ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හා බැඳුනු ඇදහිලි හා විශ්වාස

2018-04-04 12:04:00       845
feature-top
ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක ආර්ථිකයේ මූලික පදනම වූයේ කර්මාන්තයයි. පුරාණ ශ්‍රී ලාංකේය ජන අයත් වනුයේ එකී පදනමටයි. සිංහලයන්ගේ ප්‍රධාන වගාව වී ගොවිතැන වූ අතර කෘෂිකර්මය ප්‍රධාන ආර්ථිකය මෙන් ම ප්‍රධාන ආහාර ලබාගැනීමේ මාර්ගය ද විය.

කෘෂිකර්මය යනු

කෘෂි කර්මාන්තය ප්‍රමුඛ කොටගත් ආර්ථිකයකට හිමිකම් කියන ජනවර්ග ද්විත්වයක් පිළිබඳ ව කෙරෙන මෙම විමර්ශනයේ දී කෘෂිකර්මය යනු කුමක්දැයි අර්ථ දැක්වීම වැදගත් ය. ඒ අනුව,

කෘෂිකර්මය යනු, ගොවිතැන, ගොවි කර්මාන්තය හා වැවිලි සම්බන්ධ විද්‍යාවයි. (සුමංගල ශබ්දකෝෂය).

කෘෂිකර්මාන්තය යනු, සී සෑම, ගොවිතැන, ගොවිකම, ගොවිතැන් කිරීමේ හා සතුන් ඇති කිරීමේ විද්‍යාවයි (ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය).
 
කෘෂිකර්මාන්තය යනු, විද්‍යාව, කලාව හා කර්මාන්ත කළමනාකරණය ශාක වගාව සහ මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා සතුන් ඇති කිරීම යන්න ඉන් ධ්වනිතය.  කෘෂිකර්මය යන්නෙහි මුල් අර්ථය සී සෑම යනුයි. අද එහි අර්ථය බොහෝ දුරට ව්‍යාප්ත වී ගොස් ගෙවතු, ධාන්‍ය, එළවුළු, පලතුරු හා මල් ආදී බොහෝ වගාවන් ද පොල්, තේ, කෝපි, කොකෝ, උක්, කජු, රබර් හා හණ ආදී ද්‍රව්‍ය හා කාර්මික අමුද්‍රව්‍ය වගා කිරීම ද ගව, එළු, බැටළු ආදී සතුන් ඇති කිරීම හා ඒ  හා අනුබද්ධ ක්‍රියා ගණනාවක් ද ඇතුළත් සංකීර්ණ ප්‍රායෝගික  විද්‍යාවක් කෘෂිකර්මය යනුවෙන් අදහස් කරනු ලැබේ.

සාමාන්‍ය ජනයාගේ දෘෂ්ටිකෝණයෙන් ගත් කළ, තමාගේත් තම පවුලේත් කුසගින්න නිවා ගැනීම උදෙසා සිදුකරනු ලබන වගා කටයුතු හා සතුන් ඇති කිරීම කෘෂිකර්මය යනුවෙන් හැඳින්විය හැකිය.

ඇදහිලි හා විශ්වාස

කෘෂිකර්මය යනු කුමක් ද යන්න හඳුනා ගැනීම මෙන් ම ඇදහිලි හා විශ්වාස යනු මෙම විමර්ශනයෙහි ප්‍රමුඛ සංකල්පයකි. එබැවින් මෙකී සංකල්පය කුමක්දැයි හඳුනාගත යුතුය. ඇදහිලි විශ්වාස යනු යම් පුද්ගලයෙක් ස්වකීය ආගම, සංස්කෘතිය හා දෙවියන් පිළිබඳ ව මනසෙහි සිතුවම් කර ඇති රූපයකි. ඒ වනාහි චිත්තරූප යනුවෙන් හඳුනාගත හැකිය. එය ස්වකීය චිත්තය සන්තර්පනය කරනු ලබන ඕනෑම සංකල්පයක් වශයෙන් ද සැලකිය හැකිය. කෙසේ වෙතත් මෙකී සංකල්පය මිනිස් සමූහයා පාරම්පරික ඥානයෙන් ලද උරුමයකි. එය වර්තමානය දක්වා මානව ප්‍රාථමික සන්නිවේදනය මගින් අද සමාජය වෙත ප්‍රවාහනය වූ සංස්කෘතික මෙවලමක් ද වේ. මේකී සන්නිවේදනය වනාහි මිනිසාට මානසික සුවයක් ලබා දෙන අතර ම එමඟින් ජීවිතය සාර්ථක ව ගොඩනගා ගනිමින් ප්‍රීතිමත් ව දිවිය ගෙවීමට උත්තේජනයක් ද ලැබේ.

සම්ප්‍රදායික කෘෂිකර්මාන්තය

මඩ සෝදා ගත් කළ ගොවියා රජකමට සුදුසු යැයි පැරණි සිංහල කියමනකි. කෘෂිකර්මාන්තයෙහි පවත්නා වැදගත්කම ඉන් ධ්වනිත ය.අතිතයේ දී සිංහලයන් පිටදඩහස, මදෙහස හා අකලහස යනුවෙන් කන්න තුනක් වගාකළ බව සිරිමෙඝවර්ණ රජුගේ කාලයට අයත් තෝනිගල සෙල්ලිපියෙහි සඳහන්ය. එනම්, වසර පුරාවට ම වැව් මගින් සම්පාදනය කළ හැකි ප්‍රදේශවල පමණක් කන්න තුනක දී ගොවිතැන් කටයුතු සාර්ථකව සිදුකර ඇත.  කෙසේ වෙතත් සිංහලයෝ යල හා මහ වශයෙන් කන්න දෙකක් වී ගොවිතැන සිදුකරති. මහ කන්නය වී ගොවිතැනෙහි ප්‍රධාන කාලසීමාවයි. එය වසරේ ඔක්තෝම්බර් හා නොවැම්බර් අතර යෙදෙන චන්ද්‍ර මාසයේ දී ඇරඹේ. වී වපුරන අප්‍රධාන  කාලසීමාව හෙවත් අකාලයේ යෙදෙන කන්නය, යල කන්නයි. එය අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වූ කාලයෙහි දී යෙදෙයි.

භූමිය සකස් කර ගැනීම

කෘෂිකර්මාන්තයේ දී වඩාත් වැදගත් කාර්යය වනුයේ වගාවට අවශ්‍ය පරිදි භූමිය සකස් කර ගැනීම ය. වඩා ඵලදායී වගාවක් ලබා ගැනීමට නම්, සරුබිමක් තෝරාගෙන එය වගාවට උචිත පරිදි සැකසිය යුතුය. පසු ව, නිසි කාලසීමාවේ දී බීජ වැපිරිය යුතුය. වී ගොවිතැනේ දී බොහෝවිට මාස හතරක් පහක් අතර කාලසීමාවක දී එක් කන්නයක කටයුතු සිදු කෙරෙයි. කන්න අතරමැද සිංහල ජනයා අතුරු භෝග වගාව උදෙසා හේන් ගොවිතැන අතිරේකව සිදු කරති.

ස්ත්‍රීන්ට පැනැවෙන තහංචි

හෙළ සමාජ සන්දර්භයෙහි ප්‍රචලිත වී ගොවිතැන මුළුමනින්ම පුරුෂ පාර්ශ්වය කේන්ද්‍ර කොටගත්තකි. ඊට හේතුව පුරාණයේ සිට ම පැවැත එන ඇදහිලි විශ්වාස හා අභිචාර විධි අනුගතව සිංහල ගැමියා ගොවිතැනෙහි නිරතවීමයි. එබැවින් කිළිකුණුවලින් යුක්ත යැයි සලකන කාන්තාව මේ ක්‍රියාවලිය හා සම්බන්ධ වන්නේ සමහර අවස්ථාවලදී පමණි.

සම්ප්‍රදායික අඳ ක්‍රමය

කුඹුරු අස්වද්දීමේ දී සිංහල ජනයා අතර ප්‍රචලිතව පවතින අඳ ක්‍රමය මගින් සිංහල සමාජයෙහි ගැමියා අඳ ගොවියාට ලැබෙන ඇස්වැන්නෙන් හතරෙන් පංගු තුනක් ද, අයිතිකරුට ඉතිරිය ද වන සේ සාධාරණ මිනුමකට අනුව අඳ ගොවිතැන සිදු කරයි.

අස්වනු නෙළීම

සරුසාර අස්වැන්නක් ලැබීමෙන් ලබන ප්‍රීතිය නම් සිංහල ගොවියා අස්වැන්න කැපීමෙන් පසු එහි ප්‍රථම කොටස බුදුන්, දෙවියන් උදෙසා කැපකිරිම හෙළ සිරිතයි. පාරම්පරික ව මිනිසුන් අතර පැවැත ආ ඇදහිලි විශ්වාසයන් ප්‍රමුඛ කොට ගනිමින් චාරිත්‍රානුකූලව අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබන්නේ එහෙයිනි. සශ්‍රීකත්වය සංකේතවත් කරනු ලබන මෙය අලුසහල් මංගල්‍ලය, අලුසාල්  මංගල්‍ලය හෝ අලුසල්  මංගල්‍ලය යනුවෙන් ව්‍යවහාර කෙරේ.
අලුත් සහල් මංගල්‍යය

ස්වකීය ජීවිතයට සෞභාග්‍යය ලබාදෙන සශ්‍රීකත්වයේ මංගල්‍යය ගැමියා සිය ඇදහිලි විශ්වාසයන්ට අනුකූලව නිවැරදි වතාවත්වලින් යුතුව සිදු කරනු ලබයි. අලුත් සහල් මංගල්‍යය යනු, මහනුවර දළදා මාළිගාවෙහි ද සිවුදේවාලවල ද වෙනත් ප්‍රධාන දේවාලයන්හි ද වාර්ෂිකව පවත්වනු ලබන උත්සවයක නාමයයි. අස්වනු කපා පෑගීමෙන් පසු කෙරෙන මෙම උත්සවය අලුත් සහලින් දළදා වහන්සේ වෙත දන් පූජා කිරීම ප්‍රධාන කොට ගත්තකි. දළදා මාළිගාව සතු ගුරුදෙණියේ ධාන්‍යාගාරයේ සිට මහා පෙරහරින් සහල් නැලි තිහක් හා වී නැලි පහළොවක් ද ඒ ඒ දේවාල සඳහා සහල් හා වී ද පෙරහරින් ගෙන ඒම මෙහි ප්‍රධාන කටයුත්ත වේ. ගෙන ආ සහලින් බත් උයා දළදා වහන්සේ පිදීම ද කරනු ලැබේ. නැකැත් අනුව කෙරෙන මෙකී කටයුත්තේ දී උඩරට නා නා ප්‍රදේශවාසින් ද සහල් සහ වී ගෙනවිත් දළදා වහන්සේට පිදීම සිරිතක් ව පවතී (ජන විද්‍යා ශබ්දකෝෂය). මෙනයින් විද්‍යාමාන වනුයේ සශ්‍රීකත්වයේ මංගල්‍යය ගැමි ජනයාගේ සිත්සතන්හි පවත්නා ඇදහිලි විශ්වාසයන්ගෙන් ඔප්නැන්වී ඇති බවය.

අලුත් සහල් මංගල්‍යය යනු, නව අස්වැන්න පිළිබඳ උත්සවය, අලුත් බතින් දෙවියන් පිදීමේ උළෙලයි (ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය). ශ්‍රී ලාංකේය දෙවිදේවතාවුන් අතර බලගතු දේවතාවියකි. ඒ පත්තිනි මෑණියන් ය. එතුමිය ද අලුත් සහල්  මංගල්‍යයෙහි දී පුද පූජා ලබයි.



රුපය: පත්තිනි දේවිය

ශ්‍රී ලාංකේය ගොවියා පවත්වනු ලබන අලුත් සහල්  මංගල්‍යයේ ඇදහිලි විශ්වාස හා ක්‍රියාකාරකම් ආශ්‍රිත ප්‍රදේශීය විවිධතා දැකිය හැකිය. රත්නපුර ප්‍රදේශයේ ජිවත්වන ගැමියා මෙම අලුත් සහල්  මංගල්‍යය සිදු කිරීමට පෙර දී බිත්ති හා ගෙබිම අලුත් මැට්ටෙන් පිරියම් කරති. අප්‍රිකානු ගෝත්‍රික ජන සමාජයෙහි ද එවැනි චාරිත්‍රයකි. ගෝත්‍රික කාන්තාවෝ අලුත් යෑම් මංගල්‍යයට පෙර බිත්ති, ගෙබිම පිරිසිදු කොට කුණු දූවිලි සූරා දමා අලුතින් පාට තවරති. නිවසෙහි එදිනෙදා භාවිතයට ගන්නා හැළිවලං, ලී බඳුන් සහ යෑම් කොටන වංගෙඩි ආදිය ද පිරිසිදු කොට නව මුහුණුවරකින් අලුත් යෑම් මංගල්‍යය සැමරීමට සූදානම් වෙති.

ශ්‍රී ලාංකේය ජන සමාජයෙහි එලෙස ආර්ථික වාසි තකා අලුත් සහල් මංගල්‍යය නො පවත්වයි. පාරම්පරිකව ලද ඇදහිලි විශ්වාස රැක ගනිමින් අනාගත සමාජයට ඒවා ප්‍රදානය කිරීමෙහි මෙන් ම, පුරාණ සාම්ප්‍රදායික චාරිත්‍ර ධර්මයන් ඉටු කිරීමෙහි ලා පමණක් එය පවත්වයි. භවබෝග ආරක්ෂා කර ගැනීමටත්, සෙත් ශාන්ති පැමිණවීමටත් සිංහලයා ශාන්තිකර්ම පවත්වනු ලැබුව ද, ඒ හා මෙකී අවස්ථාව ගැළපිය නො හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ

සොරත හිමි, වැලිවිටියේ. සුමංගල ශබ්දකෝෂය. (සිංහල-සිංහලාර්ථ-ප්‍රථම-අ-න්‍යු) කොළඹ : අධ්‍යාපන අමාත්‍යංශය
විජයතුංග, හරිශ්චන්ද්‍ර. ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය. කොළඹ : සී/ස, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම
විජයතුංග, හරිශ්චන්ද්‍ර. සිංහල විශ්වකෝෂය (7 වැනි කාණ්ඩය-තුන්වැනි කලාපය). බත්තරමුල්ල : සංස්කෘතික දෙපාර්ත්මේන්තුව
වික්‍රමසිංහ, මාර්ටින්. මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය. රාජගිරිය : සී/ස,සරස පෞද්ගලික සාමාගම
විජයතුංග, හරිශ්චන්ද්‍ර. ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය. කොළඹ : සී/ස, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම
ලියනගේ, සිරි. නිරුක්ති සහිත මහා සිංහල ශබ්දකෝෂය. කොළඹ : ඇස් ගොඩගේ සහෝදරයෝ.
ලියනගේ, සිරි. ජනශ්‍රැති ශබ්දකෝෂය. පොල්ගස්ඕවිට : සිරිලිය ප්‍රකාශකයෝ, 2000.
ලියනගේ, සිරි. ජනවිද්‍යා ශබ්දකෝෂය. කොළඹ : ඇස් ගොඩගේ සහෝදරයෝ, 1996.
හෙට්ටිආරච්චි, ඩී. ඊ. සිංහල විශ්වකෝෂය (2වන වෙළුම) බත්තරමුල්ල : සංස්කෘතික දෙපාර්ත්මේන්තුව
විජයතුංග, හරිශ්චන්ද්‍ර. ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය. කොළඹ : සී/ස, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම

courtesy : sjp.ac.lk


More News »