පස සුවපත් කරමු – සොබා දහමට ඉඩ දෙමු

2018-02-19 11:12:00       258
feature-top
සොබා දහමට එරෙහිව ලොව ජය ගන්නට උත්සාහ දරන ලොවක අපි ජීවත් වන්නෙමු. එහෙත් එකී උත්සාහයෙන් පරාජය ලැබූවන් ගැන මිස ජය ගත්තෙකු ගැන අප අසා නැත. එ් නිසා කිව යුතුව ඇත්තේ සොබා දහමට වින කටින්නන් තමන්ගේ සොහොන තමන් ම ඉදි කරන්නන් බව ය.

සොබා දහමට පිටුපා පසට වස එකතු කිරීමේ පාපකාරී ගොවිතැන අපට ද බොහෝ අමිහිරි පාඩම් කියා දී ඇත. අපගේ දරුවනට අප විසින් ම වස කවා, රෝගී අනාගත පරපුරක් බිහි කිරීමේ අපරාධයට අප වගඋත්තරකරුවන් වී අවසාන ය. ජාතිය වඳවීමේ අවදානමකට අප මුහුණපා සිටින බව ප‍්‍රත්‍යක්ෂ ය. මින් මිදීමට අපට හැකි වන්නේ අප අනුභව කරන වසවලින් මිදීමට දරන උත්සාහය මත නො වේ ද?

පස සුවපත් කර ගැනීම ස්වාභාවික ගොවිතැනෙහි සාර්ථකත්වයට බලපාන ප‍්‍රධාන ම සාධකය බව අප පෙර කලාපවල සාකච්ඡුා කළෙමු. එමෙන් ම පසුගිය කලාපයක දී අප එ් සඳහා යොදා ගත හැකි සරල ම ක‍්‍රමයක් වන කොම්පෝස්ට් භාවිතය ගැන සඳහන් කළෙමු. පොහොර වශයෙන් කෘත‍්‍රීම රසායනික ද්‍රව්‍ය යෙදීම සම්බන්ධයෙන් ඇති භයානක තත්ත්වය සම්බන්ධව මේ දිනවල බහුල වශයෙන් සාකච්ඡා වනු පෙනේ. අප මෙම ලිපිවලින් මේ ගැන බොහෝ කලකට පෙර සිට ම මේ කරුණු ඔබ වෙත ඉදිරිපත් කළ වග ඔබට මතක ඇත.

රසායනික පොහොරවලින් ගොවිතැන් කරන අය මතු කරන තවත් පුහු තර්කයක් වන්නේ ඊට සමාන කාබනික පොහොර සොයා ගැනීම දුෂ්කර බවයි. එහෙත් ඔබ ස්වාභාවික වගාවට යොමු වන්නේ නම් පොහොර සොයා අමුතු මහන්සියක් දරන්නට සිදු නොවන බව ඔබට ම ප‍්‍රත්‍යක්ෂ වනු ඇත.

රසායනික යෙදවුම් නිසා නිසරු වූ පස යළි සරු කර ගැනීම සඳහා කොම්පෝස්ට් යෙදීම පිළිබඳව අපි පසුගිය කලාපයකින් කතා කළෙමු. මෙම ලිපියෙන් අප සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන්නේ කොම්පෝස්ට්වලට අමතරව සහ එ් සමග භාවිත කළ හැකි තවත් පහසු තාක්ෂණික කරුණු කීපයක් සම්බන්ධයෙනි.

ස්වාභාවික කැළෑවක් ගැන සිතන්න. ඉතා ම සරු පසක් පවතින්නේ එහි ය. කිසිවකු කැළෑව කපා ඉවත් කර ගන්නේ නොමැති නම් එහි දිරා යන ශාක කොටස් යළි එයට ම එකතු වේ. මනා ආවරණයක් පවතින හෙයින් කෙතරම් වැස්සත්, සුළඟ ආවත් පස සෝදා යාමක් සිදු නො වේ. එහි ස්වයං පැවැත්මක් ඇත. අපට මෙයින් උගෙන ගන්නා පාඩම් අපගේ ගොවිපළට භාවිත කළ හැකි ය.

කාබනික වගාවේ සාර්ථකත්වය රඳා පවතින්නේ පස ඉතා උසස් මට්ටමක තබා ගැනීම මත ය. ඔබ කොම්පෝස්ට් භාවිත කොට වගා කළා යයි සිතමු. භෝග අස්වැන්න වශයෙන් අප ඉවත් කර ගන්නා පෝෂ්‍ය කොටස් නැවත අප පසට ලබා දිය යුතු ය. කොම්පෝස්ට් නැවත පසට එකතු කිරීම එහිලා වැදගත් ය. එමෙන් ම පසෙහි පෝෂණය රඳවා ගැනීමට කිසිදු වියදමක් නොමැති ක‍්‍රම ගැන සිතා බලන්න.

පස ආවරණය කිරීම

පස මතුපිට සෑමවිට ම භෝග හෝ පැළෑටි හෝ කොම්පෝස්ට් ද්‍රව්‍යවලින් ආවරණය කර තිබිය යුතු ය. පස ආවරණයකින් තොරව විවරව තැබීම නිසා එයට වැස්ස, සුළඟ සහ ඉර අව්ව මගින් හානි පැමිණෙන්නට පුළුවන. අව්ව සෘජු ලෙස වැටෙන පස වියළී, පුපුරා යයි. ආවරණ රහිත පසට වැටෙන වැස්ස මතුපිට පස ඉවත් කරන අතර සෝදා පාලූවට ලක් කරයි. සුළඟට නිරාවරණය වූ පස දූවිලි සහ පස් කොටස් වශයෙන් ගසාගෙන යයි. මෙලෙස සිදු විය හැකි පසෙහි ව්‍යුහය වෙනස් වීම සහ පස සෝදා යාම අප වළක්වා ගත යුතු ය.
පස ආවරණය කිරීම යන්නෙන් අදහස් කරන්නේ වල්, කපන ලද තණකොළ, ගස්වලින් වැටෙන වියළි පත‍්‍ර, පිදුරු, මානා, ඉලූක් වැනි දෑවලින් පස මතුපිට වසා තැබීම ය. මෙහි පරමාර්ථ දෙකකි. එ්වා නම් පස සංරක්ෂණය කර ගැනීම සහ පසට අවශ්‍ය පොහොර සැපයීම මගින් එහි ව්‍යුහය වැඩි දියුණු කර ගැනීම සහ මෙමගින් පස මෘදුව තබා ගන්නා හෙයින් පස ගැඹුරට කෙටීම සහ පෙරලීම අවම කර ගත හැකි වීම ය.

පසෙහි ව්‍යුහය වැඩි දියුණු කර ගැනීම

පස මත ඉහත කී පරිදි පිදුරු, කාබනික ද්‍රව්‍ය වැනි ආවරණයක් තිබේ නම් පස මතට දැඩි හිරු රැස් වැටීමෙන් වියළී යාමක් හෝ, තද වැසි වැටීම නිසා පස තද වීමක් සිදු නො වේ. අඟල් කීපයක ආවරණය නිසා පස මත ජලය රඳවා ගැනීමට හැකි වන පරිදි මෘදු වැස්මක් ඇතිවේ. එමගින් පසේ තිබිය යුතු ප‍්‍රශස්ත තෙතමන තත්ත්වය පවත්වා ගත හැකි වේ. තද අව්ව වැටෙන විට සෘජුව පස මතට හිරු රැස් පතිත නොවන හෙයින් පස වියළී යාම වළකී. පස මත මෙලෙස වැස්මක් නිතරම පවතීි නම් පස පෙරළීමේ අවශ්‍යතාවක් ද ඇති නො වේ.

පස මත දමන මෙම ආවරණයේ අන්තර්ගත කාබනික ද්‍රව්‍ය ද ක‍්‍රම ක‍්‍රමයෙන් දිරාපත් වී පසට මිශ‍්‍ර වී යයි. මූලදී ආවරණයක් වුව ද එය ක‍්‍රමයෙන් පසට හොඳ පොහොර සැපයීමේ ක‍්‍රමයක් වේ. ආවරණයෙන් මෙසේ ලැබෙන පොහොර කොම්පෝස්ට් තරමට ම සාරවත් හෙයින් පසේ ව්‍යුහය වැඩි දියුණු කිරීමට උපකාර වේ.

වල් මර්ධනය

වල් මර්ධනය කර ගැනීම ගොවිතැනෙහි ප‍්‍රධාන අභියෝගයකි. පස මතුපිට දමන ආවරණය මගින් වල් පැළ මතුපිටට එ්ම පාලනය කරන හෙයින් වල් පැළ මිය යාමෙන් ස්වාභාවික වල් මර්ධනයක් සිදු වේ. නිතිපතා ම ආවරණයක් යොදන්නේ නම් වල්වලින් 90%ක් පමණ ම පාලනය කර ගැනීමට ඔබට හැකි වනවා ඇත.

වසුන් වශයෙන් යොදා ගන්නා ද්‍රව්‍යඃ

ඕනෑම කාබනික ද්‍රව්‍යයක් වසුන් සඳහා භාවිතා කරන්නට පුළුවන. එනම් ගස්වලින් වැටෙන කොළ, තණකොළ, වගාවේ ශේෂ කොටස්, වල්, මානා, පිදුරු, පොල්කොළ ආදියයි. ගිලිරිසීඩියා, ඉපිල් ඉපිල්, ජපන් ජබර වැනි පැළෑටි කොටස් ද යොදා ගත හැකි ය. ඔබ කොම්පෝස්ට් තනාගෙන ඇත්නම් එ්වා ද භාවිත කළ හැකි ය.

ගෙවත්තක භෝග වගා කරන අයකුට වසුන් සඳහා විශේෂ කාබනික ද්‍රව්‍ය සොයමින් සිටීමට අවශ්‍ය වන්නේ නැත. වත්තට ගස්වලින් වැටෙන කොළ ඔබ කොම්පෝස්ට්වලට යොදා ගන්නේ නැත්නම් වසුන් වශයෙන් භාවිතා කරන්නට පුරුදු වන්න. ඇතැම් අවස්ථාවල අප ඉරා ඉවත දමන පරණ පුවත්පත් කැබලි පවා වසුන් සඳහා භාවිත කරනු මා දැක ඇත.

පස ආවරණය කිරීමේදී සැලකිය යුතු කරුණු

පස මතට බොහෝ කාබනික ද්‍රව්‍ය යෙදීම තුළ ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් සම්බන්ධව කල්පනාකාරී විය යුතු ය. වැඩි වැසි සහිත කාලගුණ තත්ත්වයක දී ඇතැම් විට පස ආවරණය නිසා හානිකර පුස් වර්ග වගාවට ඇති විය හැක. මෙය වළක්වා ගැනීමට කළ හැකි දෙයක් නම් පස මතුපිටට යොදන වැස්ම හොඳින් වේලා ගැනීම ය. එමෙන් ම කොම්පෝස්ට් තත්ත්වයට ආසන්නව දිරා ගිය ද්‍රව්‍ය වසුන් සඳහා යොදා ගැනීම ද තවත් උපක‍්‍රමයකි. මෙබඳු තත්ත්වයන් යටතේ ඔබ යොදා ගන්නා ද්‍රව්‍යවල වෙනසක් කර බලන්න. පස සංරක්ෂණය වන ගමන් ම පුස් වැනි තර්ජන වලකා ගැනීමට නම් පිදුරු, මානා, පොල්කොළ වැනි කාබන් අධික වසුන් යෙදිය හැක. එම ද්‍රව්‍ය සෙමින් දිරාපත් වන හෙයින් පොළව මත දිගු කාලයක් රඳන අතර පුස් හානිවලට ද ඔරොත්තු දේ. පස සරු කර ගැනීම ඔබේ ප‍්‍රධාන පරමාර්ථය නම් අධික නයිට‍්‍රජන් යුතු රනිල කුලයේ පැළෑටි ද්‍රව්‍ය යොදා ගත හැකි ය. පස තුළට නයිට‍්‍රජන් සපයන ගැටිති සහිත තණකොළ හා රනිල කුළයේ පැළෑටි (බෝංචි, මුං වැනි වගා ශේෂ කොටස්* මෙයට උදාහරණ යි.

නිතිපතා ම වසුන් යොදා වගා කිරීම තුළ පසේ ක්ෂුද්‍ර ජීවී ක‍්‍රියාකාරකම් වැඩි වන හෙයින් පුස් වැනි බාහිර බාධකවලට මුහුණ දිය හැකි ශක්තියක් පසට ලැබේ. එම නිසා දීර්ඝකාලීන වගාවල දී පුස් වැනි බාධක ඇති වීමේ ඉඩකඩ අඩු ය.

කාබනික වගා කෙතරම් ප‍්‍රායෝගික, එමෙන් ම වියදම් රහිත ක‍්‍රමයක් ද යන්න ඔබට පැහැදිළි විය යුතු ය. පසට ඔබ හොඳින් සලකන්නේ නම් පස ද ඔබට එලෙස ම ප‍්‍රත්‍යුපකාර කරනු ඇත. ඔබ රසායනික උගුලේ රැුවටී පසට විෂ එකතු කරන්නෙක් නම් පස ද ඔබට ලබා දෙන්නේ වස මුසු ආහාරයකි. ඔබේ දරුවනට විෂ රහිත ආහාරයක් ලබා දී ඔවුනගේ අනාගතය සුරක්ෂිත කර ගැනීමට ඔබට තාමත් උත්සාහයක් දරන්නට පුළුවන.

courtesy : mahamegha.lk


More News »