කියන්න අවසර කලුතර තොරතුර

2017-12-11 11:02:00       548
feature-top
ශ්‍රී ලංකාව තුළ පළාත් නවයකි. දිස්‌ත්‍රික්‌ක 25 කි. ඉන් බස්‌නාහිර පළාතට අයත් කළුතර දිස්‌ත්‍රික්‌කය තුළ මැතිවරණ කොට්‌ඨාස 08 කි. කළුතර, පානදුර, බණ්‌ඩාරගම, හොරණ, බුලත්සිංහල, මතුගම, බේරුවල හා අගලවත්ත වේ.

ඈත අතීතයේ ත්‍රි සිංහලය රුහුණු, මායා, පිහිටි යනුවෙන් කොටස්‌ 03 කට බෙදී පැවතිණි. එම තුන් ඈඳුතු මෙම භූමි තලයේ මායා රටේ රාජ රාජ මහාමාත්‍යාදීන් මෙන්ම, විද්වතුන් නිත්‍ය වාසය ඇති කරගෙන දිවි ගෙවූ ප්‍රදේශයක්‌ මායා රටේ වීය. ඉතිහාසයේ අති විශාල පෙරළිකාර පිටුවක්‌ පෙරළු ඓතිහාසික නොමියන මතක සටහන් තුළින් ඔපමට්‌ටම් වූ, කළුතර දිස්‌ත්‍රික්‌කයේ පළාත් 05 කට බෙදී විසිර පවත්නා මෙම දිස්‌ත්‍රික්‌කයේ කළුතර තොටමුන, පානදුර තොටමුන, නැගෙනහිර පස්‌යොදුන් කෝරලය, බටහිර පස්‌යොදුන් කෝරලය හා රයිගම් කෝරලය යනුවෙන් බෙදී පැවතිණි.

මින් කළුතර වතගොත මෙම ලිපිය තුළ, කළුතරට සුවිශේෂ වූ පාරිසරික ස්‌ථානද, විශේෂිත සිදුවීම් ද, ජාත්‍යන්තර කීර්තියට පත් ගිහි, පැවිදි පඬිරුවනන්ද, තවත් දුර්ලභ ගණයේ කළුතරටම ආවේණික වූ කරුණු ගණනාවකින්ද සමන්විත වී ඇත. සුමන සමන් දෙවියන්ගේ අඩවියේ සමනල කඳු ශිඛරයෙන් ඇරඹෙන කළුගං කොමළිය, තුරුලතා, වන දුර්ග, ගිරි දුර්ග පසු කරමින් සුකුමාල ලාලිත්වයෙන් රත්නපුර දිස්‌ත්‍රික්‌කය හරහා ගමන් අරඹමින්, කළුතර දිස්‌ත්‍රික්‌කය වෙත සම්ප්‍රාප්ත වේ. එසේ සම්ප්‍රාප්ත වූ කළු ගං රැජිනිය මහ සයුර වැලඳ ගන්නේ කළුතර කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන නගරය වන, සුවහසක්‌ බොදු බැතිමතුන්ගේ පුද සත්කාර ලබන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයකින් පැවත එන කළුතර බෝධිරාජයාණන් පැදකුණු කරමිනි.

ශත වර්ෂ ගණනාවකට පෙර, අද අප සැරිසරන, දකින කළුතර හාත්පසින්ම වෙනස්‌ වූ ප්‍රදේශයකි. සිහින් අඩි පාරවල් ඔස්‌සේ ගමන් කළ හැකි වනාන්තරයකි. එහි අනේක වර්ග පලතුරු සපිරිය. නොයෙකුත් සතුන් ගැවසුණාහ. වනාන්තරය අසලින් බැස යන මහා ගංගාවකි.

නමුත් කළුතර සුන්දර ප්‍රදේශයක්‌ වුවද, මුල් ශතවර්ෂය තුළ ඉතිහාසයේ වැදගත් හෝ නොවැදගත් හෝ අයුරින් කළුතර නාමය සඳහන් සටහනක්‌ දක්‌නට නොලැබේ. එපමණක්‌ නොව එවැනිම සලකුණක්‌ වශයෙන් වර්තමානයේ දී මහා වැව් හෝ දාගැබ් හෝ පුරාණ විහාර හෝ ප්‍රදේශය තුළ දක්‌නට නොමැත. එසේම කළුතරට යාබද ප්‍රදේශවල එවැන්නක්‌ නොමැත. එහෙත් එක්‌ සාක්‍ෂියක්‌ තිබේ. මෙය පස්‌වැනි ශත වර්ෂයේදී පමණ ලියූ ශිලා ලේඛනයකි. කළුතරින් හොරණ පාරේ යන විට දියගම ගල්පාත ගම හමුවේ මේ ගමට ඓතිහාසික බැඳීමක්‌ ඇත. පෘතුගීසි, ලන්දේසි, ජාතීන් මෙරට පාලනය කරන කාලයේ ඇළ මාර්ගය හරහා භාණ්‌ඩ ප්‍රවාහනයද කර තිබේ. කැපූ ඇළ ලෙස අද හඳුන්වන්නේ එම ඇළයි. මෙම ඇළ හරහා කොළඹට බඩු ප්‍රවාහනයද, කර තිබෙන අතර, එම කැපූ ඇළ හැමිල්ටන් ඇළ හා සම්බන්ධ එකක්‌ බවද කියෑවේ.

වීදිය බණ්‌ඩාර කුමාරයා අලියා බැඳපු ස්‌ථානය අලියාකන්ද ලෙසද, එසේම අශ්වයන් බැඳපු තැන තෙප්පුව ලෙසත්, වර්තමානයේ පුන් සිරිපුර ලෙසත් හඳුන්වනු ඇත. එසේම වීදිය බණ්‌ඩාර කුමාරයා ආරක්‍ෂාව පිණිස සිට ඇත්තේ මෙම පැළුම්ගල ආසන්නයේය. මෙහිදී වීදිය බණ්‌ඩාර කුමාරයා දුටු සිහිනයක්‌ අනුව විභීෂණ දෙවියන් හට පුද පූජා පවත්වන්නට, මෙම පැලුම් ගල අසල ඇති පූජා ගල භාවිතා කර ඇත. කෙසේ වෙතත් පැලුම්ගලට උඩින් ගොඩගල මත සෙල් ලිපියක්‌ කොටා තිබේ. එම සෙල් ලිපිය පේළි සතරක සටහන් වූවකි. මෙහි සඳහන් සමහර අකුරු ගෙවී ගොස්‌ ඇති හෙයින්, නිශ්චිත අදහසක්‌ වටහා ගැනීම අසීරුය.

එයින් පැහැදිලිs ලෙසම ලාංකික මානවකයා වටකුරු අකුරු ලිවීමේ ආරම්භය මෙම ශිලා ලේඛනයේ දකින්නට ඇත. මෙම ශිලා ලිපියේ තොට හා කුඹුරු සමූහයක්‌ ගැන සඳහන්ව එයින් එම කාල පරිච්ඡේදය කළුගඟට ආශ්‍රිතව ගොවිතැන් කළ බවට ඉඟියක්‌ නැගේ. මෙම සෙල් ලිපිය ආරක්‍ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වහලයක්‌ ද ඉදිකර තිබේ.

ඉන් පසුව, නිශ්චිත ලෙසට කළුතර ගැන ඉතිහාසයේ සඳහන් වන්නේ එකොළොස්‌ වැනි ශත වර්ෂයේදීය. එය එක්‌තරා සුළු කාල පරිච්ඡේදයකදී, රුහුණු රට රාජ්‍යය කළ වික්‍රම පාණ්‌ඩ්‍ය රජ වේලාපුර (කළුතර) අගනුවර කරගෙන සිටියහ. රුහුණු රට පුරාණ රාජධානියකි. එම රාජධානිය මහවැලි ගඟෙහි සිට කළුගඟ දක්‌වාත්, මුහුදු තීරයේ සිට මධ්‍යම කඳුකරය දක්‌වාත්, පැතිර පැවතිණි. ද්‍රවිඩ ආක්‍රමණයකින් රජරට ආක්‍රමණය කිරීම හේතුකොට ගෙන වික්‍රම පාණ්‌ඩ්‍ය රජු පොළොන්නරුවේ සිට රුහුණු රටට පසුබැස වේලාපුර අගනුවර කොටගෙන රුහුණු රට රජ කළේය. මෙසේ තුන් අවුරුද්දක්‌ වික්‍රම පාණ්‌ඩ්‍ය රජු රුහුණු රට කළේය.

ශ්‍රී ලංකාවේ පුරාණ ඉතිහාසයේ වේලාපුර රාජකීය නගරයක්‌ වශයෙන් සඳහන් වන එකම අවස්‌ථාව මෙය වේ. පුරාණයේදී දකුණු කළුතර හැඳින්වූයේ වේලාපුර වශයෙනි. එමෙන්ම පැරැණි ඉතිහාසයේ නගරයක්‌ "පුර" යනුවෙන් අවසාන කෙරේ නම් එයින් රාජධානියක්‌ යන්න හැඟවේ. මීට කදිම උදාහරණය වන්නේ කැලණිපුර, ජයවර්ධනපුර, රයිගම්පුර සඳහන් කළ හැක.

සෑම විටම දකුණු කළුතර හා උතුරු කළුතර පාලනය වූයේ වෙනම රාජධානි දෙකක්‌ යටතේය. එබැවින් පාලකයින් දෙදෙනෙක්‌ වූහ. එමෙන්ම මෙම ප්‍රදේශ දෙක සතුරු ප්‍රදේශ දෙකක්‌ වූයේය.

රුහුණු රටේ මායිම, දකුණු කළුතර විය. එය හැඳින් වූයේ "වේලාපුර" යනුවෙනි. එහි අර්ථය අනුව "වේලා" යනු "මායිම්" යන්නද, පුරයන්න නගරයක්‌ ද වේ. ඒ අනුව වේලාපුර යනු මායිම් නගරය වශයෙන් අර්ථ දැක්‌විය හැක. අනෙක්‌ අතට උතුරු කළුතර හැඳින් වූයේ "දේශාතර" යනුවෙන් එමගින් සතුරු රාජ්‍යයක්‌" යන්න ගම්‍යවේ. මෙය වේලාපුර පාලකයින් උතුරු කළුතර සතුරු රාජ්‍යයක්‌ ලෙස හඳුන්වා ඇත.

සිංහල රාජධානියේ අගනුවර කෝට්‌ටේට ගෙන යැම හේතුවෙන් රුහුණු රට වෙනම රාජධානියක්‌ වීය. එමෙන්ම කළුතර පරිපාලන කටයුතු කළේ කෝට්‌ටේ රාජධානිය යටතේය. වර්ෂ 1521 දී සුප්‍රසිද්ධ විජයබා කොල්ලයෙන් පසුව කෝට්‌ටේ රාජධානිය කොටස්‌ තුනකට කැඩී බිඳී වෙන්වන ලදී. එනම් කෝට්‌ටේ, රයිගම් හා සීතාවක වශයෙනි. මෙම බෙදීම හේතුකොට ගෙන පස්‌දුන් කෝරලය, රයිගම යටතේ පාලනය විය. එහෙත් රජතුමාගේ අභාවයෙන් පසුව සීතාවක පාලනය යටතට පස්‌දුන් කෝරලය යළිත් පවත්වන ලදී. එහෙත් කළුගඟ තොටුපළ වර්තමානයේ පලාතොට කෝට්‌ටේ රජු යටතේම පාලනය විය.

සැබැවින්ම එකල තොටුපළක්‌ යනු ඉතා වැදගත් මර්මස්‌ථානයකි. ඒ අනුව වෙළෙන්දොa දෙස්‌, විදෙස්‌ රටවලින් වෙළෙ¹මේ ගිහින්, නැව් හා කුඩා බෝට්‌ටුවලින් තොටුපළ වෙත රෙදිපිළි හා වෙළෙඳ භාණ්‌ඩ ගෙනවිත් වෙළෙ¹ම් කටයුතුවල යෙදුණාහ. එමෙන්ම රජතුමා යටතේ කළුතරට අමතරව පානදුර, මග්ගොන, බේරුවල හා අළුත්ගම තොටුපළවල් තිබිණ. මේ සියලු තොටුපළවල් වලින් බදු අය කිරීම මගින් එකල ආදායම් ලැබුණි.

kaluthara1ලංකාව පළමු වරට වර්ෂ 1544 දී පෘතුගීසි, ආක්‍රමණය කිරීමෙන් පසු කළුතර නගරයේ විසූ පෘතුගීසින් ප්‍රධාන වශයෙන් පුවක්‌ වෙළෙ¹මේ යෙදුණාහ. වර්ෂ 1597 දී ධර්මපාල රජුගේ අභාවයෙන් පසු කළුතර ප්‍රදේශය මුළුමනින්ම පෘතුගීසීන්ට යටත්වන ලදී.

එසේ නමුත් පෘතුගීසිහු සිංහල පරිපාලන ක්‍රමය වෙනස්‌ නොකර පවත්වාගෙන යන ලදී. ඒ අනුව ඇඟ බදු සහ අනෙකුත් සම්ප්‍රදායික වූ බදු එකතු කරන ලදී.

ඉන් අනතුරුව 17 වැනි ශත වර්ෂයේදී කළුතරට පැමිණි ලන්දේසීහු පැරණි සශ්‍රීක කුරුඳු වගාව සම්බන්ධව දැඩි සැලකිල්ලක්‌ දැක්‌වීය. ඒ අනුව වර්ෂ 1655 ඔක්‌තෝබර් 14 වැනි දින පෘතුගීසීන්, ලන්දේසීන්ට යටත් වන ලදී. ඒ අනුව මුළුමනින්ම පෘතුගීසීන්ගේ පාලනයෙන් මිදී, ලන්දේසීන් පාලනයට කළුතර යටත් වූ පසු පළමු වරට කළුතර - කොළඹ මහා මාර්ගය තැනීමට පියවර ගත්හ. එසේම 18 වැනි සියවස වන විට කළුතර ජනාවාස බලකොටුවක්‌ද, කළුගඟ හරහා ගමන් කළ හැකි පාලමක්‌ද, (drawbridge) තැනීය. බලකොටුවට පිටත භූමි භාගයේ සුසාන භූමියක්‌ වූ අතර, එය පසුව කළුතර බස්‌ නැවතුම්පළ විය. නමුත් අද ලන්දේසී පල්ලියත්, ඔවුන්ගේ සුසාන භූමියේ සලකුණු දක්‌නට නොමැත. මෙහිදී ඔවුහු කළුතර දිස්‌ත්‍රික්‌කය තුළ සරුසාර ලෙස කුරුඳු වගාවට අමතරව, කෝපි වගාවක්‌ද කරන ලදී. ඊට අමතරව ගම්මිරිස්‌, කරාබුනැටි, එනසහල්, සාදික්‌කා, පුවක්‌ වගා කෙරිණි. එසේම උක්‌ වගාව කළ ඔවුහු එම උක්‌වලින් "රම්" නමැති බීම වර්ගය පෙරන ලදී. එදා ලන්දේසීන් හඳුන්වා දුන් පරිපාලන සැලැස්‌මක්‌ හා අධිකරණ නීති මාලාවක්‌ ලංකාවට හඳුන්වා දුන්හ. එම රෝම ලන්දේසී නීති අදටත් භාවිත කෙරේ. එසේම මෙම කාලය තුළ ලන්දේසීහු මාර්ග දියුණු කිරීමට පියවර ගැනීමයි. ඒ අනුව ඔවුහු ඇළ මාර්ග ඔස්‌සේ ප්‍රවාහන පද්ධතිය නිර්මාණය කරමින් ඒවා වෙළෙඳ ද්‍රව්‍ය ප්‍රවාහනයට මුළුමනින්ම යොදා ගැනිණි. ඒ අනුව උතුරු කළුතරින් ආරම්භ වූ පාරු ගමන් සේවය අවසන් වූයේ පලාතොට තොටුපළෙනි.

මෙසේම ලන්දේසීහු කළු ගඟ හා බෙන්තර ගඟ සම්බන්ධ කෙරුණු ඇළ මාර්ගයක්‌ තනා, සියලු වෙළෙඳ භාණ්‌ඩ මෙම ඇළ මාර්ගය ඔස්‌සේ බේරුවලට ගෙන ගොස්‌ කොළඹ වරායට ගෙනයනු ලැබූහ.

මෙම විදේශික ආක්‍රමණය අවසාන කාල පරිච්ඡේදය අනුව වර්ෂ 1796 දී ලංකාවට ගොඩබැස්‌ස, ඉංග්‍රීසි ජාතිකයන් වර්ෂ 1815 වන විට මුළු දිවයිනම යටත්කර ගත්හ. එතැන් සිට අවුරුදු 152 ක්‌ ඉංග්‍රීසි ජාතිකයන් මෙම රට පාලනය කරමින් ලන්දේසීන් විසින් හඳුන්වා දුන් නීති, රීති උපයෝගී කරගෙන, වඩාත් ක්‍රමවත් වූ අධිකරණ පද්ධතියක්‌ ද පරිපාලන පද්ධතියක්‌ද ස්‌ථාපිත කරන ලදී. මෙහිදී ක්‍රිස්‌තියානි ආගම පැතිරවීම හා සරුසාර භූමියක්‌ වූ ලංකාව ඔවුන්ගේ මවු රටට අවශ්‍ය කරන්නා වූ සම්පත් ලබා ගැනීමේ සරුසාර භූමියක්‌ වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රයෝජනයට ගන්නා ලදී.

මේ කාල වකවානුවේ කළුතර (කළුතොට) දකුණු මුහුදු තීරයේ පහළම දිහාවට විහිදී පැවතුණු අතර, සරුසාර පසින් වී අස්‌වැන්නට අමතරව, මැන්ගුස්‌ වගාව පොල් ඵලදාව විශාල වශයෙන් පැවතුණු අතර, අරක්‌කු පෙරීම, ලණු ඇඹරීම, හකුරු නිෂ්පාදනය ද කරන ලදී. එසේම කළුතර කොටුපවුර තුළ දිසාපතිගේ නිවහන ද විය. කළු ගඟ හරහා ගමන් කිරීමට තිබූ පාරු සේවයට අමතරව පයින් ගමන් කරන්නන් සඳහා වැලි තලාවක්‌ ස්‌වාභාවිකව පිහිටා තිබුණි. නමුත් යුරෝපීයන් හා ප්‍රභූවරුන් අශ්වයින් මත හා අශ්ව කරත්ත මගින් ගඟ තරණය කරන ලදී. එසේම රත්නපුරය හරහා කළුතර අතර පාරු සේවයක්‌ යොදන ලද අතර එහි මුළු දුර සැතපුම් 50 කි.

මීට අමතරව, දිසාපතිගේ නිල නිවාසයට පහළින් කච්ෙච්රිය හා ඊට යාබදව ශාන්ත ජෝන් දේවස්‌ථානය පිහිටුවන ලදී. මේ යුගයේදී බඩු ප්‍රවාහනය කරන ගැල් මගින් පළමුව රුපියලක්‌ද, ඊට අමතරව කාලයකට පැයකට ශත 25 බැගින්ද, දීර්ඝ චාරිකාවක්‌ සඳහා සැතපුමකට ශත 50 බැගින්ද අයකෙරිණි. තිරික්‌කලවලින් යන ප්‍රවාහනය සඳහා ශත 25 ක්‌ අය කෙරිණි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »