සත් වගට මෙත් වඩා ගොවි දිවිය සරු කරන සුන්දර ගෙවිලිය

2019-01-05 11:57:00       174
feature-top
පිරිමි කරන හැම දේම ගැහැ­නුන්ට කරන්න බැහැ” ඇතැම් රැකි­යා­වන් ගැන කතා කරද්දි සමා­ජයේ තියෙන්නේ එවන් මත­යක්. නමුත් අද සමා­ජයේ නම් පිරි­මින් සමඟ කරට කර වැඩ කරන ගැහැ­නුන් ද නැතිවා නොවේ. මේ කතාවේ එන ගැහැ­නිය ද තම සිතේ ශක්ති­යෙන් දෑතේ හයි­යෙන් කාට­වත් අත­නොපා ජීවත් වන්නි­යකි. වෙනත් කෙනෙක් කර දෙන තුරු නොසිට අනුන්ට අත­නොපා ජීවත් වන මේ දිරිය ගැහැ­නිය අපට හමු­වූයේ නික­වැ­ර­ටිය උඩ­හේ­නේ­ගම රස්නා­ය­ක­පුර ගම්මා­න­යේදි.

කේ . එම්. ආරි­ය­වති නම් වූ ඇය ගැන ලද තොර­තුරු අනුව පසු­ගිය දිනෙක අප ඇය සොයා ගියෙමු. ඒ අගේ ගොවි­ප­ළ­ටය. ඒ උදෑ­ස­නත් පරි­ස­රය බොහෝ රස්නෙය. පව­තින වියළි කාල­ගු­ණික තත්ත්වය තුළ මේ ප්‍රදේ­ශ­යට රස්ස­නය නම් සාමාන්‍ය දෙයකි. එ්ත් ආරි­ය­වති දැනට කරන්නේ ගොඩ ගොවි­තැ­නය.

පෑවිල්ල කාලයේ එත­රම්ම සරු වගා­වක් දැකිය නොහැකි බව එතැ­නට යන තුරුම අපේ විශ්වා­සය විය. එහෙත් අපේ සිතු­විලි වැරැදි බව තේරුණේ ආරි­ය­ව­තීගේ ගොවි­පළ දුටු විටය.

එක් පසෙක ඇත්තේ වට්ට­ක්කාය. තවත් තැනෙක ඇත්තේ සරු­වට වැඩුණ බෝංචි පාත්ති­යකි. තවත් තැනෙක මෑක­රල් වගා­වකි. ඒ හැරුණු විට ඇගේ ගොවි­පළේ කව්පි, මුං ඇට, කුර­ක්කන්, රට­කජු, බඩ­ඉ­රිඟු, දඹල, කැරට් බෝංචි ආදි එළ­වළු වර්ග ද ඉතා සාර්ථක ලෙස වගා කර ඇත.

ආරි­ය­වති උත්සා­හ­ව­න්ති­යකි. ඇයට අවශ්‍ය වූයේ තම ශක්ති­යෙන් නැඟී සිටී­ම­ටය. බාල වියේ සිටම ගොවි­තැ­නට ඇල්ම දැක්වූ ඇය අව­සා­නයේ තම ජීවන වෘත්තිය වශ­යෙන් ගොවි­තැන තෝරා ගත්තීය.

“මම අවු­රුදු දාහ­තක් තරම් වයසේ ඉදලා ගමේ පැවැත් වුණ ආහාර හා පෝෂණ වැඩ­ස­ට­හ­න්ව­ලදී, ගෙවතු වගා තර­ග­ව­ලදී ජය­ග්‍ර­හ­ණය කරලා තියෙ­නවා. ඇතැම් තර­ග­ව­ලින් පළමු තැන දින­ලත් තියෙ­නවා. ඒ වගේම ගොවි­තැ­නින් කුරු­ණැ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් ප්‍රථ­මයා වෙලා තියෙ­නවා. මම පදිංචි වෙලා ඉන්නේ උඩ­හේනේ ගම. එතැන ඉදලා කුරු­ණැ­ගල පුත්ත­ලම් පාරේ නික­වැ­ර­ටිය රස්නා­යක පුර තියෙන ඉඩ­මට කිලෝ මීටර දෙකක් එන්න ඕන.

ඒ ඉසව්වේ අලි ඉන්නවා. අලි­යා­ගෙන් වගාව ආරක්ෂා කර ගන්න අමා­රුයි. ඉඩම අයිති මහ­ත්තයා ඉන්නේ කොළඹ. ඔහු අපට මේ ඉඩම දුන්නා වගා කර­ගන්න කියලා. මම කව­දා­වත් මේ වගා බිමට තෙල් කෘෂි රසා­ය­නික ද්‍රව්‍ය යොදන්නේ නැහැ.”

වගා­බිම වෙනු­වෙන් ජීවිය කැප කර ඇති ආරි­ය­වති එක්ද­හස් නව­සිය අනූ­තුන වස­රේදි රැකි­යා­වක් සොයා කුවේට් රටට යයි. ඒ කර­කියා ගන්නට තැනක් නැති තැනය. එරට වසර තුනක් පමණ ගෘහ සේවිකා වෘත්තියේ සිටි ඇය ලංකා­වට එන්නේ දෑතේ හයි­යෙන් කුමක් හෝ කර ජීවත් වනවා මිස නැවත විදෙස් ගත­වන්නේ නැතැයි යන අධි­ෂ්ඨා­නය ඇති­වය.

“ලංකා­වට ආවාට පස්සේ මම කල්පනා කළ මොකද කරන්නේ කියලා. අපිට ජීවත් වෙන්න ආදා­ය­මක් ඕන . මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ වෙන කොට දුව විවාහ වෙලා ඉන්නේ. පුතා තවම ඉගෙන ගන්නවා. මගේ සැමියා පුංචි බණ්ඩා. ඔහුත් වෙනම කුඹු­රක් කර­නවා. අපේ මේ වගා­වට පවුලේ අය උදව් කර­නවා. මේ පැත්තට විදු­ලිය නැහැ. බැට­රිය තමයි තියා­ගෙන ඉන්නේ. රෑට ගිනි­මැල ගහ­නවා. පල­දාව තියෙන කාලෙට මම ඉන්නේ ගොවි­පළේ පැලේ. දව­සක් රෑ අලියා ආවා. ඒ වට්ක්කා වැල්වල ගෙඩි හැදුණු කාලේ. අලි ඇවිල්ලා වැලේ ගෙඩි කඩන බව තේරුණා. මම පැලේ ඉඳන් කෑ ගහලා කිව්වා. අනේ දරු­වනේ කඩා ගත්ත එක විත­රක් ගෙනි­යන්න. අපිත් දුක් මහ­න්සි­යෙන් වවලා තියෙන්නේ කියලා. කොහොම වූණත් උන් කඩා ගත්ත ගෙඩි­යත් දාලා ගිහින් තිබුණා. වගා­වට යොමු වීමත් සමඟ ගහට කොළට වගේ සතා සිවු­පා­වා­ටත් ආද­රය කර­න්නට මට පුළු­වන් වුණා.”

කෘමි­නා­ශක භාවි­ත­යෙන් තොර ආරි­ය­ව­තිගේ වගා­වට ඇත්තේ ඔවුන් විසින් කරනු ලබන කෙම්ප­හන් ක්‍රම හා කාබනික පොහොර භාවිතය පමණි. කම්මැ­ළි­කම පසෙක ලා වගා කට­යුතු වල නියැ­ළෙන තම ගොවි­පළේ පල­දාව උදැ­ස­නට ඒ අසල පාර අයිනේ තබා විකු­ණති.

“මිනිස්සු හරි කැමැ­ත්තෙන් මගේ එළ­වළු මිලට ගන්නවා. එළ­වළු විකු­ණලා ඉවර වුණාට පස්සේ තමයි මම ගොවි­තැන් වැඩ­ව­ලට යන්නේ.” ආරි­ය­වතී පව­සන්නේ හිතේ සතු­ටෙනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »