ශ්‍රී ලංකාවේ පේෂකර්මාන්තයේ අරුමය සහ ඉතිහාසය

2017-12-26 10:43:00       277
feature-top
ලංකාවේ පේෂකර්මාන්තයේ ඉතිහාසය සලකා බැලීමේදී එය වසර දහස් ගණනකට එපිට දිව යයි. විජය කුමරු ලංකාවට ගොඩබසින විට යක්ෂ ගෝත්‍රික කාන්තාවක් වූ කුවේණිය කපු කටිමින් සිටි බවට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
ක්‍රි.පූ. හයවන සියවස තරම් ඈතට විහිදෙන ශ්‍රී ලංකාවේ රෙදි විවීමේ කර්මාන්තය ආරම්භ වුණේ ගෘහ කර්මාන්තයක් ලෙසයි. කාර්මික විප්ලවය ලෝකයේ අත් යන්ත්‍ර පේෂකර්මාන්තය දැවැන්ත විපර්යාසයකට භාජනය කළ අතර 1970 දශකයේ අගභාගයේදී විවෘත ආර්ථිකය පැමිණීමත් සමගම විශාල පිරිසකට ජීවනෝපාය අහිමි කරමින් අත් යන්ත්‍ර‍ රෙදිපිළි කර්මාන්තය, විනාශයේ දොරටුව කරා තල්ලු වුණා.  

නමුත් ශ්‍රී ලංකාවේ අත් යන්ත්‍ර හා බලවේග පේෂකර්මාන්තය සම්පූර්ණයෙන්ම අභාවයට පත්වුණේ නැහැ. වර්තමානයේ, දේශීය රෙදි වියන්නෝ ඔවුන්ට අනන්‍ය වූ රෙදි විවීමේ කලාවක් නිර්මාණය කරගෙන තිබෙනවා. සාම්ප්‍රදායික මෝස්තර, රටා සහ වර්ණ සංයෝග සංකලනය කරමින් දැකුම්කළු සළුපිළි වියන්නට ඔවුන් සමත් වී ඇත. පාරම්පරිකව පැවත එන, වසර ගණනක් පැරණි පේෂකර්මාන්තයේ අරුමය ජාත්‍යතන්තරයට ගෙන යාම සඳහා, දේශීය ශිල්පීන් තම නිර්මාණශීලිත්වය යොදාගන්නා අයුරු හරි අපූරුයි.

විජයාගමනයට පෙර ලක්දිව ප්‍රචලිතව පැවති අත් යන්ත්‍ර පේෂකර්මාන්තය

ලංකාවේ පේෂකර්මාන්තයේ ඉතිහාසය සලකා බැලීමේදී එය වසර දහස් ගණනකට එපිට දිව යයි. විජය කුමරු ලංකාවට ගොඩබසින විට යක්ෂ ගෝත්‍රික කාන්තාවක් වූ කුවේණිය කපු කටිමින් සිටි බවට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. කුවේණිය තම්මැන්නාව නම් වෙළඳ නගරයේ ජීවත් වූ නගර සෝභිනියක් විය හැකි බවත්, ඇය කපු කටිමින් සිටි බව දැක්වෙන විස්තරයට අනුව ඇ‍ය රෙදිපිළි නිපදවීමේ කර්මාන්තයක හිමිකාරියක් වූ ධනවත් කාන්තාවක් බවත් ඉතිහාසයේ දැක්වෙන ප්‍රබල සාක්ෂි වලින් පෙනී යයි. යන්ත්‍ර උපකරණ තැනීමට සමත් තාක්ෂණයක් එවකටද යක්ෂ ජන කොටස සතුව පැවති බවත් යක්ෂ ජන කොටසේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම උඩු යටි කය වසා වස්ත්‍ර ඇඳ සිටි බවත් මින් සනාථ වෙනවා. දහවලු තබා ඇඳීම නම් වූ යක්ෂ ගෝත්‍රික ඇඳුමක් පිළිබඳව සාක්ෂි හමුවී තිබෙන අතර මහාකාලසේන නම් යක්ෂ නායකයාගේ මංගල උත්සව අවස්ථාවේ නිරායුධව සිටි එම පිරිස ලෙහෙසියෙන්ම මරණයට පත් කළ විජය ඇතුළු පිරිස යක්ෂයින්ගේ ඇඳුම් ඇඳගත් බව මහාවංශ ටීකාවේ සඳහන් වෙනවා. මොවුන් මෙසේ කලේ කුමන හේතුවක් නිසා දැයි හරි හැටි අනුමාන කල නොහැකි වුවත් එය යුධ උපක්‍රමයක් නිසා විය හැකි ‍යයි අපට සිතන්නට පුළුවන්.

දුරාතීතයේදී ලංකාව පුරාම කපු වගා කර ඇති බවත්, ලංකාවෙන් ඉන්දියාවට කපු රෙදි යැවූ බවත්,  ඉතිහාසයෙන් කියැවෙනවා. ලක්‌දිවින් භාරුකච්චයට කපුරෙදි ගෙන ගිය වෙළෙන්දෙකු ගැන ප්‍රාකෘත තීරන කල්පයේ සඳහන්ය. එසේම ක්‍රි.ව. 1148 දී දඹදෙණියේ රජකම් කළ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා එක් දිනක් තුළ කපු නෙළා පඬු පොවා රෙදි වියා එදිනම සවස සිවුරු 80ක් පූජා කළ බව මහාවංශයේ වාර්තා වෙනවා. රොබට් නොක්ස් විසින් රචනා කළ ‘එදා හෙළදිව‘ නම් ග්‍රන්ථයේ සඳහන් වන පරිදි ශ්‍රී ලංකාවේ සෑම ගෙවත්තකම පාහේ කපු ගස් කිහිපයක් වවා තිබූ බවත් ඒවායින් කපු නෙළා තමන්ට අවශ්‍ය රෙදිපිළි නිෂ්පාදනය කර ගැනීමට සිංහල ගැමියා හුරු වී සිටි බවත් සඳහන් වේ.

“පේෂකර්මය සිංහලයන් අතර දියුණු වී පවතින්නේ මද වශයෙනි. ඔවුන්ගේ අලුව බෙහෙවින් නොදියුණුය. තවමත් අයර්ලන්තයේ ඇතැම් පෙදෙස්වල දක්නට ලැබෙන නොදියුණු අලුවට සමානය. පොළොව මත වාඩි ගෙන සිටින ශිල්පියකු විසින් එය ක්‍රියා කරවනු ලැබෙයි. ඔහු ගේ පා සාරන ලද වළක පිහිටයි.  මුස්ලින් (කවණ රෙදි) මේ රටේ නොසෑදෙයි. සාමාන්‍ය මිනිසුන් අඳින ලද, ශක්තිමත්, කල් පවත්නා කපු රෙදි හැර අන් කිසිවක් මෙරටට නෑකම් නොකියයි” – වෛද්‍යචාර්ය ජෝන් ඩේවි විසින් රචිත ලංකාවේ අභ්‍යන්තරය එහි වැසියෝ හා ඒ දිවයිනේ චාරිකා නම් ග්‍රන්ථය ඇසුරෙනි.

අසුර යුගයේදී ලංකාවේ පේෂකර්මයට හිමිව තිබුණේ සුවිශේෂි ස්‌ථානයක්. කපු ගසෙන් නෙළා ගන්නා ලද කපු ගෙඩියේ පුළුන් මගින් නූල් සකස්‌කරනු ලබයි. එම නූල් යොදා වස්‌ත්‍ර විවීම සඳහා අලුව නොහොත් රෙදි වියන යන්ත්‍ර භාවිතයද එකල පැවතිණි.  අලුව පිහිටා ඇත්තේ එළිමහන් මඩුවකයි. අලුවැල් මාරු කරන්නේ පොල්කටු පාමැඩුන් මගිනි. පාරම්පරික ක්‍රමයට රෙදි වියන්නෝ බංකුවක හිඳ නොගනිති. ඔවුන් සිය කාර්යයේ නිරත වන විට පොළොවේ කුඩා වළක් හාරා සිය දෙපතුල් එහි රුවති.  මෙවිට ඔවුන්ගේ තට්ටම් රැඳෙන්නේ උස්වූ පොළොව මතය. (බැලඩියස්ගේ ලංකා පුරාවෘත්තය). මෙවැනි යන්ත්‍ර ඉන්දියාවේද, බුරුමයේද දක්‌නට ඇත. අලුව භාවිත කරන පරම්පරාවක්‌ උඩුදුම්බර තලගුණේ සිටිති. ඔහු යක්‌දෙස්‌සාගේ යන පරම්පරාගත නාමය දරයි.

කාශ්මීර රජ කුමරියන් අතර ජනප්‍රිය වූ ලක්දිව සළුපිළි
ක්‍රි.පූ 1500ත් 1600ත් අතර කාලයේදි රෙදි පිළි ලෝකය පුරා බෙදාහැරීමේ මධ්‍යස්ථානය ලංකාව වූ බවට කාශ්මීර රාජ් තරංගණිය ට අනුව තහවුරු වනවා. 12 වන සියවසේ කශ්මීරයේ බ්‍රාහ්මණ ජාතිකයෙකු වූ කල්හාන විසින් ග්‍රන්ථාරූඨ කරන ලද රාජතරංගිනිය ලංකාවේ මහා වංශය වගේ වැදගත් ඉතිහාසමය මූලාශ්‍රයක් ලෙස සැලකිය හැකියි.

මෙහි සඳහන් වන ආකාරයට ක්‍රි.පු 5 වන සියවසේදි පවා හෙළ වැසියන් අතින් විවිධ මෝස්තර සහිතව නිපදවුණු ඇඳුම් වලට කාශ්මීරයේ ඉහළ ඉල්ලුමක් පැවති තිබෙනවා. ලක්දිව සහ කෂ්මීරය අතර මුලින්ම ආර්ථික සම්බන්ධතා ගොඩනැගෙන්නේ රජ පවුලට රෙදි පිළි සැපයීමෙන්. ක්‍රි. ව 515 සිට 530 දක්වා උතුරු ඉන්දියාව පාලනය කළ මිහිරකුල නම් රජු දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ බව රාජතරංගනිය තව දුරටත් සාක්ෂි දරයි. මේ සඳහා මුල් වූයේ මිහිරකුල රජුගේ බිසවගේ හැට්ටය කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. දිනක් මිහිරකුල රජු තම බිසවගේ හැට්ටයේ තිබූ රනින් මෝස්තර දමන ලද පාද ලාංචනයක් දැක කෝපයට පත් වුණාලු. සිලෝන් දේශයේ රෙදි පිළි වල රජුගේ පාදය සනිටුහන් කරන බව තහවුරු කර ගත් රජු කුපිතයට පත් ව ලක්දිවට එරෙහිව ප්‍රාහාරයක් එල්ල කළ බව කල්හාන සඳහන් කරනවා.

අතීත පේෂකර්මාන්තයේ අරුමය ජාත්‍යතන්තරයට ගෙන යාම

1980 දශකයෙන් පසුව රටේ අත්යන්ත්‍ර‍ රෙදිපිළි කර්මාන්තය ඉහළ පෙළේ මෝස්තර නිර්මාණ කලාවක් ලෙස අලුත් පණක් ලබනවා. සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර සංවර්ධනයත් සමඟම අත් යන්ත්‍ර හා බලවේග පේෂ කර්මාන්ත නිෂ්පාදන වලට නිසි වෙළඳපළක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවය පහළ වුණා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නිමවන අත් යන්ත්‍ර රෙදිපිළි වලට (Handloom) විදේශ වෙළඳ පොළේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතිනවා.

දේශීය වෙළඳපොලේ පවා අත්යන්ත්‍රවලින් නිමවූ හෑන්ඩ්ලූම් සාරියක්, සරමක් රු. 3000 සිට ඉහළ මිල ගණන්වලට අලවි වෙනවා. පෞද්ගලික අංශය වගේම රජයත් අත් යන්ත්‍ර පේෂකර්මාන්තයේ සම්බන්ධ වී සිටින අතර අපනයන සංවර්ධන මණ්ඩලයේ 2015 අත්යන්ත්‍ර‍ රෙදිපිළි කර්මාන්තය පිළිබඳ ශක්‍යතා වාර්තාවට අනුව පෞද්ගලික අංශයේ සුළු හා මහා පරිමාණ කර්මාන්ත 962 ක් දැනට රටේ ක්‍රියාත්මක වන අතර පළාත් සභා අටක් තුළ අත්යන්ත්‍ර‍ පේෂකර්මාන්ත ස්ථාන 771ක් දැනට කර්මාන්තයේ යෙදී සිටිනවා.

අපනයන කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අත්යන්ත්‍ර රෙදිපිළි සමාගම් කිහිපයක් පහත දැක්වේ.

Selyn Exporters Pvt Ltd.

Barbara Sansoni Exports Pvt. Ltd.

Kandygs Handlooms Exports Ltd.

Asian Fabrics Ltd.

IC Collection (Pvt) Ltd

Ko-Lanka Pure Silks Pvt. Ltd.

Suntex Handloom Industries

Kelani Fabrics

ශ්‍රී ලංකාවේ නිමවන අත්යන්ත්‍ර රෙදිපිළි පොරාදු ඇතිරිලි, කර්ටන් රෙදි, ඇඳ ඇතිරිලි, මේස රෙදි, අත් පිස්නා, නිමි ඇඳුම්, අතින් වියන ලද පා පිස්නා, කාපට් සහ ළමා සෙල්ලම් බඩු සහ ලිපි ද්‍රව්‍ය ලෙස විදේශීය රටවලට අපනයනය කරනු ලබනවා. 2014 දී අපනයනය කරන ලද අත්යන්ත්‍ර‍ රෙදිපිළිවල මුළු වටිනාකම ඩොලර් මිලියන 1.08 ක්.

අපනයන සංවර්ධන මණ්ඩලයේ ශක්‍යතා වාර්තා වලට අනුව 2014 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හෑන්ඩ්ලූම් රෙදිපිළි වලට අන්තර්ජාතික වෙළඳපොළේ යුරෝපා සංගමයේ රටවල් (ඉතාලිය, ජර්මනිය, එක්සත් රාජධානිය, ස්වීඩනය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ඩෙන්මාක් සහ ප්‍රංශය) මාලදිවයින, ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, මුරුසිය, කොරියාව, ජපානය, තායිලන්තය, ස්විට්සර්ලන්තය, සහ එක්සත් ජනපදයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ.  

ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර කර්මාන්තය අපනයන කේන්ද්‍ර කරගත් මූලික වශයෙන් ශ්‍රමය උපයෝගිකරගෙන පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයක්.  ශ්‍රී ලංකාවේ අත් යන්ත්‍ර කර්මාන්තය ප්‍රධාන වශයෙන් බස්නාහිර, නැගෙනහිර, වයඹ සහ දකුණු පළාත් දක්වා විහිදිලා තිබෙන බව අපිට දැක ගත හැකියි. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ දිවුලපිටිය මඩම්පැල්ල ගම්මානය කියන්නේ පාරම්පරිකව අත් යන්ත්‍ර‍ රෙදිපිළි කර්මාන්තයේ යෙදී සිටින ජනතාවක් ජීවත් වන ගමක්. ශ්‍රී ලංකා කාර්මික සංවර්ධනය මණ්ඩලයේ සහ පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලත් අම්පාර දිස්ත්‍රික්කයේ මරදමුනේ හෑන්ඩ්ලූම් ගම්මානය දිවයිනේ උසස් තත්ත්වයේ අත් යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය කරනු ලබනවා.

අරුගම්බේ ආශ්‍රිත සංචාරක කර්මාන්තය නිසා ඔවුන්ගේ නිෂ්පාදනවලට ඇත්තේ ඉහළ ජාත්‍යන්තර ඉල්ලුමකි. මෙම ගම්මානයේ පිහිටි අත්යන්ත්‍ර රෙදිපිළි පුහුණු පාසල තුළින් මෙම වෘත්තියට කැමති නවකයින්ට පේෂ කර්මාන්තය සම්බන්ධ නිසි පුහුණු කටයුතු  සහ නව තාක්ෂණය හා ශිල්පීය ක්‍රම හඳුන්වා දෙනු ලබනවා. මින් ප්‍රදේශ වාසින් රැසකට රැකියා අවස්ථා ජනනය වී තිබීම සතුටට කාරණයක්.

පැරණි අත්යන්ත්‍රයකින් නිර්මාණය කළ කපු ඇඳුමක විචිත්‍රත්වය, එහි මෝස්තර වල කැටිවූ ජීව ගුණය, වර්ණවත් කපු නූල් රටා වලින් උපදින ප්‍රභාවය කිසි විටෙකත් තාක්‌ෂණික අරුමයන් ඇසුරෙන් නිමවූ සළුපිළි වලට සම කළ නොහැකියි.

දේශීය කර්මාන්තකරුවන් ආකල්පමය වශයෙන් ශක්තිමත් කිරීම, අත්යන්ත්‍ර රෙදිපිළි කාර්මිකයන්ට අවශ්‍ය තාක්ෂණික සේවා සැපයීම, නවකයන් පුහුණු කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දේශීය අත්කමට රජයෙන් අතහිත දෙන, සාම්ප්‍රදායික කලා ශිල්පීන්ගේ කුසලතා දේශීය හා විදේශීය වෙළඳපොළ සමග සම්බන්ධ කෙරෙන, ඔවුන්ගේ පාරම්පරික දක්ෂතාව සඳහා නිසි වටිනාකමක් ලබා දෙන, සාම්ප්‍රදායික කලා කුසලතා ඉදිරි පරම්පරා සඳහා සංරක්ෂණය කෙරෙන ව්‍යවසායක පුහුණු වැඩසටහන් බොහෝමයක් දැනට රටේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

කාර්මික හා වාණිජ කටයුතු අමාත්‍යංශය, පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පේෂ කර්ම සහ ඇඟලුම් ආයතනය, මොරටුව විශ්ව විද්‍යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්වී ශ්‍රී ලංකාවේ හෑන්ඩ්ලූම් කර්මාන්තය ශක්තිමත් කිරීම හා කර්මාන්තය සම්බන්ධ ගැටලු සාකච්ඡා කරගැනීම වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරති.


(under the courtesy of roar.media web)

More News »