කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික 'බටුහරකා' වඳ වීම

2018-05-04 11:21:00       641
feature-top
ජිරාෆ් නම් ඒ අසමාකාර සත්ත්වයා ව ඔබට අලුතින් හඳුන්වා දිය යුතු නැත. එසේ ම මෙරට වෙසෙන ගෝනා ද ඔබ නොදත් සතෙක් නොවේ. නමුත් යම් පර්යේෂණාත්මක අත්හදා බැලීමක් වෙනුවෙන් සාර්ථක කෘත්‍රීම සංසේචනයක් හරහා මේ සතුන් එක්කොට උපදවා ගන්නා අභිනව සත්ත්වයා කොතරම් අසාර්ථක ප්‍රතිඵලයක් නිර්මාණය කරනු ඇද්දැයි සිතා බැලීමේ අවස්ථාවක්, ඔබට තිබේ.

බටු හරකා

ඔබ එසේ සිතිය යුතු ය. එවැනි සාර්ථක මුහුන් කිරීමේ කටයුතු හරහා අසාර්ථක ප්‍රතිඵල ලබාගත් අවස්ථා එහෙම නැත්නම් ප්‍රතිඵල අප හමුවේ තිබේ. කොටින් ම අපේ බටු හරකා'ට සිද්ධ වුණේත් එවැනි දෙයකි.

බටු හරකා පොදුවේ හඳුන්වන ආකාරයට දේශීය ගවයා (Bos primiginious indicus) ඉන්දියානු Bos indicus නම් ගව විශේෂයේ පූර්වජ ආකාරයක් ලෙසින් ගැනේ. එහෙත් යුරෝපාකරයේ හමුවන Bos taurus නම් ගව විශේෂයත් සමඟ බටු හරකා කිසිදු ඥාති සම්බන්ධයක් නො පවත්වයි. ඉන්දියානු ගව විශේෂයත් සමඟ සසඳා බලන විට ඔවුන් සමකයට ආසන්න ග්‍රීෂ්ම කලාපයට හොඳින් ඔරොත්තු දෙන සත්ත්වයෙක් වේ. 2009 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ විසු බටු හරකා ගැන දේශගුණ විපර්යාස සමනයට ස්වයං ජන්‍ය අනුවර්තන; දේශීය ගවයා සංරක්ෂණය - ගෝ ශාලා ව්‍යාපෘතිය සඳහා යෝජනාව මැයෙන් පරිසර අමාත්‍යාංශය වෙනුවෙන් නිබන්ධනයක් කළ ලීල් රන්දෙණි මහතා බටු හරකා හා පූර්වජ ආකාරයක් වන යට කී ඉන්දියානු ගව විශේෂයේ සහ යුරෝපීය ගව

විශේෂයේ ශරීර ලක්ෂණ පිළිබඳව මනා සැසඳීමක් සිදු කොට තිබේ. අප එය මෙහිලා දක්වන්නේ බටු හරකා සම්බන්ධයෙන් යම් හඳුනා ගැනීමක් සිදු කිරීමට ඉන් අනුබලයක් ලැබෙන නිසා ය.

ඒ අනුව ගත් කල යුරෝපීය ගව විශේෂයට මොල්ලියක් නැති අතර කෙටි ඍජු කන් ඇත. ඉන්දියානු විශේෂයේ කන් දිඟු ය. එල්ලා වැටෙ යි. හොඳින් වැඩුණු මාංසල මොල්ලියක් තිබේ. සම ඉතා බුරුල් ලෙස සවි වී ඇති බවක් ඉන්දියානු විශේෂයට ඇතත් යුරෝපීය විශේෂයේ සම සිරුරට සවි වී පිහිටා තිබේ.

යුරෝපීය ගවයන් ගේ රෝම ඝනකම් ය. දිඟු ය. කෙටි පහළට නැමුණු අං තිබේ. ශබ්දය, පහත් හඬින් කෑ ගෑමකි. සිහින් ය. නමුත් ඉන්දියානු ගව වි‍ෙශ්ෂය ගැඹුරු ලෙස ශබ්ද නඟන අතර උන්ට ඇත්තේ ඉහළට නැඟුණු දිඟු අං ය. සමේ රෝම කෙටි ය. සියුම් ය. සම සොලවා එහි වසා සිටින මැස්සන් පලවා හැරිය හැකි ය. යුරෝපීය ගව විශේෂයේ සිරුරේ හැඩය අපර දෙසට යත් ම පළල් වන අතර හැසිරීම උදාසීන ය. තාපයට ඔරොත්තු දීමේ ගුණයෙන් දුර්වල මොවුන් ගේ උපත් බර ඉහළ ය. නමුත් ඊට සාපේක්ෂව අඩු උපත් බරක් ඇති ඉන්දියානු විශේෂය තාපයට හොඳින් ඔරොත්තු දෙන කලබලකාරී නො ඉවසිලිමත් හැසිරීමකින් යුතු ය. පසු පසට ශරීර පිහිටීම පළල් නැත. පටු ය.

බටු හරකා ගේ ඉතිහාසය ඉදිරිපත් වන්නේ අනුමාන උපකල්පන ඔස්සේ ය. තව ද ඒ ආකාරයට හෝ මේ සත්ත්වයා ගැන උනන්දුවකින් සොයා බැලෙන්නේ පවත්නා දේශගුණික විපර්යාස හමුවේ බොහෝ දියුණු ගව විශේෂවල පැවැත්ම අර්බුදයට යද්දී බටු හරකා ඒ සම්බන්ධයෙන් ස්වයං ජන්‍ය අනුවර්තන හැකියාවක් ඇති එකෙකු ලෙසින් හඳුනා ගැනීම නිසා ය. අනුමාන කෙරෙන ආකාරයට මේ ගව විශේෂය ලංකාව හා දකුණු ඉන්දියානු කලාපය නිජබිම් කොටගෙන සම්භව්‍ය වී තිබේ. ඒ අනුව ආර්යයන් ඉන්දියානු කලාපයට පැමිණීමට පෙර එහි විසූ ස්වදේශිකයන් සහ ප්‍රාග් ඓතිහාසික ගෝත්‍ර විසින් බටු හරකා ගේ පූර්වජයින් ගෘහාශ්‍රිතව පවත්වා ගන්නට ඇතැයි පැවසෙන්නේ ද අනුමානයක් වශයෙන් මිස සනාථ කරගත් සාක්ෂි

මත නොවේ. කෙසේ වෙතත් මෙයින් පැහැදිලි වන්නේ ආර්ය සංක්‍රමණයක් සමඟ ඔවුන් අනුදත් වෙනත් ගව විශේෂ ද ඉන්දියානු කලාපයට ගෙන ආ බව යි. ලීල් රන්දෙණි පවසන ආකාරයට කෘෂි පරිසර පද්ධතියට අයත් මෙවැනි මුල්ගල් විශේෂයන් පිළිබඳව ප්‍රමාණවත් තරමින් පර්යේෂණ සිදු නො වීම නිසා වර්තමානයේ අධ්‍යයන කාර්යයන්ට බලවත් බාධාවන් වේ. කෙසේ වුව ඔහු මේ සම්බන්ධයෙන් මෙවැනි විස්තරයක් ඉදිරිපත් කරයි.

දකුණු ඉන්දියානු ප්‍රාන්තයන්හි දීර්ඝ කාලීන සහාභිජනනයෙන් (inbrecding) උපදින නුමුහුන් ජාන සංයෝජනයෙන් යුතු කුරු ගව විශේෂ ඇත. කේරල ප්‍රාන්තයේ වෙකුර් (Vechur) නම් කුරු ගව වර්ගය නිදසුනක් ලෙස දැක්විය හැකි ය. ලංකාව මුහුදෙන් වට වූ දූපතක් හෙයින් දීර්ඝකාලීන සහභිජනනය නිසා මෙම කුරු ගවයින් මෙහි ම සම්භවය වන්නට ඇතැයි අනුමාන කළ හැක.

ඇතැමුන් අදහස් කරන ආකාරයට ශ්‍රී ලාංකික ගව විශේෂය 1937 දී පමණ වඳ වෙන්නට ඇතැයි ද පවසන ලීල් රන්දෙනි ලෝක යුද්ධය වෙනුවෙන් මෙරටට පැමිණි විදේශීය හමුදා, ආහාරය සඳහා ඉවක් බවක් නැතිව මේ සතුන් මරා දමා ඇතැයි ද පවසයි. කෙසේ වෙතත් දිවයින පුරා ව්‍යාප්ත ව සිටි ගව විශේෂයක් මෙවැනි කරුණක් මත ම මුළුමනින් ම වඳ වෙන්නට හැකි ද යන්න ප්‍රශ්නයකි.

දිව කළු හරකා

ඇත්ත වශයෙන් ම දේශීය ගව විශේෂ ඊට පසුව ද යම් මුහුන් වීම් යටතේ වුව ඉතිරි වී සිටින්නට ඇතැයි යන විශ්වාසය අපට තිබේ. එකී සතුන් සමඟ පැවැති මෙරට ස්වයංපෝෂිත ජාතික කිරි ගොවිතැන මුළුමනින් ම වාගේ අතු ගා දැමෙන්නේ කිසිදු හැදෑරීමකින් තොරව බටහිර සංවර්ධන ක්‍රමෝපායන් අනුගමනය කිරීමට යාම නිසා ය. කෘත්‍රීම සිංචන සේවා නමින් මෙරට ක්‍රියාත්මක වූ බටහිර සංවර්ධන ව්‍යාපෘතිය එවැන්නකි. ඒ ගැන පසුව සලකා බැලේ.

බටු හරකා ගැන ඇතැම් විස්තර විභාග අද අපට ලබාගන්නට සිදු ව ඇත්තේ ජනප්‍රවාද මෙන් ම අතීත මතකයන් ඔස්සේ ය. මේ ගවයාගේ දිව

කළු පාට යැයි හඳුනාගන්නේ ද මුඛ පරම්පරාගත දැනුමෙනි. ක්‍රියාශීලී සතෙකු වන ඌ ශරීර ප්‍රමාණයෙන් කුඩා ය. අපේ ඇත්තන් ඌට බටු හරකා යැයි කීවේ නිකමට නොවේ. විශාල ආහාර ප්‍රමාණයක් ඉල්ලා නොසිටින හෙයින් නඩත්තු කිරීම සඳහා අමුතු වැය කිරීමක් අවශ්‍ය නොවේ. ඇත්ත වශයෙන් ම ඌ ස්වයං පැවැත්මක් සහිත සතෙකි.

සිංහල ගවයා

දේශීය ගව විශේෂයන් අතර සිංහල ගවයා හෙවත් හරකා යන නාමය ද අමතක කළ නොහැකි ය. රන්දෙණි වාර්තාවේ එන ආකාරයට වසර 1500 කට පමණ පෙර සිංහල ගවයින් නම් මොල්ලිය සහිත කුඩා ගව වර්ගයක් ඉන්දුනීසියාවේ ඊසාන දිග ජාවා කලාපයේ මදුරා දිවයිනට ගෙන ගිය බවට තොරතුරු ඇත. මෙම සිංහල ගවයින්, මදුරාවේ ස්වදේශීය ගවයින් හා අභිජනනයෙන් ඇති කරගත් දෙමුහුම් වර්ගය එහි ජාතික ක්‍රීඩාවක් වන ගව ධාවන තරග සඳහා ඉතා සුදුසු බව සඳහන් වී ඇත.

බටු හරකා ගේ පාරිසරික වටිනාකම් අතර ප්‍රධාන තැනක් හිමි කර ගන්නේ ඌ මෙරට දේශගුණික තත්ත්වයන් හමුවේ හොඳින් ගැළපීමයි. එසේ ම යම් යම් වෙනස්කම් හමුවේ අනුවර්තනය වීමේලා ඌට ඇති හැකියාවයි.

සමකයට ආසන්න රටක තාපයට හොඳින් ඔරොත්තු දෙන බටු හරකා මෝසම් වැසි සාධන කාලවලදී ගස් සෙවණක ලැග සිට එහෙත් කිසිදු රෝග පීඩාවකට ගොදුරු නො වී සිටීමට ශක්තියක් තිබු සතෙකි. අතින් අතට තණ උලා කමින් කොතෙක් දුරක් ඇවිද ගියත් වල්මත් නොවී නැවතත් තමන් සිටි ස්ථානයට පැමිණීමට තරම් තියුණු ධාරණ ශක්තියක් ඌට තිබිණි. වැදගත් ම කරුණ වන්නේ දිඟු නියං සායක දී වුව තෘණ පතක් හෝ නැති ව ඉතිරි වී ඇති කටුසර ශාක වැනි වියළි රළු ආහාර පමණක් වුව කා දමමින් අවසාන මොහොත දක්වා සිය පැවැත්ම ආරක්ෂා කර ගැනීමට ඌට ඇති හැකියාව ය.

පශු සම්පත් වාර්තා පෙන්වා දෙන ආකාරයට අතිශයින් වියළි කාලගුණික තත්ත්ව හමුවේ පවා වර්ෂයකට එක් පැටවෙකුවත් ප්‍රසූත කිරීමේ ශක්තියක් ද ඌට තිබේ. මෙසේ ගත් කල විදේශීය ගවයන් මෙන් තමන් වෙනුවෙන් වෙනම ආයෝජනයක් සහ රැක බලා ගැනීමක් බටු හරකා ඉල්ලා සිටින්නේ නැත. ඌ මේ පරිසරය තුළ ස්වයං ජන්‍ය අනුවර්තනයක් සහිත ස්වයං සිද්ධ පැවැත්මක් ඇතිව වාසය කළ සතෙක් ය යැයි පවසන්නේ ඒ අනුවය.

ශ්‍රී ලංකාව යනු බටහිර රටවල් මෙන් එ‍ඬේර සංස්කෘතියක් තිබු රටක් නොවේ. මෙරට මූලිකම සහ ආර්ථික පැවැත්ම වූයේ කෘෂිකර්මාන්තය යි. ඒ අතරට කිරි ගොවිතැන කෙරුණේ සමාජයේ ආහාර පෝෂණ අවශ්‍යතාවයක් වශයෙනි. ඒ අනුව ඒ වෙනුවෙන් වෙනම තණ බිම් තනා, ගවහල් ඉදිකොට කිරි ගවයන් ඇති කරන්නා වූ ව්‍යාපාරික ආයෝජනයක් අපේ රටේ තිබුණේ නැත.

නමුත් 60 - 70 දශකයන් වන විට මෙරට කිරි කර්මාන්තය බටහිර රටවල පවත්නා ආකාරයෙන් සංවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් වෙන්නට විය. එතැන දී අදාළ සංවර්ධන උපදෙස් දීමට පැමිණි බටහිර විශේෂඥයින් ගේ මතය වූයේ දේශීය ගවයා කිරි නිෂ්පාදනයට අදාළ ව සීමිත හැකියාවක් ඇති සත්ත්වයෙකු බව යි. ඒ අනුව දියුණු බටහිර ගව විශේෂ ගැන අවධානය යොමු කිරීමට අවශ්‍යම බව යි.

කෙසේ වෙතත් සමකයට ආසන්නව පිහිටා ඇති රටක් වන ශ්‍රී ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන ශාරීරික පැවැත්මක් දේශීය ගව විශේෂයන් සතු ව පවතින ඔරොත්තු දීමේ ගුණය ද ඔවුන් අවබෝධ කොට ගෙන තිබිණි. ඉහත දී පෙන්වා දුන් කෘත්‍රීම සිංචන සේවා නම් බටහිර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඒ අය විසින් සිදු කරන ලද්දේ දේශීය ගවයාගේ ශක්තිමත් එමෙන් ම අනුවර්තනී පැවැත්ම සමඟ ඔවුන් ගේ වැඩි ධාරිතාවක් සහිත ගව විශේෂයන් මුහුන් කිරීමයි. නමුත් එතැන් සිට මෙරට වූ කෘෂි ජෛව විවිධත්වය ද විකෘතියක් ලෙසින් ප්‍රති නිෂ්පාදනය වීම නො වැළැක්විය හැකි විය.

මෙතැන දී එසේ නිර්මාණය කොට ගත් නව ගව වර්ග බටු හරකා මූලික දේශීය ගව විශේෂ මෙන් ස්වයං පැවැත්මක් හෝ ස්වයං ජන්‍ය අනුවර්තන හැකියාවක් ඇති සතුන් නොවුණු අතර, ඔවුන් ගේ පැවැත්ම වෙනුවෙන් යෙදවීම් අවශ්‍ය විය. විශාල වශයෙන් තෘණ ආහාර අවශ්‍ය විය. රෝග පීඩාවන්ට ඖෂධ සැපයීම නිසි ලෙසින් සිදු කළ යුතුව තිබිණි. නමුත් එවැනි කිරි ගොවිතැනක් වෙනුවෙන් අවශ්‍ය පූර්ව සූදානමක් අප රට තුළ තිබුණේ නැත. තමන්ගේ මුළු කාලය ම කිරි ගොවිතැනට යොමු කළ කිරි ගොවි සමාජ සංස්කෘතිය අපට ආගන්තුක විය. ඒ අනුව සිදු වුණේ නිසි පෝෂණයක් නඩත්තුවක් නො මැති බටහිර ගව විශේෂ ඔවුන්ගේ වැඩි ධාරිතාව මෙරටට ලබා දීමට අසමත් වීම යි. මේ තත්ත්වය දිගින් දිගට ම වර්ධනය වීමෙන් ඇති වූ ප්‍රතිඵලය අද අප හමුවේ පවතී. අද මෙරට ජනතාව දියර කිරට හුරු නැති කිරි පිටිවලට ඇබ්බැහි වූ තත්ත්වයකට ඇද වැටී තිබේ. දෙවනුව විශාල වශයෙන් ගවයන් අයාලේ යන ගව ඝාතනය දිනෙන් දින වැඩි වන රටක් බවට ශ්‍රී ලංකාව පත් ව තිබේ.

දේශීය කිරි ගොවියා

එක් පාර්ශ්වයක් පවසන ආකාරයට බටු හරකා නම් දේශීය ගව විශේෂය මුළුමින් ම වඳ වී ඇත. එහෙත් තවත් පාර්ශ්වයක් පෙන්වා දෙන්නේ වෑයම් කළොත් රට තුළින් උගේ ජාන සම්භවය සොයා ගත හැකි බව ය. ඒ නිසා ඒ වෙනුවෙන් කරන උත්සාහයක් නිෂ්ඵල නොවනු ඇති බව ය.

විශාල යෙදවුම් සහිත ව බෝග නිෂ්පාදනයට මෙන් ම කිරි ගොවිතැන ද සිදු කිරීමට ගොස් එක් අතකින් වකුගඩු රෝගයත්, අනිත් අතින් ගව ඝාතනාගාර ඉහළ අගයක් කරා ගෙනැවිත් ඇති වර්තමානයක් සහිත රටක් වන අපට ඉන්දියාව හොඳ ආදර්ශයක් සපයයි. ඒ ඔවුන්ගේ ග්‍රාමීය ජෛව විවිධත්ව උත්සවය මඟිනි. එතැන දී ඔවුන් සිය දේශීය බීජ වර්ග ප්‍රදර්ශනය කරමින් ගෙන යන්නේ සාම්ප්‍රදායික ගව විශේෂ විසින් අදිනු ලබන ගොන් කරත්තවල පටවාගෙන ය. ඒ තුළින් ඔවුන් සිය සාම්ප්‍රදායික විශිෂ්ටත්වය වෙනුවෙන් ඇති කරනු ලබන ජාතික හැඟීම බලවත් එකකි. අප මේ තත්ත්වය තේරුම් ගත යුතු ය. 



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »