පැරැණි ගොවියා වැස්සට හිසලූ අපූරු තොප්පිය

2019-01-18 10:54:00       682
feature-top
පැරැණි ගම්බද ගොවීන් වර්ෂාවෙන් බේරීමට භාවිත කළ බෝගාව සරල ගැමි නිෂ්පාදනයකි. දිගුකලක් කොත්මලේ හරංගල මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කරද්දී විදුහලේ කෘෂි ප‍්‍රදර්ශනයකට පැරැුණි ගැමි ගොවි නිවසක තිබී බෝගාවක් ගෙනවිත් තිබී මනාව ඒ පරීක්‍ෂා කර තොරතුරු ලබා ගතිමි. ඉන් පසුකල ගන්නෝරුව කෘෂි කෞතුකාගාරයේ දී ද බෝගාවක් ප‍්‍රදර්ශනය සඳහා තබා තිබෙනු දුටුවෙමි.
 
 අව්වට වැස්සට තල් අතු භාවිත කළ අයුරු නොක්ස් විස්තර කරයි. රොබට් නොක්ස් තල් අතු ඉහළ ගෙන යන චිත‍්‍රයක් ඇඳ ඇත. තල් අත්ත අත් දෙකකින් අල්ලා ගෙන යා යුතුය.
 
 බටහිරින් ආ කුඩ යුරෝපීය බලපෑම නිසා නාගරිකව භාවිත විය. පැරැුණි නිවෙස්වල එදා භාවිත වූ පට කුඩ හා ඒ බහාලූ පෙට්ටි තවම තිබෙනු මා දැක ඇත. කුඩ භාවිතය ගමට ගියේ කලාතුරකිනි. මෑතක් වනතුරු පිටිසර ගම්වල ගොවිතැන් කටයුතුවලදී නෙළුම් කයිවලදී තල් අතු ද වර්ෂාවේ කුඹුරු වැඩ කරන විට ගමේ අවිදින විට බෝගාව භාවිත විය. තල් අත්ත මෙන්ම තල් ගොටුව හා අව්වට හිසේ තලප්පාව බැඳීම ගැමි ලකුණක් විය. වර්ෂාවේ දී හිසේ පැළඳ පාවිච්චිය ගම තුළ ඇවිදීම කෙටි ගමන්වලට බෝගාව හිස පැළඳ ගත් විට තල් අත්ත ගෙන අල්ලා ගැනීම අවශ්‍ය නොවීය. බෝගාව හැඩය හා ප‍්‍රමාණය අනුව කුල්ලක් බඳුය.
 
 බෝගාව සාදා ගැනීමේදී ගල් මත වැවෙන බේඳුරු කොළ, වල් දෙල් කොළ, ගොඩපර කොළ හා බටපොතු එකතු කර ගනියි. වල් දෙල් කොළ හා ගොඩපර කොළ උණු වතුරෙන් තම්බා පදමට අව්වේ වේළා ගනියි. එහෙත් බේදුරු කොළ තම්බා ගැනීමක් නොකරයි. තැම්බු වල්දෙල් හා ගොඩපර කොළ වියළා නිදා ගන්නා ලෑලි ඇඳ හෝ පැඳුර යටට එලා දින කීපයක් තැබීමෙන් ඒවා හොඳින් දිග හැරෙයි. උණු වතුරෙන් තම්බා අව්වෙන් වේළා ඇඳ යටට තබා පදනම් කර ගත් කොළ ගළපා ගැනීම ඊළ`ගට සිදු වෙයි. ඒ හැඩය හා ප‍්‍රමාණය කුල්ලකට සමාන වේ. බෝගාවේ පිට පැත්තට වියළී ගිය බේඳුරු කොළ ද ඇතුළු පැත්තට වියළා පදම් කරගත් වල් දෙල් හා ගොඩපර කොළ තබා බටපොතුවලින් බැඳ ශක්තිමත් කර ගනියි. බෝගාව දැන් කුල්ලක හැඩය හා ප‍්‍රමාණයට ඇත. ඒ නිකට යටට තබා බැඳ ගැනීමට අවශ්‍ය නම් කැලෑ වල් පටක් බැඳ ගනියි. ඒ නැතත් එහි බොකුටු බව නිසා හිස පැළඳ ගත් විට අත්වලින් අල්ලා ගැනීමක් අවශ්‍ය නැත. බෝගාව හිස පැළඳ ගෙන තද වර්ෂාවක වුවත් කුඹුරේ වැඩ කළ හැකිය. කුඹුරේ විවිධ වැඩට ගමේ ඇවිදීමට වර්ෂාවේ දී බෝගාව ඉතා ප‍්‍රයෝජනවත් වෙයි. පදම් කර ගත් බෝගාවක් අවුරුදු තිහ හතළිහක් භාවිත කළ හැකිය.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »