සොබා දහමට බැඳුණු එදා ගොවිතැන ...

2018-03-19 10:51:00       733
feature-top
ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම සිය ප්‍රධාන ආර්ථික මාර්ගය ලෙසට පවත්වාගෙන ගියේ කෘෂිකර්මයයි. අටුකොටු සරු වූ ලක්දිව අතීතයේදී හඳුන්වනු ලැබුවේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසිනි. එදා අප සරුබිම අස්වද්දනු ලැබූ ගොවියා සියල්ල ඉටු කළේ සොබාදහම සමග සමගාමීවය. අවට පරිසරයට අනුගත වෙමින් ආගමට දහමට මුල්තැන ලබාදෙමින් ඔවුහු සිය ගොවිතැන කරගෙන ගියහ.

ඔවුන්ට සරු අස්වැන්නක් ලැබුණා සේම වස විස නොමැති ආහාරද ලැබුණි. ඔවුහු සිය මූලික අවශ්‍යතා මත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තම ප්‍රදේශය තුළම නිපදවා ගත්හ. තම ප්‍රධාන ආහාරය වූ බත උදෙසා මෙහිදී හිමි වූයේ මූලික ස්ථානයකි.


ඔවුහු වී වගාවේදී චාරිත්‍ර වාරිත්‍ර කෙම්පහන් ක්‍රමවලට මූලික තැන ලබාදුන්හ. වී වගාවේදී මූලික ලෙසම ජලය විශාල වශයෙන් අවශ්‍ය වේ. මෙහිදී වී ගොවියන් ක්‍රම දෙකකට සිය ජල අවශ්‍යතාව සපුරා ගන්නේය. ඒ වාර වැස්ස සහ වාරිමාර්ග ආධාරයෙනි. එදා අප ගොවියා සිය වගාවන් සිදු කරනු ලැබූ කෘෂිකර්මය අපට සාම්ප්‍රදායික කෘෂිකර්මය ලෙසට හඳුන්වා දිය හැකිය. මෙහිදී ඔවුහු කුඹුරු ගොවිතැන (මඩ ගොවිතැන), හේන් ගොවිතැන (ගොඩ ගොවිතැන), ගෙවතු වගාව යන තුන් ආකාර ගොවිතැන්හි යෙදෙති.

මෙහිදී නියමිත ස්ථානයක ස්ථිර ලෙසට ක්‍රමානුකූලව හා නිශ්චිත කාල පරිච්ජේදයකදී ඉටු කරනු ලැබුවේ වී ගොවිතැනය. හේන් ගොවිතැන උදෙසාද නිශ්චිත කාල පරිච්ජේදයක් තිබුණි. මෙහිදී ඔවුහු වගා කරනු ලැබුවේ කුරහං, අමු, මෙනේරි වැනි ධාන්‍ය වර්ග හා තල, බටු, මිරිස්, වට්ටක්කා වැනි භෝග වර්ගය. ගොවියා මෙලෙස සිය ප්‍රධාන වගාවන් ඉදිරියට කරගෙන යද්දී ගෙවිලියෝද තම ගෙවත්තෙහි විවිධ භෝග වර්ග වැවූහ. ඒ නිවසේ එදිනෙදා පරිභෝජනය උදෙසාය. එදා සිටි හෙළයා මෙලෙස වගා කරනු ලැබූ පරිභෝජන ද්‍රව්‍ය වවනු ලැබුවේ තමාට පමණක් නොවේ. මෙහිදී පන්ස‍ලේ භික්ෂුන් වහන්සේ දුගී මගී යාචකයන්ද ‍පෝෂණය කළහ. මේ සම්ප්‍රදායික කෘෂිකර්මයට කිසිදු ලෙසක වාණිජ හෝ වෙළෙඳ වැවිලි ඇතුළත් නොවූහ. එදා ගොවියා අතින් සොබා දහමට හානි සිදු නොවූයේ මේ නිසා විය හැකිය.

එදා සාම්ප්‍රදායික ගොවිතැනේදී ගොවියා සිය ප්‍රධාන සහකරුවා ලෙසට තෝරාගනු ලැබුවේ අවට පරිසරය වූ සොබා දහමයි. ඔවුහු සිය ගොවිතැන ආරම්භ කරනු ලැබුවේ ආවාට ගියාට නොවේ. කල් යල් බලා ඒ උදෙසා උචිතම අවස්ථාව තෝරා ගනු ලැබුවේ නැකැත්කරුවා ලබාදෙන සුබ දිනය හා වේලාවට අනුවය. මෙලෙස නිසි වේලාවට වගාව ආරම්භ කිරීමේදී නිසි කලට වැසි ලැබුණි. එවිට වැපිරූ භෝග පැළවීම සහතික විය. එලෙසම අනවශ්‍ය ලෙසට ජලය සපයා දීමට වෙහෙස විය යුතු නැත.

ගොවියා සිය වගාව ආරම්භ කිරීමේදී විශේෂයෙන් වී වගාවේදී මුලින් බඩවැටිය කපා ගොවි‍පොළට දමා අවට ශුද්ධ පවිත්‍ර කරනු ලබයි. මෙලෙස රොඩු බොරඩු ගොවි‍පොළට දැමීම හරහා සිදුවනුයේ පස සරුවීමය. කුඹුරේ වතුර බැඳීම හරහාද කුඹුරේ වූ රොඩු ‍පොහොර බවට පරිවර්තනය කර ගැනීම ගොවියා විසින් සිදුකර ගනු ලබයි. හේන් ගොවියාද කැලය කපා එළිපෙහෙළි කර ගිනි තැබිම හරහා අළු සිය ‍පොහොර බවට පත්කර ගනී. සාම්ප්‍රදායික ගොවිතැනේදී  ගොවියා සරු කරනු ලැබුවේ සිය අස්වැන්න නොව පසය. තමාට මහ ‍පොළොව ලබාදෙන සරු බව මිහිකතගෙන් ගනු ලැබූ ණයක් ලෙසට සලකනු ලබන ගොවියා එය නොවරදවාම ආපසු ගෙවූයේය. මෙහි ප්‍රතිඵලය වූයේ ගොවියාට හැමදා සරු ‍පොළොවක් ලැබිමය.

මේ සියල්ල අවසාන වන විට කුඹුර වැපිරීමට සියල්ල සූදානම්ය. ජලය, සූර්යාලෝකය සහ කුණුරොඩු ආදිය සමග ගොවියා සිය කෙත සරු අස්වැන්නක් උදෙසා සූදානම් කර අහවරය.
සිය වගාව රැකීම එදා සිංහල සංස්කෘතියේ එක් අංගයක් විය. සිය නිවාස ලෙසම ඔහු කෙත රැක්කේය. තමාට සංස්කෘතියෙන්, ආගමෙන් ලද හික්මීම මත ඔවුහු සිය වගාව විනාශ කරනු ලබන පළිබෝධකයන් පලවා හැරියා මිස මරා දැමීමට ක්‍රියා නොකළහ. දිය හොල්මන, හුළං හොල්මන, බුරම් පෙත්ත, ටකය, පඹයා, ගොක් රැහැන් ඔවුන්ට මේ උදෙසා උපකාර වූ මෙවලම්ය. මින් පළිබෝධකයා බිය වැද්දුවා මිස ජීවිත හානියක් සිදු නොවීය. කෘමි උවදුරු මග හැරවීම උදෙසා ඔවුන්ට වස විස අවශ්‍ය නොවීය. එදා ගොවියා සතුව ඉතා දියුණු කෙම්පහන් ක්‍රම තිබුණි. මේ සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය වූයේ තමාගේ පරිභෝජනයටද වඩා වැඩි අස්වැන්නකට එදා සිටි ගොවියා උරුමකම් කීමය.

අද මෙන් මුදල ඉදිරියට නොආ එදා සියල්ල ඉටුවූයේ සාමූහික පදනම මත පිහිටාය. වෙල්යායේ සියලු දේට එකිනෙකා උදව් උපකාර කරගත්හ. අප රටේ එදා තිබූ සාම්ප්‍රදායික කෘෂිකර්මයට ගොවියා යොදා ගනු ලැබුවේ සාම්ප්‍රදායික ක්‍රමයන්ය. මෙහිදී අරපිරිමැසුම්දායක බවටද ඉහළ වටිනාකමක් හිමි විය. එදා ගොවියා තමාට අවශ්‍ය උපකරණ නිපදවා ගනු ලැබුවේ තමා අවට වූ දේවල් උපයෝගි කර ගනිමිනි. තමාට වී ගොවිතැන උදෙසා අවශ්‍ය නගුල, ‍පෝරුව, දැති ගොයියා, උදළු මිට නිපදවා ගන්නා අන්දම මෙන්ම ඒවාට සිදුවන දෝෂවලට පිළියම් යෙදීමටද දැන සිටියේය.
මෙලෙස නිපදවාගනු ලැබූ ගොවි උපකරණ අතර ඉතා සරල ඒවා මෙන්ම සංකීර්ණ ඒවාද විය. පැරණි හෙළයා උදළු නිෂ්පාදන තාක්ෂණය අතින් ඉහළින් සිටි පුද්ගලයෙකි. තමාගේ ගොවිබිමෙහි හැටියට, කරනු ලබන කාර්යයේ හැටියට, ‍පොළොවේ කෙටිය යුතු ගැඹුරේ හැටියට ඔවුහු උදළු වර්ග නිපදවා ගත්හ.

වී ගොවිතැනේ අත්‍යවශ්‍ය වූ නගුල ඉතා ඈත යුගයේ සිට අප රටේ පාවිච්චි වූ උපකරණයකි. පළමුවැනි හීය, දෙවැනි හීය, තෙවැනි හීය ලෙසට නගුල යොදාගෙන ගොවිබිම අවස්ථා තුනකදී සකස් කෙරේ. නගුල උදෙසා විවිධ ප්‍රදේශවලදී විවිධ නම් ව්‍යවහාර කරති. කොකු නගුල, මඩවන නගුල, සිංහල නගුල, දෙමළ නගුල ඉන් නම් කිහිපයකි.
සී සානු ලබන විට හරක් බාන ඈඳා තබා ගැනීම උදෙසා යොදාගන්නේ වියගහය. මෙය අඩි 6ක් පමණ දිග උපකරණයකි.
මඩ කළ කුඹුරුවල උස් තැන්, මිටි තැන්, සමතලා කිරීමට ‘‍පෝරුව’ යොදා ගනී.

කෙම්පහන් ක්‍රම පෙරදැරිව තමාම නිපදවූ උපකරණ සමග එදා ගොවියා සොබාදහම සමග බැඳී ගොවිතැනක නිරත වූහ. එහි ප්‍රතිඵලයක් වූයේ වස විස නොමැති නැවුම් අහර නිපදවා ගැනීමය. සැබෑම ගොවියෝ ඔවුහුය. එම නිසාම ඔවුනට තම මව්බිම පෙරදිග ධාන්‍යාගාරය කිරීමට හැකි විය.

courtesy : dhamma


More News »