ගමේ ගොඩේ වෙල් එළියේ එළිවෙනතුරු ජහුටා

2018-03-05 11:01:00       261
feature-top
ලක්දිව සාම්ප්‍රදායික නාට්‍ය සම්ප්‍රදායන් පිළිබදව විශ්ලේෂණයක යෙදෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පවසනුයේ පෙර දවස කෙසේ වෙතත් පනහේ දශකය පමණ වන වන විට දේශිය යැයි කිවහැකි අංග සම්පුර්ණ වු කලාත්මක නාට්‍ය කලාවක් මෙරට නොවු බවය. එහෙත් ගම්බද පැවතියා වු කෝලම්, සොකරි, නාඩගම්, තොවිල්, පවිල්, ගම්මඩු, පාම්මඩු, පුනාමඩු, කංකාරි ආදියෙහි නොදියුණු තත්වයන් මත වුව ද යම් යම් නාට්‍ය අංග තිබු බව සරච්චන්ද්‍ර මහතාගේ අදහස වී තිබේ.

මෙකී පසුබිම තුළ දශක ගණනාවකට එපිටින් සතර කෝරලය සහ රජරට කේන්ද්‍රීයව උත්පාදව අද ද ශේෂව ඇති ගීත නාටක වෙසෙසක් පිළිබදවඅසන්නට ලැබේ. භරත මුනිවරයාගේ නාට්‍ය වර්ගීකරණයට අනුව නාට්‍ය ධර්මී සම්ප්‍රදායට ගැනෙණ, සතර අභිනයම මනාව නිරූපනය වන දෙබස් කථන මුද්‍රානාට්‍ය විශේෂයක් ලෙස වර්තමානය තුළ ද මෙම නාටක ගම්මැදිවල රංග ගත වේ. නාට්‍ය රංගනයට පෙරාතුව සරස්වතිය උදෙසා පුජා නැටුම පැවැත්වීම මෙහි තවත් විශේෂත්වයකි.

කුරුණෑගල, කටුපොත, සියඹලන්ගමුව ප්‍රදේශයේ 1940 දශකයේ තරම් ඈත අතීතයේ ජීවත් වු සර්ධාපතී මහතා දකුණු ඉන්දියාවේ දී දුටු ජහුටාන් නම් නාට්‍ය විශේෂය යළි මෙරටට පැමිණ පෙන්වීම ඇරැඹීම මෙහි මූලාරම්භය ලෙස සැලකේ. සර්ධාපති මහතා සර්ධාරාණි කලා සංගමය පිහිටුවා දෙබස් කථන මුද්‍රා නාට්‍ය හෙවත් ගීත නාටක නිර්මාණය කොට දිවයිනේ ගම්මැදි ආශ්‍රිතව දේශීය ශිල්පීන් සමග රඟ දැක්වා ඇත.

ඔහු ඉන්දීය ගමනේ දී දැක ඇති භගවාන් නම් ගීත නාටකය සිහල බසට පෙරලා ප්‍රථම වරට පෙන්වා ඇති බව කියැවේ. විහාරස්ථාන කේන්ද්‍රීයව මුල් වකවානුවේමෙම ගීත නාටක රඟ දක්වා ඇති බව සදහන් වේ. ජහුටාන් ගීත නාටක සම්ප්‍රදාය මෙරට ඈත ගම්මැදි වල ජනගත වීමෙන් පසුව බොහෝදෙනෙකු කට වහරේ පහසුවට ජහුටා නමින් හදුන්වා ඇත.

මුල් වකවානුවේ කුරුණෑගල, කටුපොත, වාරියපොල ආදි ප්‍රදේශවල රග දක්වා ඇති මෙම නාටක යාබදව පිහිටි අනුරාධපුරයේ ගම්මැදි වලට ද පසුකාලීනව ව්‍යාප්ත විය. පිහිටි බිමෙහි සැකසු පටු එළිමහන් වේදිකාවක පැදුරේ වාඩිලාගත් ශිල්පීන් වයන ඩොලැක්කිය, සර්පිනාව, බටනලාව, ගැට බෙරය, රබාන ආදි සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ මධ්‍යයේ මෙම ගීත නාටක රග දක්වා ඇත. නළු, නිළියන් රගන අතර තවත් ශිල්පීන් පිරිසක් පසුබිමෙහි හිද ජවනිකාවට අදාළව හඬ මුසු කරති. ගී ගායනා සදහා තවත් ශිල්පී කණ්ඩායමක් සුදානමින් හිදිති.

වේදිකාව වටකොටගත් විවිධ රස විඥානයන්ගෙන් යුතු විසල් පිරිසක් රැය පහන් වන තුරු මේ නාට්‍ය නැරඹීමට රොද බදිති. ගම්මැදි වල අස්වනු නෙළන වකවානුවත් සමගම මෙම නාට්‍ය රඟ දැක්වීම සිදුව ඇත. මෙම ගීත නාටක කලාව අනාගතයට දායාද කිරීමට වෙහෙසෙන අනුරාධපුරය, කැකිරාව ආසන්නයේ කෝණපතිරාව ගම්මානයේ ශ්‍රීපාලි සත්සර කලා සංගමයේ නිර්මාතෘ සරත්චන්ද්‍ර ලියනගේ මහතා පැවසුයේ මෙවැන්නකි.

“දැන් නාට්‍ය පෙන්වන විදිහ ඉස්සරහට වැඩිය ටිකක් වෙනස්. ඒ කාලේ මුලින් කෙටි නාට්‍යයක් පෙන්නලා පස්සේ පැය තුනක් විතර දිග නාට්‍යයක් පෙන්නුවා.ඒත් දැන් කෙටි නාට්‍යයක් පෙන්නන්නේ නෑ. මුදල් හොයන අවශ්‍යතාවය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. රෑ 09 ඉදලා 12ග30 විතර වෙනකන් සින්දු කියන්න කැමැති අයට ආධුනික ගීත ප්‍රසංගය පවත්වනවා. එතැන ඉඳලා පාන්දර තුන විතර වෙනකන් සල්පිලයි, මල් වට්ටි වෙන්දේසියයි පවත්වනවා. ඒ හැමදේම ඉවර වෙලා පාන්දර තුනට විතර පටන් අරගෙන උදේ හය විතර වෙනකන් ගීත නාට්‍ය පෙන්නනවා.”

ඓතිහාසික කතා පුවත්, ආගමික පණිවුඩ සහිත නාට්‍ය මෙන්ම සමාජ හා උපදේශාත්මක කතා මෙම ගීත නාටක සදහා තේමාවී ඇත. ප්‍රේමය, විරහව, වීරත්වයසේම හාස්‍යය ද මේ බොහොමයක් නාටක වල පොදු ප්‍රවනතාවන් ලෙස හදුනාගත හැකිව තිබේ. සිරිසගබෝ, විහාරමහාදේවි, රාමායනය, සකුන්තලා එවැනි නාටක කිහිපයකි. මේ එක් ගීත නාටක කණ්ඩායමක් සදහා 15 - 20 ත් අතර පිරිසක් සම්බන්ධ වේ. මෙසේ සම්බන්ධ වන බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ජීවනෝපාය මෙයම බව පැවසේ. ගීත නාටක රංගන ශිල්පිනියක වන අයිරාංගනී දිසානායක මහත්මිය පැවසුයේ මෙවැන්නකි.

“නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි මාසවල ඇරුනහම අනිත් මාසවල අපි නාට්‍ය පෙන්නන්න යනවා. දැනටත් අපිට හොද ඉල්ලුමක් තියෙනවා. යුද්දේ තිබුණ පදවිය, වැලිඔය වගේ ප්‍රදේශවලින් පවා අපිට ආරාධනා එනවා. අපි මේ ලගදී පදවි ශ්‍රී පුර ගමක නාට්‍ය පෙන්නුවා. එන පිරිස එලිවෙනකන්ම රඳවගන්න එක ලේසි නෑ. ඒකට විවිධ අලුත් දේවල් එකතු කරන්න වෙලා තියෙනවා. සමහර නාට්‍ය කණ්ඩායම් සැන්ඩෝ දර්ශන වගේ දේවල් එකතු කරගෙන තියෙනවා.”

සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ වලින් බැහැරව නුතන වාද්‍ය භාණ්ඩ භාවිතය ගීත නාටක කලාවේ ගතානුගතික බව විනාශ වීමට හේතුවී ඇති බව ද මෙම ශිල්පීහු පවසති. වසර තිහක පමණ කාලයක සිට සාම්ප්‍රදායික බව ආරක්ෂා කරමින් මෙම කලාව අනාගතයට දායාද කිරීම අපේක්ෂාව වී ඇති බව ලියනගේ මහතා පැවසීය. තවමත් මෙම ගීත නාටක කලාව නගරබදව ප්‍රචලිතව නැති බවත්, මාතලේ, කුරුණෑගල, අනුරාධපුර වැනි දිස්ත්‍රික්ක කිහිපයක හැරුණු විට සෙසු ප්‍රදේශවල මේ පිළිබඳව දැනුවත් බවක් නැති බවත් හෙතෙම කීය.

“අපිට ආරාධනාවක් ලැබුණම දවස් හතරක් නැත්නම් පහක් ඒ තැන්වල නාට්‍ය පෙන්වනවා. ලොකු ආදායමක් නෑ. ඒත් කණ්ඩායමේ කාටවත් පාඩුවක් වෙන්නෙ නැති විදිහට තමයි අපි ආරාධනා භාරගන්නේ. සමහර අය වෙන රස්සා කරන ගමන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපිට ආරාධනාවක් ලැබුණොත් කොහේ වුණත් අපි යනවා. කොහොම වුණත් ආත්ම තෘප්තියට මුල්තැන දීලා තමයි මේ හැමදේම කරන්න වෙලා තියෙන්නේ. ඝෝෂාකාරි සංගීතය යොදාගෙන මේ කලාව කරන්න බෑ. ඒකෙන් වෙන්නේ මේකේ අන්‍යතාවය විනාශ වෙන එක.”



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »