අපේ නැති වී යන හස්ත කර්මාන්තයට දිරියක්

2018-02-05 10:51:00       121
feature-top
කන්ද උඩරට උරුමය සුරැකීමේ අධිකාරියක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි විය.

පැතිකඩ රාශියකින් සමන්විත වන මෙම අධිකාරිය විශේෂයෙන් උඩරට හා ඌවේ ජනතාවගේ හස්ත කර්මාන්ත සංවර්ධනය සඳහා කැපවන්නකි. එබැවින් ග්‍රාමීය ජනතාවගේ රැකියා උත්පාදනය හා ආර්ථිකය නැංවීම සඳහා ද යෝජිත අධිකාරිය ක්‍රියා කරයි.

හස්ත කර්මාන්ත ඒ රටේ සංවර්ධනයට, රැකියා උත්පාදනයට හා විදේශ වත්කම් ඉපැයීමට යොදා ගන්නා රටවල් අතර ඉන්දියාව ප්‍රමුඛ ස්ථානයක් අත්කර ගනියි. නිදහස ලබා වසර හැත්තෑවක් ගතවන විට ඉන්දියාව සිය හස්ත කර්මාන්ත අංශය දැවැන්ත ආර්ථික ශක්තියක් බවට පත් කරගෙන තිබේ. 2016 මාර්තු සිට 2017 අප්‍රේල් දක්වා වන කාල පරාසය තුළ ඉන්දියාවේ හස්ත කර්මාන්තය සියයට 11 ක වර්ධනයක් වාර්තා කරයි.

ස්වයං රැකියාවක් ලෙස හස්ත කර්මාන්තයෙන් යැපෙන කලාකරුවනගේ ගණන ලක්ෂ 70 ඉක්මවා තිබේ. හස්ත කර්මාන්තයට සම්බන්ධ අලෙවි සල්, කුඩා සමාගම් ප්‍රදර්ශන ශාලා 67,000 කට වැඩිය. හස්ත කර්මාන්ත මගින් 2016 උපයන ලද ආදායම ඇ.ඩොලර් බිලියන 3.66 කි.

පාකිස්ථානය, නේපාලය, බංගලිදේශය, වියට්නාමය සහ පිලිපීනය යන රටවල් හස්ත කර්මාන්ත අතින් දියුණුවන රටවල් අතර ප්‍රමුඛයෝ ය. දැන් දැන් අප්‍රිකානු රටවල් ද මේ පිළිබඳව උනන්දු වෙති. චීනය සුළු ජාතික හස්ත කර්මාන්ත නඟා සිටුවීමේ ලා මහන්සි වෙයි.

අපනයනය

ශ්‍රී ලංකාව ද සිය පාවහන්, සංචාරක හා සම්භාණ්ඩ අපනයනය ක්‍රමයෙන් වැඩිකර ගෙන තිබේ. 2016 වසරේ එම අංශයේ ඉපැයීම රුපියල් දස ලක්ෂ 24102 කි. එය ඇ.ඩොලර් දසලක්ෂ 166 ක විදේශ ඉපැයීමකි. 2016 අපනයන ඉපැයීමට එසේ වුවත් 2015 උපයා ගත්තේ ඇ.ඩොලර් දස ලක්ෂ 136 කි.

කපු පිළි, බුමුතුරුණු, එම්බ්‍රොයිඩර්, බිත්ති සැරසිලි, හණ නූල් නිෂ්පාදන ආදිය ඉන්දියා හස්ත කර්මාන්තයේ පාරම්පරික නිෂ්පාදන ලෙස සැලකේ. එහෙත් දැන් ජේඕ, ග්‍රැනයිට්, කිරිගරුඬ ආදි පාෂාණයන්ගෙන් නිම වූ හස්ත කර්මාන්ත සඳහා කලාකරුවන් දිරිගැන්වීම ඉන්දියාවේ දක්නට ලැබේ. අපනයන දිරිමත් කිරීමේ මණ්ඩලය ප්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවක්ම ඉන්දියානු හස්ත කර්මාන්ත දියුණු කිරීමේදී ඒකාබද්ධව කටයුතු කරයි.

ඉරානය විප්ලවයෙන් පසුව එරට සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත අංශය ප්‍රකෘතිමත් කරන ලදුව එරට සංස්කෘතික නගරය වූ ඉස්ෆහාන්(ISFAHAN) හි ඉමාම් චතුරශ්‍රය දැන් තනිකරම පර්සියානු හස්තකර්මාන්ත අලෙවි මධ්‍යස්ථානයක් බවට පත්කර තිබේ.

උඩරට කලා සංගමය, ලංකා මහිලා සමිතිය, ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය ආදි සංවිධාන මෙන්ම රාජ්‍ය අංශයේ ආයතන රාශියක් ද ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්තයන් නගා සිටුවීමට විවිධ පියවර රාශියක් ගනු ලැබූ බව සැබෑය. එහෙත් මේ අංශය මීට වඩා දියුණු කර ගැනීම රටේ ආර්ථික සංවර්ධනයට හා ග්‍රාමීය සංවර්ධනයට ඉවහල් වේ.

ගරා වැටුණු අවස්ථා

මෙයට අවුරුදු 112 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත පිළිබඳ විවරණයක් ආචාර්ය ආනන්ද කේ. කුමාරස්වාමි මහතාගේ මධ්‍ය කාලීන සිංහල කලා කෘතියේ සඳහන් වේ. අවුරුදු 112 කට පෙර එම කර්මාන්ත බොහොමයක් පැවතුණේ ගරා වැටෙන තත්ත්වයෙනි. ගත වූ සියවස තුළ මේ කර්මාන්ත සමහරක් අන්ත පරිහානියට පත්ව තිබේ. එහෙයින් මේ තත්ත්වය වෙනස් කිරීමට යම් අධිකාරියක් අවශ්‍ය වේ.

උඩරට හස්ත කර්මාන්ත අතර පිරිහෙන කර්මාන්තයක් බවට පත්වේගෙන එන කර්මාන්තයක් නම් මාතලේ යටවත්තේ ලාකඩ කර්මාන්තයයි. මේ පාරම්පරික කර්මාන්තයට දෙවන පරපුර ඉදිරිපත් නොවීම පරිහානියට එක් හේතුවකි. ලාකඩ මිල ගණන් ඉහළ යෑමත්, ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන තලාතු මිනිරන් කිලෝවක මිල රු.300 කට වඩා මිල ඉහළ යෑමත් තවත් හේතුන්ය. එසේම මේ වනවිට හැරමිටි සහ සේසත් නිෂ්පාදනයට පමණක් ඔවුනගේ නිෂ්පාදන සීමාව තිබේ. එසේම නව මෝස්තර නිර්මාණය ද අඩුවෙමින් පවතී. මේ නිෂ්පාදනයේ නියුතු බොහෝ දෙනා ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නෝය. සිය නිෂ්පාදන විකුණා ගැනීමට කිසිදු අපහසුවක් නැතැයි සේසත් නිපදවන්නෝ කියති. ශ්‍රී ලංකාවට ජය ශ්‍රී මහා බෝධිය රැගෙන එන අවස්ථාවේ සේසත් ඔසවාගෙන පැමිණියවුන් වෙතින් මේ කර්මාන්තය ලංකාවට ලැබුණ බවද ඔව්හු කියති. මොරගහකන්ද ප්‍රදේශයේ තලාතු මිනිරන් නිධි විනාශ වීම නිසා ඒවායේ මිල ගණන් ඉහළ ගිය බව ද, තම කර්මාන්තය පවත්වාගෙන යෑමට අමුද්‍රව්‍ය ප්‍රශ්නය විසඳාලිය යුතු බව ද ඔවුහු මැසිවිලි නගති.

සේසත් සඳහා ද අවශ්‍ය වන තල් කොළය තවත් භාණ්ඩ රාශියක් නිපදවීම සඳහා ද අමුද්‍රව්‍යයෙකි. තල්කොළ හිඟය ද දැන් හස්ත කර්මාන්තකරුවනට ගැටලුවකි. පිත්තල කර්මාන්තය, රිදී කර්මාන්තය ආදිය සඳහාද දෙවන පරපුරේ ඉදිරිපත් වීම සතුටුදායක නොවේ.

ස්කැන්ඩිනේවියානු රටවල විශාල හස්ත කර්මාන්ත පරාසයක් නැත. එහෙත් එම රටවල ප්‍රාථමික අධ්‍යාපනයේ පටන් දරුවනට ලෝහ කර්මාන්තය, වඩු කර්මාන්තය සහ අත් ආයුධ මෙවලම් භාවිතය ගැන පුහුණුවකට ඉඩ සලසා තිබේ. ඉන්දියාවේ හස්ත කර්මාන්තයන් බොහොමයක් ගෘහාශ්‍රිතය. එම නිසා දෙවන පරපුර කුඩා කල සිටම සිය පරපුරේ ජ්‍යෙෂ්ඨයන්ගෙන්ම ප්‍රායෝගික පුහුණුවක් ලබා ගනිති. මෙවැනි අධ්‍යාපනයක් නොමැතිකම නිසා උඩරට හපුවිද ආසන්නයේ ලාකඩ කර්මාන්තය ද පරිහානියට ලක්වෙමින් තිබේ. බලංගොඩ අසල පල්ලෙකන්ද, පාතදුම්බර හුරිකඩුව යන උඩරට ප්‍රදේශයන් ද එදා ලාකඩ කර්මාන්තයට ප්‍රසිද්ධ ව තිබූ ප්‍රදේශයෝය.

ඉන්දියාව, පාකිස්ථානය, ඉරානය මෙන්ම බංගලිදේශය ද බුමුතුරුණු, කලාල හා පැදුරු කර්මාන්තය මගින් විශාල ලෙස ආදායම් ලබති. අප්‍රිකානු රටවල් ද විවිධ පන් උපයෝගි කරගෙන ඇසුරුම් පෙට්ටි, කුඩා කලාල ආදිය නිපදවති. ඉතා දියුණු පන් කර්මාන්‍තයක් උඩරට පැවතිය ද දැන් එයට ද නරක දසාවක් ලබා තිබේ. මෙයට එක් හේතුවක් නම් රබර් හා වෙනත් විකල්ප නිෂ්පාදනයන්ය. එහෙත් යාපනය පොදු වෙළෙඳ පොළේ එම අර්ධද්වීපයේ නිෂ්පාදන අලෙවිසල්වල ඉතා විසිතුරු තල් කොළ හා පන් පැදුරු අලෙවි කෙරේ.

ගැටලු හඳුනාගැනීම

පන්නම් කලාල හා කුරුළු කලාල කර්මාන්තය යළි පුනරුත්ථාපනය කිරීමට යෝජිත උඩරට උරුමය සුරැකීමේ අධිකාරිය කටයුතු කළ යුතුවේ. යුරෝපීය වෙළෙඳ පොළට හස්ත කර්මාන්ත හඳුන්වා දීමේ දී ඇතිවන එක් ගැටලුවක් නම් රසායනික සායම් වර්ග භාවිතයයි. ශ්‍රී ලංකාවේ දේශීය කලාල හා පැදුරු පාට කිරීමේ දී භාවිතා කෙළේ පතඟි(රතුපාට) සහ අහු (කහපාට) යන ශාකයෝය. මෙවැනි ස්වභාවික වර්ණ යොදා භාණ්ඩ පාට කිරීම දැන් වෙනත් ‍රටවල ද දක්නට ලැබේ. එහෙයින් ශ්‍රී ලංකාවේ ස්වභාවික වර්ණ භාවිත රැකගත යුතුය.

රට පුරා ඉතා දියුණු අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයක් පැවැති නමුත් අද වනවිට එයද සාරියක් වීමට සීමාව තිබේ. එම නිසා කාන්තා ශ්‍රමය පලදායක කරන උඩරට කර්මාන්ත රාශියක පුනරුත්ථාපනය සඳහා නැවත ක්‍රියාකාරිවීමට තම අධිකාරිය මෙහෙයවිය යුතුව තිබේ.

දැනට අපේ හස්ත කර්මාන්ත වෙළෙඳ පොළ ඉලක්කගතව තිබෙන්නේ ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය පදනම් කර ගනිමිනි. ඒ සඳහා ලක්සල අලෙවි කවුළුවකි. අතරින් පතර හස්ත කර්මාන්ත හා සල්පිල් පැවැත්වේ. එක්ස්පෝ වෙළෙඳ දැක්ම අපගේ විදේශ විකිණීම් හා ප්‍රදර්ශන කවුළුවකි. සෑම වසරකම ජුනි 10 වනදා ලෝක අත්කම් දිනය ලෙස වෙන්කර තිබේ. පිලිපීනය වසරකට දිනක් බතික් දිනය ලෙස ප්‍රකාශයට පත් කර එම දිනයට රටේ සියලුම වැසියනට බතික් රෙදි පිළියෙන් සැරසීමට ඉල්ලා සිටී. එමගින් පිලිපීනය බතික් කලාව සිය රටට අයත් හස්ත කර්මාන්තයකැයි ජාත්‍යන්තරයට ඒත්තු ගන්වන ගමන් බතික් කර්මාන්තයද ආරක්ෂා කර ගනී.

බතික් කර්මාන්තය

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත අතර ඉතා විශාල පිරිසකට රැකියා සැපයූ බතික් කර්මාන්තය මේ වනවිට සීමා සහිත තත්ත්වයට පත්ව ඇති නමුත් බතික් ශිල්පින් එක්කර ඔවුනගේ දායකත්වය රටේ සංවර්ධනයට උකහා ගැන්මට අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු අරඹා තිබේ. දශකයකට පමණ පෙර බතික් කර්මාන්තය විශාල වශයෙන් විදේශ විනිමය ඉපැයූ කර්මාන්තයකි.

කාර්මික සංවර්ධන මණ්ඩලය ද සම්භාණ්ඩ අංශයේ හස්ත කර්මාන්ත නැංවීමට විශාල මහන්සියක් ගන්නා ආයතනයකි. ගමන් මලු, අත් බෑග්, ඉණ පටි, සපත්තු, සෙරෙප්පු සහ අත්පටි පලඳනා ආදි නිෂ්පාදන රාශියක් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට අයත්ය. අතින් තැනූ සපත්තු සඳහා ලොව පුරා දැවැන්ත ඉල්ලුමක් තිබේ. එයට ප්‍රධාන හේතුව එම සපත්තු ස්වභාවික සමින් නිපදවීමයි.

ස්වයං රැකියාවක් ලෙස මේ කර්මාන්තයට සම්බන්ධ වන්නන් සඳහා අවශ්‍ය තාක්ෂණය සැපයීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සූදානම්ය. එසේම සපත්තු නිපදවීම සඳහා බර යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වන අවස්ථාවන්හි එම මණ්ඩලය සතු යන්ත්‍ර සූත්‍ර අඩු මිලට ලබා දීමට ද එම මණ්ඩලය සූදානමින් සිටී. මත්ස්‍ය සම් ආශ්‍රිත හස්ත කර්මාන්ත ලෙස සැලකෙන කාන්තා මුදල් පසුම්බි, ගමන් මලු ආදිය නිපදවීම සඳහා ධීවර කාන්තාවන්ට පුහුණුව දී එම නිෂ්පාදන කොළඹ ප්‍රදර්ශන මගින් ජාත්‍යන්තරයට අලෙවි කිරීමට ද දැන් කර්මාන්ත සංවර්ධනය මුල පුරා ඇත. විශේෂයෙන් මේ වැඩපිළිවෙළ උතුරේ ජනප්‍රියව තිබේ යැයි කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම්භාණ්ඩ අංශයේ උපදේශක එල්.පී.ජී.කරුණාදාස මහතා කියයි.

මතට ඇබ්බැහි වී දැන් පුනරුත්ථාපනය වන තරුණයන් 60 දෙනෙකුට හස්ත කර්මාන්තයක් ලෙස සම්භාණ්ඩ නිෂ්පාදන, පාවහන් සහ රෙක්සින් නිෂ්පාදන පිළිබඳ වැඩමුළුවක් ඉකුත් සතියේ පොළොන්නරුවේ සේනපිටියේදී පැවැත් වූ බවද කරුණාදාස මහතා තවදුරටත් පැවැසීය.

කොළඹ දී පැවැත් වූ සම්භාණ්ඩ ජාත්‍යන්තර ප්‍ර‍දර්ශනයේ දී ස්වයං රැකියාලාභී සම්භාණ්ඩ නිෂ්පාදකයනගේ නිෂ්පාදන සඳහා ඉතා ඉහළ ජාත්‍යන්තර ප්‍රතිචාරයක් හිමි වූ බවද ඒ මහතා කියයි. ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත නිෂ්පාදන අලෙවිය අතින් මුල් තැන ගෙන සිටින ලක්සල ආයතනය 2016 වසරේ රුපියල් මිලියන 4ක (ලක්ෂ 40ක) ලාභයක් ලබාගෙන ඇතැයි ගිය සතියේ වාර්තා විය. මේ ආයතනය 2015 වසරේ රුපියල් මිලියන 21 ක් (ලක්ෂ 210ක්) අලාභ ලැබූ ආයතනයකි.

ඉහළ ප්‍රතිචාර

විෂය භාර ඇමැතිවරයා වන රිෂාඩ් බදුයිදින් මහතා පවසන අන්දමට දේශීය භාණඩ වර්ග 8000ක් අද ලක්සලේ අලෙවියට තබා තිබේ. විවිධ කාණ්ඩ 8000කට අයත් වේ. භාණ්ඩ සමූහය සපයන්නට සැපයුම්කරුවෝ 8760 ලියාපදිංචිව සිටිති. 2016 වසරේ දී රුපියල් ලක්ෂ 2940ක් මේ සැපයුම්කරුවනට ලක්සල විසින් ගෙවා තිබේ. මොවුන් අතර මැටි කර්මාන්තකරුවෝ ද වෙති.

2017 වසරේ මුල් මාස 04 තුළ සැපයුම් සඳහා ගෙවා ඇති මුදල ලක්ෂ 1600 කි. මේ වසරේ මුල් මාස 6 තුළ භාණ්ඩ අලෙවිය රුපියල් ලක්ෂ 3810 කි.

මේ මුදල් ප්‍රමාණය ලාංකීය හස්ත කර්මාන්තකරුවන් අතට යෑම ඔවුනගේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට මෙන්ම, ග්‍රාමීය ආර්ථිකයද සවිමත් වීමකි. යෝජිත උඩරට උරුමය අධිකාරිය ක්‍රියාකාරිවීමත් සමඟ තවතවත් හස්ත කර්මාන්ත නිර්මාණ රාශියක් දේශීය වෙළෙඳ පොළට එක්වේ.

අපනයන සංවර්ධන මණ්ඩලය පවසන අන්දමට හස්ත කර්මාන්තයෙන් යැපෙන පිරිස ලක්ෂ දෙකක් පමණය. ඇතැම් ප්‍රදේශ හස්ත කර්මාන්ත සඳහාම ප්‍රසිද්ධය. උදාහරණ ලෙස කිවහොත් බීරළු කර්මාන්තය සඳහා ගාල්ලේ මා‍ගාල්ල ප්‍රසිද්ධය. මඩකළපුවේ මරදමුන සහ උඩරට තලගුනේ පාරම්පරික පේෂකර්මාන්තයට ප්‍රසිද්ධය. උඩරට පිළිමතලාව පිත්තල කර්මාන්තයට ප්‍රසිද්ධය. හස්ත කර්මාන්තය තම ආර්ථිකය බවට පත්කර ගත් ගම්මාන 1000ක් පිහිටුවාලීම රාජ්‍ය ප්‍රතිපත්තියයි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »