අටු කොටු පුරවන යල මහ කන්න

2018-01-25 10:57:00       620
feature-top
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අාහාරය බත් ය. මේ නිසා රටට අවශ්‍ය සහල් ප්‍රමාණය මුළුමනින්ම පාහේ මෙරට තුළදීම නිෂ්පාදනය කිරීම රජ කාලයේ සිටම මෙරට පාලකයන්ගේ ප්‍රධාන අරමුණක් වී පැවතුණි. අාදි කාලයේ සිටම මෙරට පැවති දේශගුණ රටාව සැලකිල්ලට ගෙන වසරකට දෙවරක් වී වගා කිරීමේ සම්ප්‍රදායක් පැවත එයි. මේ ලිපියෙන් විග්‍රහ කෙරෙන්නෙ යල සහ මහ ලෙස හැඳින්වෙන එම කන්න දෙක පිළිබඳවයි.

වර්තමාන වී වගාව
දිවයිනේ තනි බෝගයක් ලෙස අදටත් වැඩිම බිම් ප්‍රමාණයක් යොදවා ඇත්තේ වී වගාවට වන අතර එය රටේ මුළු බිම් ප්‍රමාණයෙන් 42% පමණ වේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ වී වගා කෙරේ. වැඩිම වී වගා බිම් ප්‍රමාණය ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අතර අඩුම වගා බිම් ප්‍රමාණය ඇත්තේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ය.

වී වගාව සඳහා ජලය විශාල වශයෙන් සපයා ගැනීම අවශ්‍ය වන අතර මේ හේතුවෙන් වී වගාවේ සාර්ථකත්වය වැසි ලැබීම මත ඍජුව මෙන්ම වක්‍රවද (වැව් අමුණු පිරී පසුව ප්‍රයෝජනයට ගැනීමට හැකි වීම) රඳා පවතී. තෙත් කලාපයේ වර්ෂා ජලයෙන් පමණක් වී වගා කළ හැකි වුවත් වියළි කලාපයේදී විවිධ ජලසම්පාදන ක්‍රම භාවිතය අත්‍යවශ්‍ය වේ.

අපට ජලය ලබා දෙන මෝසම් සුළං
වී වගාවට ජලය වැඩි වශයෙන් අවශ්‍ය බැවින් වැසි කාල සැලකිල්ලට ගෙන වී වගා කරනු ලබන කාලය තෝරා ගත යුතුය. එම කාල සීමාවන් තෝරා ගැනීමේදී ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ මෙරටට වැඩිපුරම වැසි ලැබෙන මෝසම් වර්ෂා දෙකයි. ශ්‍රී ලංකාවේ වී වගාව ඇතුළු බොහෝ කෘෂිකාර්මික කටයුතු සදහා මෝසම් වර්ෂාවනි පදනම් වේ. මෝසම් වර්ෂාව ප්‍රධාන කොටස් දෙකකි.

නිරිතදිග මෝසම
මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම් වර්ෂාව ලැබේ. රටේ නිරිතදිග ප්‍රදේශයට මෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර ප්‍රදේශවලට වැඩි වර්ෂාවක් ලබා දෙයි. මේ කාලය තුල දිවයිනේ නැගෙනහිර ප්‍රදේශවලට වියළි සුළං හමා යයි.

ඊසාන දිග මෝසම
දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසාන දිග මෝසම් වර්ෂාව ලැබේ. රටේ ඊසාන දෙසින් ඇතුල් වන ඊසාන දිග මෝසම් සුළං සමග මෙම වර්ෂාව ලැබේ. ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් පෝෂණය වන ප්‍රධාන ප්‍රදේශ ලෙස උතුරු, නැගෙනහිර හා උතුරු මැද පළාත් කැපී පෙනේ.

මෙම වර්ෂාපතන රටා පදනම් කරගනිමින් යල හා මහ ලෙස වෙන්වුනු ප්‍රධාන වගා කන්න දෙකක් හඳුනාගත හැකිය.

යල කන්නය (මාර්තු – සැප්තැම්බර්)

සාමාන්‍යයෙන් යල කන්නය ආරම්භ වන්නේ වසරේ 12වන 14වන සති අතර කාලයේදී ය. නමුත් වියළි හා අතරමැදි කලාප සදහා යල කන්නය සඳහා විශේෂ වර්ෂාවක් නොලැබේ. මෙම ප්‍රදේශවලට ලැබෙන්නේ සති කිහිපයකට සීමා වූ තාවකාලික වර්ෂාවකි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ යල කන්නය බොහෝවිට වසරේ 12 වන සතිය තුල ආරම්භ වන අතර නැගෙනහිර හා පහතරට අතරමැදි කලාපීය ප්‍රදේශ සඳහා යල කන්නයේ වැසි ලැබීම වසරේ 14 වන සතියේ පමණ ආරම්භ වේ. අනෙකුත් අතරමැදි කලාපීය සියලු ප්‍රදේශ සඳහා 13 වන සතියේදී පමණ වර්ෂාව ලැබීම ආරම්භ වේ. සාමාන්‍යයෙන් යල කන්නය පවතින්නේ සති 1ත් 22ත් අතර කාලයකි.

මහ කන්නය (ඔක්තෝබර් – පෙබරවාරි)

සාමානයෙන් මහ කන්නය ආරම්භ වන්නේ වසරේ 37 වන 39 වන සති අතර කාලයේදී ය. රජරට ප්‍රදේශ සඳහා මහ කන්න වර්ෂාව අනෙක් ප්‍රදේශවලට පෙර ලැබේ. එනම් ඔක්තෝම්බර් මස මුලදීම වර්ෂාව ලැබේ. වියළි හා අතරමැදි කලාප සඳහා සාමාන්‍යයෙන් මහ කන්නය සති 11 – 22 අතර කාලයක් බලපැවැත්වේ.

යල මහ කන්න තුළ වැසි නොලැබෙන සති 1-4 අතර කාල සීමාවක් පවතී. බොහෝ විට මෝසම් වර්ෂාවට පෙර ලැබෙන වර්ෂාවත් සමග බීජ වගාකරන ගොවියෝ මෝසම් වර්ෂාවෙන් පසු වාරි මාර්ග පද්ධති හරහා ලැබෙන ජලයෙන් වගා කටයුතු පවත්වාගෙන යති. මහ කන්නයේ ඵලදාව පෙබරවාරි හා මාර්තුවල ලැබෙන අතර යල කන්නයේ ඵලදාව අගෝස්තු සැප්තැම්බර් මාසවල දී ලැබේ.

යල මහ කන්න ආශ්‍රිත ගැටළු
යල මහ කන්නවල වගා කටයුතු සඳහා ඇති ප්‍රධාන ගැටළුව වන්නේ වර්ෂාපතන රටාවන්ගේ වෙනස් වීමයි. මේ හේතුවෙන් බොහෝ වී වගාවන් අවදානමට ලක්වේ. වී වගාවට බලපාන ප‍්‍රධාන සාධකය නම් දේශගුණයයි. ලංකාවේ වියළි කලාපිය බොහෝ ප්‍රදේශ වර්ෂාපතනය බලාපොරොත්තුවෙන් ගොවිතැන් කරයි.වර්ෂාපතන රටාවන් වෙනස් වීම නිසා නියගයන් ගංවතුර වැනි තත්වයන් ඇතිවීමෙන් යල මහ කන්න වල අස්වැන්න විනාශ වීමක් සිදුවේ.

වී අස්වැන්න විනාශ වීම නිසා වී මිල ඉහළ යාම දැකිය හැක. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරිභෝජනය අවශ්‍යතා සපුරා ගැනීමට සහල් විදේශ රටවලින් ආනයනය කිරීමට සිදුවේ. තවද සහල් සඳහා උපරිම මිල මට්ටම් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගැනීමට හා ඒ සඳහා අමතර වියදම් දැරීමට රජයට සිදුවේ.

වර්ෂාපතනය වෙනස් වීම නිසා කෘෂි කර්මාන්තයට අැති වන බලපෑම ලෝකයේ බොහෝ රටවලට ගැටළුවක් වී ඇත. උදාහරණයක් ලෙස 2007 වසරේදී පැමිණි සුළි සුළං මඟින් බංග්ලාදේශයේ ආහාර ටොන් 3000 ක් පමණ විනාශ විය. මීට අමතරව වරින් වර අැති වන නියඟ, ගංවතුර තත්ත්වයන් හේතුවෙන්ද විශාල විනාශයක් සිදු වේ.

ගෝලීය කාලගුණික විපර්යාස නිසා යල මහ කන්නවල වී වගාවට සිදුවන බලපෑම හේතුවෙන් ලබා ගත හැකි ආර්ථික වාසි අඩු වන විට වගාකරුවන් වෙනත් භෝග වලට යොමු වෙති. එළවළු හා පළතුරු වගාව මෙයින් ප‍්‍රධාන වේ.

මේ සියලු කාරණා නිසා මෙරට වී අස්වැන්න අඩු වීමේ ගැටලුවක් පවතී. පහසුවෙන් මෙරටදීම නිපදවිය හැකි සහල් ආනයනය සඳහා විදේශ විනිමය නාස්ති වීම විශාල අපරාධයකි.

පිළියමක් තිබේද?

කන්න ක්‍රමයට වගා කිරීමේදී මෝසම් වර්ෂාපතනයේ වෙනස්කම් ඇති වීම කෘෂිකාර්මික අස්වැන්න සඳහා වැඩි බලපෑමක් ඇති කරයි. මෝසම් රටාවන් වෙනස් වීමට බලපාන ප්‍රධාන සාධක බොහෝමයක් ගෝලීය මට්ටමේ එ්වා බැවින් අපට එ් ගැන සිදු කළ හැකි දේ ඉතා අල්ප වේ. ඉන් කිහිපයක් නම්,

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම
සාගර සුළං ප්‍රවාහවල වෙනස් වීම්
ඉන්දියාවේ කාන්තාර ප්‍රදේශ පුළුල් වීම යනාදියයි.
මේ නිසා රට තුළ ඇති ජල මූලාශ්‍ර රැක ගැනීම හා එ්වා විනාශ වීමට හේතු වන සාධක පාලනය කිරීමත්, වී ඵලදාව ඉහළ නංවා ගැනීමත් අපට කළ හොඳම ක්‍රියාමාර්ගයයි. එ් සඳහා,

ජල සම්පාදන ක්‍රම වැඩි දියුණු කිරීම
ජල පෝෂක ප්‍රදේශවල වන වැස්ම රැක ගැනීම
වැඩි ඵලදාවක් ලැබෙන වී ප්‍රභේද හඳුන්වා දීම
වෙනස් වන කාලගුණික තත්ත්වයන්ට සුදුසු ලෙස වගා කටයුතු කිරීම සඳහා නිවැරදි උපදෙස් සැපයීම අැතුළු ක්‍රියාමාර්ග ගත හැකි වේ.
එවැනි ක්‍රම භාවිතයෙන් අපට හැකි පමණින් යල මහ කන්නවල වී වගාව වඩාත් කාර්යක්ෂම කර ගැනීමට අවස්ථාව සලසා ගත හැක. අපේ රටට බත සපයන වී ගොවිතැන සුරක්ෂිත කර අනාගතයේදී හෝ මෙරටට අවශ්‍ය සහල් මුළුමනින්ම නිපදවීමටත්, අපට පාලනය කළ නොහැකි ගෝලීය සාධක ඉදිරියේ අසරණ නොවී සිටීමටත් ඉන් තරමක හෝ පහසුවක් සැලසෙනු අැත.


(under the courtesy of roar.media web)

More News »