මැණික් හා බැඳුණු රස කතා - නිල් මැණික කිරිංචියක් වූ හැටි

2018-03-27 11:44:00       364
feature-top
කළු මහත්තයයි සුදු මහත්තයයි ගජ මිතුරෝය. එක් සුදු මහත්තයා ධනවත් මැණික් ව්‍යාපාරිකයෙකි. කළු මහත්තයා සාමාන්‍ය ජීවිතයක් ගෙවන්නෙකි. නමුත් ‍ඔවුන්ගේ මිතුදම වසර හතළිහකට වඩා පැරැණි ය. ඒ කාලයේ දළං කෑලි එකතු කළ සුදු මහත්තයා කළු මහත්තයාගෙන් නිල් කැටයක් මිලට ගෙන ලාබ ලැබූ හැටි අදත් සිහිපත් කරන්නේ සිනහ වෙමිනි. ඒ හේතුව නිසාම සුදු මහත්තයා අදත් කළු මහත්තයට සලකන බව කියමින් තෙප්පනාවේ ගුණවර්ධන මහතා මේ කතාව කීවේ ය.

කළු මහත්තයා ග‍ඟේ ඉවුර කඩමින් තනියම ඉල්ලම් සේදුවේ කොයි මොහොතේ හෝ වාසියක් වේ යැයි බලාපොරොත්තුවෙනි. එලෙසින් එක දවසක් ඉල්ලම් සෝදන විට නිල් කැටයක් වට්ටියට වැටුණේ බලාපො‍රොත්තු මල් ඵල ගන්වමිනි. ඉල්ලම් හෝදා හමාර කළ කළු මහත්තයා සවස් වරුවේ නිසොල්මනේ කඩ මංඩිය පැත්තට ගියේ ගල් කෑල්ල කාට හෝ අලවි කර ගැනීමට ය.

ඔහු යන පෙර මගට සුදු මහත්තයා පැමිණියේ ය. කළු මල්ලි වාසියක් හෙම නැද්ද? සුදු මහත්තයා කළු මහත්තයාගෙන් විමසුවේ ය. ‍පොඩි නිල් කෑල්ලක් නම් හම්බ වුණා සුදු අයියේ කියමින් කළු මහත්තයා කමිස සාක්කුවේ දමාගෙන සිටි මැණික සුදු මහත්තයා අතට දුන්නේ ය.

සුදු මහත්තයා ගල උඩට අල්ලා බලා දිවේ ගාමින් ගල තෙත් කර හොඳට පරීක්ෂා කර බැලුවේ ය. එය නිල් කැටයක් බව ‍ඔහුට වැටහුණි. නමුත් කළු මහත්තයා මුලා කර අඩු මුදලකට ගල ගැනීමට බලාපො‍රොත්තුව සුදු මහත්තයාගේ හිත යට වැඩ කළේ ය.

කළු මල්ලි මේක කිරිංචියක් බං මේක වටින්නෙ නෑ සුදු මහත්තය කීවේ ය.

වෙන්ට බෑ සුදු අයියෙ..‍. ඕක නිල් කෑල්ලක්... බලන්නකො වාක්කුවත් තියනව කළු මහත්තය කීවේ ය.

දෙදෙනා කතා කරමින් සුදු මහත්තයාගෙ නිවස වෙතට ගියෝ ය. කළු මහත්තයාට වාඩි වීමට පුටුවක් පෙන්නා ඔන්න කළු මල්ලි මේක මැණිකක් නම් සිමෙන්ති පොළවට වැටුණහම ස්ලාං ගාල මිහිරි ශබ්දයක් එනව කිරිංචියක් නම් ටක් ටක් ගාල ශබ්දයක් එනව කියමින් ගල් කෑල්ල සිමෙන්ති පොළව මත දැමුවේ ය.

ගල් කැටයක් සිමෙන්ති පොළව මත වැටුණ විට එන හඬ එම ගල් කෑල්ල වැටුණ විටදිත් නැඟුණේ ය.
ඕං මං කිව්වෙ... මේක කිරිංචියක් කළු මල්ලි උඹට හන්දා මේ රුපියල් පන්සිය දෙන්නම්. මේ කිරිංචිය මට දීපං කියමින් සුදු මහත්තයා සීයෙ කොළ පහක් කළු මහත්තයාට පෙන්නුවේ ය. මීට දසක හතරකට පෙර රුපියල් පන්සීය යනු විශාල මුදලකි. තිබූ ආර්ථික ප්‍රශ්න මත කළු මහත්තයා රුපියල් පන්සීය ගෙන ගෙදර ගියේ ය. සුදු මහත්තයා පසුවදා නිල් කැටය ඉහළ මිලකට අලවි කළේ රත්නපු‍ෙර් ලොකුම මැණික් ව්‍යාපාරිකයාට ය.

එදා ලැබූ ලාභය සමඟම සුදු මහත්තයා දිගින් දිගටම ජය ගත්තේ ය.‍ වැඩි කලක් නොගොස් ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයෙකු බවට පත් විය. ටික කලක් ගිය විට කළු මහත්තයාගේ කිරිංචිය ගැන ඇත්ත කතාව සුදු මහත්තයා කීවේ කළු මහත්තයාට හැකි හැම විටකම මුදලින් උපකාර කරමින් ය. එදා කළු මහත්තයාගේ නිල් කැටයෙන් පටන් ගත් දියුණුව නිසා අදත් සුදු මහත්තයා කළු මහත්තයාට සලකන්නේ නෑකමකට මිතුරුකමකට වඩා වෙනස් ළෙන්ගතු කමකිනි.

පස් කන්දට යට වූ නිල් මැණික

රත්නපුර නගරයේ සිට සැතපුම් දහයක් ඇතුළත පිහිටි ප්‍රදේශයක වූ සත්‍ය සිදුවීමකි. ස්ථානය එසේ හැඳින්වූයේ මෙම විස්තරය මා සමඟ පැවසු මිතුරාගේ ඉල්ලීම මතය.

අහල පහල ගෙවල් හතරක පිරිමි හතර දෙනා එකතුව එක් අයෙකුගේ ඉඩම මායිමේ දොළ අයිනේ පතලක් හැරුවෝය. ඉල්ලමට අඩි තුනක්වත් හැරීමට අවශ්‍ය නොවීය. ඒ නිසා විශාල වළක් ලෙසට පතල හැරුවේය. පතලයේ උඩ පස් තට්ටුව ඉවත් කර ඉල්ලම් මට්ටමට හාරා තේ පානය කිරීමෙන් පසු එක් අයෙක් දෙවියන් බුදුන් සිහි කර ඉල්ලම් කැඩීමට පටන් ගත්තේය.

ඉල්ලම් කූර අනිමින් ඉල්ලම් පස් බුරුල් කරමින් ගිය ඔහුට පතල මැද ලොකු ගලක් තිබෙන බව වැටහුණි. ඔහු ගල වටා ඉල්ලම් බුරුල් කරමින් ගල පාදා එය වෙන තැනකට පෙරළා දැමීමට සූදානම් වූයේ යකඩ ඉනි උපයෝගී කර ගනිමිනි.

ගල පැට්ට්‍රල් ත්‍රී වීලරයක් තරම් විශාල වූයෙන් එය සෙලවීමටවත් ඔවුනට නොහැකි විය. කුළු ගෙඩියකින් ගසා ගල කැඩීමට සිතු එක් අයෙක් ගල පිරිමදින්නට වූයේ කුළුගෙඩි පහර ගැසීමට සුදුසු තැනක් සෙවීමටය. එසේ කිරීමේදී මෙය කළු ගලක් නොවන බව ඔවුන්ට වැටහුණි. තව තවත් විපරම් කර බැලීමේදී මෙය මැණික් ගලක් බව වැටහුණි.

ඔවුන් පතලයේ වැඩ එතැනින් නවතා නිවෙසට ගොස් කතිකා කර ගත්තේ මේ විශාල මැණිකට කළ යුත්තේ කුමක් ද යන්නයි. ඔවුන්ගේ අවසාන තීරණය වූයේ රත්නපුරයේ ලොකුම මැණික් ව්‍යාපාරිකයාට මෙය පෙන්වා ට්‍රැක්ටරයක පටවාගෙන යන ලෙස කීමය. එසේ තීරණය කර ගත් ඔවුහු පසුවදාම රත්නපුර නගරයට ගොස් එකල සිටි ලොකුම මැණික් ව්‍යාපාරිකයාට කතාව කීවෝය.

කී පමණින් කතාව පිළිගැනීමට අකමැති වූ ව්‍යාපාරිකයා ඔහුගේ සේවකයකු පතල් නඩය සමඟ මැණික බලාගෙන ඒමට යැව්වේය. ඔහු පතලට ගොස් පරීක්ෂා කර බැලීමේදී මෙය විශාල නිල් මැණිකක් බව තේරුණේය. ඔහු පැමිණ ව්‍යාපාරිකයාට ඒ බව කීවේය. ව්‍යාපාරිකයා පතල් නඩයට සල්ලි මිටි දුන්නේ ලෝබකමක් නැතිවය. මැණික ගෙන ගියාට පසු ගනුදෙනු හමාර කිරීමේ ගිවිසුම මතය. ඊට පසු පතල් නඩය ව්‍යාපාරිකයාගේ සේවකයන් ද සමඟ දුරක සිට කාණුවක් කැපුවේ අඩි අටක් පමණ පළලටය. මෙසේ කැපු කාණුව මැණික ළඟටම හාරා ට්‍රැක්ටරයේ බක්කිය මැණික ළඟට කර මැණික බක්කියට පෙරළීම අරමුණ විය. පසුව එය ව්‍යපාරිකයා නිවසට ගෙනියන්නේය. ඔවුහු රහසිගතව දින ගණනක් මේ වැඩය කළහ. තව එක් දිනයක් වැඩ කළ පසු මැණික ට්‍රැක්ටරයට පැටවිය හැකිය. ව්‍යාපාරිකයා අහසේ මාලිගා පිට මාලිගා තැනුවේය. පතල් නඩය ඊට දෙවැනි නැත. තව ඇත්තේ එක් දිනක් පමණි.

එදින උදේ සිටම සුටු සුටු ගා පොද වැස්ස පටන් ගත්තේය. දහවල් වන විට, වැස්ස වැඩි විය. ගස් වැල් අඹරවා සුළං හමන්නට පටන් ගත්තේ ප්‍රදේශයම බිය ගන්වමිනි. වැස්ස එන්න එන්නම වැඩි විය. රාත්‍රී වන විට ගංවතුර ස්වභාවයක් පටන් ගත්තේය. ඒ එක්කම පළාතම බිය ගන්වන හඬක් නඟමින් පතල් පොළට ඉහළින් තිබූ කන්ද කඩා හැළුණේය.

එම පස් කන්ද කඩා වැටීමෙන් පතල් නඩයේ හතර දෙනාගේම නිවාස පස් කන්දට යට විය. මැණික තිබු ස්ථානය හෝ දොළ පාරවත් සොයා ගැනීමට නොහැකි වන සේ පස් කන්ද තුනිවී ගියේය. අදවත් එම ස්ථානය අනුමානයට වත් සිතා ගැනීමට අපහසුය. එදා ගිය ව්‍යාපාරිකයාගේ සේවකයකු තාම ජීවතුන් අතර සිටින අතර ව්‍යාපාරිකයා ජීවතුන් අතර නැත. 



උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »