳහා වෙන් කරනු ලැබූ අක්‌සාල දෙවියන්ගේ දානය සඳහා සූදානම් කෙරේ.

මුරුතැන් පිසීම, නානුමුර මංගල්‍යය (වැඩමවන ලද ආයුධ හා ආභරණ පේ කරන ලද තොට ළඟට ගොස්‌ දෙහි මිශ්‍ර ජලයෙන් සේදීම නානු මුරය නමින් හැඳින්වේ.) පුදා වැඩීම යාතිකාව, පේ බත් සෑදීම, අයිලේ යෑදීම කොල්මුර කවි කීම, කඩවර ගොටුව දීම දෙවියන්ගේ දානය, වැදියකුන් නැටීම යක්‌ ඇනුම, හත් පදය පල වැල දානය වනේ යක්‌කම, වංගෙඩි සමයම, වැදියක්‌ පොල, අයිලේ කට කැපීම යක්‌ දෙස්‌සන් පේ වීම, හඟල යෑදීම, ආභරණ වැඩමවීම පුදා වැඩීම, මහ යාතිකාව, දුනු මාලප්පුව කෝල් පාඩුව, ආවැන්දුම, වැදි යක්‌කම, මඩු පුරේ යාතිකා කිරීම, මල බැඳීම කප ගැලවීම නයා යක්‌කම, දර්ශන යක්‌කම, විඡේරාජ කතාව ඌරා යක්‌කම, සිතා යක්‌කම, ගබඩා කොල්ලය ගෙට ගිනිතැබීම, කොහොඹා හෑල්ල මුව විඳීම මාරාව යන අංගයන්ගෙන් පසුව මඟුල් බෙර වාදනය කර ආතුරයාට සෙත්පතා ශාන්තිකර්මය නිමා කරයි.



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »