18 Views  
 බළලුට කළදේ කළහුට පළදේ


දැනට දශක පහ හයකට පෙර බස්නාහිර පළාතේ සිදුවූවකි. ඒ එකල මේ ප්‍රදේශය එතරම් දියුණු තත්ත්වයක නොපැවතිණි. ගොවිතැන් බතින් කල් යල් යැවූ ගැමියෝ ඉතා සැහැල්ලුවෙන් කල් ගත කළහ. ඔය අතරැ “කඩප්පුලි” වැඩකරන අයද නොසිටියෝම නොවේ. ඔවුන් තුරෙන් නමෙන් ගුණතිලක යයි අයෙක් ද විය. නමින් ගුණතිලක වූවත් මත්පැන් බීම දෛනික වුවමනාවක් ලෙස සපුරා ගත් හෙතෙම, කෙමිණ එටවීම, පිත්තෙන් බෑම යන දෙආකාරයෙන්මැ මාළු අල්ලා ගනියි.

Me-Athamayedee-Paladena-Logo
දෛනිකව මාළු බෑමත්, සුරා පානයත් කරන ගුණතිලක දවසක් සවස පහට පමණ මාළු අල්ලන්නැ ගියේ ය. එදා ගුණතිලකට හරිම ජය දිනයකි. ගොස් පැයෙකින් පමණ විශාල මාලු බෑගයෙක්ද රැගෙන හේ ගෙදර පැමිණියේය. පැමිණ බෑගයේ වූ මාළු බිමට හළමින් ඔහුගේ බිරිය වූ මැණිකෙට කතා කරමින් “මැණිකේ මම හුඟක්ම මාළු ඇල්ලුවා. ඔයා ඇවිල්ලා මේවා සුද්ද කරල උයන්න, මම යනවා කඩපොළ දිහා ගිහින් එන්න” යි කියා ඔහු පිටත් විය. මැණිකාද ගෙදර වෙන දෙයක් කරමින් සිටියා ගුණතිලක කී දෙය නිච්චි නිනව් නැතියෙන් හිටි තැනැම හිටියා. මාලු ටික ගෙදර කුස්සියේ පොළව මතය.


මාළු ටික කුස්සියේ හළා ගුණතිලක විගහින් ගියේ මත් වතුර බොන්නට ය. එවක එම ප්‍රදේශයේ ගමික මත් වතුරක් ලෙස පැවැතියේ “සයිඩර්” මත් ද්‍රව්‍යයි. ඒවා විකුණන තැනට ගිය ගුණතිලක පමණ ඉක්මවී යන තරමට සයිඩර් බී හය හමාරට පමණ වැනි වැනී ගෙදරට සේන්දු විය.


ඔහු කුස්සිය පැත්තෙන් ගෙට ගොඩවුණා පමණි. ජංජාලයයි. ඔහු දුටුයේ කුමක්ද? තමා වැහිබීරමේ අල්ලාගෙන ගෙදරට ගෙනෑ මාළු ටික, අල්ලපු ගෙදර හදන බළලා කුස්සියට පැන හොරා කන හැටියි. ඒ දසුනෙන් කෝපාවිෂ්ට වූ ගුණතිලක “ඉඳහන්කො මං උඹට හොඳ වැඩක් කරන්නම්කො”  කියමින් පැන්න ගමන් බළලා අල්ලා ගත්තේ බෙල්ල කෙටියෙනි.  බළලා පැනයන්න උත්සහ  කළත් ඒ හරි ගියේ නැත. බළලාගේ බෙල්ලෙන් තදකර අල්ලා ගත් ගුණතිලක ඌ අරගෙන ගියේ ඇවිළෙන ළිප ළඟටය.

20-me-jiwitayedi-paladena-karma
ළිපෙහි ඇවිලෙන ගිනිපෙනෙල්ලක් අතටැ ගත් ගුණතිලක උඹ තවත් හොරා කනවද අසමින් ඒ ගිනි පෙනෙල්ල බළලාගේ ඇස ඇතුළටැ එබීය. ඉහිළිය නොහැකි මර වේදනාවෙන් බළලා මොර තියද්දී තවත් ගිනි පෙනෙල්ලක් ගත් ගුණතිලක එය බළලාගේ අනෙක් ඇසෙහි තැබීය. අනේ මහත් වේදනාවකින් දුක් විඳි  බළලා ඉන් දින කිහිපයකට පසු ඉතා අසරණව මරණයට පත් විය.


මේ සිද්ධිය සිදුව මාසයක් පමණ ඉක්ම ගියේය. ගුණතිලක ගෙදර සිටියදී වැස්සක් ඇද හැළිණි. එය ඉතා ස්වල්ප වේලාවකදී මහා ධාරානිපාත වැස්සක් බවට පත් විය. දොට්ටකට පිළකට බැසීමත් අසීරුය. ගුණතිලකට පිටත යන්නට ඉඩක් නැත. නිදිමතකුත් නැත. කරන්නට වැඩකුත් නැත. කොස් ඇට ටිකක් පුච්චාගෙන කහට ටිකක් බීමටවත් හේ සිතීය. හේ කුස්සියට ගියේය. ලිප පත්තු කළේය. කේතලයට වතුර එකක් පුරවා ළිප මත තැබීය. ළිප හෝ ගා  ඇවිළෙයි. ගෙයි මුල්ලකෑ වු කොස් ඇට ගොන්නෙන් අහුරක් ගෙන ළිප තුළට දමා, සීතලේ ළිප්ගල් දෙකක දෙපා හොවා ගිනි තැප්පේය.


අභාග්‍යයෙකි. එක වරම පිලිස්සුණ කොස් ඇටයක් පොළා පැන ගුණතිලකගේ වම්  ඇසෙහි වැදි මහත් වේදනාවට පතව ඇස බදාගෙන එතැනම දඟලන්නට විය. හත්වලාමයි. තව කොස් ඇටයෙක් පොළා පැන විත් ඔහුගේ දකුණු ඇසෙහි වැදිණ. මෙසේ මහත් අභාග්‍යයක මුහුණ දුන් ගුණතිලක නොයෙක් වෙදදුරන් වෙතින් ප්‍රතිකාර ගත්තද සුවයෙක් නොලැබිණි. තවත් මාසයක් දුක්විඳ බොහෝ අනාථව ගුණතිලක මිය ගියේය.

 


අලව්ව කපුවරල එච්.ඒ. කරුණාරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය.

හිසට පොල්ලකින් පහර දී ජීවිතයක් වැනසූ පුද්ගලයෙකුට ලැබුණ අපුරු දඬුවම


සයිමන් මැදිවියේ පුද්ගලයෙකි. මොහුට තරුණ වයසේ පිරිමි දරුවෝ තුන් හතර දෙනෙකු සිටිති. එනිසාම මොහුගේ ජවය බලය ද ශක්තිමත් යැයි මොහු සිතයි. එනිසාම සමාජයේ බාහිර පුද්ගලයින් සමග නිතර ගැටෙන අවස්ථාද වැඩිය. එක්තරා දිනයක මොහු උපන් ගමට යාබද ගමේ මිනිසෙකු සමග බහින්බස්වීමක් ඇතිකර ගත්තේය. මේ අවස්ථාවට මොහුගේ තරුණ පුතුන් දෙදෙනෙක්ද සම්බන්ධ වූහ. ගැටුම උත්සන්න විය. සයිමන් නමැති මෙම පියා අනෙක් පුද්ගලයා අත් දෙකින් තදින්ම අල්ලාගෙන සිටි අතර සුනිල් නමැති එක් පුතකු විසින් ඔහුගේ හිස මතට පොල්ලකින් පහර දෙන ලදි. සිහිමුර්ණ වී බිම ඇද වැටුණු මොහු මිය ගියා යයි සිතා පියා සහ පුත්තු එම ස්ථානයෙන් පිටව ගියහ. පියවි සිහිය ලැබුණු ඔහු ඉතා අපහසුවෙන් සිය නිවස බලා පිටත් විය. මොහුට තම හිසට වැදුණු පොලු පහර නිසා රෝගාතුර විය. රෝහල් ගත වූ මොහු ටික කලක් රෝහලේ සිට තම නිවසට පැමිණියේය. නමුත් හිසෙහි වු තුවාලය හරිහැටි සුව නොවූ මොහු අවුරුදු කිහිපයක්ම අනේක විධ දුක් කරදර විඳිමින් සිට අවසානයේදී මිය ගියේය. මෙහි හරවත්ම කොටස ඉන්පසු සිදු විය. එය මෙසේ සටහන් කරමි.


රෝගාතුර වී මිය ගිය පුද්ගලයාගේ හිසට පහර දුන් සුනිල් නමැති තරුණයා රැකියාවක් කළ අයෙකි. දිනක් මොහු රැකියාවට නොගොස් ගෙදර නතර විය. මෙදින ඉදල් සෑදීම සඳහා කෝටු සපයා ගැනිමට පුවක් ගස් කිහිපයක් කපා ගැනීම සඳහා යාමට පැමිණි තරුණයෝ පිරිසක් මෙම සුනිල්ටද කතා කළහ. රැකියාවෙන් දිනකට උපයන මුදලට වඩා වැඩි මුදලක් සොයා ගැනීමට පුළුවන් යයි සිතූ සුනිල් ඒ සඳහා කැමති විය. මෙම පිරිස ට්‍රැක්ටරයට නැගී පුවක් ගස් කැපීමට යාමට සමත් විය. පුවක් ගස් කිහිපයක් කපා බිම හෙලු මෙම පිරිස එක්තරා මෝරපු පුවක් ගසක් කපා බිම හෙලීමේදී එම පුවක් ගස කැරකී ගොස් ප්‍රතිවිරුද්ධ පැත්තේ සිටි සුනිල්ගේ හිස මතට පතිත විය. වහා ක්‍රියාත්මක වු අනෙක් පිරිස මොහු රෝහල් ගත කළ නමුත් ජීවිතක්ෂයට පත්විය. ටික කලකට ඉහත දී රෝගාතුර වී මියගිය පුද්ගලයාගේ හිසට පොල්ලකින් පහර දුන්නේද මොහුය. ඒ ආකාරයෙන්ම මොහුගේ හිස මතටද පුවක් ගස වැටුණේ කළකම් ඒ විදියටම පළ දෙන හැටි ලෝකයාට පෙන්නුම් කරමිනි.


ඊළඟ පියවර ඊටත් වඩා විස්මය ජනක සිදුවීමකි. එය මෙසේ සඳහන් කරමි. කළින් මියගිය පුද්ගලයා තදින් අල්ලා ගෙන සිටි සයිමන් නමැති මෙම පියාටද අතේ ඇඟිලිවල ආබාධයක් ඇති විය. පසුව මොහුගේ අත් දෙකේම මැද ඇඟිලිවල පුරුක් හොඳටම නරක් විය. මෙම කියන පුද්ගලයාද  මම හොඳින් දන්නා අඳුනන අසල්වැසි ගමක අයෙකි. එක්තරා දිනයක මා මෙම අසනීපය ගැන ඔහුගෙන් විමසුවෙමි. ඒ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ මෙම ඇඟිලි වලට ආ ආබාධය වෛද්‍යවරුන්ටද සොයා ගැනීමට නොහැකි වු රෝගයක් බවය. කෙසේ හෝ පසුව මොහුට සිදු වුයේ අත් දෙකේම  ඇඟිලි සියල්ලම කපා ඉවත් කිරීමෙන් පසු පූර්ණ ආබාධිත මිනිසෙකු වශයෙන් රෝහලින් නිවසට පැමිණීමත් මේ හේතුව නිසාම අනේක දුක් කරදර විඳ අවසානයේදී ඔහු මිය ගියේය. කෙනෙකුට පහර දීමට හැකිවන සේ තදින් අල්ලාගෙන සිටීම නිසා මොහුගේ අත්දෙකට හානි වී අවසානයේදී ජීවිතයද නැති විය. මොහුගේ සුනිල් නමැති පුතා පොල්ලකින් හිසට පහර දී තවත් මිනිසෙකු ජීවිතක්ෂයට පත් කිරීමේ පාප කර්මය නිසා මොහුගේ පුතාගේ හිස මතටද පුවක් ගසක් වැටී ජීවිතය විනාශ වුයේ ඒ ආකාරයෙන් කළ කම් පළදෙන හැටි ලෝකයාට පෙන්වීම සඳහාය. මෙය අලව්වට නුදුරු ගමක සිදු වු සත්‍ය කතාවකි.

 


මතුගම පාන්තිය පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.


නයි හාමිගේ එක පහරින් කපා හෙලු ගසක් මෙන් බිම ඇද වැටුණු චණ්ඩි ජෙමා මිය ගියේ ඔහු කරන ලද අකුසල්වල හේතුවෙනි
දශක කීපයකට පෙර දැනට මෙන් ගමේ ගොඬේ කළබලකාරී පරිසරයක් නොතිබුණි. පවට බිය වූ පිනට දහමට ළැඳිවූ ගම්බද ජනතාව කුඹුරු ගොවිතැන් බත් සමග තම වතුපිටිවල එළවළු පලතුරු අල බතල ආදී තම තමන්ට අවැසි කරන බව භෝග වගා කරගෙන කොයි කවුරුත් බෙදා හදාගෙන කා බී සතුටින් සමගියෙන් හා නිදහසේ ජීවත් වූ බව නොරහසකි. කල් යෑමේදී වැඩිවෙන ජනගහණයක් සමග සියල්ල කණපිට පෙරළී රුපියල් සත දේවත්වයේ ලා සලකා “බල්ලො මරා හෝ සල්ලි සොයා ගැනීමට රෑ දවල් වෙහෙසී සෑම පැනයකට ක්ෂණික විසඳුම් සොයන විවෘත ආර්ථික රටාවක් තුළ ජනයා ජීවත් වීමට හුරු පුරුදු වීමෙන් මේ වන විට සියල්ල අවුල් ජාලයක් වී ඇත.” “පැණිවරකාගහටත් හෙණ  ගහන්නාසේ” එදාද ගමේ ගොඬේ පාපතර අසත්පුරුෂ දුර්ජනයන් නොසිටියා නොවේ.


“වැස්සකටවත් පාසලකට නොගිය” ගමේ හොර මැර කම්, චංඩිකම්, සල්ලාලකම්, කරන ගමටම කොඩි විනයක් වූ ජෙමාද එවැන්නෙකි. හැන්දෑ කාලයේ කට ගොන්නක් බීගෙන අමුතිත්ත කතාවෙන් කාට හෝ බැණ වඳින බැරි අහිංසකයින්ට පහර දී වීරයෙක් වීමට දඟලන මොහුගේ නමට මුලින් “චන්ඩි ජෙමා” යනුවෙන් නමක් පට බැඳීමට වැඩි කාලයක් ගතවුණේ නැත. වතුපිටිවල කෙසෙල් කැන් කපා එළුවන්, කුකුලුන්, හොරකම් කිරීමෙන් ඇරැඹි චණ්ඩි ජෙමාගේ හොර මැරකම් මේ වන විට ගෙවල් බිඳුම් හා හරක් හොරකම් ආදිය දක්වා වැඩි වුණත් මේ දක්වා චණ්ඩි ජෙමාගේ හිස මත පාත් වුණා “හෙණයක්”  තබා ඔහුට ඉහෙන් බහින රෝගයක් වත් හැදුණේ නැත. තමාගේ සියතින්ම මරණ ලද සතා සිපාවාගේ මස් කන සුරා සූදුවේ ගැලෙන චණ්ඩි ජෙමාට විරුද්ධව ඉදිරියට එන්නට ගම්මු  බිය වුණේ ඔහුගේ දඩබ්බරකම නිසාය. ඔහුට විරුසක වී ගමේ යහතින් ජීවත් විය නොහැකි බව කොයි කවුරුත් දන්නා කරුණකි.

ගමේ ගොඬේ හොරකමක් හෝ නොසංඩාල වැඩක් චණ්ඩි ජෙමා සිදුකළ විටකදී ගමේ දේවාලයට ගොස් වරදට දඬුවම් ලබා දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටීම ගැමියන්ගේ පුරුද්දක් වී තිබුණි. මේ අතර ගමේ ගෙදරකට “නයෙක්” ඇතුළු වී සිදුවුයේ මහත් ජංජාලයෙකි. භූමිතෙල් ඉස හෝ විෂදුම් අල්ලා මන්තර මතුරා “නයා” ගෙයින් එළියට ගැනීමට කෙසේවත් කළ නොහැකි දෙයක් විය. මේ අතර බීමත්ව ගම පුරා ඇවිදිමින් සිටි චණ්ඩි ජෙමා ද එහි පැමිණියේ අහම්බෙනි. ගෙතුළ නයා සොයමින් සිටි ගැටවරයින් එහාට මෙහාට කරමින් නිතරම වීරයෙක් වීමට දඟලන චණ්ඩි ජෙමා, ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතා “මම නයාව අල්ලා එළියට විසි කරනවා” යයි පුරසාරම් දොඩා නයා සොයන විට දොර මුල්ලේ දරණ ගසා කේන්තියෙන් පෙණ ගොබය පුප්පාගෙන සිටි නාගයා දක්නට ලැබුණි. වෙරිමරගාතේ  සිටි චණ්ඩි ජෙමා ඌ වෙත ලංවී වල්ගයෙන් අල්ලා ගත්තා පමණි. වියරු වැටී සිටි නයි හාමිගේ එක පහරින් කපා හෙලූ ගසක් පරිද්දෙන් බිම ඇද වැටුණු “චණ්ඩි ජෙමා” මිය පරලොව ගියේ ඔහු මෙලොවදීම කරන ලද අකුසල් වල හේතුවෙන් බව දැනටත් ගම්වැසියන් පවසන්නේ ඔහුට ශාප කරමිනි.

lankadeepa.lk


o