ගැමි ගොවියා හා බැදුණු ජ්‍යෝතිෂ ය

2018-04-19 10:24:00       207
feature-top
අයියනාමුත්තා හෙවත් අයියනායක දෙවියෝ... දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්වා වූ වූ වන්නි හත්පත්තුවට අධිපති දෙවියන් ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ ගෞරවයටත්, වන්දනාමානයටත් ලක්‌ව ඇති අයියනායක දෙවියන් වූ කලී ඉතා බලසම්පන්න දේව ආත්මයකි.

“ කරේනාරේ - කයියනාරේ - අයියනායගම් - අරියනායගම් '' ආදී නම් රැසකින් විවිධ ප්‍රදේශවල ජනයා අයියනායක දෙවියන් හඳුන්වන අතර කතරගම සන්නසෙහි අයියනාරායන් ලෙසත්, කෝකිල සංදේශයෙහි අයියන් ලෙසත් හඳුන්වා ඇති බැවින් පුරාණ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ බුහුමනට පවා ලක්‌වූ දෙවි කෙනෙකු බව සනාථ වේ. ඉතිං ගැමි ගොවියෝ ගොඩ ගොවිතැනට හෝ මඩ ගොවි තැනට බැසීමට ප්‍රථම පොල් ගෙඩියක් උඩ තබා අයියනායක දෙවියන් උදෙසා බාර වන්නේ එතැන්පටන් අස්වැන්න ඵලදාව නෙළා අටු කොටුවලට ගෙන එම ධාන්‍ය වලින් සහ උඩ තැබූ පොල් ගෙඩියෙන් කිරි උතුරවා බාරය නිදහස් කරන තුරු අව් වැසි වලින් අනිසි කරදර සතා සිවුපාවාගෙන් වන කරදරවලින් බේරා දෙන ලෙස ට අයද සිටීමෙනි. ගමේ ඒවාට වෙන්වූ කපුමහතෙක් ද ගමේම එදා සිටියේය. මෙහෙම භාර වී ඊට කලින් ගමේ නැකත් මහතා ගෙන් ලබාගත් සුබ මුහුර්තයෙන් දෙයියනේ කියලා වැඩ අරඹති.බුලත් අතකුත් රැගෙන පාන්දරින්ම පිටමන් වන්නේ නැකත් මහතාගේ නිවසටය.එකල ජ්‍යෝතිෂ්‍යශාස්ත්‍රඥයා මෙකල මෙන් නොව සරලව ගමේ ප්‍රදේශයේ කාගේ ගරුබුහුමනට පත්‍ර වූ අයෙකි. ඔහුට නමස්කාරකොට තුටු පඩුරක් සමඟබුලත් අත ලබා දී

"අපේ උන්දා එක්ක මේ කන්නෙත් ගොවිතැනට බහින්නයි ඔන්න හදන්නේ.ඉතින් අපිට නමොවිත්තියෙන් වැඩ අරඹන්න නැකත් මහත්තයාම නොවැ පිහිට වෙන්නේ "ඉතින් නැකත් මහතා හරබර කවියක් සොලෝකයක් කියමින් නැකත ගැන සුද්දකරලා ලබාදෙන්නේ ඔන්න එහෙනම් මම තක්කෙටම නැකත හැදුවා..පොල්ගෙඩියක් එහෙම උද තියලා දෙයියෝ බුදුන් සිහි කරලා වැඩ අරඹනවා හොදයි කියා ආශීර්වාද කරමිනි .

ගොවිතැනට සුබ මුහුර්ත ගැනීමේදී “ ගොවි නැකත් “ක්‍රම සුවිශේෂී වේ.එනම් හොඳ කරණයක් අල්ලා වැඩ ඇරඹීමට එකල ගැමි ගොවියන් හරි හරියට උනන්දු වුහ.මොනාද මේ ගොවිකරණ කියන්නේ

ගොවි කරණ....( පුර පක්ෂයේ )

1 පෑලවිය ට සිංහ කරණය ද ,

2 දියවක ට ඌරු කරණය ද ,

3 තියවක ට ගජ කරණය ද ,

4 ජලවක ට කුකුළු ,

5 විසේනිය ට දිවි කරණය ද ,

6 සැටවකට එළු කරණය ද ,

7 සතවකට ගව කරණය ද ,

8 අටවක ට සිංහ කරණය ද ,

9 නවවක ට ඌරු කරණය ද ,

10 දසවක ට ගජ කරණය ද ,

11 එකොළොස්වක ට කුකුළු කරණය ද ,

12 දොළොස්වක ට එළු කරණය ද ,

13තෙලෙස්වක ට ගජ කරණය ද ,

14 තුදුස්වක ට ගව කරණය ද ,

15 පසළොස්වක ට සිංහ කරණය ද

" එක සිංහ දෙක ඌරු තියවක ගජ කරණ

ජලවක කුකුළු පස දිවි සය එළු කරණ

සත ගව අර සිංහ නව සූකර කරණ දසවක ගජ කරණ කිය මෙලෙස දැනගෙණ "

"එකොළොස්වක කුකුළු කරණය කියන්නේ

දොළොස දිවි තෙළෙස එළු කාරණයි දන්නේ තුදුසු ගජ පසළොස සිංහ වන්නේ පුරට කරණ මේ ලෙස දැන කියන්නේ "

යනාදී ලෙස කරණ ඇල්ලීම පුර පක්ෂයේ දී සිදු කරයි .

ගොවි කරණ....( අව පක්ෂයේ )

1 පෑලවියට ඌරු කරණය ද ,

2 දියවකට ගජ කරණය ද ,

3 තියවකට කුකුළු කරණය ද ,

4 ජලවකට දිවි කරණය ද ,

5 විසේනියට එළු කරණය ද ,

6 සැටවකට ගජ කරණය ද ,

7 සතවකට සිංහ කරණය ද ,

8 අටවකට ඌරු කරණය ද ,

9 නවවකට ගජ කරණය ද ,

10 දසවකට කුකුළු කරණය ද ,

11 එකොළොස්වකට දිවි කරණය ද ,

12 දොළොස්වකට එළු කරණය ද ,

13තෙලෙස්වකට ගජ කරණය ද ,

14 තුදුස්වකට ගව කරණය ද ,

15 අමාවකට ඌරු කරණය ද

අව එක ඌරු දියවක ගජ කරණ වනු

තියවක කුකුළු ජලවක දිවි කරණ වනු

විසේනිය එළු සැටවක ගව කරණ වනු

සතවක සිංහ අටවක සූකරයි දනු "

නව ගජ දස කුකුළු එකොළොස දිවි කරණ

දොළොස එළු තෙළෙස දැනගන් ගව කරණ තුදුස සිංහ අමාව සුකරයි දැන අවට කරණ මේ ලෙසටයි කියනු දැන " යනාදී ලෙස කරණ ඇල්ලීම අව පක්ෂයේ දී සිදු කරයි. මෙම කරන ඇල්ලීමේ සුභාශුභ පලාපලයන් එදා ගැමියන් දැනසිටියහ.එනම් තම ගොවිතැනට අදාළ කරණය පිළිබද ඔවුන් අද්දැකීමෙන් දන සිටියේ මේ ආකාරයටය.

~.දිවි කරණය සහ සිංහ කරණය පවතින දිනයක ගොවිපලේ කුඹුරු හේනේ වැඩ ආරම්ඹ කළහොත් හරක් ගෙන් ඌරන් ගෙන් ආදී සිව්පා සතුන් ගෙන් ගොවිතැන ආරක්ෂා වේ.

~.ඌරු කරණයෙන් හිටවන අල ජාති ඉතා විශාලව එරෙන බව ද නමුත් ඌරන්ගෙන් හානි සිදුවන බවත් ඔවුහු දනිති.නමුත් ගවයන් සම්බන්ධ වැඩ වලට යහපති.

.ජලවක දිනක කුකුළු කරණයෙන් කිතුල් මල් , පොල් මල් මැදීමට ශුභ වේ.

.ගජ කරණයෙන් කරන ගොවිතැන් අලි ඇතුන්ගෙන් විනාශ වේ.

.ගව සහ එළු කරණයෙන් කරන ගොවිතැන් සිව්පාවන්ගෙන් හානි පැමිණේ.

.සිටවන ගසක් වේද එම ගස උස යාමට නොදී මිටිව පවත්වා ගන්න නම් එළු කරණයෙන් සිටවීම ප්‍රතිපහල දායක වේ.

.වැල් වර්ග සිටුවීමේදී හා මල් වර්ග සිටුවීමේදීද දිවිකර්ණය හා සිංහ කර්ණය තෝරාගන්න.

~.එළ කර්ණයට හා ගව කර්ණයෙන් බෝග වර්ග සිටවූ විට එම බෝගවලට විනාශය ගෙන දෙන්නේම එලුවන් හා ගවයන් විසින්මය.

වර්තමානයේ අභාවයට යමින් පැවැතුණද එකල දෙවියන්ට පොල් ගෙඩියක් එල්ලා ගොවි කරණයක් අල්ලා නැකතට තම ගොවිතැන් කටයුතු කර අටු කොටු වලින් බෝග පුරවා මෙරටින් පිටරටට පවා අපනයනය කළ බව ඉතිහාසයේ සදහන් වන්නේ මේ පුරාණ චාරිත්‍ර ක්‍රම මනාව අනුගමනය කළ බව ඔප්පු වේ. අපෙන් ඈත් වෙන මේ ක්‍රම ගැන අධ්‍යනය කර නැවත ප්‍රයෝගිකව භාවිතා කිරීමට අවැසි කාලය උදාවී ඇත.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »