ජන දිවි පෙවෙත හා හේන් ගොවිතැන

2018-10-01 03:29:00       114
feature-top
අතීත ලක්‌දිව විසි දහස්‌ රට යනුවෙන් හැඳින්වුණු ඌව පළාත ගොවිතැන් බතින් සශ්‍රීක වූ නොකම්මැලි දිරිය මිනිසුන් වෙසෙන ප්‍රදේශයක්‌ ලෙස අදටත් ප්‍රසිද්ධියක්‌ උසුලයි. හේන් ගොවිතැන හා කුඹුරු ගොවිතැන මෙහි වෙසෙන ජනතාවගේ මූලික ජීවනෝපාය මාර්ගයක්‌ වූ අතර පසුකාලීනව සිදු වූ විවිධ කාලගුණික, දේශගුණික විපර්යාසයන් හා ආර්ථික, සාමාජීය කරුණු කාරනා හේතුවෙන් මෙම ජීවනෝපාය මාර්ගයන් වෙනස්‌වන්නට විය. අද වන විට ඉහළ ඌව ලෙස සැලකෙන බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ එළවලු වගාව ප්‍රකට ගොවිතැන් මාර්ගය වී ඇති අතර පහළ ඌව ලෙස සැලකෙන මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ තවමත් පෙර පරිදිම හේන් ගොවිතැන් හා කුඹුරු ගොවිතැන් කරනු දැකිය හැකිය.

පහළ ඌවට අයත් මොනරාගල, බිබිල, මැදගම, නන්නපුරාව, බුත්තල, වැල්ලවාය, තණමල්විල, බෝදාගම, සෙවණගල, කිරිඉබ්බන්වැව, මහවැව, හම්බේගමුව, අලුත් වැව, රතඹලාගම යනාදී බොහෝ ගම්මානවල අදටත් පාරම්පරික හේන් ගොවිතැන සිය ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කර ගත් ගැමියෝ බොහෝ ය. කුල ක්‍රමය ඉතා තදින් සැලකූ අතීතයේ දී කුලයට අදාළව රැකියාවන් බෙදී ගිය නමුත් හකුරු සෑදීම, වළං කර්මාන්තය, රෙදි සේදීම, බඹර කැපීම.... වැනි කුලයට ආවේනික රැකියාවන් හි නිරත වන මිනිසුන් අද වන විට දැකිය හැක්‌කේ ඉතා මද වශයෙනි.

ඌව පළාතේ ගොවිතැනෙහි දක්‌නට ලැබෙන සුවිශේෂී ලක්‍ෂණය නම් වර්ෂයකට කන්න තුනක්‌ ගොවිතැන් කිරීමය. "යල" සහ මහ කන්න දෙක හැරුණු විට අතරමැදි තවත් කන්නයක්‌ වගා කරනු දැකිය හැකිය. මදෙහස යනුවෙන් තෝනිගල සෙල්ලිපියෙහි සඳහන් වන මෙම අතරමැදි කන්නය ගැමියෝ "කණහේන් කන්න" යනුවෙන් හැඳින්වුහ.

අතීතයේ මෙම ප්‍රදේශවල හේන් ගොවිතැන ඉතා උසස්‌ රැකියාවක්‌ කොට සැලකී ඇත. ගම්බද තරුණියකට විවාහයක්‌ කර දීමේ දී සුදුසු පුද්ගලයකු සොයන විට ගොවිතැන පිළිබඳ මනා අවබෝධයක්‌ තිබීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ පිළිබඳව මෙම පළාතේ ගැමියන් අතර ප්‍රසිද්ධ ජන කතාවක්‌ ද ඇත. එනම් එක්‌ ගම දියණියකට විවාහ වීමට සුදුසු තරුණයෙකු පියා සොයමින් සිටියේය. එහි දී පැමිණි එක්‌ පුද්ගලයකු තම දියණිය විවාහ කර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර සිටී. නමුත් මාමන්ඩිය ඔහුව පරීක්‍ෂණයකට බඳුන් කරයි. එනම් කැත්තක්‌ අතට දී නිවස ඉදිරිපිට හොඳින් වැඩුණු තම්පලා ගසක්‌ කැපීමට තරුණයාට නියෝග කරයි. කැත්ත අතට ගත් සැණින් තම්පලා ගසට "කොටන්ට" පටන් ගත් මෙම තරුණයා සිය දියණියට නුසුදුසු බව වටහා ගත් මාමණ්‌ඩිය ඔහු ඵලවා ගනී. මේ ආකාරයට කීපදෙනෙකුම පැමිණි නමුත් සුදුසුකම සම්පූර්ණ නොකරන ලදී. ඉන් දින කිපයකට පසු පැමිණි තරුණයෙකුට ද මෙම පරීක්‍ෂණයට මුහුණ දීමට සිදු විය. මොහු මුලින් ම තමන් දිගට හැඳ සිටි සරම "කැසපට කවා ගෙන" කැත්ත "ගා ගනී ඉන් පසුව තම්පලා ගස වටේට ඇති වැල් ආදිය කැතිතෝල් ගානු ලැබීය. ඉන් අනතුරුව තම්පලා ගස කැපීමට කැත්ත ඔසවන ලද නමුත් මාමා ඔහුව නතර කළේ ඔහු පිළිබඳව පැහැදුනු සිතිනි. ඔහුට දියණිය " සහේට ගන්නට " ද ලැබුණි. මෙම ජන කතාවෙන් පැහැදිලි වන්නේ හේන් ගොවිතැන් කිරීමට තරුණයෙකුට හොඳ නුවණක්‌, දැනීමක්‌ තිබිය යුතු බවත් ඒ හා සම්බන්ධ උපචාරී විදීත් දැනගෙන සිටීම ද අනිවාර්ය වූ බව යි. හේන් ගොවිතැන වෙල්ලස්‌සේ ගැමියා ගෞරවණීය රැකියාවක්‌ බවට සලකා ඇති බව මෙයින් පැහැදිලි වේ.

වර්ෂයක "ඇහැළ මාසයේ" හෙවත් ජුනි, ජුලි මාසවල කැලෑ කැපීම හේන් ගොවිතැනේ ආරම්භක අවස්‌ථාව ලෙස සැලකේ. එහි දී වෙදකම නක්‍ෂත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර දන්නා ගමේ වෙද මහතා විසින් සුබ තැකැත් වේලාවක්‌ බලා දෙයි. අතීතයේ නම් මෙම ප්‍රදේශවල "ගමරාල" තනතුර දැරූ පුද්ගලයෙක්‌ වාසය කොට ඇති අතර ඔහුට අයත් ඉඩම්වලින් කොටස්‌ හේන් කිරීම සඳහා ඉල්ලා ගැනීම සිදු වී ඇත. එහි දී හේන්වල සීමාව පෙන්වනු ලබන්නේ ගමරාල විසිනි අහවල් කන්ද, අහවල් ගල" ආදී ලෙස සීමා දක්‌වමින් ගමේ ම පුද්ගලයන්ට හේන් සඳහා "බිම් පංගුවක්‌" ලබා දීම සිදු විය. "කුරහන් කුරිණිවෙලින්" බිම් පංගු මැණීම සිදු වී ඇති අතර "කුරහන් කුරිණියක ප්‍රමාණයක්‌" එක්‌ අයෙකුට ලැබී ඇත. එම ප්‍රමාණය අක්‌කරවලින් නම් "අක්‌කර දෙකහමාරක්‌" පමණ වේ. යෑයි සැලකේ" බැද්ද රොද හඩුව, ලන්ද, තලාව, මුකලාන, ලවල්ල, පොහොන...." යනාදී විවිධ නම් වලින් පහළ ඌවේ ගැමියෝ කාලය හඳුන්වති.

"බිම් වල් කෙටීම" ආරම්භ වන්නේ සියලු දෙනාගේ ම සාමුහිකත්වයෙන් අත්තම් ක්‍රමයට"ය අදටත් මෙම ගැමියන්ගේ අව්‍යාජ දිවි පැවැත්ම තුළ දැකිය හැකි වටිනාම අංගයක්‌ ලෙස මෙකී සාමූහිකත්වය හැඳින්විය හැකිය. සෑම හේනකම "මැද්දක්‌ හා අයිනක්‌" දැකිය හැකිය. හේන් යායේ මැද ඇති ගහක්‌ හෝ ගලක්‌ කේන්ද්‍ර කොට ගෙන ත්‍රිකෝණාකාරව හේන් බෙදීම අතීතයේ සිදු වී ඇත. දැනුදු මෙම ක්‍රමය තරමක්‌ දුරට දැකිය හැකි අතර කේන්ද්‍රයේ ඇති ගස හෝ ගල "මුත්නගහ" හෝ මුත්තගල ලෙස හැඳින්වේ.

නිකිණියේ හෙවත් නිකිණි මාසයේ හේන් යායම ගිනි තැබීම කරනු ලැබේ. බිම් වල් කෙටීමෙන් අනතුරුව මසකට පසුව ගිනි තැබීම කරන්නේ ද සුබ දිනයක සුළං වේගය, දිශාව ආදී පරිසර තත්ත්වයන් ද සලකා බලමිනි. ගිනි තැබීමට පෙර එම යායේ සිටින අපා, දෙහි, සිවුපා, බහුපා ආදී සතුන් ගින්නෙන් ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් මෙවන් ප්‍රකාZශයක්‌ කරන බව පහළ ඌවේ ගැමියෝ පවසති. "මං හේන ගිනි තියන්නයි යනනේ. මේ හරියේ සතෙක්‌, සිවුපාවෙක්‌, සර්පයෙක්‌ ඉන්නවා නම් පලයල්ලා. මං මේවා කරන්නේ ජීවත් වෙන්නයි. උඹලා මේ අකුලේ ඉන්නවා නම් පලයල්ලා. මට පව් නෑ....... " යනාදී ලෙස පවසා ටික වේලාවකින් ගිනි තැබීම සිදු කරයි. සොබාදහමින් ජීවත් වන මිනිසා එයට කෙතරම් ආදරය කරුණාව දැක්‌විය යුතු ද යන්න මෙමගින් මනාව ගම්‍ය වේ.

හේන හොඳින් පිළිස්‌සුනේ නැතිනම් නැවත මැල ගැසීම සිදු වේ. නො පිළිස්‌සු කුඩා වල් කොටස්‌ එකට එකතු කොට ගොඩවල් ගසා වල් තැල්ලෙන් හෙවත් වල් කරුවෙන් කොක්‌ ගා (එකතු කර ) ගිනි තැබීම මෙහි දී සිදු වේ. හොඳට දා අළු වී යන හේනේ "අළුවට කුරහන් ඉසීම" සිදු වේ. කුරිණියක වපසරියෙන් යුක්‌ත හේනක නම් කුරිණි දෙකක කුරහන් ඉසිණු ලැබේ. සතුන්ගෙන් හානි වන නිසා නියමිත ප්‍රමාණයට වඩා දෙගුණයක්‌ ඉසීම සිරිත යි. බිනර මාසයේ පමණ ඇද හැලෙන ඊසාන දිග මෝසම් වැසිවලින් පසුව ඉරිඟු ආදිය "හිටුවීම" කරන අතර තම්පලා, අසමෝදගම්, වලුපලා, අබ, තණ ආදිය ඉසිනු ලබන්නේ කුරහන් ඉසින දිනයේමය. ඒaවා "මැල පොළවල්" හෙවත් මැල ගසා පිළිස්‌සුණු බිම්කඩවල ඉසිනු ලැබේ.

ඉරිඟු සිටුවීමත් සමග ම හේනේ වී වැපිරීමට සුදුසු පහත් බිමක්‌ තෝරා ගනී. " දිය සීරාවෙන් යුක්‌ත" පහත් බිමක්‌ වැස්‌සෙන් පසු හොඳින් උදලු ගා "ඇල් වී වැපිරීම" කරනු ලැබේ. එහි දී ඇල් වී ලෙස එදා වපුරණු ලැබුයේ "බටු ඇල්" හෙවත් හැංගිමුත්තං වී, අලඟ සම්බා, ඇද වී, දුරු වී, රන් හැල් ආදිය වපුරනු ලැබූ අතර හේනේ මෙම කොටස "ඇල් මණ්‌ඩිය" යනුවෙන් හඳුන්වනු ලැබේ.

ඉන් අනතුරුව හේනේ බෝග වර්ග දැමීම හෙවත් "ඇට හිටුවීම" කරනු ලැබේ. එහි දී පහළ ඌවේ ගැමියෝ බෝග වර්ග දහ අටක්‌ යොදති. කුරහන්, අබ, තණ, තල, තම්පලා, මුං, කුදර, මෙනේරි, අමු, ඉරිඟු, ලීමා, කවුපි (බු මෑ), කොල්ලු, මිරිස්‌, බටු මඤ්ඤොක්‌කා, වී, වැටකොළු, වට්‌ටක්‌කා, තියඹරා, ලබු....... ආදී වර්ග රාශියක්‌ හේනේ වගා කරති. කුඹුරකින් ගන්නා එක බෝගයකට වඩා හේනෙන් ගන්නා බෝග දහ අට උසස්‌ යෑයි මෙහි ගැමියෝ විශ්වාස කරති. ඉරිඟු, මිරිස්‌, බටු, ලීමා, කවුපි ආදිය පෙඟෙන්නට දමා පසුව කුඩා වළවල් හාරා සිටු වන අතර තල, කුරහන්, කොල්ලු, අබ, තණ, තම්පලා, මෙනේරි ආදී ධාන්‍ය වර්ග වැපිරීම සිදු කරයි. වැපිරීම සඳහා අද උදැල්ල භාවිත කළ ද අතීතයේ ඒ සඳහා භාවිත කර ඇත්තේ "ගෝන පත්ත"යි. එනම් ගෝනාගේ ඉදිරිපස ගාත්‍රාවල ඉහළ කොටස ගෝන පත්ත යනුවෙන් හැඳින්වේ. හේනක්‌ සඳහා කැලෑ කැපීමේ සිට අස්‌වනු නෙලා අවසාන වන තෙක්‌ ගොවියාගේ දෙපස ආරක්‍ෂා කර ගැනීමට සෙරෙප්පු වෙනුවට භාවිත කරන්නේ වාං පතුල්" හෙවත් වාහනම් ය. ගෝනහම් හෝ මුව හම් යොදාගෙන සෙරෙප්පුවක ආකෘතියකින් සකසා ගන්නා මෙම කටු ඇනීම්, උල් ඇනීම් ආදියෙන් දෙපතුල ආරක්‍ෂා කරන්නකි.

වැසි කීපයක්‌ වැටීමෙන් අනතුරුව හේaනේ දැමූ බෝගවල ගොබ ඇදී" පැළ උඩට මතු වී ඒමට පටන් ගනී. එතැන් සිට ගොවි පවුලේ කා හටත් වැඩ රාජකාරි වැඩි කාලයක්‌ උදා වේ. හේනේ මැද වූ විශාල ගසක පැලක්‌ සාදා ගන්නා ගොවියා රෑට එහි පැල් රකින අතර දවල් කාලයේ දරුවෝ සකලයන්ට ඕ ගාන්ට පැමිණෙති. මෙම වහර ඌවට ම ආවේණික වූ ශෛලියකි. කුරුල්ලන් එලවීම යන අරුත මොනරාගල, බිබිල, නන්නපුරාව වැනි ප්‍රදේශවල වහරනුයේ "සකලයන්ට ඕ ගානවා" යනුවෙනි. ඌවේ දී කුරුල්ලා යන වචනය අසභ්‍ය යෑයි සැලකේ. එ නිසා "සකලයා" යන වචනය භාවිත වේ. හේන් පාළු කරන සතුන්ගෙන් දිවා රෑ එය ආරක්‍ෂා කර ගැනීම සඳහා පඹයන් සෑදීම, ටකය සෙලවීම, කැරලිවැල් සෙලවීම, ඉටි රෙදි පරණ රෙදිවලින් රැකවල් කිරීම, ගිනි මැල ගැසීම, හම්වලට, කොටවලට තට්‌ටු කිරීම...... වැනි උපක්‍රම රාශියක්‌ භාවිත කරනු ලැබේ.

මතුසම්බන්ධයි
සචින්තා ලියනආරච්චි


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »