අතීත කාලයේ අපේ ගෘහණියන් භාවිත කළ අපූරු ව්‍යායාම උපකරණ

2018-02-28 10:35:00       284
feature-top
අතීතයේ විසු බොහෝ කාන්තාවන් සුරූපී හා මනා හැඩයකින් යුතු අය වූහ. විවාහ දිවියට එළඹුණු විට හා වයස්ගත වූ විට ඔවුන්ගේ ශරීරය අනවශ්‍ය ලෙස තරබාරු වීමක් හෝ අකල් ලෙඩරෝගවලට ගොදුරු වීමක් සිදු වුයේද නැත. එකල තරබාරුකම ධනවත් පවුල්වල කාන්තාවන්ට ආවේණික වූ ලක්ෂණයක් විය. නමුත් වර්තමානය වන විට සමාජයේ බොහෝ කාන්තාවන් අධික තරබාරු කම නමැති රෝගයට බිලි වී ඇත.

අධික තරබාරු බවේ අතුරු ප්‍රතිඵල ලෙස දියවැඩියාව, කොලෙස්‌ටරෝල් අධික බව, හෘදයාබාධ, අධික රුධිර පීඩනය ආදී රෝගවලට ගොදුරු විය හැක. තරබාරු බව යනුවෙන් අදහස්‌ කරන්නේ ශරීරයේ අනවශ්‍ය මේදය අධික ලෙස තැන්පත් වීමය. තරබාරු බව භයානක රෝගයක් වන අතර මෙය තවත් රෝග රාශියකට මගපාදයි. තරබාරු නොවන අය සමග සසඳන විට තරබාරු පුද්ගලයන්ට සියලුම රෝග සෑදීමේ වැඩි ප්‍රවණතාවයක් පවතී. ඇතැමුන් තරබාරු ශරීරයක් තිබීම රෝගවලින් ආරක්ෂා වීමට උපකාර වේ යැයි සිතා සිටියද තරබාරු බව මිනිසාට බලපාන කිසිම රෝගයකට ආරක්‌ෂාවක්‌ සපයන්නේ නැත.

ව්‍යායාම කිරීමට කාලය නැතිවීම තරබාරු බවට හේතුව ද?
වර්තමාන ගෘහණියන් පවසන ආකාරයට තම තරබාරුකම අඩු කර ගැනීම සඳහා ව්‍යායාමවල නිරත වීමට ඔවුන්ට කාලයක් නොමැත. නමුත් අප අතීතය දෙස හැරී බලන විට පෙනෙන කාරණාවක් වන්නේ එකල ගෘහණියන් කිසිදා ව්‍යායාම කිරීම සඳහා කාලයක් වෙන් කරගෙන නොසිටි බවයි. එහෙත් ඔවුන්ට ලෙඩ රෝගවලින් තොර නිරෝගී සිහින් සිරුරු උරුම වී තිබුණි.

ඉතින් ඒ කෙසේද ?ඒ සඳහා ඔවුන් උපයෝගී කරගත්තේ නිවසේ තිබුණු සුවිශේෂ “ව්‍යායාම උපකරණ” කිහිපයකි.

අතීතයේ කොයි නිවසේ තිබුණු “ව්‍යායාම උපකරණ”
අතීතයේ සෑම නිවසකම තිබුණු කොයි කවුරුත් ගෘහණියන් නිතිපතාම පාවිච්චි කළ අපූරු “ව්‍යායාම උපකරණ” වූයේ කුස්සියේ තිබු කුරහන්ගල, මිරිස්ගල, වංගෙඩිය, හිරමනය, කුල්ල ආදියයි. එ්වා මගින් ඉබේම ඔවුන්ගේ සිරුරට අවශ්‍ය ව්‍යායාම ලැබුණු අතර දිනපතා කළ ඉවුම් පිහුම්වලදී ව්‍යායාම මධ්‍යස්ථානයකට යනවාට වඩා ඉතා පහසුවෙන් ඔවුන්ට ඇඟ හැඩ කර ගැනීමට හැකි විය.

වර්තමානයේ මෙම සියලු උපකරණ වෙනුවට විදුලියෙන් ක්‍රියා කරන පහසු ආදේශක හඳුන්වා දී ඇත. මේ නිසා කාන්තාවන් වෙහෙසෙන ප්‍රමාණය පෙරට වඩා බොහෝ අඩුය. ඔවුන්ගේ වැරදි අහාර රටා සහ සෞඛ්‍ය පුරුදු සමග නවීන යන්ත්‍ර සුත්‍ර එක් වූ විට කාන්තාව නිරන්තරයෙන් රෝගියෙක් බවට පත් වේ.

පහත කියවෙන්නේ අතීතය කාන්තාවන්ට කිසිදු වියදමක් හෝ අතිරේක කාලය වැය කිරීමකින් තොරව පහසුවෙන්ම නිරෝගී වීමට ඉඩ සැලසූ එ් මුළුතැන්ගෙයි “ව්‍යායාම උපකරණ” පිළිබඳව ය.

කුරහන්ගල

රවුම් හැඩයේ ගල් දෙකක් එක මත තබා කුරහන් ගල නිර්මාණය කර ඇත්තේ පහලින් ඇති ගල මත ධාන්‍ය දැමීමට සිදුරක් ද සහිතවය. එම සිදුරට අැඹරීමට  අවශ්‍ය ධාන්‍ය වර්ගය දමා උඩින් ඇති ගල ආධාරකයක් මගින් අල්වා කරකවන විට එම ධාන්‍ය පිටි බවට පත්වීම සිදු වේ. මෙය තරමක් වෙහෙසකර ක්‍රියාවක් වන අතර මෙම ක්‍රියාවේ නිරත වීමේදී හොඳින් දහඩිය දැමීම සිදුවේ. කුරහන් ගලේ අඹරා ගත් ප්‍රධාන ධාන්‍ය වර්ගය වූයේ කුරක්කන්ය. ඊට අමතරව බැදගත් මුං ඇට, කැකුළු සහල් ආදියත් මේ මගින් අඹරා පිටි කර ගන්නා ලදී.

වර්තමානයේ කුරහන් ගලෙන් කළ සියලු ක්‍රියාවන් කිරීමට බ්ලෙන්ඩරයට හෝ ග්‍රයින්ඩරයට හැක. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙය විනාඩි කීපයක් වැනි කෙටි කාලයක් තුලදී ධාන්‍ය ඇරඹීම සිදු කරයි. අතීතයේ හොඳ ව්‍යායාමයක් ලබා දුන් ධාන්‍ය ඇඹරීම ට අද ගෘහණියට අවශ්‍ය බොත්තමක් එබීමට යන ශක්තිය පමණි.

මිරිස්ගල

සමතලා කළුගල් කුට්ටියක් මත රවුම් හැඩයේ අත් ගලක් තබා මිරිස්ගල නිර්මාණය කර ඇත. අතීතයේ එදිනෙදා ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය කරන මිරිස්, කහ, තුනපහ ආදිය අඹරා ගත්තේ මිරිස්ගල ආධාරයෙනි. මිට අමතරව රසවත් පොල් සම්බෝලයක්, ලුණු මිරිසක් සාදා ගැනීමටද මිරිස්ගල යොදාගන්නා ලදී.

වර්තමානයේ ගෘහණියන් භාවිත කරන්නේ වෙළඳසැලේ ඇති පැකට් කළ තුනපහ හා මිරිස් කුඩුයි. අවශ්‍ය වේලාවට අඹරා ගැනීමෙන් තරම් මේවගෙන් රසයක්ද නොලැබෙන අතර ඔවුන් මිරිස් ඇඹරීම නිවසේදී සිදු කළත් ඒ සඳහාද බ්ලෙන්ඩරය හෝ ග්‍රයින්ඩරය යොදාගනී. මෙවන් විදුලි උපකරණ ගෘහණියකගේ කාලය ඉතිරි කර දුන්නද එය ලෙඩ ගණනාවකට මග පාදයි.

වංගෙඩිය

ලි කොටයක පිටත පොත්ත ඉවත් කර ඇතුලත කුහරයක් සාදා වංගෙඩිය නිර්මාණය කරන ලදී. වංගෙඩි නිර්මාණය කළේ දැවවලින් පමණක් නොවේ. පාෂාණ හා ලෝහවලින් තැනු වංගෙඩිද දැකිය හැක. කුහරයේ ඇති ධාන්‍ය වර්ග කෙටීම සඳහා කිතුල්, පොල්, බුරුත, කෝන්, කුඹුක්‌, මිල්ල වැනි ශක්ති සම්පන්න ලීයකින් මෝල් ගස තනා ගන්නා ලදී. මොල්ගසේ ප්‍රමාණය තනි අතක් මිට මොලවා අල්ලාගත හැකි තරම්ය. මෝල ගහ යතු ගා ඉතා සිනිදු කර ගනී. මෝල් ගසෙන් කෙටීම තනි අතින් හෝ දෑතින් හෝ අතින් අතට මාරු කරමින් වුවත් කළ හැකිය.

වංගෙඩි වර්ග කීපයක්‌ තිබේ. ඒවා  “වල වංගෙඩි”, “එල වංගෙඩි”, “බේත් වංගෙඩි”, “අත් වංගෙඩි”, “බුලත් වංගෙඩි” ලෙස වර්ග කළ හැක. පැරැන්නන් තම්බා වියලාගත් වී සහල් බවට පත්කර ගත්තේ වංගෙඩිය ආධාරයෙනි. මිට අමතරව විවිධ ධාන්‍ය වර්ග කොටා ගැනීමට, කෝපි ආදිය පිටිකර ගැනීමට වංගෙඩිය උපයෝගී කර ගන්නා ලදී. මේ සඳහා තරමක් මහන්සි විය යුතු නිසා ශරීරයේ දහඩිය පිට කරමින් අපුරු ව්‍යායාමයක් ලබා දේ. වර්තමානයේ කුඩා අත් වංගෙඩි දැකිය හැකි වුවත් ශරීරයට ව්‍යායාමයක් ලබා දෙන විශාල වංගෙඩි දැකිය හැක්කේ ඉතාම කලාතුරකිනි.

හිරමණය

පොල් ගෑම සඳහා හිරමණය නිර්මාණය කර ඇත. මෙහිදී හිරමන තලයට පොල් බෑය තබා හිරමණ තලය එහි ආධාරකය ඇසුරින් කරකැවීමෙන් පොල් ගෑම සිදු කළ හැක. ඇතැම් නිවෙස්වල බංකු හිරමණ දැකිය හැකි අතර මේවා භාවිත කිරීමේදී පොල් බෑය හිරමණ තලයේ පහළට ඇතිල්ලිම මගින් පොල් ගෑම සිදු කරයි.

වර්තමානයේ බොහෝ ගෘහණියන් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන හිරමණයකින් පොල් ගෑමට හෝ පිටි කළ පොල්කිරි භාවිතයට පුරුදු වී සිටිති

කුල්ල

වර්තමානයේ අප පුරුදුව සිටින්නේ ගල් වැලි ඉවත් කරන ලද සහල් වෙළඳ සැලකින් ගෙන ඒමටයි. නමුත් අපේ පැරණි ගෘහණියෝ තම පවුලට අයත් කුඹුරේ වගාකර තිබු ගොයම්වල අස්වැන්න නෙලා ගත් පසු ඒවා කොටා, කුල්ලෙන් පොලා, ගල් වැලි හා වී පොතු තමාම ඉවත් කර ගෙන පිසීමට භාවිත කළහ.

මීට අමතරව රෙදි සේදීම, නිවස පිරිසිදු කිරීම වැනි එදිනෙදා ජීවිතයේ කාර්යයන්වලදීත් අතීත ගෘහණිය  ශක්තිය වැය කර ඒවා සිදු කළාය. නමුත් අද කාලයේ රෙදි සෝදන යන්ත්‍ර, වැක්‍යුම් ක්ලීනර අාදිය භාවිත වන නිසා එයින් ලබාගත හැකි ව්‍යායාම ද නැති වී යයි. ඉහත කී උපකරණ අතරින් වංගෙඩිය සහ හිරමණය හැර අනික්වා අද නිවෙස්වල දකින්නට වත් නැති තරම්ය.

ශරීරය වෙහෙසවා මුළුතැන් ගෙයි තුල වැඩකටයුතු කළ පැරණි ගෘහණියෝ නිරන්තරයෙන්ම නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න වූ අතර සියල්ලේදීම පහසුව බලන අද ගෘහණියෝ රෝගීන් ව සිටිති. එකල තිබූ “ව්‍යායාම උපකරණ” අද දක්නට ලැබෙන උපකරණ තරම් අධික මිලක් හා දිළිසෙන ගතියකින් යුතු නොවූවත් අද දක්නට ලැබෙන ව්‍යායාම උපකරණවලින් ලබාගන්නා තරමට ම ප්‍රයෝජනයක් ඔවුන්ට එදා තම නිවසේ මුළුතැන්ගෙයිදීම ලබාගැනීමට හැකි වූ බවට නම් සැකයක් නැත.


(under the courtesy of roar.media web)

More News »