පුස්කොළ පොතේ කතාව

2017-12-29 10:45:00       34
feature-top
අතීතයේ දී පමණක් නොව වර්තමානයේ දී පවා මිනිසා තමන් සතු වූ දැනුම මතු පරපුරට ලබා දීමේ අරමුණ ඇති ව එය සංරක්ෂණය කිරීම සඳහා යොදා ගත් මූලිකම උපක්‍රමය ලෙස ලේඛනය හැඳින්විය හැකි යි. මේ සඳහා මුල් කාලීනව මැටි පුවරු, ලෝහ පත්‍ර සහ ශිලා ලේඛන භාවිතා කළ ද ක්‍රමයෙන් භාෂාව දියුණු වීමත් සමග වඩාත් සුලබ ලේඛන මාධ්‍යයක අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය සහ තායිලන්තය වැනි ඝර්ම කලාපීය රාජ්‍යයන් තල් පත්‍ර පදම් කිරීම මගින් නිපදවන පුස්කොළ පොත් ප්‍රයෝජනයට ගැනීමට ආරම්භ කරන්නේ එයට පිළියමක් ලෙස යි.

මෙසේ ලේඛන මාධ්‍යයක් ලෙස පුස්කොළ පොත් භාවිතා කිරීම ආරම්භ වී ඇත්තේ ක්‍රිර්තු වර්ෂයන් ඇරඹීමටත් පෙර සිට යි. එයට තල් කොළ පොත යැයි නොකියා පුස්කොළ පොත යැයි ව්‍යවහාර කරන්නේ ‘කිසිවක් නොලියන ලද හිස් කොළය’ යන අර්ථයෙන් බව ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ දැක්වෙනවා. මෙසේ භාවිතයට පැමිණි පුස්කොළ පොත, ලේඛන කලාවේදී ශිලා ලිපි සතු කරගෙන සිටි ස්ථානය පැහැර ගත් අතර පෘතුගීසි පාලන සමයේදී ශ්‍රී ලංකාවට මුද්‍රණ කර්මාන්තය හඳුන්වාදෙන තුරු ම ශ්‍රී ලංකාවේ බහුල ම ලේඛන මාධ්‍ය ලෙස වැජඹුණා.

පුස්කොළ පොත් ගැන පැරණිම සාක්ෂි
නිසි සාක්ෂි නොපැවතුණ ද ඉතිහාසඥයින්ගේ මතය වන්නේ මහන්දාගමනය සිදු වූ කාල වකවානුවේ සිටම පුස්කොළ පොත් භාවිතා වන්නට ඇති බව යි. අනුරාධපුරයේ ඇතුළු නුවර සල්ගහවත්ත ආශ්‍රිත ව සිදු කළ කැනීම්වලින් ඇත් දළ සහ සත්ත්ව අස්ථි යොදා ගනිමින් නිම වන ලද පුස්කොළ පොත් කම්බා 4 ක් හමු වී ඇති අතර ඒවා ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසට සහ 1 වැනි සියවසට අයත් ඒවා බව සැලකෙනවා. එසේම හෙළ අටුවා රචනා කිරීම, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සහ පාලි අට්ඨකථා ලිවීම වැනි ඓතිහාසික සිදුවීම් මගින් පැහැදිලි වන්නේ ද අතීතයේ දී පුස්කොළ පොත් භාවිතා වී ඇති බව යි.

මේ වන විට විවිධ පුද්ගලයන් සහ ආයතන සතු සිංහල බසින් ලියන ලද පුස්කොළ පොත් ගණන හැත්තෑ පන් දහසක් පමණ වන බව කියැවෙනවා. මෙයින් බොහෝමයක් පොත් ලියැවී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 18 වැනි සහ 19 වැනි සියවස්වලදී යි. ඊට පෙර කාලයේ දී ලියන ලද පුස්කොළ පොත් අතිශය විරල වන අතර ගම්පොළ සහ කෝට්ටේ රාජධානි සමයේ ලියන ලද දැනට සොයාගෙන ඇති පුස්කොළ පොත් ගණන 4 කට සීමා වෙනවා. දැනට ශ්‍රී ලංකාවෙන් සොයා ගන්න ලද පැරණි ම පුස්කොළ පොත් හතර අයත් වන්නේ දඹදෙණි රාජධානිය හෙවත් ක්‍රිස්තු වර්ෂ 13 වැනි සියවසට යි.

චුල්ලවග්ගය (කොළඹ ජාතික කෞතුකාගාරය)
විසුද්ධමග්ග ටීකාව (පේරාදෙණි විශ්ව විද්‍යාලයීය පුස්තකාලය)
සාරත්ථදීපනි නම් විනය ටීකාව : පළමු කාණ්ඩය (බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාලය)
සාරත්ථදීපනී නම් විනය ටීකාවේ පිටපත (පැරිස් නුවර ජාතික පුස්තකාලය)

blogs.mcgill.ca. ක්‍රිස්තු වර්ෂ 1710 දී පිටපත් කරන ලද යෝගරත්නාකරය

මීට අමතර ව ශ්‍රී ලංකාවෙන් හමු වූ වැදගත් පුස්කොළ පොත් රැසක් පවතිනවා. කැලණිය විශ්ව විද්‍යාලය සතු 13 වැනි සියවසට අයත් මහාවග්ග පාලියේ පුස්කොළ අත් පිටපත,  පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනේ වාසය කළ මංගල නම් භික්ෂුව විසින් ක්‍රිස්තු වර්ෂ 1412 දී පිටපත් කරන ලද කොළඹ ජාතික කොෟතුකාගාර පුස්තකාලයේ ඇති සංයුක්ත නිකාය, ක්‍රිස්තු වර්ෂ 1521 දී පිටපත් කරන පද පාලි පරමත්ථප්පකාසිනී නම් පාලි ටීකාව, ක්‍රිස්තු වර්ෂ 1665 දී පිටපත් කරන ලද සිංහල පූජාවලිය සහ ක්‍රිස්තු වර්ෂ 1704 දී සංස්කෘත බසින් පිටපත් කර ඇති බෞද්ධ ශතකය එයින් කිහිපයක්.

විදේශ රටවලින් දැනට හමු වී ඇති පුස්කොළ පොත් අතරින් පැරණි ම පුස්කොළ පොත ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසට අයත් වෙනවා. එය සොයා ගෙන ඇත්තේ මධ්‍යම ආසියාවෙන්. ඉන්දියාවෙන් ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසට පෙර ලියූ පුස්කොළ පොත් හමු වී නොමැති තරම්.

තල් පතින් පුස්කොළ පොතට
ලේඛනකරණය සඳහා පුස්කොළ පොත් සකස් කර ගැනීමට අතිශය සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. කල් පවතින පරිදි පුස්කොළ පොත නිර්මාණය කිරීම සඳහා අනුගමනය කළ යුතු විවිධ ක්‍රමවේදයන් පවතිනවා. මේ පුස්කොළ පොතක් නිමැවීමේ ක්‍රියා පිළිවෙළ යි.

 තල් ගස ලකුණු කිරීම
පුස්කොළ පොත් නිපදවීමට භාවිතා කරන තල් ගස් කලින්ම ලකුණු කරන අතර පුස්කොළ පොත් සැකසීම සිදු කරන්නේ එයින් ලබා ගන්නා තල් ගොබයෙන් පමණ යි. මෙසේ වෙන් කරන ලද තල් ගසක් වසර 15 – 20 ක් පමණ වර්ධනය වූ පසු වසරකට තල් ගොබ ද්විත්වයක් කපා ගැනීම සිදු කරනවා.

 තල් ගොබය කැපීම

තල් ගොබය පිදෙන විට එය විසිරී යාම වැලැක්වීම සඳහා උණ පතුරුවලින් සැකසූ වළලු සිර කිරීම යි. එයින් අපේක්ෂා කරන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා තල් ගොබය වැඩීම සීමා කිරීම යි. සාමාන්‍යයෙන් පුස්කොළ පොත් සැකසීම සඳහා මාස 1 – 2 අතර වයසේ තල් ගොබ යොදා ගන්නා අතර තල් ගොබය මේරීම සඳහා ගත වන කාලය දේශගුණික සාධක මත වෙනස් වෙනවා. නිසි ලෙස වැඩුණු තල් ගොබයක් අඩි 12 – 18 ක පමණ ප්‍රමාණයකින් යුතු යි. මෙවැනි තල් ගොබයක් වැඩුණු පසු එය කපා ගැනීමට පෙර තල් ගසට නියමිත ගෞරවනීය කෙම් ක්‍රම සිදු කරනවා.

 කූරු ඉවත් කිරීම සහ වට්ටු සැකසීම

මෙසේ කපා ගන්නා තල් ගොබය පිරිසිදු රෙදි කඩකින් පිස දැමීමෙන් පසුව මුවහත් පිහියක් යොදා ගනිමින් තල් කොළයට හානි සිදු නොවන ආකාරයට කූරු (ඉරටු) ඉවත් කළ යුතු යි. මේ ආකාරයට කූරු ඉවත් කර ගැනීමේ දී තල් කොළය අග සිදුරක් නිර්මාණය වන අතර පසු ව තල් කොළය වියළා ගැනීමට එය උපකාරී වෙනවා. ඉන් අනතුරු ව තල් කොළ එක මත එක තබා රෝලක් ලෙස සකස් කර ගන්නා අතර මෙය වට්ටු සැකසීම ලෙස හඳුන්වනවා. මෙය ඉතාමත් ප්‍රවේශමෙන් සිදු කළ යුතු කාර්යයක්. එයට හේතු වන්නේ පසුව තල් කොළ තැම්බීමේ දී ඒ සඳහා යොදා ගන්නා ඖෂධීය සාරයන් කොළයේ සෑම තැනක් ම ආවරණය නොකළහොත් එය කල් පවත්වා ගැනීමට අපහසු වීම යි.

 තල් කොළ තැම්බීම සහ වියළීම
තල් කොළ තැම්බීම මගින් අපේක්ෂා කරන්නේ ඒවා වැඩි කාලයක් ආරක්ෂා කර තබා ගැනීම සහ ළපටි හෝ පමණ ඉක්මවා මෝරන ලද තල් කොළ ලිවීමට පහසු වන ලෙස සැකසීම යි. මේ සඳහා පැපොල් කොළ සහ ළපටි පැපොල් ගෙඩි, අන්නාසි කොළ, කැප්පෙටියා කොළ, පොතු වර්ග මෙන් ම විවිධ ඖෂධ ද යොදා ගන්නවා. සාමාන්‍යයෙන් තල් කොළය පදම් කර ගැනීම සඳහා පැය කිහිපයක් තම්බා ගත යුතු වන අතර ඇතැම් අවස්ථාවල දී නිසි පදම ලබා ගැනීමට දින කිහිපයක් තම්බා ගන්නා අවස්ථා ද පවතිනවා.

මෙසේ තම්බා ගන්නා තල් කොළ නිසි ලෙස වියළා ගැනීම ද අත්‍යාවශ්‍ය යි. මේ නිසා හොඳින් හිරු එළිය ඇති දිනෙක තම්බා ගන්නා ලද තල් කොළ එකිනෙක නොගැටෙන පරිදි මද පවනේ එල්ලා තබනු ලබනවා. පසුව මද අව්වේ ද අලුයම මද පින්නේ ද නැවතත් මද අව්වේ ද වන ලෙස එය වියළා ගැනීම සිදු කරනවා. මේ ආකාරයට නිසි පරිදි තල් කොළ වියළීම සිදු නොවුණ හොත් ඒවා ඉක්මනින් ම දුර්වර්ණ වීම සිදු විය හැකි යි.

 කොළ මැදීම සහ නැවත වට්ටු සැකසීම
මේ ආකාරයට වියළා ගන්නා තල් කොළ, සිරස් අතට සිටවන ලද කනු දෙකක හරස් අතට පුවක් කඳක් හෝ එවැනි ලීයක් බැඳ, තල් කොළය ඒ මත තබා එහි එක් පැත්තකට බරක් බැඳ, අනෙක් කෙළවරින් හරස් ලීයේ ඉහළට සහ පහළට වාර කිහිපයක් ඇදීම සිදු කරනවා. මෙය තල් කොළ මැදීම ලෙස හඳුන්වන අතර මෙසේ මදින ලද තල් කොළ නැවත වරක් වට්ටු ලෙස සකස් කර අවැසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා සුරක්ෂිතව ගබඩා කර තබනවා.

 කොළ කැපීම, සිදුරු විදීම සහ රත ගෑම

ඉන් අනතුරු ව පුස්කොළ පොතක ලිවීමට අවශ්‍ය වූ විටෙක මුලින් ම සිදු කරන්නේ කොළ කපා ගැනීම යි. පොතේ ස්වභාවය අනුව කොළයේ ප්‍රමාණය තීරණය වන අතර ඒ සඳහා අච්චුවක් යොදා ගන්නවා. මෙසේ කොළ කපා ගැනීමෙන් පසු ව ඒවායේ තනි සිදුරක් හෝ සිදුරු දෙකක් විදීම සාමාන්‍යයෙන් සිදු කරන අතර ඒ සඳහා යොදා ගන්නේ යකඩ කූරක්. සිදුරු විදීමෙන් පසු ව එයට මනා නිමාවක් ලබා දීම සඳහා රත ගෑම සිදු කරනවා. එහි දී සිදු වන්නේ ගිනියම් වන ලෙස රත් කරන ලද පත්තුළ නම් උපකරණය තල් කොළ සහිත අච්චුවේ දාරවල ඇතිල්ලීම මගින් අනවශ්‍ය කොටස් පිළිස්සී යාම යි.

 පුස්කොළ ලීවීම

මෙසේ සකස් කර ගන්නා පුස්කොළ පොතක ලිවීම සඳහා යොදා ගන්නේ පන්හිඳ යි. පන්හිඳෙන් ලිවීම පහසු කිරීම සඳහා නියමිත හැඩයට නියපොත කැපීම අවශ්‍ය යි. පුස්කොළ පොතක ලිවීමේ දී අක්ෂර මෙන් ම පිලි ද ඒකාකාර බවෙන් යුතු වීම අනිවාර්ය වෙනවා. සාමාන්‍යයෙන් පුස්කොළ පොතක ආරම්භය සහ අවසානය ආශිර්වාද පාඨයකින් සිදු වන අතර මුල් පත් ඉරුවේ හෝ අවසන් පත් ඉරුවේ දිනය සහ ලියන්නාගේ නම සඳහන් කිරීම සිරිතක්. එසේ ම පුස්කොළ පොතක නැවතීමේ තිත වෙනුවට කුණ්ඩලිය හෙවත් සාම්ප්‍රදායික සිංහල නැවතීමේ තිත (෴) යොදා ගන්නා ආකාරය ද නිරීක්ෂණය කළ හැකි යි.

මීට අමතර ව පුස්කොළ පොතක ලිවීමේ දී අකුරක් වැරදුණහොත් එය ඉරි දෙකක් යොදා ගනිමින් කපා දමන අතර මග හැරෙන වචන සටහන් කිරීමේ දී කාකපාදයක් යොදා ගන්නවා. සාමාන්‍යයෙන් හල් අකුරු යොදා ගන්නවා වෙනුවට පුස්කොළ ලිවීමේ දී බැඳි අකුරු යොදා ගැනීම සාම්ප්‍රදාය යි.

 කළු මැදීම සහ සුදු මැදීම
පුස්කොළ පොතක් ලියා අවසන් කළ පසු එහි කොටන ලද අකුරු දර්ශනය වීමේ අරමුණෙන් කළු මැදීම සිදු කරනවා. ඒ අනුව දොරණ තෙල්, ගැඩුම අඟුරු, කුරක්කන් හෝ දුම්මල යොදා ගනිමින් කළු මැදීම කරනු අතර මෙම ද්‍රව්‍ය මගින් පුස්කොළ පොතට ආරක්ෂාවක් ලැබෙන බව සැලකෙනවා. කළු මැදීමෙන් පසු ඉතිරි වී ඇති වැඩිපුර ඇති කළු පැහැය ඉවත් කිරීම සඳහා සුදු මැදීම සිදු කරනු ලබනවා. සාමාන්‍යයෙන් පුස්කොළ පොත සංරක්ෂණය කර තබා ගැනීම සඳහා වසරකට වරක්වත් කළු මැදීම සිදු කළ යුතු යි.

මේ පුස්කොළ පොතක් සැකසීමේ පියවර යි. මෙසේ සකස් කර ගන්නා පුස්කොළ පොත් කම්බා යුගලය ලෙස හඳුන්වන පිටකවරයකින් යුතු වෙනවා. මෙම කම්බා බොහෝ විට දැවයෙන් සකස් කර තිබුණ ද ඇත් දළ, සත්ත්ව හම්, ලෝහ වර්ගයන්ගෙන් නිමවන ලද කම්බා ද නැතුවා ම නොවෙයි. එසේ කම්බා සෑම එකක් ම පාහේ පාරම්පරික මෝස්තර සහ කැටයම් යොදාගෙන අලංකාර කර ඇති අතර ඇතැම් ඒවා සඳහා මුතු මැණික් ද යොදාගෙන තිබෙනවා.


(under the courtesy of roar.media web)

More News »