ගොවිතැන සහ සත්ව පාලනය

2018-01-05 11:09:00       27
feature-top
රජරට එහෙමත් නැත්නම් අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි තිබුණු යුගවලදි, අපේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රධාන ජීවනෝපාය වෙලා තියෙන්නෙ කෘෂි කර්මාන්තයයි. ඒ අපේ රටේ කෘෂි කර්මාන්තය කරගෙන යන්න තරම් සුදුසු දේශගුණික වටපිටාවක් තිබුණු නිසා. ජලය, සරු පස, හිරු එළිය, තැනිතලා භූමි කියන මේ සාධක හතරම අපේ රටට හිමි වෙලා තියෙනවා. අපේ රටේ ගොවිතැන් කටයුතු ආරම්භ වුණේ විජයාවතරණය සිද්ධ වෙන්නත් කලින්. අපේ රටට විජය කුමාරයා ඇතුළු 700ක පිරිසක් ගොඩ බහින කොට, කුවේණිය ඒ අයට බතින් සoග්‍රහ කළා කියලා පොත්පත්වල තියෙනවා. ඒ වගේම ඒ කාලයේ අපේ රට විදේශීය වෙළද නැව්වලට සහල් අපනයනය කරලත් තියෙනවා. එහෙනම් අපේ රටට කෘෂි කර්මය ආර්යයන් හදුන්වලා දුන්නා කියන එක පට්ටපල් බොරුවක් වෙනවා. නැත්නම් කොහොමද 700 දෙනෙක්ට එක පාරටම බතින් සoග්‍රහ කරන්න තරම් සහල්..???

අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි ආරම්භ වෙනකොට කෘෂි කර්මය මහා පරිමාණයෙන් කරන්න ගත්තා. ඒකට බලපාපු ප්‍රධානම සාධකය තමයි ජනගහන වර්ධනය. ඒ නිසා සහල් වැඩියෙන් නිෂ්පාදනය කරන්න අවශ්‍යතාවක් පැන නැගුනා. ඒකට වතුර ඕන. වතුර ලැබෙන්නෙ වැස්සෙන්. වැස්ස ලැබෙන්නෙ එක කාලයකට විතරයි. ඒ නිසා එක පාරටම වහින වැස්සෙන් වැටෙන වතුර එක තැනකට ඒකරාශී කරලා වැව් හදලා, වැවෙන් ගන්න ජලයෙන් ගොවිතැන් කටයුතු සිද්ධ කළා. අපි මේ ගැන "වාරි කර්මාන්ත" කියන ලිපියෙන් පුළුල්ව සාකච්ඡා කළා.
 Picture

අද ගොඩක් අය වගේ ඒ කාලයේ මිනිස්සු පාන් පිටි ගිලලා පණ ගැට ගහ ගත්තෙ නෑ. අපි තුන් වේලටම බත් කාපු ජාතියක්. ඒ නිසා වගා කිරීම සිද්ධ වුණේ "කන්න" (වාර) තුනකට.
01. අකලහස
02. දඩහස
03. තඹදෙදහස

අපේ රටේ ගොවිතැන සිද්ධ වුණේ ක්‍රම දෙකකට.
01. මඩ ගොවිතැන
02. ගොඩ ගොවිතැන

මඩ ගොවිතැන කියන්නෙ මඩේ ඉදන් කරන ගොවිතැනට. ඒ කියන්නෙ සහල් වගා කරන එකට. අපි අද කුඹුරු කියලා කියන්නේ..???? මඩ ගොවිතැනේදි මා වී, හීනැටි, රන්හැල්, ශාලි, ඇල් වී, තණ හාල්, උළු හාල් වගේ වී වර්ග වගා කරලා තියෙනවා. අද නැතිවුණත් ඒ කාලයේ අපේ රටට විතරක්ම උරුම වෙච්ච පාරම්පරික වී වර්ග 5000කටත් වඩා තිබිලා තියෙනවා. 

ගොඩ ගොවිතැන කිව්වෙ ගොඩේ ඉදන් කරන ගොවිතැනට. ඒකෙදි කළේ එළවළු, පළතුරු, ධාන්‍ය වර්ග වගා කරපු එකයි. ඒ කියන්නෙ ඔය කෙසෙල්, පොල්, අඹ, කජු, උක්, ඉගුරු, දුරු, කහ, කපු, තල, මුo, මිනේරි, කුරක්කන්, යව, උදු, අබ, අල වර්ග වගේ භෝග වර්ග. 

මඩගොවි තැන කරන ප්‍රදේශයට කිව්වෙ "කෙත්" කියලා. ගොඩ ගොවිතැන කරන ප්‍රදේශයට කිව්වෙ "වතු" කියලා. ඒකෙන් තමයි අපි ඉස්කෝලෙ යන කාලවල්වල ඉගෙන ගත්තු "කෙත් වතු" කියන යුගල පදය හැදෙන්නෙ. 

කෙත කියන පදය ගොඩක් ඉස්සර ඉදන්ම එන එකක්. බුදු හාමුදුරුවො ලෝකයේ සම්භවය ගැන "අග්ගඥ සූත්‍රයේ" ලස්සනට විස්තර කරනවා. ඒ බ්‍රාහ්මණ වoශිකයන්ගේ කුල ක්‍රමය ඛන්ඩනය කරන්න. මේකෙදි බුදු හාමුදුරුවො දේශනා කළේ මිනිස්සු මහා බ්‍රහ්මයාගේ ශරීර අවයවවලින් ඉපදුනේ නෑ, මුලින්ම මිනිස්සු මේ ලෝකයට එකට අත්වැල් බැදගෙන ඇවිල්ලා, එක හා සමානව ඉදලා, පස්සෙ දේශගුණ රටා සහ කළ කී දෑ අනුව වෙනස් වුණා කියලා. බුදු හාමුදුරුවො මේ වගේ දේවල් දේශනා කළේ බොහෝම අඩුවෙන්.

මොකද මේ වගේ දේවල් දැනගෙන හිටියා කියලා, නිවන් දකින්න, නිවන් මාර්ගයට යන්න ප්‍රයෝජනවත් වෙන්නෙ නෑ. මේවා ගැන හොයන්න හොයන්න සිත තව තවත් ඒ දිහාවටම යනවා. ඒත් බුදු හාමුදුරුවන්ට දේශනා නොකර ඉන්න බැරි තැන්වලදි උන්වහන්සේ, මේවා ගැනත් දේශනා කළා. ඒ කතාව හරිම ලස්සන කතාවක්. ඒ වගේම ගොඩක් දිග කතාවක් නිසා, මේ ලිපියේ සදහන් නොකර ඉන්න හිතුවා. 
 Picture

සූත්‍රය අවසානයේ බුදු හාමුදුරුවො දේශනා කරන විදිහට බ්‍රාහ්මණ, කෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන කුල හතර නිර්මාණය වුනේ ඒ ඒ අයගේ හැසිරීම් රටාව අනුව.  කෂ්ත්‍රීය වoශය ගැන දේශනාවෙ කියවෙන්නෙ "ඛෙත්තානo අධිපතීති ඛත්තියෝ" කියලා. ඒ කියන්නේ "රටේ කෙත් වතුවලට හිමිකම් කියූ බැවින් කෂත්‍රීය නම් විය" කියලයි.

රටේ පාලකයා, ​එහෙමත් නැත්නම් රජ කෙනෙක් වෙන්න පුලුවන්කම තියෙන්නෙ "කෂත්‍රීය වoශිකයෙක්"ට විතරයිනෙ. මේ සoකල්පය ඒ දවස්වල ඉදලම ඉන්දියාවෙත්, අපේ රටෙත් තිබිලා තියෙනවා. රජතුමා තමයි අපේ රටේ නිතීමය රාමුව සකස් කරන්නෙ. රටවැසියාව ආරක්ෂා කරන්නෙත්, රටවැසියගෙ ප්‍රශ්නවලට පිළිතුරු දීලා, රටවැසියව රැක ගන්නෙත්. ඒ නිසා මුළු රටම අයිති පාලකයට. මුළු රටම කියන්නෙ අස්සක් මුල්ලක් බිම් අගලක් නෑරම. ඉතින් මුළු රටේම කෙත්වතුවල අයිතිය තියෙන්නෙ පාලකයට නිසා ඒ සදහා ගෙවීමක් කරන්න ඕන. ඒක තමයි ඔය "බද්ද" කියලා කියන්නෙ. පාලකයා රටේ මිනිස්සු වෙනුවෙන් ඒ කරන සේවාව වෙනුවෙන් තමයි මිනිස්සු බදු මුදල් ගෙවන්නෙ. ඒ නිසා කෘෂි කර්මාන්තයෙන් ගන්න අස්වැන්නෙන් 1/4ක් පාලකයට ගෙවන්න ඕන කියලා නීතියක් ඒ දවස්වල, අපේ රටේ තිබුණා.  

ඒ වගේම පාලකයටත් වගකීමක් තිබුණා අපේ රටේ ආර්ථිකය ගොඩ නoවන්න. ඒ නිසා රජරට ශිෂ්ටාචාරයේ ගොඩක් පාලකයො කෘෂි කර්මාන්තය කරගෙන යන්න අපේ මිනිස්සුන්ට ගොඩක් උදව් කළා. විශේෂයෙන්ම වැව් නිර්මාණය කරලා.

මඩ ගොවිතැන කරන කොටත් අදියර කිහිපයකින් සමන්විත  හරියාකාර පිළිවෙලක් තියෙනවා.
01. පස සකස් කිරීම
02. වල් පැළ නෙලීම
03. නියර බැදීම
04. වී වැපිරීම
05. පැල් රැකීම
06. අස්වනු කැපීම 

ඔන්න ඔය වගේ. කෘෂි කර්මාන්තය අපේ ආගම දහමට වගේම සoස්කෘතියටත් සම්බන්ධ වුණා. අපේම කෙම් ක්‍රම පාවිච්චි කරලා, දෑතේ දෙපයේ වෙර වීර්යය යොදලා නගුල, උදැල්ල, කැත්ත, දණ්ඩ, පෝරුව පාවිච්චි කරලා ගන්න පළවෙනි අස්වැන්න ගමේ පන්සලට තමයි මුලින්ම පූජා කරන්නෙ. එහෙමත් නැත්නම් දළදා හාමුදුරුවන්ට. එහෙමත් නැත්නම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ට. මේ වගේ අභිචාර විධි කේන්ද්‍ර කරගෙන තමයි අලුත් සහල් මoගල්‍ය, පරණ සහල් මoගල්‍ය, අලුත් අවුරුදු මoගල්‍ය, කිරි ආහාර මoගල්‍ය, මුට්ටි නැමුම් මoගල්‍ය වගේ උත්සව නිර්මාණය වෙන්නෙ. ඒ වගේම පෙරහැර සoස්කෘතියකුත් නිර්මාණය වෙනවා. ඔය "කුරුදු පෙරහැර" එහෙම මේකට හොද උදාහරණයක්.

​ඒ වගේම ගම්මඩු, ගැමි නාටක, ශාන්ති කර්මත් නිර්මාණය වෙනවා. ඒ තරමට කෘෂි කර්මය අපේ ආගමට, සoස්කෘතියට බද්ධ වෙනවා. 
 Picture

​ඒ වගේම අපේ රට රජරට රාජධානි සමයේ සහල්වලින්  ​ස්වයoපෝෂිත වෙලා තිබුණා. හාල් ඇටයක්වත් පිටරටකින් ගත්තෙ නෑ. සහල් නිෂ්පාදනය වැඩි වෙලා අතිරික්ත ගොඩ ගැහිලා අන්තිමේදි අපි සහල් පිටරට යැව්වා. සහල් අපනයනයෙන් විශාල ලාභයක් ඒ කාලයේ අපේ රටට ලැබුණා. අද වෙල්ලස්ස කියලා කියන්නෙත්, ඒ කාලයේ වෙල් ලක්ෂයක් අස්වද්දපු නිසාලුනෙ. ඒ කාලයේ අත්තම් ක්‍රමයටත් අපේ මිනිස්සු කෘෂි කර්මාන්තයේ නියැලුණා. 

ඒ වගේම රජයේ කුඹුරු, ගොඩ ඉඩම් වගා කිරීම්, පුරන් කුඹුරු රජයට පවරා ගැනීම්, පෞද්ගලික ඉඩම් සහ කුඹුරු ඉඩම්වලින් අය කරන බදු, රජයෙන් දුන් ඉඩම් පිළිබද එකී මෙකී නොකී අකී, අකී නොකී මෙකී එකී, මේ හැම තොරතුරක් ගැනම වාර්තා කරන්න නිළධාරි කණ්ඩායමකුත් හිටියා. මේ නිළධාරි මණ්ඩලය ගැන අනුරාධපුරයේ මුල් භාගයේ සෙල්ලිපිවල සදහන් වෙනවා. ඒ කියන්නෙ ක්‍රි.ව - 9 ක්‍රි.ව 10 අතර සෙල්ලිපිවල. ඒ නිළධාරි මණ්ඩලය මෙන්න මේ විදිහට පෙළ ගස්වන්න පුලුවන්. වරහන් ඇතුළෙ සදහන් කරලා තියෙන්නෙ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තයගෙ මතයන්.
01. වෙල්වැදි
02. වෙල්කැමි
03. කරල්කැමි
04. වෙලැයුත්
05. වෙත්සම් දරුවන්
06. වෙල් වදාරන්නන් (වෙල් විධානේ තනතුර විය හැක)
07. වෙල් වැස්සා (රජයේ ඉඩම් වගා කළ අයෙක් විය හැක)
08. වෙලැයුත් පස්දෙනා (කෘෂි කර්මාන්ත කටයුතු සදහා පත් කළ මණ්ඩලයක් විය හැක)
09. උයන්ගොවි (උද්‍යාන පාලකවරු විය හැක) 
10. උයන්කැමි (උද්‍යාන පාලකවරු විය හැක) 
11. උයන් වැදෑරුම් (උද්‍යාන පාලකවරු විය හැක) 
12. කැරැවැදරුවන් (බදු ඉඩම් පරීක්ෂකවරු විය හැක)
 Picture

මේ නිළධාරීන්ට අමතරව "පාලි අටුවා" ග්‍රන්ථවලින් තවත් තනතුරු දෙකක් හදුනාගෙන තියෙනවා.
01. රජ්ජුග්ගාහක අමච්ච
02. දෝනමාපක මහා මච්ච

ඒවා සිoහල භාෂාවට පරිවර්තනය කළාම එන්නෙ මෙහෙමයි.
01. කෙත් මනන යහන් ගන්නා ඇමති
02. දෝන මානයෙන් යුත් මහ ඇමති

"ජාතක අටුවා ගැට පදයේ" මේ තනතුරු දෙක ගැන සදහන් වෙන්නෙ මෙහෙමයි.
01. යට ගසා කෙත් බෙදන්නා
02. වී මනින්නා

පාලි අටුවාවෙත්, ජාතක අටුවා ගැට පදයෙත් මේ තනතුරු ගැන තියෙන කරුණු කාරණා සමාලෝචනය කළාම, රජ්ජුග්ගාහක කියන්නෙ කුඹුරු ඉඩම් මනින කාර්යයේ නිරත වුණු නිළධාරියෙක්ට. දෝනමාපක කියන්නෙ රජයට කුඹුරුවලින් ලැබෙන්න ඕන ධාන්‍ය බද්ද මනින සහ එකතු කරන නිළධාරියට. "මිහින්තලා පුවරු ලිපියෙ" සදහන් වෙන කොටරැකි, කොටරැකිනා කියන තනතුරුත්, "ජාතක අට්ඨ කතාවේ" තියෙන "ධන්‍යමාපක" කියන තනතුරත්, අපි කලින් සදහන් කරපු "දෝනමාපක මහා මච්ච" කියන තනතුර හදුන්වන සමාන නම්.

මේවායෙන් ඔප්පු වෙනවා අවුරුදු දහස් ගණනකට කලින් අපේ රටේ කෘෂි කර්මය හොදින් සoවිධානය වෙලා තිබුණා කියලා. ඒ වගේම හොද පාලන තන්ත්‍රයක් යටතේ තිබුණා කියලත්. පරිපාලනය 100%ක්ම හොදින් සිද්ධ වෙලා තියෙනවා කියලත්. 

​රජරට ශිෂ්ටාචාරයේ කොච්චර කුඹුරු අස්වැද්දුවද කිව්වොත්, මේක අනුරාධපුර සහ පොළොන්නරු රාජධානිවල පරිහානියටත් වක්‍රව බලපානවා. අවුරුදු දහස් ගණනක් තිස්සෙ වගා කරලා, වගා කරලා, මුළු භූමියේම පස නිසරු වෙනවා. කෘෂි කර්මය නැතුව අපේ මිනිස්සුන් බඩගින්නෙ. ඒ නිසා ගොඩක් අය සරු පස තියෙන ප්‍රදේශයි, කෘෂි කර්මය නැතුව වෙළද භෝග වගාව කරන්න සුදුසු ප්‍රදේශයි හොයාගෙන නිරිතදිග ප්‍රදේශවලට සoක්‍රමණය වෙන්න ගන්නවා.
 Picture

සත්ව පාලනයත් කෘෂි කර්මාන්තයටම සම්බන්ධ වෙලා තිබුණා. ඒ කාලයේ මිනිස්සු ගෙවල්වල එක එක ප්‍රයෝජන ගන්න කුකුල්ලු, කිකිළියො, ඌරො, හරක්, එළදෙන්නු, එළුවො වගේ සත්තු ඇති කළා. ඒ කිරි, බිත්තර, මස් මාoශ, පස්ගෝ රස ලබා ගන්න වගේම සත්තුන්ගෙ කරපිටින්, එහෙමත් නැත්නම් කරත්තවලින් භාණ්ඩ ප්‍රවාහනය කර ගන්නත්. ඒ වගේම කෘෂි කර්මයේදි සී සාන්නත් ගවයන්ව අනිවාර්යෙන්ම යොදා ගන්නවා.

අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ගව ඝාතනය තහනම් කළේ "භාතිකාභය" රජතුමා. මේ රජතුමාගෙ කාලයේ හරකෙක්ව මරණ කෙනාට රාජ දඩුවම් දුන්නා. සමාජයෙන් කොන් කළා. වසලයෙක් කියලා නම් කළා. කුලයෙන් පහත් කරලා "රොඪි කුලය"ට දැම්මා.

ඒ වගේම අපේ රටේ පළවෙනි වතාවට මුලු මනින්ම සත්ව ඝාතනය තහනම් කළා "අමණ්ඩ ගාමිණී අභය" රජතුමා. මේ රජතුමාගෙ කාලයේ කුරා කූඹියෙකුටවත් මිනිස්සුන්ගෙන් කරදරයක්, හිoසාවක් පීඩාවක් වුණේ නෑ. ඒ බුදු දහමත් එක්ක අපි ලබපු ආභාශය නිසා වෙන්න ඕන. මොකද බුදු දහම කියලා කියන්නෙ අවිහිoසාවාදී ආගමක්නෙ. ඒ වගේම බුදු හාමුදුරුවො කළ යුතු සහ නොකළ යුතු වෙළදාම් ගැන වෙන වෙනම පැහැදිලි කරලා දීලා තිබුණා. "කසී භාරද්වාජ සූත්‍රය" ගත්තත් උන්වහන්සේටත් කෘෂි කර්මාන්තය ගැන හසල දැනුමක් තිබුණා කියලා පැහැදිලි වෙනවා.
 courtesy : dhamma.ifbcnet.org


More News »