දේශීය ගොවිතැන හා කෘෂි රසායන

2018-01-29 11:35:00       48
feature-top
හරිත විප්ලව කෘෂි කර්මයේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් කෘෂි රසායන භාවිතය ප‍්‍රචලිත කිරීමත් සමඟ ම එහි ප‍්‍රධානම ඉලක්කයක් වන අස්වනු වැඩි වීමක් සිදු වූ බව දක්නට ලැබිණ. විශේෂයෙන් වී ගොවිතැන සලකා බැලීමේ දී මෙය පැහැදිලි ය. එහෙත් ඒ සම`ග ම එයින් අපගේ ගොවීන් හට සහ පරිසරයට කරන ලද බලවත් හානිය එයට වඩා බලවත් ය. රසායනික පොහොර භාවිතය පිළිබඳ ව පසුගිය කලාපයේ පළ වූ ලිපියෙන් වැඩි විස්තර සඳහන් කළ බැවින් මෙම ලිපියේ දී වැඩි අවධානය කෘමි නාශක හා අනෙකුත් රසායනික දේ ගැන යොමු කරමි.

රසායනික, කෘෂිකර්මයේ දී ප‍්‍රථම ස්ථානයේ ලා සලකන්නේ ආර්ථික ලාභය, එනම් අස්වැන්න වැඩි කිරීම පමණි. පාරිසරික, සමාජයීය හෝ ගොවියාගේ යහජීවනයේ අත්‍යවශ්‍ය අංගයක් වන අධ්‍යාත්මික තෘප්තිය වැනි සාධක ගැන එහි කිසිදු සලකා බැලීමක් නැත. පාරිසරික පැත්තෙන් බැලූ‍වහොත් රසායනික කෘෂිකර්මය ස්වභාව ධර්මයට ඉඳුරා ම විරුද්ධ වන අතර ඊට හානිකර ය.

එයින් මතු කරන ගැටලූ‍ ගැන මඳක් සලකා බලමු.

පාරිසරික ගැටලූ – පස
රසායන පොහොර හා කෘමි නාශක යෙදීමෙන් සිදුවන පළමු හානිය නම් පසෙහි ගුණාත්මක තත්වය පහළ වැටීම ය. මෙයින් සිදු වන්නේ කුමක් ද?
1. පසේ ස්වාභාවික ව්‍යුහය බිඳ වැටී පස දැඩි බවට පත් වේ.
2. ජලය රඳවා ගැනීමේ හැකියාව අඩු වී යයි.
3. පෝෂ්‍ය කොටස් රඳවා ගැනීමේ හැකියාව අඩු වී යයි.
4. භෝගවලට අවශ්‍ය ක්‍ෂුද්‍ර පෝෂ්‍ය කොටස් හිඟ වේ.
5. ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ග‍්‍රහණය අඩු වී ක‍්‍රියාකාරිත්වය නැති වී යයි.
6. පසෙහි ඡු්‍ය අගය අසමතුලිත වී අම්ල ගතිය වැඩි වේ.
7. පසෙහි අත්‍යවශ්‍ය අංගයක් වන හියුමස් විනාශ වීමට පටන් ගනී.

ස්වාභාවික පස භෞතික වශයෙන්, රසායනික වශයෙන්, ජීව විද්‍යාත්මක වශයෙන් මනා ව සමතුලිත වූවකි. කෘෂි රසායන භාවිතයෙන් මෙම සමතුලිත බව මුලින් ම නැති වන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමෙනි. අනතුරු ව රසායනික කෘෂිකර්මයේ දී කෙරෙනුයේ පසට අවශ්‍යය ඇතැම් ඛනිජ ද්‍රව්‍ය පමණක්, මූලික ව භඡුණ පමණක් සැපයීම ය. පසේ ව්‍යුහය වෙනස් කිරීමෙන් අනෙක් පෝෂ්‍ය කොටස් සපයා ගැනීමේ හැකියාව ඒ වන විට නැති කර අවසන් ය. ඒ සඳහා ඇතැම් විට වෙනත් රසායනික ද්‍රව්‍ය (කැල්සියම්, සල්ෆර්, සින්ක් ආදි) යෙදීමට කෘෂි උපදෙස් ලැබෙන්නේ මෙනිසා ය. උදාහරණයක් දක්වනවා නම්, පසෙහි ඡු්‍ය අසමතුලිතතාව එනම් අධික අම්ලතාවය පාලනය කිරීමට කැල්සියම් නිර්දේශ කරනු ලබයි. එයින් අධික ආම්ලිකතාව පාලනය වන නමුත් එහි ක‍්‍රියාකාරිත්වය පවතින්නේ මාස 3 – 4කට පමණි. ඊළඟ වතාවේ ගොවියාට ඊටත් වඩා කැල්සියම් රසායනික ද්‍රව්‍ය යෙදිය යුතු වන්නේ ය.

වසරෙන් වසර වැඩිපුර රසායනික ද්‍රව්‍ය ඔබේ පස ඉල්ලා සිටින්නේ මෙනිසා ය. මෙහි සමස්ත ප‍්‍රතිඵලය වන්නේ පස නිසරු වී වියළි බවට පත් වීම ය. එනම් රෝගී පසක්, මළ පසක් ඔබ විසින් ම නිර්මාණය කර ගැනීම ය. පසේ සමතුලිත බව ආරක්‍ෂා කර ගත හැක්කේ ඉතා හොඳින් දිරූ කාබනික ද්‍රව්‍ය සහිත තත්වයක් තුළ පමණි.

එන්න එන්නම වර්ධනය වන කෘමි හානි:

ගුණාත්මක තත්වයෙන් පහළ වැටුණ පස රෝගී වූවකි. රෝගී පසක වැවෙන පැළෑටි ද රෝගී ඒවා වන හෙයින් පහසුවෙන් ම කෘමීන්ගේ හෝ වෙනත් රෝගවල හානිවලට භාජනය වේ. මෙවැනි තත්වයක් ඇති වූ විට නිර්දේශ කර ඇත්තේ කෘමීන් විනාශ කිරීම සඳහා, කෘමීන්ට පමණක් නො ව සියලූ‍ සත්වයින්ට ම හානිකර කෘමි නාශක රසායනයන් ය. ගැටලූ‍වට මුල් වූ හේතුවලට ප‍්‍රතිකර්ම කරනවා වෙනුවට ඒ ඒ අවස්ථාවේ මතුවන තත්වයන්ට ප‍්‍රතිකර්ම යෙදීමක් මිස මෙම ක‍්‍රිියාවලියේ ගැටලූ‍වට පිළියමක් නැත.

කෘමි හානි මර්දනය කිරීම සඳහා යොදන කෘෂි රසායන ද්‍රව්‍ය පරිසරයට, පසට, ජලයට, වාතයට හා අප අනුභව කරන ආහාරවලට විෂ එකතු කරයි. මෙම විෂ සියලූ‍ සතුන්ට ම හානිකර ය. පසට, ජලයට එකතු වන ඇතැම් විෂ බොහෝ කලක් ඇතැම් විට වසර 10ටත් වඩා රැුඳී පවතී. ෘෘඔ හොඳ උදාහරණයකි. මෙම විෂවලින් සිදු වන හානිවලට සජීව උදාහරණ අප අතර ඕනෑ තරම් ඇත. අපගේ වෙල් යායවල සිටි මාළු‍ වර්ග, කුරුල්ලන්, අනෙක් සතුන් කෙතරම් වඳ වී ගොස් තිබේ දැයි ඔබ ම සිතා බලන්න.

සෞඛ්‍ය ගැටලූ‍:

කෘෂිකර්මයේ දී භාවිත කරන රසායන ද්‍රව්‍ය අපට දෙආකාරයකට හානි කරයි. රසායනික විෂවලින් දූෂිත වූ කෘෂි නිෂ්පාදන අපට අනුභව කිරීමට සිදු වී ඇත. අප අනුභව කරන සෑම නිෂ්පාදනයක ම කෘෂි රසායන ශේෂයන් එකතු ව ඇත. මේවා අප සිරුර තුළ ද ක‍්‍රමයෙන් ඒකරාශී වේ. කාලයක් යාමේ දී ඇති වන සුව කළ නො හැකි, හඳුනාගත නො හැකි රෝගවල මූලාරම්භය මෙසේ ය. කෘෂි රසායන නිසා ඇති වන සෞඛ්‍ය ගැටලූ‍ ගැන මෑතක දී කරන ලද පර්යෙෂණ ඕනෑ තරම් ඇත.

අනෙක් පැත්ත නම් රසායනික ද්‍රව්‍ය භාවිත කරන ගොවීන්ට සිදු වන හානිය යි. කෘෂි රසායන භාවිතයේ දී ඒවා තැවරීම හා ආඝ‍්‍රාණය කිරීම නිසා සිදුවන සෞඛ්‍ය හානි අතිවිශාල ය. බොහෝ ගොවීන් රසායන ද්‍රව්‍ය ඉසින්නේ කිසිදු ආරක්‍ෂක උපක‍්‍රමයක් නැති ව ය. වාර්ෂික ව කෘෂි රසායන විෂ නිසා ලොව මිය යන ගොවීන් ගණන 20000 ක් වන අතර මිලියන 3 ක් උග‍්‍ර ආබාධවලට ගොදුරු වෙති. කැමැත්තෙන් කෘෂි රසායන පානය කර මිය යන ගණන් මෙයට ඇතුළත් නැත. ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති ‘ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනය’ විසින් කරන ලද අධ්‍යයනයකට අනුව මෙරට වාරි කලාපයේ කෘෂි රසායන විෂවීම්වලින් 68%ක් ම සිදු වන්නේ සිතා මතා ම කෘෂි රසායන ශරිරගත කර ගැනීම තුළිනි. එනම් කෘමි නාශක වස පානය කිරීමෙනි. එය ද මෙරට ‘හරිත විප්ලවයේ‘ අතුරු ප‍්‍රතිඵලයකි.

තවත් පැත්තක් වනුයේ කෘෂි රසායන ශේෂයන් රැඳුණ තණකොළ හා බෝග කොටස් අනුභව කරන ගවයන් හා එළු‍වන් වැනි සතුන්ට වන හානිය යි. එළකිරිවල පමණක් නො ව මව්කිරිවල පවා විෂ සහිත රසායන ශේෂයන් ඇති බව මෙරට කරන ලද පරීක්‍ෂණවල දී ම තහවුරු කර ඇත.

සමාජයීය හා ආධ්‍යාත්මික ගැටලූ‍:

ආර්ථික වාසි සඳහා ‘හරිත විප්ලව’ කෘෂිකර්ම තාක්‍ෂණය වැළඳ ගත්තේ වුව ද සමස්තයක් වශයෙන් ගත් කල එහි ඒ තරම් අර්ථික වාසියක් නො මැති බව මෙයට පෙර ලිපි කීපයක දී ම සඳහන් කර ඇත. නොමිලේ ම වාගේ ලැබෙන රසායන පොහොර යොදා කරන වගාවේ ආර්ථික සුරක්‍ෂිත බවක් ගැන කතා කිරීම අර්ථ විරහිත බව පසුගිය කලාපයේ සඳහන් කළෙමි. රසායනික ගොවිතැනෙහිත් හෙළ ගොවිතැනෙහිත් අස්වනුවල සැලකිය යුතු වෙනසක් නො මැති බවට කරන ලද පර්යේෂණ අත්දැකීම් පෙර ලිපියක සඳහන් වේ. කිසිවකුටත් යටත් නො මැති ආත්මාභිමානී හෙළ ගොවියා, නවීන ගොවිතැන නිසා රටට ණයකාරයෙකු වී ඇති අන්දම ගැන ද සඳහන් කළෙමි.

හෙළ ගොවිතැන එක් ගොවියකු විසින් කරන ලද ආර්ථික කටයුත්තක් නො ව ගමේ සියලූ‍ ගොවීන්ගේ සාමූහික ප‍්‍රයත්නයක් විය. ගම්බාර දෙවියන්ට කෙත බාර කිරීමේ සිට අස්වනු කපා බුදුන්ට, සඟු‍න්ට හා දෙවියන්ට දානය දීම දක්වා ගමේ සමගිය හා සාමූහිකත්වය මත පදනම් වූ ක‍්‍රියාවලියක් විය. නවීන ගොවිතැන අප ගොවීන් අතර පැළපදියම් වූයේ මෙම සාරධර්ම ද කඩා බිඳ ගෙන ලාභ ලැබීමේ ව්‍යාපෘතියක් බවට ගොවිතැන පත් කර ගැනීමට පෙලඹවීම තුළිනි.

රසායනික ගොවිතැන නිසා හෙළ ගොවියාට සිදු වූ ආධ්‍යාත්මික හානිය ගැන කතා කරන අය අඩු ය. හෙළ ගොවිතැන කිසිදු ප‍්‍රාණියෙකුට හානියක් නො කර කළ කර්මාන්තයකි. එය සම්මා ආජීවයක් ලෙස මහත් අභිමානයකින් තම ආධ්‍යාත්මික වර්ධනය සඳහා එක් කර ගැනීමට හෙළ ගොවියා කටයුතු කළේ ය. පරිසරයත් සමඟ අනුගත වී, සියලූ‍ සතුන්ට ජීවත් වීමට ඇති අයිතියට ගරු කරමින් ධාර්මික ජීවිතයක් ගත කිරීමට හෙළ ගොවියාට හැකි වී තිබිණ. ඒ සඳහා ඔහු ලොව කිසිවකුට නො දෙවෙනි තාක්‍ෂණයක් අනුගමනය කළේ ය. වී ගොවිතැන් කළ ගොවියා වීවලට ‘බුද්ධ භෝගය‘ යැයි මහත් ගෞරවයෙන් සලකා වගා කළේ ය. එහි තේරුම වූයේ බුදුන්ට පුද කිරීමට සුදුසු තරම් ධාර්මික ඉපැයීමක් එහි සිදු වූ බව යි. ඒ සඳහා සතුන් මැරීම හෝ අධාර්මික කටයුත්තක් කිරීම ඔහුට කැප නො වී ය. අස්වැන්න නෙළා ගත් පසු එහි අග‍්‍ර කොටස බුදුන්ට, සඟු‍න්ට පූජා කිරීම හෙළ ගොවියා කිසි විටකත් කඩ නො කළ චාරිත‍්‍රයකි.

කිසිත් තිරසාරකමකින් තොර නවීන කෘෂි තාක්‍ෂණය තුළ හෙළ ගොවියා අතරමං කිරීමට මෙරට කෘෂි විද්‍යාඥයින් දායක වී ඇති තරම කණගාටුදායක ය. මහත් භක්තියෙන් වගා කළ ‘බුද්ධ භෝගයට‘ කෘෂි රසායන භාවිත කිරීමට ගොවියා පෙලඹවීම තුළින් මිලියන ගණනින් සත්ව ඝාතනයට බල කිරීමෙන් හෙළ ගොවියාගේ ආධ්‍යාත්මය විනාශ කිරීමේ පාප කර්මයට ‘හරිත විප්ලවය’ දායක වී ඇත.

කලකට පෙර එක්තරා වැඩිහිටි ගොවි මහතකු සමඟ කරන ලද කතාබහක් මගේ මතකයට එයි. පෙර දී හෙළ ගොවිතැනෙහි යෙදුනෙකු වුව ද, දශක කීපයක පෙලඹවීම් නිසා ඔහු රසායනික කෘෂිකර්මයට ඇද වැටී සිටියේ ය. මුල් ම කාලයේ දී කෘෂි රසායන නොමිලේ ම ලැබුණ බවත්, ගමේ හැමෝම ඒ අන්දමට රසායනික කෘෂිකර්මයට පෙලඹුන අන්දමත් ඔහු විස්තර කළේ ය. ක‍්‍රම ක‍්‍රමයෙන් තමන් පරම්පරාවෙන් රැක ගෙන ආ දේශීය වී වර්ග තමාගෙන් හා අනෙකුත් ගොවීන්ගෙන් ගිලිහණු අන්දම ඔහු විස්තර කළේ ය. ඒ සමඟ ම පරම්පරාවෙන් පැවතගෙන ආ හෙළ ගොවිතැන් තාක්‍ෂණය ද අතුරුදන් වන්නට විය. ඔහුට මෙන් ම ගමෙි අනෙක් ගොවීන්ට ද ‘නවීන කෘෂිකර්මය’ වැළඳ ගැන්මට සිදු විය.

උදේ හවා පන්සිල් සමාදන් වූව ද, තම වී වගාවේ කෘමි හානියක් දුටු විට ඔහුට කෘමි නාශක රසායන ද්‍රව්‍ය භාවිත කරන්නට සිදු වී තිබිණ. වගාවට වන හානි බලා සිටින්නට නො හැකි තැන ඔහුට කෘෂි උපදෙස් ලැබුණේ අර බෙහෙත, මේ බෙහෙත ඉසින්නට කියා ය. පසු කාලයේ දී ඔහුගේ කෘෂි උපදේශකයා වූයේ කෘෂි රසායන සමාගම්වල වෙළඳ නියෝජිතයා හෝ ගමේ මුදලාලි ය. සත්ව ඝාතනය තමා සමාදන් වූ ශීලයට නො ගැළපෙන බව දැන දැනත් ඔහුට ලක්‍ෂ ගණන් කෘමීන් ඝාතනය කරන්නට සිදු ව තිබිණ. මෙි ගැන කතා බහ කරමින් ඔහු බිඳුණ හඬකින් කීවේ ‘‘ඉතින් අපි වෙන මොනව කරන්න ද මහත්තයෝ….‘‘ කියා ය. හරිත විප්ලවය අප හෙළ ගොවියා ආධ්‍යාත්මික වශයෙන් අතරමං කළ අන්දම මෙයින් පැහැදිලි ය.

එම ගොවි මහතා අද දින සියලූ‍ රසායන ගොවිතැනෙන් මිදුණ සාර්ථක හෙළ ගොවියෙකි. මෑතක දී හමු වූ විටෙක දී ඔහු කී කතාව ද මෙහි සඳහන් කරනු කැමැත්තෙමි. ‘‘සතෙක් සිව්පාවෙකුට හානියක් නො කර ධාර්මික ව උපයා ගත් දෙයින් දානයක් දෙන්න ලැබුණ එක ගැන කියන්න බැරි තරමේ සන්තෝසයක් තියෙන්නෙ මහත්තයො..‘‘
හෙළ ගොවියාගේ ආධ්‍යාත්මය තේරුම් ගැනීමට මෙම උදාහරණය ප‍්‍රමාණවත් බව මට හැෙඟ්.

හරිත යායේ පරමාර්ථය වනුයේ අප ගොවියාගේ ආධ්‍යාත්මික සුවය යළි තහවුරු කරගත හැකි වාතාවරණයක් ඇති ව තම ජීවනෝපාය ගෙන යාම සඳහා ම`ග පෙන්වීම ය.
සත්ව ඝාතනවලින් තොර ව ධාර්මික ගොවිතැනක් කර ගැනීමෙන් ආධ්‍යාත්මික සුවය සලසා ගැනීමේ වාසනාව ඔබටත් උදා වේවා !

courtesy : mahamegha.lk


More News »