මහ පොළොවේ යථාර්ථයක්‌ කළ වස-විස නැති ගොවිතැන

2018-04-24 11:04:00       540
feature-top
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ශ්‍රී ලංකාව 'රසායනික ගොවිතැනේ සිට ස්‌වාභාවික ගොවිතැන' කරා රැගෙන යැම සඳහා 'වසවිස නැති රටක්‌ - තුන් අවුරුදු ජාතික සැලැස්‌ම', ජනාධිපති කාර්යාලය හා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන ලදී. එම තුන් අවුරුදු (2016-19) වැඩසටහනේ දෙවන වසර අවසානය වනවිට ලබා ඇති ජයග්‍රහණ හා අත්දැකීම් අළලා මෙය සැකසේ. 
 
 වසවිස නැති රටක්‌ වැඩසටහනේ සාර්ථකත්වයට පසුබිම සැකසූ කාරණා තුනකි.
 
saru2 1. ජෛව විද්‍යාත්මක ගොවිතැන සඳහා ජීවීන්ට ජීවත්විය හැකි සුදුසු පරිසරයක්‌ නිර්මාණය කිරීම සඳහා ග්ලයිෆොසෙට්‌ ඇතුළු පූර්ණ වල්නාශක තහනම් කිරීම - එහෙත් තෝරා නසන වල්නාශක හා වෙනත් පළිබෝධනාශක කිසිවක්‌ තහනම් කළේ නැත.
 
 2. රසායනික පොහොර සැපයීම සඳහා පමණක්‌ සමාගම්වලට ලබාදුන් රජයේ සහනාධාරය, ගොවි සහනාධාරයක්‌ ලෙස ගොවීන්ට ලබාදීම - එමඟින් ගොවීන් හට තමන්ට අවශ්‍ය පොහොර අවශ්‍ය තැනකින් මිළදී ගැනීමට අවසර ලැබීම නිසා රසායනික ගොවිතැනටත් ජෛවවිද්‍යාත්මක ගොවිතැනටත් සාධාරණ තරගයකට ඉඩ ලැබිණි. 
 
 3. ජෛවවිද්‍යාත්මක ගොවිතැන උපයෝගී කරගනිමින් 'වසවිස නැති රටක්‌' බිහි කිරීම උදෙසා පර්යේෂණ, කුසලතා වර්ධන හා ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීම - මෙමඟින් වසවිස ඇති රසායනික වලින් තොරව සාර්ථක ගොවිතැනක්‌ සිදු කරන ආකාරය පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමටත් තමන් ගන්නා ආහාර වල අන්තර්ගත වසවිස පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමටත් අවස්‌ථාවක්‌ ලැබිණි. 
 
 මෙහි පළමු තීරණ දෙකම ඕනෑම රජයක්‌ ගැනීමට මැලිවන අතිශය දුෂ්කර, නිර්භීතව ගත් තීරණ වේ. එම තීරණ දෙක නිසා ශ්‍රි ලාංකීක ගොවීන් මෙන්ම සමස්‌ත ප්‍රජාවම ලැබූ ප්‍රතිලාභ රාශියකි. අවාසනාවකට මෙන් දැන් එම තීරණ ආපිට හැරවීම සඳහා උත්සාහයක්‌ දැරේ. කැබිනට්‌ මණ්‌ඩලය විසින් 2018 යල කන්නයේ සිට ගොවීන් හට මුදලින් ලබාදුන් ගොවි සහනාධාරය අත්හිටවා යළිත් එම සහනාධාරය රසායනික පොහොර සමාගම් වෙත Rජුවම ලබා දීමට කටයුතු කර ඇත. එමෙන්ම පනවා ඇති ග්ලයිෆොසෙට්‌ ඇතුළු පූර්ණ වල්නාශක තහනම ඉවත් කිරීම සඳහා ද මේ වන විට දැඩි උත්සාහයක්‌ දැරෙමින් තිබේ. මෙය මහා ජාතික අපරාධයකි. ජෛවවිද්‍යාත්මක ගොවිතැන පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සිත් තුළ ඇති මිථ්‍යා මත දුරලීමට දැන් කාලය පැමිණ තිබේ. 
 
 ජෛවවිද්‍යාත්මක ගොවිතැන දැන් ශ්‍රී ලංකාවටත් ඇවිත්
 
 ජෛවවිද්‍යාත්මක ගොවිතැන, රසායනික ගොවිතැනට වඩා දියුණු, විද්‍යාත්මක ගොවිතැන් ක්‍රමයකි. මෙය ලෝකයේ දියුණු රටවල එනම් යුරෝපයේ, ජපානයේ, කොරියාවේ හා චීනයේ පසුගිය දශක දෙක තිස්‌සේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ශාස්‌ත්‍රයකි. ජෛවවිද්‍යාත්මක ගොවිතැන යනු 'පාරම්පරික ගොවිතැන' හෝ 'කාබනික ගොවිතැන' හෝ ලෙස හඳුන්වනු ලබන ගොවිතැන් ක්‍රමය නොවේ. වැඩිදියුණු කළ බීජ, කාබනික ගොවිතැනට සාර්ථක ලෙස ප්‍රතිචාර නොදක්‌වන නිසා පාරම්පරික කාබනික ක්‍රම වලට රසායනික ගොවිතැන හා තරග කිරීමට නොහැකිය. ඒත් වසවිස නැති ජෛව විද්‍යාත්මක ගොවිතැනෙන් රසායනික ගොවිතැනෙන් ලැබෙන අස්‌වැන්නම හෝ ඊට වැඩි අස්‌වැන්නක්‌ ලබාගැනීමට හැකිය. 
 
 ජෛවවිද්‍යාත්මක ගොවිතැන යනු
 
 ජෛව විද්‍යාත්මක ගොවිතැන යනු අප වගාකරනු ලබන බෝගයෙන් උපරිම අස්‌වැන්නක්‌ ලබාගැනීමට හැකිවන පරිදි ඉංග්‍රීසියෙන් 'රයිසොස්‌µsයර්' යනුවෙන් හඳුන්වන පාංශු ක්‌ෂුද්‍රජීවීගෝලය (ගොවිබිමේ සජීවී පස්‌ තට්‌ටුව) වැඩිදියුණු කර ගැනීමයි. මෙහි දී බෝගයට හිතකර ඇසට පෙනෙන නොපෙනෙන සියලු ජීවීන් එම පාංශු ක්‌ෂුද්‍ර ජීවීගෝලයේ උපරිම ලෙස බෝවීමට සුදුසු පරිසරයක්‌ නිර්මාණය කෙරේ. එම ජීවීන්ට අවශ්‍ය ආහාර (පෝෂ්‍ය පදාර්ථ) ලබාදීම ද සිදුකෙරේ. 
 
 ජෛව විද්‍යාත්මක ගොවිතැනේ දී 
 
 * පරිසර පද්ධතියක්‌ ලෙස ගොවිබිම වැඩි දියුණු කරමින් 
 
 * පසේ පොහොර විනාශ වී යා නොදී රැකගනිමින්
 
 * ජෛ වවිද්‍යාත්මක ඝන හා දියර පොහොර යොදමින් 
 
 * වල් පැල වැඩීමට ඇති ඉඩකඩ අහුරමින් 
 
 * ජෛව විද්‍යාත්මක ප්‍රයෝග භාවිතයෙන් හා ශාක ශක්‌තිමත් වැඩීමට සැලැස්‌වීමෙන් කෘමි හා දිලීර උවදුරුවලින් වගාව මුදා ගනිමින් ගොවිබිම වැඩි දියුණු කෙරේ. 
 
 දශක ගණනාවක්‌ තිස්‌සේ රසායනික ගොවිතැන් ක්‍රම භාවිත කිරීම නිසා පස අජීවී වී විනාශ වූ ගොවිබිම්වල පවා ඊළඟ කන්නයේදීම රසායනික ගොවිතැනට සමාන හෝ වැඩි අස්‌වැන්නක්‌ ලබාගැනීමට හැකි ලෙස සංවර්ධනය කිරීම, ජෛවවිද්‍යාත්මක ගොවිතැනේ ඇති අපූර්වත්වයයි 
 
 පාංශු ක්‌ෂුද්‍රජීවී ගෝලයේ ක්‍රියාකාරිත්වය
 
 ජෛව විද්‍යාත්මක ගොවිතැනේ දී ශාකයක වඩාත් වැදගත් කොටස වන්නේ කිරිමුල් හා ඒ අවට සිදුවන ක්‌ෂුද්‍රජීවී ක්‍රියාවලියයි. ශාකයක මූල මණ්‌ඩලයේ කෙළවර ඇති සුදුපාට කොපුවක්‌ සහිත කොටස කිරිමුලයි. පාංශු ක්‌ෂුද්‍රජීවී ගෝලයේ ක්‌ෂුද්‍රජීවීන් මගින් පසේ ඇති පෝෂක කොටස්‌ ශාකයට උරාගත හැකි වන ලෙස සකස්‌ කරන අතර මෙම කිරිමුල් මගින් ඒවා ශාකයට උරාගැනීම සිදුකරයි. මෙම ස්‌වාභාවික ක්‍රියාවලිය ශක්‌තිමත් කිරීම ජෛවවිද්‍යාත්මක ගොවිතැනයි. එනම් ගහට රසායනික ක්‍රමයේ දී ලබාදෙන්නේ සේලයින්ය, ජෛව විද්‍යාත්මක ක්‍රමයේ දී ලබාදෙන්නේ ආහාරය.
 
 ජෛව විද්‍යාත්මක ගොවිතැන සඳහා වඩාත් සුදුසු වන්නේ ජෛව විවිධත්වය වැඩි නිවර්තන කලාපීය රටවලටය. ශ්‍රී ලංකාව ද නිවර්තන කලාපීය රටකි. එසේ වුවද අවාසනාවකට මෙන් පසුගිය දශක දෙක පුරාම ජෛව විද්‍යාත්මක ගොවිතැන පිළිබඳව ප්‍රමාණවත් තරම් පර්යේෂණයන් ශ්‍රී ලංකාවේ සිදුවී නැත. රටේ කෘෂිකර්ම විශේෂඥයන් බොහොමයකට හා ව්‍යාප්ත සේවා නිලධාරීන් අති බහුතරයකට ජෛව විද්‍යාත්මක ගොවිතැන පිළිබඳව ප්‍රමාණවත් දැනුමක්‌ නොමැත. එබැවින් ඔවුහු තවමත් යල් පැනගිය රසායනික කෘෂිකර්මය ප්‍රවර්ධනය කරමින් සිටිති. 
 
 ජෛවවිද්‍යාත්මක පොහොර කෝ?
 
 වසවිස නැති රටක්‌ වැඩසටහන යටතේ රජය විවිධ බෝග වර්ග සඳහා වසවිස අඩංගු රසායනික පොහොර සහ පලිබෝධ නාශක වලින් තොර විකල්ප ගොවිතැන් ක්‍රම ගැන සොයා බැලීය. වෙළෙඳ පොලේ තිබූ සියලු කාබනික හා ජෛව විද්‍යාත්මක පොහොර පිළිබඳව අධ්‍යනය කරනු ලැබීය. වාසනාවකට මෙන් එම නිෂ්පාදකයන් අතර වැඩිදියුණු කරන ලද බීජ ප්‍රභේද සඳහා හොඳ අස්‌වැන්නක්‌ ලබා දෙන ජෛව විද්‍යාත්මක පොහොර ද තිබිණි. ජපානයේ නවීනතම ජෛව විද්‍යාත්මක තාක්‌ෂණය සමඟ එක්‌ව 2008 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ක්‌ෂුද්‍රජීවීන් භාවිතා කරමින් ශ්‍රී ලංකාව තුළම ඊට අදාළ පර්යේෂණ සිදුකර ඇත. එම නිෂ්පාදන ජෛව විද්‍යාත්මක ඝන පොහොර සහ ජෛව විද්‍යාත්මක දියර පොහොර ලෙස දැන් වෙළෙඳ පොලේ ඇත. මෙම පොහොර රසායනික පොහොරවලට ආදේශකයක්‌ නොවේ. වඩා වැදගත් වන්නේ ගොවිබිමේ පස සංරක්‌ෂණය හා පාංශු ජෛව සංවර්ධනයයි. එම නිසා පාරම්පරික සංරක්‌ෂණ ගොවිතැන හා නවීන ජෛව විද්‍යාත්මක ගොවිතැනේ සම්මිශ්‍රණයක්‌ ලෙසින් වසවිස නැති රටක්‌ කෘෂිකාර්මික ගොවිතැන් ක්‍රමය නිර්මාණය විය. 
 
 වසවිස නැති රටක්‌ වැඩසටහන යටතේ ලියාපදිංචි වන වී ගොවීන් සඳහා ප්‍රමාණවත් තරමින් ඝන පොහොර සම්පාදනය කිරීමට රජය පෙරමුණ ගන්නා ලදී. ඒ අනුව පැලවත්ත රජයේ සීනි කර්මාන්ත ශාලා භූමියේ දී පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලාවක්‌ රජය විසින් 2017 මහ කන්නයේ දී අරඹනු ලැබීය. එම පොහොර නිෂ්පාදනාගාරයෙන් ජෛව විද්‍යාත්මක ඝන පොහොර කිලෝ මිලියන 10 ක්‌ නිෂ්පාදනය කර ගොවීන් හට නොමිලේ ලබාදීමට කටයුතු කෙරිණි. එමෙන්ම ජෛව විද්‍යාත්මක දියර පොහොර ලීටර් ලක්‌ෂ 1 ක්‌ ද ගොවීන්ට මිල දී ගැනීමට අවශ්‍ය සම්බන්ධිකරණය රජය විසින් සිදු කරන ලදී. 
 
 ජෛව විද්‍යාත්මක ඝන පොහොර සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරනුයේ කාබනික ආහාර ලැබෙන කුකුළන් ගේ අපද්‍රව්‍ය, ගොම සහ ගිනිසීරියා ආදී නයිට්‍රජන් සහිත කොළ වර්ගයි. දියර පොහොර නිෂ්පාදනය කරනුයේ මාළු වෙළෙඳ මධ්‍යස්‌ථාන වල මාළු අපද්‍රව්‍ය හා එළවලු වෙළෙඳපොල වල එළවලු අපද්‍රව්‍ය භාවිතයෙනි. එම අමුද්‍රව්‍ය ජීරණය කිරීම සඳහා ඒ ඒ බෝගයට ගැලපෙන ක්‌ෂුද්‍රජීවීන් භාවිතා කරනු ලැබේ. ජෛව විද්‍යාත්මක ඝන පොහොර නිෂ්පාදනයේ දී ජීරණ ක්‍රියාවලිය සඳහා ගතවන්නේ දින 14 කි. ජෛව විද්‍යාත්මක දියර පොහොර නිෂ්පාදනයේ දී ජීරණ ක්‍රියාවලිය සඳහා ගතවන්නේ දින 4 ක්‌ පමණි. 
 
 සියලු ගොවිතැන් සඳහා රටටම අවශ්‍ය වන ජෛව විද්‍යාත්මක ඝන පොහොර ප්‍රමාණය ටොන් 800,000 ක්‌ පමණ වේ. ජෛවවිද්‍යාත්මක දියර පොහොර ප්‍රමාණය ලීටර් මිලියන 62 ක්‌ වේ. එහෙත් ගොවිබිම කන්න කිහිපයකින් යථාතත්ත්වයට පත් වූ පසු ගොවිබිමට පිටින් අවශ්‍ය කරන යෙදවුම් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවේ. එම පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට කුකුළන් මිලියන 25 ක ගේ හා ගවයින් මිලියනයකගේ අපද්‍රව්‍ය අවශ්‍ය වේ. රට වටා ඇති මුහුද නිසා, රටට අවශ්‍ය ජෛව විද්‍යාත්මක දියර පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මාළු අපද්‍රව්‍ය විධිමත් ධීවර කර්මාන්තයක අතුරු ඵලයක්‌ ලෙස ලබාගත හැකිය. ජනනය වන එළවලු අපද්‍රව්‍ය ප්‍රමාණය දියර පොහොර සඳහා ප්‍රමාණවත් නොවේ. නමුත් වෙනත් කෘෂි අපද්‍රව්‍ය ඒ සඳහා යොදා ගත හැකිය. 
 
 කසළ කළමනාකරණය පිළිබඳ තිරසර යුගයේ මූලධර්ම ජෛව විද්‍යාත්මක ගොවිතැනට වඩාත් වාසිසහගතය. කසල වෙන් නොකර කවලමේ ගෙන ගොස්‌ මෙගා කර්මාන්ත ලෙස කසල කළමනාකරණය කළේ කාර්මික යුගයේදීය. කසළ ජනනය වන තැන වෙන් කරන තිරසර ක්‍රමයට කුඩා ඒකකවලම දිරායන දේ සම්පතක්‌ බවට පත්ව නවීන වඩා දියුණු ජෛව විද්‍යාත්මක ක්‍රම භාවිතයෙන් ජෛව විද්‍යාත්මක පොහොර නිපදවිය හැකිය. 'පිරිසිදු ලංකා' තේමාව යටතේ කොළඹ නගර සභා සීමාවේ දිරා යන කසල එම ප්‍රදේශය තුළ දීම ජෛව විද්‍යාත්මක පොහොර බවට පත් කරන වැඩසටහනක්‌ අපි යෝජනා කර ඇත්තෙමු. අත්හදා බැලීම් සිදුකර ඇත්තෙමු. කසල බැහැර කිරීම පිළිබඳ මෙගා විසඳුම්වලට ප්‍රාග්ධන ලෙස රුපියල් බිලියන 10-15 වැයවන විට ජෛව විද්‍යාත්මක විසඳුම්වලට ප්‍රාග්ධනය ලෙස වැය වන්නේ රුපියල් බිලියන 1 ක්‌ පමණි. මෙගා ව්‍යාපෘති නඩත්තු වියදම වසරකට රුපියල් මිලියන 500 ක්‌ වනවිට ජෛව විද්‍යාත්මක ව්‍යාපෘති වලින් ජෛව විද්‍යාත්මක ඝන හා දියර පොහොර නිපදවීමෙන් රු බිලියන 1 ක ලාභයක්‌ අවුරුද්දකට ලබාගත හැකිය. මෙමගින් කසල කළමනාකරණය පිළිබඳ නොවිසඳුනු ගැටලුව විසඳෙනවාක්‌ මෙන්ම ජෛව විද්‍යාත්මක පොහොර ටොන් 50,000 ක්‌ද වසරකට නිෂ්පාදනය වේ.
 
 වසවිස නැති ජෛව විද්‍යාත්මක ගොවිතැන රජයේ ප්‍රධාන කෘෂිකාර්මික ක්‍රමවේදය බවට පත් කරන්නේ නම් එම ඝන සහ දියර පොහොර නිෂ්පාදනය කිරීමට දිනකට ටොන් 20 ක නිෂ්පාදන ධාරිතාවයක්‌ ඇති පොහොර කම්හල් 100 ක්‌ පමණ අවශ්‍ය වේ. එම කම්හල් ස්‌ථාපිත කිරීම අවශ්‍ය වන ප්‍රාග්ධනය රුපියල් බිලියන 20 ක්‌ පමණකි. එමගින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වසර 2ක්‌ ඇතුළත තීරණාත්මකව වස විස නැති ගොවිතැන දක්‌වා පරිවර්තනය කළ හැකි වනු ඇත.
 
 ජනාධිපති කාර්යාලයේ වස - විස නැති රටක්‌ ජාතික වැඩසටහන මගින් අදට යෙදෙන දෙවසරක ප්‍රගතිය සමාලෝචනය සඳහා නිකුත් කරන ලද තොරතුරු පත්‍රිකාවක්‌ ඇසුරෙනි. 
 
 
 වස - විස නැති එළවළු - පලතුරු වගාවට වවුනියාවේ ඉහළ උනන්දුවක්‌
 
saru1 වස විස නැති එළවළු හා පලතුරු වගා කිරීම සඳහා වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ ගොවීන් තුළ විශාල උනන්දුවක්‌ ඇති බව වවුනියාව දිස්‌ත්‍රික්‌ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ වයි. යෝගේස්‌වරන් මහතා සඳහන් කරයි.
 
 මීට වසර දෙකකට පෙර වවුනියාවේ ගොවීන් හතර දෙනකුගෙන් වස විස නොමැති එළවළු හා පලතුරු වගා කිරීම ආරම්භ කළද මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ගොවීන් 153 දෙනකු වගා කටයුතුවල නිරතව සිටින බව පැවසීය.
 
 මීට අමතරව වවුනියාවේ බෝගස්‌වැව ඇතුළු තවත් ප්‍රදේශ කීපයක පෞද්ගලික සමාගම් කීපයක්‌ විසින් වස විස නොමැති එළවළු හා පලතුරු වගා කිරීමේ නිරතව සිටින බව පැවැසූ කෘෂිකර්ම සහකාර අධ්‍යක්‍ෂවරයා දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා අලෙවි මධ්‍යස්‌ථාන කීපයක්‌ම පිහිටුවා ඇති බවද සඳහන් කළේය. වස විස නොමැති එළවළු හා පලතුරු මිලදී ගැනීම සඳහා පාරිභෝගික ජනතාව දැඩි උනන්දුවක්‌ දක්‌වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »