සොහොන් පිටිවල මළමිනි බුදින මහ සොහොන් යක්‌ෂයා

2018-03-15 10:48:00       260
feature-top
"පාට සුදුයි සියොළඟ මහ සොහොනා
 
 රෑට පෙනෙයි කැඩපත සේ මූනා"
 
 මහ සොහොන් සමයම සඳහා යොදා ගනු ලබන තොරණ, මල්මඩුව ලෙස සැළකේ. මල් මඩුවේ තොරණ්‌ පහකි. මෙහි මැද තොරණ මහ සොහොන් යක්‍ෂයාට සහ ආකාර යක්‍ෂයාටත්, විකාර යක්‍ෂයාටත්, අන්ධ යක්‍ෂයාටත්, ගෝපලු යක්‍ෂයාටත් වෙන් වේ. 
 
 මහ සොහොනා බොහෝ අවස්‌ථාවලදී මහ සොහොන් යක්‍ෂයා ලෙසද, මහ සොහොන් දේවතා ලෙසද හඳුන්වයි. සොහොන් යක්‍ෂයා ලෙසින් හඳුන්වනු ලබන මහ සොහොනා සොහොන්වල උපත ලැබූ බවද, සොහොන් පිටිවල හැසිරෙමින් මළමිනී බුදින්නේ යෑයි ජන විශ්වාසයක්‌ පවතී. මහ සොහොන් යක්‍ෂයාගේ උපත පිළිබඳ විවිධ ජනප්‍රවාද පවතී.
 
 "සෝමල රජුන් හ ට
 ජාතක වෙමින් එම වි ට
 ගජ කුම්භ කාරි ට
 උපන් කුමරෙක්‌ මහත් බලකො ට"
 
 මහ සොහොන් උපතෙහි එන මෙම කවෙන් කියෑවෙන්නේ මහ සොහොන් යක්‍ෂයා සෝමල නම් රජුට දාව ගජකුම්බකාරී බිසවගෙ කුසින් උපන් බවයි.
 
 දුටුගැමුණු මහ රජතුමන්ගේ දස මහ යෝධයන් අතර විසූ ගෝඨයිම්බර යෝධයාත්, ජයසේන යෝධයාත් අතර ඇතිවූ යුද සංග්‍රාමයේ දී ගෝඨයිම්බර යෝධයා විසින් එල්ල කළ පා පහරින් ජයසේන යෝධයාගේ හිස කඳින් වෙන්වී ගිය කල්හි සක්‌ දෙවිඳුන් විසින් ඔහුට හිසක්‌ සවිකොට පණ දුන් බවත්, අමු සොහොනේ උපන් ඔහු මහසෝනා වූ බවත් ඥණසිරි පීරිස්‌ මහතා සිය ශාන්තිකර්ම සහ අභිචාර විධි කෘතියෙහි සඳහන් කරයි. බ්‍රහ්මාසුර දැවූ සොහොන් අළුවලින් මහ සොහොනා උපන් බවද පැවසේ.
 
 මහ සොහොනාට නෙත් තුනකි. අත් සතරකි. තිනෙතක්‌ හිමි ඊශ්වර අවතාරයට බැවින් මහ සොහොනාට තිනෙතක්‌ සහ අත් සතරක්‌ වන බව පැවසේ. (ශාන්ති කර්ම සහ අභිචාර විධි ඥණසිරි පීරිස්‌ 183 පිටුව)
 
 මහ සොහොන් සමයම තුළින් ආර්ය සහ අනාර්ය ගැටුම සංකේතවත් කරන බව මහාචාර්ය තිස්‌ස කාරියවසම් මහතා පවසයි. (සිංහල නර්තන කලාව - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක - 153 පිටුව) ක්‍රි.පූර්ව දෙවැනි ශත වර්ෂයේ තම්බපණ්‌ණි සුසානයෙහි සිදුවූ සංග්‍රාමය එම ආර්ය අනාර්ය ගැටුම වේ. 
 
 මහ සොහොනා ඌරු වාහනාරූඪව සුදු වතින් සැරසී සඳ රැයේ සැරි සරන බව පැවසේ. මහ සොහොනා, අමු සොහොනා, ලේ සොහොනා, ජය සොහොනා, මිනී සොහොනා, කඩවර සොහොනා, ගොපලු සොහොනා, පුළුටු සොහොනා යනුවෙන් මහ සොහොන් යක්‍ෂයන් අට දෙනෙකි.
 
 මහ සොහොන් ශාන්ති කර්මයේ තොරණ්‌ සැරසිල්ල ගැබ් 64 කි. මෙහි මුළු තොරණ්‌ සතර සිව්වරම් දෙවියන් සඳහා ඉදිවේ. අයිල සතර ඉහතින් සඳහන් කළ සොහොන් යක්‍ෂයන් අටදෙනාට වෙන්වේ. මැද තොරණ මංගර දෙවියන්ට වෙන් කරනු ලබයි.
 
 මහ සොහොන් යාගය විශේෂයෙන් හිරු බැස යන සැන්ඳෑ යාමයේ ත්‍රිවිධ රත්නයට නමස්‌කාර කිරීමෙන් ආරම්භ වේ. ප්‍රේත තටුව ඔප්පු සිද්ධ කිරීමෙන් පසුව පිළිවෙළින් සොහොන් යකුන්ගේ පිදේනි දීම, පිදේනි කැප කිරීම, පිදේනි ආතුරයා අතහැර වීම, සිරසපාද කවි ගායනා කරමින් ආවැඩීම, අභිමාන සහ සූනියම් යකුන්ට පිදේනි දීම, දුම්මල උපත සහ නමස්‌කාර සන්න ගායනා කිරීම ඇතුළු අභිචාර විධි රාශියක්‌ මෙම ශාන්ති කර්මයේ පවතී. මහ සොහොන් අවතාරය බලා දිෂ්ටිය එළවීම, මහ සොහොන් දේවතා කන්නලව් කිරීම, ත්‍රිවිධ රත්නයේ බලයෙන් දෝෂ මුදාහැරීමද මෙහිදී සිදු වේ.
 
 මහ සොහොනාගේ බැල්මෙන් තදබල ලෙස රෝගාතුර වන ආතුරයා වෙනුවෙන් ඉරමුදුන් පිදේනිය දීම සිදු කරයි. ඉර මුදුන් යක්‍ෂයා විශේෂයෙන් ස්‌ත්‍රීන්ට ලේකිලි මාලය ඇති කරවයි. ජලය ඇති ස්‌ථානයක පුරාලපලක්‌ තනා ඉර මුදුන් පිදේනිය දීම අලුයම් වේලේ දිෂ්ටි මන්ත්‍ර කීමෙන් ආරම්භ වේ. 
 
 මහ සොහොන් යාගයේදී කළුයකා, ඊරියකා, අබිමාන යකා සහ තොට යකා වෙනුවෙන් පිදේනි දීම සිදු කරනු ලබන්නේ දලුමුර ඔප්පු සිද්ධි කිරීමත් දලු මුරපාලිය, අඟුරු දුම්මල පාලිය ඇතුළුව හත්පද පෙළපාලි නැටීමෙන් අනතුරුවයි.
 
 රීරියකා වෙනුවෙන් දෙනු ලබන රීරි පිදේනිය සඳහා බත සකස්‌ කර ගැනීමේදී පළමු ප්‍රධාන යක්‌ෂ ඇදුරාගේ පපු පෙදෙස මත ලෑල්ලක්‌ තබා එම ලෑල්ල මත වංගෙඩිය තබයි. වී සේරු දෙකක්‌ පමණ වනසේ ගෙන එම වී ඉහත කී වංගෙඩිය තුළට දමා අතෝරකරුවන් දෙදෙනකු විසින් එම වී කොටා සහල් හුණ්‌ඩුවක්‌ පමණට සකස්‌ කර ගනී. අනතුරුව ප්‍රධාන යක්‌ ඇදුරාගේ පපුව මත ඇති වංගෙඩිය සහ ලෑල්ල ඉවත්කොට ටකරමක්‌ පපුව මත තබා ළිප් සකසා ගිනි දල්වා බත පිස ගැනීම සිදු කරනු ලබයි.
 
 මෙසේ සකස්‌ කර ගන්නා ලද බත සහ පුළුටු දර හැව තුළ බෙදා මන්ත්‍ර කියා දිෂ්ටි කිරීම සිදු වේ. මෙහිදී ඊරි යක්‍ෂයා වෙනුවෙන් දෙනු ලබන නරබිල්ල වෙනුවට සකස්‌ කරගනු ලබන්නේ පඹයෙකි. මෙහිදී කරනු ලබන තෝත්‍රය මළ ගෙදරක සිරි උසුලයි. 
 
 මෙහිදී ප්‍රධාන යක්‌ ඇදුරා සකස්‌ කර ඇති දරහැව, පිදේනිය කුකුළා සහ තටුව ආදිය සමඟ පුරාපලට යැම සිදු වේ. අනතුරුව පුරාපලින් බිමට පනින යක්‌ඇදුරා ආතුරයාට සෙත් පැතීම සිදු කරයි. පින්දීමේ කවි ගායනා කර පින් බෙර වැයීමෙන් මහ සොහොන් යාගය අවසන් වේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »