අපේ ගොවිතැන අපට ඕනෑ විදිහට කරගන්න ඉඩ දෙන්න

2018-11-06 04:03:00       54
feature-top
නිල­ධා­රීන් වතුර දෙන්නේ කාල සට­හ­නට
ගොවීන්ට ඇහු­ම්කන් දෙන්නේ නෑ
මහ­වැලි ගොවීහු මැසි­විලි නඟති

සොබා දහම සමඟ බැඳී ඇති මෙරට කෘෂි කර්මාන්තය සියවස් ගණනාවක් පැවතෙමින් ඇත්තේ එකී නියමයන්ට අවනත වෙමිනි. මෝසම් වැහි රටා, සුළං හැමීම, හිරු එළිය ඊට ඇතුළත්ය. එහෙත් සියලුම සමාජ සිදුවීම් වර්තමානයේ උඩු යටිකුරු වී ඇති නිසා සොබා දහමේ නියමයන්ට අනුකූලව ආ මේ රටේ ගොවිතැන් රටාව ද වෙනස්වී තිබේ. එහෙත් එසේ වීමෙන් කිසිදු ධනාත්මක ඵලයක් ගොවීන්ට අත්වී නොමැත.

ගොවිතැනට නිසි කලට වතුර නැත. වැහි පිට වැහි වැටී වැව් අමුණු වාන් දැමුවද වැවේ සොරොව්ව ඇරෙන්නේ මහවැලි ජල පාලන ඒකකයේ කැලැන්ඩරයට අනුවය. සාමාන්‍යයෙන් මහකන්නක් ආරම්භ කළ යුත්තේ ඔක්තෝබර් මාසයේය. මූල්‍ය අන්තර් මෝසම් සක්‍රීය වී ඊසාන දිග මෝසමට මුල පුරන මේ අවදියේ මහ කන්නය ඇරැඹීම මෙරට ගොවි සම්ප්‍රදායයි. මේ කාලයේදී වැඩිමල් වී වපුරා මාර්තු මාසය වනවිට අස්වනු ගෙට ගැනීම ගොවි සිරිතය. නමුත් මහවැලි ජල පාලන ඒකකය තමන් යටතේ ඇති වැව් අමුණු උතුරා වාන් දැමුවද ජලය නිකුත් කරන්නේ නොවැම්බර් හෝ දෙසැම්බර් ය. මෙම කාලය තුළ වී වැපිරීම කිසිදු ලෙසකින් වත් සිදු නොකළ යුතු බව පවසන්නේ ගොවි නායකයෙකු වන කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස මහතා ය.

“නොවැම්බර්, දෙසැම්බර් කියන්නේ මේ කලාපයට තදටම වහින කාලේ. සමහර වෙලාවට සති ගණන් එක දිගට වහිනවා. වී වපුරන්න බැහැ. පැළවී කුණු වෙනවා. ගංවතුරට යටවෙනවා. දෙසැම්බර් මාසයේ හරියට ඉරඑළිය පොළොවට වැටෙන්නේ නැහැ. අපේ පැරණි ගොවීන් කියන්නේ පොළොව ‘තිත්ත වෙන’ කාලේ කියලා. ඔක්තෝබර් මුල වතුර දුන්නහම නොවැම්බර් මැද වෙනකොට වපුරලා අවසන් වෙනවා. මහවැහි වැටෙන කොට නෙළුම් ගොයම් කාලේ. අමුතුවෙන් යූරියා ගහන්න ඕනේ නැහැ. ගොයම් ගහ හැදෙනවා. හැබැයි ගොවිතැනට වතුර දෙන සින්නක්කර අයිතිය මහවැලියට ගත්තට පස්සේ මේ ඔක්කොම වෙනස් වුණා. වැවේ අයිතිය ගොවීන්ට නැති කළා. බහුජාතික සමාගම් ඔය ඉහළ ඉන්න ලොකු ලොක්කන් සල්ලිවලට ගත්තා. අකාලයේ ගොවිතැන් කළහම විවිධ කෘමි ‍රෝග වැලඳෙනවා. ගොවීන්ට වෙන විසඳුම් නැහැ. කෘමි නාශක කඩේ මුදලාලිව අසරණ ගොවියට පේන්නේ දෙවියෙක් වගේ. එයාලට වැඩිම කොමිස් එක තියෙන තෙල් ජාතිය ගොවියට දෙනවා. හරි ගියේ නැත්නම් ඊළඟ එක.

මේ කතාව බොරුවක් මුසාවක් නෙවෙයි. පසුගිය යලේ වතුර දුන්නේ ජූනි මාසයේ. වතුර දෙන්න තිබ්බේ අප්‍රේල් - මැයි. ඒත් එක එක හේතු කිය කියා කන්න පහු කළා. පොලොන්නරුව දිස්ත්‍රික්කගේ අක්කර එක්ලක්ෂ හැටදාහෙන් ලක්ෂයකට විතර කීඩෑ උවදුර ආවා. සමහර ගොවීන් හත් අට වතාව තෙල් ගැහුවා. සමහර ගොවීන් බැරිම තැන කුඹුරු ගිනි තිබ්බා. කවුද මේකට වග කිව්වේ? වගකිව යුතු අය මේ ගැන කථා කළා ද?

අනිත් එක දැන් වැව්වල අයිතිය ගොවීන්ට නැහැ. පැත්තක් මහවැලියට අයිතියි. අනිත් පැත්තෙන් වනජීවී එකට අයිතියි. වැවේ වතුර අඩු වැඩි වෙන්නේ සුද්දන්ට අලි පෙන්නන්න උවමනා විදියට. රජයේ ගොවි සංවිධාන මේවා ගැන කට අරින්නේ නැහැ. ගොවීන්ට හඬකුත් නැහැ” ජයතිස්ස මහතා කථාව හමාර කළේ වේදනාවෙනි.

හිඟුරක්ගොඩ, ආර්.බී. 03 කේ. බී. වික්‍රමසිංහ මහතා වී ගොවිතැනත්, දියුණු බිත්තර වී ප්‍රභේද රැක ගැනීම සඳහාත් දරන්නේ අප්‍රමාණ වෙහෙසකි. ගොවිතැන මුහුණපා ඇති ඉරණම ගැන ඔහු මෙසේයි.

“අපේ තාත්තලාගේ සීයලාගේ ඉඳලා ගොවිතැන් කළේ දේශගුණය දිහා බලලා. ඒත් දැන් ඒවා මොනවත් නැහැ. මහවැලිය කියන දිනේට අපි කන්නය පටන් ගන්න ඕනෑ‍. අපි ගොවිතැන් කරන්නේ අපිට කන්න විතරක් නෙවෙයි. මුළු රටටම කන්න දෙන්න. ඒ වගේ ම ගොවීන්ට බිත්තර වී දෙන්න. නමුත් ම‍ෑත කාලයේ කවුරුවත් ගොවීන්ගේ සැබෑ ප්‍රශ්න ගැන හෙව්වේ බැලුවේ නැහැ. රජයේ ගොවි සංවිධාන කොන්ත්‍රාත්කාර‍යන් වෙලා‍. හැබෑ ගොවි ප්‍රශ්න ගැන ඒ අයට වැටහීමක් නැහැ. ඔවුන් කථා කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්න විතරයි.

අපේ ර‍ට කෘෂිකාර්මික රටක්. ඒත් හාල්, බඩඉරිඟු, කුරක්කන්, කව්පි, මුං ඇට ඔක්කෝම රටින් ගෙන්නනවා. ලජ්ජා වෙන්න ඕනේ නේද?

අපේ ගොවිතැන අපට උවමනා විදියට කරගන්න ඉඩක් නැහැ. වැව්වල වතුර පිරිලා වාන් දැම්මත් වතුර දෙන්නේ මහවැලියට ඕනෑ විදියට. සාමාන්‍යයෙන් මහ කන්නය ඔක්තෝබර්වලත්, යල කන්නය අප්‍රේල්, මැයිවලත් පටන් ගන්න ඕනේ. නමුත් නිලධාරීන් ඔය කාලෙට නෙවෙයි වතුර දෙන්නේ එයාලට උවමනා කාලසටහනට. හැබැයි ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ ගොවියෝ. ගිය යල කීඩෑ උවදුර නිසා සම්පූර්ණයෙන් විනාශ වුණා. කවුද මේ ගැන හොයලා බැලුවේ.”

රජයේ ගොවි සංවිධාන වාරිමාර්ග හා මහවැලි බලධාරීන් සමඟ නිතර ගනුදෙනු කරන සංවිධානයන් ය. ගොවිතැන හා ජලය නිකුත් කිරීම සම්බන්ධව අප සමඟ කථාබහට එකතු වූ පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ ලේකම් ගාමිණී ආරියරත්න මහතා වැව් හා ඇළ මාර්ග නඩත්තුව ගැන අප හා අදහස් පළ කළේය.

“පරාක්‍රම සමුද්‍රය වගේ ව්‍යාපාරවල ඇළ මාර්ග නඩත්තු කිරීම් සිද්ධ වෙන්නේ මේ වෙද්දීයි. අපේ රටේ පුරුද්දක් විදියට රජයේ මුදල් සංවර්ධනයට ලබාදෙන්නේ අවුරුද්ද අවසානයට. ඔය ඇළ මාර්ගවලට සල්ලි දෙන්නෙත් ඒ විදියට. මේ නිසා මෙදා පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ජලය නිකුත් කිරීම ප්‍රමාද වෙලා තියෙන්නේ.

අනිත් අතට මින්නේරිය වැවට හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි කවුඩුලු හා කන්තලේ වැව් දෙක නඩත්තු කරන්න වීම. ඒ වැව් දෙකට වතුර දෙන්න මින්නේරිය වැව පුරවන්න ඕනෑ. මේකට යම් කාලයක් යන නිසා මින්නේරියට නියමිත කාලෙට වතුර ලැබෙන්නේ නැහැ. මේවාගේ තීන්දු තීරණ ගන්නේ ගන්නෝරුවේ තියෙන මහවැලි ජල පාලන ඒකකයයි. සමහර නිලධාරීන් ගොවීන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙන්නේ නැහැ. මේ ගැටුම දීර්ඝ කාලයක ඉඳලා තියෙනවා. මීට සම්බන්ධ වාරිමාර්ග, මහවැලි, කෘෂිකර්ම ගොවිජන‍ සේවා හා දිසාපතිවරු එකට ඉඳලා තීන්දු තීරණ නොගන්න තාක් කලට වෙලාවට ජලය ලබාදීම ගැටලුවක් විදියට තියෙයි. ගොවින් වැස්ස ප්‍රයෝජනයට අරගෙන වගාවට යන්න බයයි. වැස්ස කොයි වෙලේ නවතියිද කියලා කියන්න බැරි නිසා ඔවුන් වගාවට යන්නේ නැහැ.

කන්නය පහුවෙලා වතුර දෙන එක ගොවිතැනට ප්‍රශ්නයක්. වී ගොවිතැන කියන්නේ බටෙන් වතුර ටික කුඹුරට දාන එක විතරක් නෙවෙයි. මේක සොබා දහමත් එක්ක ගනුදෙනු කරන කර්මාන්තයක්. එහෙම නොවුණොත් කුඹුරු කෘමි හානිවලට ගොදුරු වෙනවා. ගොයම් වඳ පීදෙනවා. එතකොට කෘෂි රසායන සමාගම්වල මල්ල තරවෙනවා. මේවා ‍උඩින් පල්ලෙන් අතගාලා දාන්න ඕනෑ ඒවා නෙවෙයි. ලොකු සමාජ සාකච්ඡාවක් වෙන්න ඕනෑ. එහෙම නොවෙන තාක් අපේ ගොවිතැන ඔය විදියටම තියෙයි.”

ගොවිතැනේදී කාන්තාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ගොවිතැනේ ලාභ අලාභ සියල්ලම දරා ගන්නේ පවුලේ වගකීම කර තබාගෙන යන ගැහැනියයි. පවතින කෘෂි කර්මාන්තය මුහුණදී තිබෙන ගැටලු සම්බන්ධව හිඟුරක්ගොඩ හතමුණ ආර්.බී. 04 හි පදිංචි ජේ. පී‍. ගංගා කුමාරි දැරුවේ මෙවන් අදහසකි.

“දැනට අවුරුදු පහ හයක ඉඳලා කන්නයේ නියමිත කාලෙට වතුර දෙන්නේ නැහැ. වගාවට වතුර දෙන්නෙත් සති 2 – 3 යි. හී තුන හාලා වපුරන්න මේ කාලය මදි. බිම් හීය හාලා මඩ කුණුවෙන්න දවස් 10 ක් විතර තියෙන්න ඕන. ඒත් ඉතින් මේ දඩි බිඩි ගොවිතැනේ එහෙම කෙම්පහන් කරන්න කාලයක් නැහැ. අපි දන්න විදියට මහ කන්නයේ වගා කරන්න ඕනෑ වඩිමල් වී යලට බාල වී වපුරන්න ඕනෑ. නමුත් ගොවිතැනට වතුර දෙන්නේ සීමිත දින ගාණක් නිසා දෙකන්නේට වැඩ කරන්නේ බාල වී වර්ග. කන්න පහු උනහම වැහිවලට අහුවෙනවා. වගා පාළු වෙනවා. කෘමි නාශක ගහන එකේ සීමාවක් නැහැ. අන්තිමට ගොවියෝ හතර අතට ණය කාරයෝ වෙලා. අපට කිසිම වන්දියක් නැහැ. දිගින් දිගටම ගොවීන්ට වෙන අසාධාරණයට විසඳුමක් දෙන එක බලධාරීන්ගේ වගකීමක්.”

ගොවීන් මතු කරන කාරණා සම්බන්ධව මින්නේරිය නේවාසික ව්‍යාප‍ෘති කළමනාකාර ඩී. එම්. ඥානපාල මහතාගෙන් අපි තොරතුරු විමසුවෙමු.

“ඔය සමහර ගොවියෝ නඟන චෝදනා පිළිගන්න අමාරුයි. ගොවියෝම තමයි චෝදනා කරන්නේ ඇළවේලි හදන්නේ නැහැ කියලා. පසුගිය යල කන්නයට වතුර දීලා අවසන් වුණේ අගෝස්තු. එතකොට ඇළවේලි හදන්න කාලයක් තියෙනවද? මිලියන 800 ක් විතර ඇළ මාර්ග නඩත්තුවට මුදල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇළවල්වල වතුර ඇරියාම ඒවායේ වැඩ කරන්නේ කොහොමද? ඇරත් අපේ පැත්තෙන් හෙට වුණත් වතුර අරින්න පුළුවන්. නමුත් ඔය කියන ගොවියෝ වගා කරන්න සූදානම් ද කියන ප්‍රශ්නය තියෙනවා. මේ මහ කන්නයට නොවැම්බර් 10 දා ජලය නිකුත් කරනවා. නමුත් තවමත් ගොවීන්ගේ පැත්තෙන් වෙන්න ඕන ඇළ වේලි සුද්ද කිරීමවත් තව අවසන් ‍කරලා නැහැ. ගොවින්ටත් ප්‍රශ්න ඇති. නමුත් අපේ මට්ටමේ නිලධාරීන් හැම වෙලාවෙම ගොවීන්ගේ හඬට කන් දීලා කටයුතු කරනවා.”

දේශීය ආර්ථිකයයේ ප්‍රධානතම අංගයක් වන්නේ එරට කෘෂි නිෂ්පාදනයයි. ලෝකයේ බොහෝ රටවල් ඒ සඳහා සියලු පහසුකම් ලබාදෙන්නේ එය රටක ආර්ථිකයේ හදවත ලෙස සැලකෙන නිසාය. එනිසා දෙපාර්ශවයම එකට එක්වී තීන්දු තීරණ ගැනීම රටේ කෘෂි ආර්ථිකයට යහපතක් වනු ඇත.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »