ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් පිළිබඳ ඔබ නොදත් තතු

2017-12-15 10:25:00       394
feature-top
ශ්‍රී ලංකාවේ නර්තන කලාව අතීතයේ සිට ක්‍රමානුකූලව වර්ධනය වූවකි. මෙය ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැක. ඒවා නම් උඩරට, පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන් ය. උඩරට නැටුම් ප්‍රචලිතව ඇත්තේ උඩු නුවර, යටි නුවර හා මහනුවර යන ප්‍රදේශ වලයි. පහතරට නැටුම් වලට ගාල්ල, මාතර හා හම්බන්තොට ප්‍රචලිත අතර සබරගමු නැටුම් වඩාත් ප්‍රචලිතව ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ යි. මේ එක් එක් නර්තන සම්ප්‍රදායට ඇඳුම් කට්ටල, වාද්‍ය භාණ්ඩ හා ශාන්තිකර්ම පවතී. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ මෙම නර්තන සම්ප්‍රදායන් පිලිබඳ සාකච්ඡා කිරීමට යි.

උඩරට නර්තන සම්ප්‍රදාය

උඩරට නර්තනයෙදී භාවිතා වන ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන්නේ ගැට බෙරයයි. මෙය උඩරට බෙරය ලෙසින්ද හැඳින් වේ. කොහොඹ කංකාරිය දැක ගත හැකි වන්නේ උඩරට නර්තන සම්ප්‍රදාය තුළ යි. මෙම නර්තන සම්ප්‍රදායේ වන්නම් 18ක් පවතී. විද්වතුන්ගේ මතය අනුව මේවා රචනා කර ඇත්තේ මහනුවර රාජධානියේ ශ්‍රී වීර නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේදී ය. මෙම රජු කලාව හා සෞන්දර්ය සඳහා බොහෝ කැමැත්තක් දැක් වූ පුද්ගලයෙකි. මේ නිසාම ඔහු රජ මාලිගයේ නැටුම්, ගැයුම්, වැයුම් සඳහා කවිකාර මඩුවක් පවත්වාගෙන ගොස් ඇත.

උඩරට නර්තනයේ එන වන්නම් 18ට පහත ලෙස දැක්විය හැක.

ගජගා වන්නම
දන්තධාතුන් වැඩමවන අලියෙකු ගැන කියැවේ

ගාහක වන්නම
ශක්‍ර දෙවියන්ගේ හක්ගෙඩිය පිලිබඳ විස්තර කරයි.

නෛඅඩි වන්නම
බෝසතාණන් වහන්සේ නාගයෙකුව උපන් ආත්මයක් පිළිබඳ විස්තර කරයි.

තුරඟා වන්නම
සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය විස්තර කරයි.

මුසලඩි වන්නම
හාවෙකු බියෙන් කැළයෙන් එළියට එන ආකාරය විස්තර කරයි.

සැවුලා වන්නම
සැවුලා ඉපදුන ආකාරය මෙයින් විස්තර කරයි.

උරගා වන්නම
නයි පොළොන් වෛරය විස්තර කරයි.

උකුසා වන්නම
උකුස්සෙකුගේ හැසිරීම මෙයින් විස්තර කරයි.

මයුරා වන්නම
මේ මඟින් විස්තර කරන්නේ මොණරා ගැන යි.

කිරලා වන්නම
කිරලාගේ ගමන් විලාසය විස්තර කරයි.

හනුමා වන්නම
වඳුරාගේ ගති ලක්ෂණ විස්තර කරයි

සිංහරාජ වන්නම
මෙයින් සිංහයා ගැන විස්තර කරයි

ඊරඩි වන්නම
මෙමඟින් දක්ෂ යුධ භටයෙකු ගැන විස්තර කරයි.

උදාර වන්නම
මෙයින් අලංකාර ලෙස සැරසී චතුරංගනී සේනාව සමඟ ගමන් කරන රජෙකු විස්තර කරයි.

සුරපති වන්නම
ඊශ්වර දෙවියන් වර්ණනා කරයි

ගණපති වන්නම
ගණ දෙවියන් ගැන විස්තර කරයි.

වෛරොඩී වන්නම
මෙම වන්නම වාදයක ස්වරූපයක් ගනී

අසදෘශ වන්නම
බුරජාණන් වහන්සේ ගැන කියවේ.

උඩරට නර්තනයේදී විචිත්‍ර ඇඳුම් කට්ටලයක් භාවිත කරයි. මෙය වෙස් ඇඳුම් කට්ටලය ලෙස දක්වයි. මෙහි නළල් පටිය උස නිසා නැට්ටුවා වඩාත් උසට පෙනේ. ගෙජ්ජි නියම වෙස් ඇඳුම් කට්ටලයක කොටසකි. සර්ව සම්පුර්ණ වෙස් ඇදුම් කට්ටලයක් කාන්තාවන්ට ඇඳිය නොහැක. එය ඇඳිය හැක්කේ පිරිමින්ට පමණි. මෙය ඇඳීම සඳහා වෙස් මංගල්‍යය නමැති උත්සවයේ දී අවසර ලබා ගත යුතුය.

පහතරට නර්තන සම්ප්‍රදාය

ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල ප්‍රචලිත පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාදන භාණ්ඩය වන්නේ යක් බෙරයයි. මෙය දෙවොල් බෙරය හා පහතරට බෙරය ආදී නම් වලින් ද හඳුන්වයි. පහතරට නර්තන සම්ප්‍රදායේ වන්නම් “සින්දු වන්නම්” ලෙස හඳුන්වයි. සින්දු වන්නම් 32ක් ඇත.

පහතරට නර්තනය අනු සම්ප්‍රදායන් තුනකට බෙදේ. ඒවා නම් මාතර, බෙන්තර හා රයිගම් කෝරළයේ සම්ප්‍රදායන් ලෙස යි. මේ එක් එක් සම්ප්‍රදායේ කුඩා කුඩා වෙනස් කම් දැකිය හැක. එනම් නර්තන හැඩතල, වාදනය, කවි වල නාද මාලාව, හා චාරිත්‍ර තුළින් එම වෙනස්කම් නිරූපණය වේ. මෙම වෙනස්කම් සිදු වන්නේ විවිධ ප්‍රදේශ වල ඊට ආවේනික සිරිත් විරිත් හේතුවෙනි. බෙන්තර ශෛලිය තවමත් එය ආරම්භක සමයේ පැවති අංග වලින් යුතු නවීකරණය නොවූ ශෛලියක් ලෙස පවතී.

පහතරට නර්තනයේ අඩංගු ශාන්තිකර්ම ප්‍රධාන වශයෙන් පවත්වන්නේ දෙවියන්, යකුන් හා නවග්‍රහයින් වෙනුවෙනි. දෙවියන් වෙනුවෙන් පවත්වන්නේ මඩු ශාන්තිකර්ම යි. උදාහරණ ලෙස දෙවොල් මඩුව, ගම් මඩුව, ගිණි මඩුව දැක්විය හැක. මිට අමතරව පහත රට නර්තන සම්ප්‍රදායේ දක්නට ලැබෙන ප්‍රධාන ශාන්තිකර්ම ලෙස සූනියම් යාගය, මහසොන් සමයම, දෙවොල් මඩුව, කළුකුමාර සමයම දැක්විය හැක.

සබරගමු නර්තන සම්ප්‍රදාය

සබරගමු ප්‍රදේශ ලෙස සැලකෙන බලන්ගොඩ, කුරුවිට, බෙල්ලන් බැඳි පැලැස්ස ආදී ප්‍රදේශ වලින් ආරම්භ වූ සබරගමු නර්තනය ස්වාධීන අමිශ්‍ර නර්තන සම්ප්‍රදායකි. එම නිසා සබරගමු නර්තනයේ දේශීය ලක්ෂණ බොහොමයක් දක්නට ලැබේ. සබරගමු නර්තනය පුහුණු වන්නෙකු මුලින්ම කළ යුත්තේ හරඹ 36ක් ප්‍රගුණ කිරීමයි. එය නිම වූ පසු අදාල පුහුණුවන්නාව ගායනය, වාදනය හා නර්තනය යන අංශයන්ට යොමු කරයි. සබරගමු නර්තනයේ ඇති මුල් මාත්‍ර රංගනය තුළ තිත, මාත්‍රය, තානම, කවිය, අඩිවට්ටම, කස්තිරම, අඩව් යන අංග හත ඇතුලත් වේ.

සමන් දෙවියන්ගේ ඇඳුම් කට්ටලයට සමාන ඇඳුම් කට්ටලයක් සබරගමු නර්තනය සඳහා යොදාගනී. මෙහි ප්‍රධාන වාදන භාණ්ඩය දවුලයි. සබරගමු නර්තනය තුළ දක්නට ලැබෙන ශාන්තිකර්ම කීපයක් ලෙස ගම්මඩු, දෙවොල් මඩු, පහන්මඩු, ගීමඩු දැක්විය හැක. සබරගමු නර්තනයේ යෙදෙන නැට්ටුවෙකු තම නර්තනය සඳහා පුද්ගලයෙකු පෙරටු කර නොගනී. ඒ වෙනුවට තුනුරුවන් හා දෙවියන් පෙරටුකර ගනී.

සබරගමු නර්තන්යේද වන්නම් 18ක් පවතී. මෙහි රචකයා අවිනිශ්චිතය. මේ වන්නම් බොහොමයකට සතුන්ගේ නම් යොදා තිබුනත් එම වන්නම් තේමාවෙන් වෙන අදහසක් කියවේ. උඩරට නර්තන සම්ප්‍රදායට අයත් වන්නම් නම් ද සබරගමු නර්තන සම්ප්‍රදායේ දැකිය හැක. උදාහරණ ලෙස සැවුලා,හනුමා, උරගා, කිරලා, මයුරා, උකුසා වන්නම් දැක්විය හැක. නමුත් මෙම වන්නම් උඩරට සම්ප්‍රදායෙන් වෙනස් වේ. සබරගමු නර්තනයේ වන්නම් ආකෘතිය වන්නේ බෙරපදය, තානම, කවිය, කලාසම හා අඩව්වයි.


(under the courtesy of roar.media web)

More News »