ලංකාවට පොල් ආවේ කොහොමද?

2018-02-09 11:35:00       379
feature-top
මේ වෙද්දී පොල් අපට නැතිවම බැරි ආහාරයක් වෙලා. අපේ සංස්කෘතිය එක්ක මේ තරම් තදින් පොල් ගැටගැහුණේ ඇයි? අපේ ජීවිතවලට පොල් එකතුවුණේ කොහොමද? මේ ගැන පැහැදිළිම සාක්ෂි ලංකාවෙ ඉතිහාස කතාවල නැහැ. එහෙත් ඒ ගැන පිළිගත හැකි සාක්ෂි බොහොමයක් තියෙනවා. ඒ සාක්ෂි මත පදනම් වෙලා ඩබ්ලිව් එස් බණ්ඩාර නම් ලේඛකයා යටගියාවේ යටගිය තැන් නම් කෘතියෙන් අපූරු තර්කයක් ගෙනෙනවා. ඔහුගේ තර්කය ලංකාවට පොල් ගෙනාවේ පොලිනීසියන් නාවිකයන් බවයි. බණ්ඩාරයන් කියන්නේ මොනවද? ඒ ගැන ඉතිහාස කතාවකුයි මේ.

අපේ කතාව ලංකාවේ පොල් වෙතට යන්න කලින් පොලිනීසියානුවන් වෙත යා යුතුයි. පොලිනීසියානුවන් කවුද? වැඩි විස්තර නොදන්නා කෙනෙකුට අඩු විශ්වසනීයත්වයක් ඇති විකිපීඩියාවෙන් වුණත් පොලිනීසියානුවන් ගැන දළ අදහසක් ලබාගන්න පුළුවන්. එහෙම නැත්නම් ancestry.com  හෝ britannica.com  වෙබ් අඩවිවල ලියැවුණු පොලිනීසියන් සංස්කෘතිය ගැන ලිපි කියවා පොලිනීසියානුවන් ගැන බොහෝ දේ දැනගන්න පුළුවන්. මේ කතාවට අවශ්‍ය වෙන්නේ පොලිනීසියානුවන් ගැන පුංචි විස්තරයක් පමණයි.

පොලිනීසියානුවන් කියන්නේ දූපත් සමූහයක වෙසෙන එක හා සමාන සංස්කෘතික ඉතිහාසයක් ඇති මිනිසුන් පිරිසක්. සමෝආ, හවායි, නවසීලන්තය, ටොන්ගා වැනි දූපත් රටවල් රැසක් පොලිනීසියානු රටවල් විදියට සැලකෙනවා. මොආනා නම් ජනප්‍රිය චිත්‍රපටිය තැනුනේ පොලිනීසියානු සංස්කෘතිය සහ මිත්‍යා විශ්වාස පසුබිමේ තියාගෙන. ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියා ඩ්වේන් ද රොක් ජොන්සන් කියන්නෙත් පොලිනීසියානු ජනවර්ගයක් වන සමෝආ ජාතිකයෙක්. ඔහුගේ අනෝආඉ පවුලේ ජනප්‍රිය රෙස්ලින් තරු වන රෝමන් රේන්ස්, උමාගා, ද උසෝස් නිවුන් සොයුරන් සියළුදෙනාම පොලිනීසියානුවන්.

පොලිනීසියානුවන් වෙළඳ ජාතියක්. ඔවුන් මුහුදේ යාත්‍රා කරමින් ජීවත්වුණා. ලෝකයේ නාවික විද්‍යාවන්ට අලුත් දේවල් බොහොමයක් එකතුකළා. හකා නැටුම, පොලිනීසියානු පච්චා වැනි රසවත් සංස්කෘතිකාංග බොහොමයක් ඔවුන්ට තියෙනවා. මුහුදේ නාවික කටයුතුවල යෙදුණු ඔවුන් ගමන්බිමන්වලදී තමන්ගේ අවශ්‍යතා බොහොමයකට පාවිච්චි කරපු ස්වාභාවික දායාදය තමයි පොල් ගස කියන්නේ. වෙරළේ නැංගුරම් දැමූ මොහොතක ඔවුන් තාවකාලික ආවරණයක් හදාගත්තේ පොල් අතු ගොතමින්. ආහාරයට ගත්තේ පොල්වලින් තැනුණු ආහාර. පොල්වලින් තැනුනු අපූරු ආහාර සංස්කෘතියක් ඔවුන්ට තිබුණා.

කතාව ලංකාවේ පොල්වලට ආවොත් ලෝකයේ පොල් ගැන කතාකරද්දී ලංකාවට වැදගත් තැනක් හිමිවෙන බවත් සිහිපත් කළ යුතුයි. හවායි දූපත් සමඟ පොල් ගැටගැසී ඇතිවා මෙන්ම ලංකාවත් පොල් සමඟ ගැටගැහිලා ඉන්නවා. පුංචිම භූමි ප්‍රමාණයක් තියෙන රටක් වුණත් අපේ රට වාර්ෂික පොල් නිෂ්පාදනය අතින් ලොව සිව්වැනි හා පස්වැනි ස්ථානවල ඉන්නවා. ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු මෙතැනින් කියැවිය හැකියි.

ලංකාවේදී සොයාගත් පොල් වර්ගයට අයිති බෝග රැසක්ද තියෙනවා. ගොන් තැඹිලි, නවසි, පොර පොල්, රන් තැඹිලි, කමන්දලා, බොදිරි, දීකිරි, තැඹිලි, රන් තැඹිලි, ග්‍රීන් ඩ්වෝර්ෆ්, යෙලෝ ඩ්වෝර්ෆ්, නවසි තැඹිලි, රෙඩ් ඩ්වෝර්ෆ්, බ්‍රවුන් ඩ්වෝර්ෆ් වැනි පොල් වර්ග රැසක් ලංකාවේදී හඳුනාගත් පොල් වර්ග. මේ තොරතුරු ලබාගත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ පොල් සංවර්ධන මණ්ඩලය විසින් කළ සමීක්ෂණයක් ඇසුරෙන්.

ලංකාව පොල්වලට කප්රුක ලෙසින් ගෞරව කරනවා. ලංකාවේ වගේම කේරළය වැනි දකුණු ඉන්දීය ප්‍රදේශවලත් පොල් පාවිච්චි වෙනවා. දකුණු ඉන්දියාවේ සහ ලංකාවේ ආගමික කටයුතුවලදී පොල් ගැසීම චාරිත්‍රයක් විදියට පාවිච්චි වෙනවා. කෙසේ වෙතත් අප හොඳින් දන්නා පරිදි ඉන්දියාව තවමත් ආහාරවලට කිරි ලබාගනිද්දී වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ එළකිරි. ලංකාව ආහාරවලට වැඩිපුර කිරි ලබාගන්නේ පොල් ගෙඩියෙනුයි. තෙල් ලබාගන්නේත් පොල් වලිනුයි. ඒ විතරක් නෙවෙයි, පැරණි බෞද්ධ සාහිත්‍යය පරිහරණය කළොත් අපට දැනගන්න පුළුවන් ලාංකිකයන්ද වෛදික යුගයේදී ආහාරවලට එළකිරි සහ ගිතෙල් පාවිච්චි කළ බව. එතකොට පොල් කිරි සහ පොල්තෙල් වලට අප මාරු වෙන්නේ පසුකාලීනව විය යුතුයි. එහෙම වෙන්නේ කොහොමද. ඒ ප්‍රශ්ණයට ඩබ්ලිව්. එස්. බණ්ඩාරයන් තර්කානුකූල පිළිතුරක් ලබාදෙනවා.


යටගියාවේ යටගිය තැන්

ඩබ්ලිව්. එස්. බණ්ඩාරයන් පෙන්වන මූලික වැදගත් කාරණය ලංකාව අතීත වෙළඳාම අතින් වැදගත් මධ්‍යස්ථානයක් ලෙස පැවතී ඇති බවයි. ලංකාවේදී හමුවී ඇති කාසි වර්ග, ග්‍රීක, රෝම, පර්සියානු සහ චීන ලිඛිත සාහිත්‍යයේ ඇති මූලාශ්‍රවලින් ඒ කතාව ඇත්තක් බව පැහැදිළියි. ඉතින්, නැගෙනහිර සිටින මේ අපූරු නාවිකයන් ලංකාවට පැමිණි බවත් ලංකාව සමඟ නිතර ගණුදෙනු කර ඇති බවත් සැකයක් නැහැ.

පොල් සහ පොලිනීසියන් කියන වචන දෙක අතර සමානකම ඩබ්ලිව්. එස්. බණ්ඩාරයන් තමන්ගේ තර්කය තහවුරු කරන්නට පාවිච්චි කරන අපූරු උපක්‍රමයක්.

මුලින්ම ලංකාවේ පොල් වගාවක් ආරම්භ වුනේ ක්‍රිස්තුවර්ෂ 564 දී විතර අග්බෝ රජුගේ කාලයේදී බව ඩබ්ලිව්.එස්. බණ්ඩාර මහතා පෙන්වාදෙන්නේ පැරණි සාහිත්‍ය ඇසුරෙන්. ඒ කාලයේ වැලිගම ආසන්නයේ සැතපුම් 36 ක මුහුදු තීරයේ ලංකාවේ වෙළඳාමට එන පොලිනීසියානුවන්ගේ පහසුව වෙනුවෙන් පොල් වගාවක් ඇති කළ බව ඔහු පෙන්වනවා. ඉන් පසුව පොළොන්නරු යුගයේදී පළවැනි පරාක්‍රමබාහු රජතුමා බෙන්තොට ඉඳන් කළු ගඟ දක්වා පොල් වගාකරලා තියෙනවා. ගවයෙකුගෙන් ගත හැකි කිරි ප්‍රමාණයට වඩා වැඩි කිරි ප්‍රමාණයක් පොල් ගසකින් ගන්න පුළුවන්. වගාවට යන වියදමත් අඩුයි. මේ සියල්ල නිසා පොලිනීසියානුවන් වෙනුවෙන් වැවූ පොල් ලාංකිකයන්ද පාවිච්චි කරන්නට පටන්ගන්නට ඇතැයි ඔහු තර්ක කරනවා. ඒ සියල්ල එක්ක වෛදික යුගයේ පස්ගෝ රස වෙනුවට ලාංකිකයන් කප්රුක පාවිච්චියට ගන්නට ඇති.

පැරණි පොලිනීසියානු චාරිත්‍ර අතර නැවක් මුහුදට ඇතුළුවෙද්දී පොල් ගෙඩියක් ගැසීම තිබුණු බව පැරණි පොලිනීසියානු චාරිත්‍ර ගැන හොයන කෙනෙකුට දැනගත හැකියි. ඉහත අපි පෙන්වූ මූලාශ්‍රවලින්ද එය සොයාගත හැකියි. බණ්ඩාරයන් කියන්නේ ඒ පැරණි පොලිනීසියානු චාරිත්‍රය ඇසුරෙන් වර්ථමානයේ නැව් බඳෙහි ෂැම්පේන් බෝතලයක් ගැසීමේ චාරිත්‍රය ආරම්භ වෙන්නට ඇති බවයි. එපමණක් නෙවෙයි, හින්දු සංස්කෘතිය ඇසුරෙන් දෙවියන්ට පොල් ගැසීමේ චාරිත්‍රය ඇතිවෙන්නටත් පොලිනීසියානුවන් බලපාන්නට ඇති බව බණ්ඩාරයන්ගේ මතය. විශේෂයෙන් ලංකා ඉතිහාසයේ දැවැන්තම ආගමික ස්ථානයක් යැයි ඉතිහාසඥයන් පිළිගන්නා දෙවිනුුවර අවලෝකිතේෂ්වර දේවාලය පොලිනීසියානු නාවිකයන් වැලිගම වරායෙන් නික්මෙද්දී පොල් ගසන්නට පාවිච්චි කළ ආගමික ස්ථානයක් ඇසුරෙන් තැනී ඇති බව ඔහු පෙන්වනවා.

පසුකාලීනව නම් සන්දේශ කාව්‍යවල පවා දැවැන්ත පොල් වගාවන් ගැන කියැවෙනවා. ඒ බවත් බණ්ඩාරයන් පෙන්වා දෙනවා.

පොල් කොළ විවීම

මේ සියල්ලට අමතරව පොලිනීසියානුවන් පොල් ගෑමට ගන්නා උපකරණය දකින කෙනෙකුට මේ අපේ බංකු හිරමනයම නේදැයි සිතෙනු ඇති. පොලිනීසියානුවන්ගේ පොල් කොල නිර්මාණ සහ අපේ නිර්මාණ අතරත් යම් යම් සමානකම් තියෙනවා. පොල් ගසෙහි නගින්නට පොලිනීසියානුවන් පාවිච්චි කළ උපක්‍රමයම අපි පාවිච්චි නොකළත් ඔවුන්ද වළල්ලක් පාවිච්චි කරමින් පොල් ගසට නගින්නට හුරුවී තියෙනවා. මේ ලින්ක් හරහා පොලිනීසියානුවන් පොල් ලෙලි ගසන අයුරු, පොල් ගාන අන්දම, පොල් ගසට නගින අයුරු බලන්න.

ඩබ්ලිව්. එස්. බණ්ඩාරයන් පෙන්වනවා පොලිනීසියාවේ ඇති ජනප්‍රිය පැරණි උපකරණයක් ලංකාවේත් පාවිච්චි වෙන අයුරු. ඒ කොල්ලෑ ඔරුව. මේක පැරණි පොලිනීසියානුවන්ගෙන් ලංකාවට ලැබුණු බව ඔහු පැහැදිළි කරනවා. ඒ විතරක් නෙවෙයි. මෙයට පොලිනීසිියානුවන් පාවිච්චි කරන්නේත් ඔරු කියන වචනයම බව ඔහු පෙන්වනවා.

මේ සියළු තර්ක බණ්ඩාරයන් ගොඩනඟන්නේ ලංකාවේ පැරණි සාහිත්‍යය ඇතුළු මූලාශ්‍ර සහ පොලිනීසියානුවන් ගැන සාමාන්‍ය දැනුමක් පාවිච්චි කරමින්. එහෙත් පොලිනීසියානු භාෂාව, ඔවුන්ගේ සංස්කෘතිය ඇතුළු සියළු දේ ගැන වැඩි දැනුමක් ඇති කෙනෙකුට පොලිනීසියානුවන්ගෙන් ලාංකිකයන් ලැබූ දේවල් ගැන පුළුල් පර්යේෂණයක් කළ හැකියි. පොලිනීසියානුවන්ගෙන් අප ලත් දායාද ගැන ඔබ දන්නා දේවල් තිබේනම් කමෙන්ටුවක් ලෙස මෙහි ඒවා එකතුකළ හැකියි.


(under the courtesy of roar.media web)

More News »