හඳ­පා­නා­ගල වැව් ඉස්මත්තේ රැඟුම් පාන වන සත්තු

2018-11-02 12:06:00       38
feature-top
මා අභියස දිස් වන්නේ රත් පැහැයෙන් බබළන විසල් ජල තලයයි. හමන සුළඟට හසු වී සියුම්ව රැළි නගනා වැව් දියවර හිරුගේ සැදෑ රැස් වලට හසුවී රන්වනින් බබළයි. දියකාවෝ රෑනක් හුළඟට හසුව සිහින් රැලි නඟනා වැව් දිය මත්තේ ගෑවී නොගෑවි පියා සරති. ගොදුරු වේලාව අහවරව ඇති බවට ලකුණු පහළ කරමින් රාත්‍රිය ගතකිරීම සඳහා තැනක් සොයා ගන්නයි මේ ජලජ පක්ෂීන් සූදානම් වන්නේ.

සැඳෑ සමය මෙබඳු වුණත් රාත්‍රිය කෙබඳුවේදැයි පූර්විකා සැපයිය හැක්කේ කාටද? එබැවින් වහ වහා වහං විය යුතුයි. පුංචි ජලචර පක්ෂීන් තම ක්‍රියාශීලී හැසිරීම් හරහා මේ පවසනුයේ එබඳු පණිවුඩයකි. නමුත් ඒ අහිංසකයන් නොදැනුවත්ව නමුත් මේ මහන්සි ගන්නේ සොබා සුන්දරත්වයේ ඇති ඒ සජිවීබව සුරකින්න බව හැඟෙත්ම සිතේ ඇති වන්නේ උන් ගැන ආදරය මුසුවූ කරුණාවක්. කවාකාර වු ගමන් පථයක් ඔස්සේ වැව වටා හක්කළං කළ සේර රංචුව ඉදිරියෙන් වූ කඳු වැටි දෙසට ඉගිළ ගියේ සුපුරුදු නැවතුම එදෙස නිසා විය යුතුයි.

වැවත් සමඟ මුසු වූ ජන ජීවිත

හිරුගේ නික්ම යෑම දුටු සිතක ඇති කරන්නේ වදනින් කිව නොහැකි හැඟීම් සමුදායක්. මිනිස් සිත වගේම තමයි. සතුන්ගේ හිත් කෙබඳුදැයි උන්ගේ බාහිර හැසිරීම් රටා අධ්‍යයනය කිරීමෙන් අපට වටහා ගත හැකියි. රාස්සිගේ අව් රැල්ල වැටී දිදුළන පඳුරු ගොමු අතරේ එක් වරම සෙලවෙන සහ යළිත් නොසෙල්වෙන ආගන්තුක යමක් නෙතට ලක්වී දැන් ටික වේලාවක් වෙනවා. එහි ඇති අමුත්තක් පෙර නොදුටුවත් දැන් නම් එහි යම් අමුත්තක් ඇති බවයි හැඟෙන්නේ. දිගු කන් කෙටිවල සෙලවීමෙන් පේන්නෙ මෙතැන සතෙක් ලැග ඉන්න හැඩයි. මම හොඳින් ඒ බලද්දියි දුටුවේ රාස්සිගේ අව්රැල්ලේ දිදුලන තණ පත් අතරේ ලැග ඉන්න ගෝන දෙනකගේ දසුන. ඇය දවස තිස්සේ දැඩි අව් කූටකයෙන් රිදුම් කන සිරුරට යම් අස්වැසිල්ලක් ලබා දෙමින් වැව් පිටියේ තණ පත් අතරේ වැතිරී සෞම්‍ය අව් රැල්ලේ දැවටි එන හීන් සුළඟ බුක්ති විඳිනවා වගෙයි.

අසිරිමත් හඳපානාගල වැව් කොමළිය යළිත් මල්වර වෙන්නයි මේ තනන්නේ. ඒ ගැන සගයෙකුගෙන් ලද තොරතුරක් අනුව ඒ පිළිබඳ සොයා බලන රිසියෙන් සොඳුරු හඳපානාගල වැව සොයා පැමිණි අප දැන් ඉන්නේ වැව පසෙක ඇති ගල් තලාවේයි. ඒ අයිනෙන් දිව යන්නේ ප්‍රතිසංස්කරණය වන හඳපානාගල වැව් බැම්මයි. එහි වැඩ කටයුතු නිමවූ පසු අපට අදට වඩා දියවරින් පොහොසත් වුණු වැවක් දැකගත හැකියි. එය මනුසතාට වගේම වනසතාටත් ළඟා කරන්නේ සොම්නසක්. වසරේ වැඩි කාලයක් වියළි බවින් මිරිකෙන පදෙසකට දියවර යනු මහත් සම්පතක් බව කිව යුතුමද? ආශ්‍රිත ජන ජීවිතය බැඳී ඇත්තේද මේ වැව සමඟමයි.

අදින් වසර දහයකට පමණ පෙර අක්කර අඩි 5800 ක පමණ වු ජලධාරිතාවක් පැවැති හඳපානාගල වැව අක්කර අඩි දසදහසකට ආසන්න ජල ධාරිතාවක් දැරීමට හැකි වන පරිදි විශාල කිරීමේ ව්‍යාපෘතිය මේ දිනවල ලහිලහියේම සිදු වෙමින් පවතී. එතෙක් අක්කර 1700 කට ආසන්නව අස්වද්දපු කුඹුරු ඉන්පසු අක්කර 3500ක් දක්වා අස්වැද්දීමට හැකිවීම සැබැවින්ම සුභ පණිවුඩයකි. යල මහ දෙකන්නයම සරුසාර වී අටු කොටු බත බුලතින් පිරීම ගොවි සිත් තුළ ජනිත කරන්නේ ප්‍රීතියක් බව කිව යුතුද? හඳපානාගල, නෙළුම්ගල, පැල්වත්ත, මහආරගම, වන්දම, හා දෙමළිය ආදි වූ වැව අවට ප්‍රදේශවාසීන්ට ඉන් අත්වන්නේ යහපතක්. උමා ඔය ව්‍යාපෘතිය යටතේ තමයි හඳපානාගල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වන්නේ. මේ වැවේ ප්‍රධාන ජල ප්‍රභවය වන්නේ කිරිඳි ඔයයි. වැල්ලවාය - බෙරගල මාර්ගයේ ගමන් කරන විටදී හමුවන, මෙරට තෙවැනි උසම දිය ඇල්ල වන දියලුම දිය ඇල්ල පහළ මිටියාවත් ඔස්සේ ඇදී එමින් කුඩා ඔය හා එක්ව කිරිඳි ඔය නමින් කොස්ලන්ද කඳු පල්ලම් හරහා වැල්ලවාය ප්‍රදේශයට ඇතුළුව හඳපානාගල පෝෂණය කරයි. ඒ තමන්ගේ සුපුරුදු ගමන් රිද්මයට හානියක් නොවන පරිදි පෝෂිත ඇළ මාර්ගයක් ඔස්සේ හඳපානාගල දියවරින් පොහොසත් කිරීමටද අමතක නොකරමින්. රාවණා දිය ඇල්ල ආරම්භ වන්නේ කඳු දුර්ග ඔස්සේ පල්ලම් බසිනා කිරිඳි ඔයේ අතු ගංගාවකින්. රාවණා ඇල්ල 02 වශයෙන් හඳුන්වන දිය ඇල්ලේ දිය දහරින් සහ ඇල්ල කහටමඩිත්ත සමීපයේ පිහිටා ඇති කුඩාඔයේ ශාඛාවක් වු ඉළුක්ආරාව ඔයේ දියවරින් කිරිඳි ඔය පෝෂණය වෙයි.

කඳු හෙල් ගිරි ශිඛර පසු කරගෙන කිරිඳි ඔය හැල්මේ පැමිණෙන්නේ තමන් අත් විඳි බොහෝ දෑ පිළිබඳ තම ළබැදිය, හඳපානාගලට කියන්නට හදිස්සියෙන් වාගෙයි.

හඳපානාගල හා බැදුණු අනෙක් නම වන්නේ අලි ඇත්තුයි. උන් සරන්නේ තම උරුමය සනිටුහන් වුණු භූමියක බව අප කිසි විටෙකවත් අමතක නොකළ යුතුයි. හඳපානාගල ඇතුළු අවට ප්‍රදේශය කියන්නේ අදින් වසර තිස් පහකට පමණ පෙර සිදු වූ ඌව පළාතේ පහළ ප්‍රදේශ සංවර්ධන ක්‍රියාවලියට නතු වූ බිමක්. විවිධ මානව සංවර්ධන ක්‍රියාවලීන්ද මේ ආශ්‍රිතව සිදු වුණා. මේ ක්‍රියාදාමය හමුවේ තම උපන් බිම් අහිමි වීමෙන් අසරණ තත්ත්වයට පත් වෙන්න මේ අවට සැරිසරපු සද්දන්තයන්ට සිදු වුණා. එය අද වනවිටදී අලි - මිනිස් ගැටුමක් දක්වා වර්ධනය වෙලායි තියෙන්නේ.

නිජ බිම් සොයා යන සද්දන්තයෝ

මෙදවසදී හඳපානාගල අවට රක්ෂිතය මේ අයට සහනයක්. අදින් වසර දහයකට පමණ පෙරදී නම් සිදු වුයේ මේ අවට සැරිසරනා වන අලින් වාර්ෂිකව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු, පැල්වත්ත සීනී කර්මාන්තායතනය සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලබන වන අලි මෙහෙයුමක් හරහා යාල සහ ලුණුගම්වෙහෙර වනජීවී රක්ෂිත වෙතට පලවා හැරීමයි. නමුත් දිගින් දිගටම වන්නේ එම වන අලින් තමන්ගේ සුපුරුදු ගැවසුම් බිම් වෙතට පැමිණීමයි. මහආර, ළද ආර, ඔරුගල්කෙම, තුන්කෙම හරහා හඳපානාගල වැව දක්වාත් අනතුරුව තලාකොළ වැව, දඹේ වැව, පොරමැඩිල්ල වනය, කුඩා ඔය ඔස්සේ ලුණුගම්වෙහෙර සහ යාල ජාතික උද්‍යානයේ කලාප අංක හතර සහ පහ දක්වා වන අලින් පලවා හැරීම සිදු වෙනවා. කෙබඳුබ හෝ බාධකයක් තිබුණත් එවා සිඳ බිඳ ලමින් තමන්ගේ සුපුරුදු නිජ බිම් වෙත පැමිණීම සද්දන්තයින්ගේ පුරුද්දයි. එම හුරුව මවගෙන් පැටවාටත් උරුම වීම පුදුමයක්. අන්න ඒ නිසායි ගසට - පොත්ත සේ, හඳපානාගලටත් අලි ඇතුන් පෙම් බඳින්නේ.

ගොවි බිම් සරු කිරීමට දියවර වැඩිපුර

හඳපානාගල වැවට ඉදිරි පසින් දිස් වන්නේ මධ්‍යම කඳුකරයේ දකුණු අන්තයේ අවසන් කඳු ශිඛරය. වැව ඉදිරියේ ඇති ගලට ගොඩ වූ කල එය හොඳින් දිස්වේ. ගලට විරුද්ධ දෙසින් දිස්වන හුදෙකලා කඳු වැටි සහ පහත් බිම්වල දසුන මනරම්ය. එහි හරිත පැහැය නෙතට රසදුනකි. කර්කශ කලාපයකට එබඳු දැකුමක් එක් වන්නේ ඒ බිමෙන් බහුතරය යාල සහ ලුණුගම්වෙහර ජාතික උද්‍යානයන් ගේ නියෝජනය සහිත බිම් ලෙස ආරක්ෂා වීම නිසයි. හඳපානාගලින් ඉදිරියට ගමන් කරනා කිරිඳි ඔය ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ බටහිර මායිම සනිටුහන් කරමින් ගලා බසින්නේ ලුණුගම්වෙහෙර ජලාශයත් දිය වරින් පොහොසත් කරමින්. ඉහළ කදුකරයෙන් ආරම්භ වී පහළ නිම්න ඔස්සේ පල්ලම් බසිමින් පහළ මිටියාවත් බත බුලතින් පොහොසත් කිරීමට මහඟු මෙහෙවෙරක් කරන කිරිඳි ඔයේ සොඳුරු සලකුණ, හඳපානාගලත් තමන්ට හැකි අයුරින් කළ හැකිදේ උපරිමයෙන් ඉටු කරමින් නිහඬවම පසු වේ. වැව ප්‍රතිසංස්කරණය වූ පසුව එහි මෙහෙවර තව තවත් පුළුල් වනු ඇත. ඉදින් හඳපානාගල මත සිට ඇරැඹූ පාරිසරික වර්ණනාව අවසන් කිරීමට කාලය එළැඹි ඇති බව පවසමින් වැව් පිටියේ හක්කලං කරමින් සිටි මොනරු රාත්‍රී ලැගුම් බිම් සොයමින් සරති. හිරු තමන්ගේ සොඳුරු රූපාවලිය දිගහැරීමට පටන් අරගෙන ඇති හැඩයි. අහස් කුස මත ඇදී මැකී යන වර්ණ සුසංයෝජනයන් ගේ මනරම් දසුන මේ යැයි කෙසේ නම් අකුරු කරම්ද? කළ හැකි එකම දේ ඒ සියල්ලක් කැමරා කාචයේ සටහන් කර ගැනීමට වෙහෙසීම පමණයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »