දහ අටක් ලෙඩ වලට දහ අට සන්නිය

2017-12-13 10:56:00       563
feature-top
මෑත අතීතයේ සිදු වූ විදේශ ආක්‍රමණයන් හරහා බටහිර වෛද්‍ය ක්‍රමයන් මෙහි පැමිණීමට පෙර, ලාංකිකයා සතුව තමන්ටම අනන්‍ය වූ වෛද්‍ය ක්‍රම, ශාන්තික්‍රම  විධි තිබුණා. බටහිර වෙද ක්‍රමය එතරම් දියුණුවක් ලබා නොතිබූ ක්‍රිස්තු පූර්ව යුගවලදීත් ලාංකික වෙදැදුරන් විසින් භාවිතා කරන ලද ශල්‍ය උපකරණ අභයගිරිය ආරාම සංකීර්ණයෙන් සොයාගැණුනා.

කෙසේ නමුත් පසුකාලීනව මෙම ක්‍රම අභාවයට යත්ම, ලාංකිකයා වඩාත් ගූඨ දෙයට නැඹුරු වුණා. මිනිසාට වැළ‍ඳෙන බොහොමයක් රෝග වල මූලය යක්ෂ දෝෂ බවට විශ්වාසයක් පැන නැගුණු අතර, මෙම යක්ෂ දෝෂයන්ගෙන් රෝගියා මුදවාගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනු ලැබුවා.

යකුන් පලවා හරින ශාන්තිකර්ම

විද්‍යාත්මක ක්‍රමය එතරම්ම දියුණු කර නොතිබුණු යුගයක, මිනිසාට වැළ‍ඳෙන රෝග බොහොමයක් පි‍ටුපස රෝගකාරක බැක්ටීරියා, වෛරස, සහ තවත් බොහොමයක් මූලයන් තිබුණු බව අප ආදිතමයින් දැන සිටියේ නැහැ. එක් එක් රෝගයන් ඇති කරවන යකුන් මිනිස් සිරුරට ආවේෂ වීමෙන් ඒ ඒ රෝගාබාධයන් වැළ‍ඳෙන බවට ඔවුන් විශ්වාස කළා.

මෙම විශ්වාසය නිසා, රෝග වලට ප්‍රතිකර්මය ලෙස එම රෝගකාරක ‘යකුන්’ පලවාහැරීමේ යාතුකර්ම විධි නිර්මාණය කෙරුනා. ‘තොවිල්’ යනුවෙන් පොදුවේ හැඳින්වෙන මෙම යාතුකර්ම විධි වල ප්‍රසිද්ධම ශාන්තිකර්මය වන්නේ, රෝග දහ අටකට අධිපති රෝගකාරක යකුන් පලවා හරින ‘දහ අට සන්නිය’ යි.

එක් එක් යක්ෂයා නිරූපනය වන වෙස් මුහුණු දහ අටකුත්, නායක ‘මහා කෝල සන්නිය’ නිරූපණය වන වෙස් මුහුණකුත් වශයෙන් සන්නි යකුමට වෙස් මුහුණු 19ක් අයත් වෙනවා. තොවිලයක දී එක් යකැඳුරෙකු විසින් මෙම එක් එක් වෙස් මුහුණු පැළැඳි යකැඳුරන් (යකුන්) සභාවට ගෙන්වා, රෝගියා අතින් එම යක්ෂයාට කැපකොට පුද පඬුරු පිළිගන්වනු ලබනවා.

එයින් පසු රෝගියාගේ සිරුර අත හැර යන ලෙසට යක්ෂයා එකඟ කරවාගන්නා යකැඳුරා, අදාල යක්ෂයා නර්ථනයක් ඉදිරිපත් කළ පසු ගෞරවයෙන් යුතුව සභාවෙන් පිටමන් කර හරිනවා. මෙම ක්‍රියාවත් සමඟ රෝගකාරක යක්ෂයා රෝගියාගේ සිරුරෙන් ඉවත්ව යන බවට විශ්වාස කෙරුණු අතර, එම මානසික ඇඟැවුම නිසා රෝගියා තාවකාලික මානසික සුවයක් ලැබීම මගින් රෝග ලක්ෂන අඩු වීම සාමාන්‍යයෙන් සිදුවන්නක් වුණා.

දහ අට සන්නිය
අප පෙර පරිච්ඡේදයේ සඳහන් කළ පරිදි, හඳුනාගත් රෝගී තත්වයන් දහ අටක රෝගකාරක යක්ෂයින් මෙම වෙස් මුහුණු වලින් පිළිබිඹු කෙරුනා. අදාල රෝගී තත්ත්වය වෙස් මුහුණේ අංගයන් මගින් හඳුනාග්ත හැකි වන ආකාරයෙන් කැටයම් කොට, වර්ණ ගන්වා මෙම වෙස් මුහුණු නිශ්පාදනය කෙරුණා. පහතින් සඳහන් වන්නේ එම සන්නි දහ අටයි.

1. දේව සන්නිය

‘දෙවියන්ගේ ලෙඩ’ යැයි ව්‍යවහාරයේ පවතින සරම්ප, කම්මුල් ගාය, පැපොල ආදී රෝගත්, ටයිෆොයිඩ් සහ කොලරාව වැනි වසංගත රෝග තත්ත්වයනුත් මෙයින් නිරූපණය කෙරුණා. මෙම වසංගත තත්ත්වයන්ගේ භයානකකම නිසා, මේවා දේව බලපෑමෙන සිදුවන බව පිළිගත් විශ්වාසය වූ අතර, ඒ බව හැඟවෙන පරිදි ඔ‍ටුන්නක් මෙම වෙස් මුහුණට පළඳවනු ලබනවා.

2. වාත සන්නිය

වා කෝපවීම් නිසා ඇතිවන බවට සැලකුණු රෝග තත්ත්වයන් (උදරයේ වාතමය තත්ත්වයන්, සහ රක්තවාතය) මෙයින් පිළිබිඹු කෙරෙනවා.

3. පිත් සන්නිය
පිත් කෝපවීම් නිසා ඇතිවන රෝගී තත්ත්වයන් මෙයින් පිළිබිඹු වනවා. පිත් රෝග වල රෝග ලක්ෂණයක් වන පාණ්ඩු පෙනුම නිරූපනයට මෙම වෙස් මුහුණු බොහෝවිට කහ හෝ තැඹිලි පැහැයකින් වර්ණ ගන්වනු ලබනවා.

4. අමුක්කු සන්නිය
වමනය, පාචනය ආදී උදරය සම්බන්ධ රෝගී තත්ත්වයන් මෙයින් නිරූපණය කෙරුණා. මෙහි මුහුණ කොළ පැහැයෙන් වර්ණ ගන්වා තිබුණු අතර, දිව මුවින් පිටතට විහිදෙන ලෙස (වමනය කරන ආකාරයෙන්) කැටයම් කෙරෙනවා.

5. ගිනිජල සන්නිය

ශරීරයට ඇතිවන තද උණත් සීතලත් සාදන යක්ෂයා මෙම වෙස් මුහුණෙන් පිළිඹිබු කෙරුණා. තද උණ සහ දැඩි ශීතල ඇති කරවන මැලේරියා වැනි උණ රෝග මෙයින් නිරූපනය කෙරෙනවා. තද උණ තත්ත්වය පෙන්වීම සඳහා මෙහි මුහුණ රතු පැහැයෙන් වර්ණ ගන්වනු ලබනවා.

6. නාග සන්නිය
සිහිනයෙන් බියකරු නාගයින් පෙනීම මෙම වෙස්  මුහුණින් නිරූපනය වන යක්ෂයාගේ බලපෑම නිසා සිදුවන්නක් බවට විශ්වාස කෙරුනා.

7. කපාල සන්නිය/ පිස්සු සන්නිය
තාවකාලික සිහිවිකලබව ඇති කරන යක්ෂයාගේ මුහුණ මෙම වෙස් මුහුණින් නිරූපණය කෙරුනා.

8. සෙලෙස්ම සන්නිය
ඉරුවාරදය හා ඒ සම්බන්ධ රෝගී තත්ත්වයන් ද අපස්මාරය ද මෙමගින් රූපනය කෙරෙනවා.

9. කොර සන්නිය

අත් පා වල කොර ගතිය ඇති කරවන ආබාධ, සහ අංශභාග තත්ත්වයන් මෙම වෙස් මුහුණින් නිරූපිතයි. ආඝාතය වැනි තත්ත්වයන් වලදී දැකිය හැකි, මුහුණේ එක් පසෙක මාංශ පේෂී අප්‍රාණික වන ආකාරය පිළිඹිබු වන අන්දමට මෙම වෙස් මුහුණ සකස් කර තිබෙනවා.  

10. භූත සන්නිය
තාවකාලික උන්මාද තත්ත්වයන් (භූත දෝෂ නිසා ඇතිවන බවට විශ්වාස කෙරුණු) මෙයින් පෙන්නුම් කරනවා.

11. කණ සන්නිය

තාවකාලික අඳභාවය මෙම යක්ෂයා විසින් ඇතිකරවනු ලබන බවට විශ්වාස කෙරුණා. මෙම වෙස් මුහුණෙහි එක් ඇසක් පමණක් කැටයම් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය යි.

12. බිහිරි සන්නිය

තාවකාලික බිහිරි බව මෙයින් නිරූපනය වුණා. මෙම වෙස් මුහුණෙහි එක පසෙකින් නාගයෙකු චිත්‍රණය කෙරෙනු ලබන්නේ, නාගයා බිහිරි සතෙකු බවට සැළකීම නිසායි.

13. ගොලු සන්නිය
ගොලු භාවය නිරූපනය කෙරෙන මෙහි, සාමාන්‍යයෙන් දිව හා/ හෝ දත් නොමැති, විවෘත වුණු මුවක් කැටයම් කර තිබෙනවා.

14. ගෙඩි සන්නිය
විසප්පු, තුවාල ආදී ලෙස වන සමේ රෝග ඇතිකරවන බවට විශ්වාස කෙරුණේ මෙම යක්ෂයා යි. එහි මුහුණ පුරා ගඩු සහ බිබිලි දැක්වෙන ආකාරයට කැටයම් කරනු ලබනවා.

15. ජල සන්නිය
දියරමය පාචන තත්ත්වයන් මෙයින් නිරූපනය වනවා. කොලරාව ආදී රෝග පිළිබඳව හරි අවබෝධයක් නොතිබූ යුගයක, එම රෝගය සහ ඇවිලුම් තත්ත්වයන් මෙම යක්ෂයා විසින් ඇති කරන බවට විශ්වාස කෙරුනා. මෙම මුහුණ රත් පැහැයෙන් වර්ණ ගැන්වෙනවා.

16. ගුල්ම සන්නිය

පරපෝෂී පණුවන් මගින් ඇහිවන කොකු පණු, පටි පණු ආදී රෝග එකල ඇතිකරනු ලබන බවට විශ්වාස කෙරුණේ මෙම යක්ෂයා විසින්. මෙම වෙස් මුහුණ ලා කහ පාටකින් වර්ණ ගන්වා ඇත්තේ පණු රෝග වල රෝග ලක්ෂණයක් වන රක්තහීනතාව පෙන්නුම් කිරීමට විය යුතුයි.

17. අභූත සන්නිය
භූතයන්ගේ සම්බන්ධයක් නොමැති මානසික රෝගාබාධ මෙයින් නිරූපිතයි.

18. මරු සන්නිය
මෙම යක්ෂයා විසින් විභාන්තියත්, අවසන මරණයත් ඇතිකරන බවට විශ්වාස කෙරුණා.

ආදිතමයා රෝගාබාධ පිළිබඳව වන තම නොදැනුවත්කම නිසා ඒවා යක්ෂ දෝෂ ලෙස හැඳින්වූවා ද, එසේත් නැතිනම් සාමාන්‍ය ජනයාට අවබෝධ කරගැනීමට පහසු වන ලෙස අදාල රෝගය යක්ෂයෙකුගෙන් නිරූපණය කළා ද යන්න පිළිබඳව තවමත් එක් මතයක් නැහැ.

ශාන්තිකර්ම විධි නිසා රෝගියාට තාවකාලික මානසික සුවයක් සැලසීමත්, මානසික හේතු නිසා හටගැණුනු ශාරීරික රෝගාබාධ සුව අතර හැරීමත් නිසා ජනයා මෙම යාතුකර්ම විධි කෙරෙහි විශ්වාසය තබන්නට ඇති බව පැහැදිලියි. ඒ කෙසේ වෙතත්, ඔවුනට එම රෝගාබාධ සහ ඒවායේ රෝග ලක්ෂණ පිළිබඳව දළ වැටහීමක් තිබුණු බවට මෙම වෙස් මුහුණු වල කැටයම් සාධක සපයනවා.

මේ පිළිබඳව වැඩි දුර උනන්දුව ඇත්තන්ට අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකාගාරයෙන් තවත් තොරතුරු එකතු කරගැනීමේ හැකියාව තිබෙනවා.


More News »