Ads here
340 x 60
Rs. 5000/-
18 Views  
ආදි කාලෙ පවුල් කෑ සැටි

ජීවත් වෙනවා’ යැයි කියන්නේ කුමක්ද? මේ ප්‍රශ්නයට නොයෙක් දෙනා නොයෙකුත් පිළිතුරු සපයති. නමුත් පරම සත්‍යවූ පිළිතුරකට ඇත්තේ එකකි. එනම් ‘පරිභෝජනය කරනවා’ යන්නයි.

මේ එකම පිළිතුර තරමක් සංයුක්ත එකක් බව පෙනේවි. ඒත් ඒ සංයුක්තකම වියුක්ත කළාම අපට ආතාමුත්තා කාලෙටම ගිය හැකිය.

අප හැමෝම කරන්නේ කන-බොන, අඳින, පලඳින ගමන් යන-එන එකය. ඉඳිකටුවේ සිට තුවක්කු බයිනේත්තු දක්වාම අපි නොයෙක් දේවල් පරිහරණය  කරමු. කනබොන දේ පරිභෝජනය කරමු. අතොරක් නැත. ඒ අප මිසක මම නොවෙමි. එනම් පරිභෝජනයේ හා පරිහරණයේ යෙදෙන්නේ තනිපංගලමේ නොවේ. තව කෙනෙකු ඕනෑය. සාමූහිකවය. එබැවින් මිනිසා සාමූහික සත්ත්වයෙකි.

අපි තව පැත්තකට හැරෙමු. ස්වදේශිකයෙකුගේ ‘ආදරය’ එක් රැස්වන කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ ‘පවුල’ යැයි විදේශික විද්වතකු වන ‘ඬේව්’ ලියූ පොතක සඳහන් වේ. එසේනම් අද අතුරුදන් වී ඇති ‘ආදරය’ අප සොයාගත යුත්තේ ඈත එපිටිනි. එනම් අපේ වැඩවසම් කාලෙනුත් එපිටිනි.

සිංහලයන් අතර තරම් ‘අවංක හා දැඩි සුහද’ පවුල් සම්බන්ධකම් ඇත්තේ මනුෂ්‍ය සමාජ අතරෙන් ඉතාම ටිකක බව දකින ‘ඬේව්’ ඒ සම්බන්ධකම් දුර්වල කිරීමට හෝ වෙනතකට යොමු කිරීමට තුඩු දෙන හෝ කිසිවක් නැති බවද සඳහන් කරයි.

සිංහල සමාජයේ ඒකකය ලෙස සැලකුවේ පුද්ගලයා නොව පවුලයි. එය මුල්බැස ඇති මතයකි. ආතා මුත්තා කාලේ කතා බහකට මා සමඟ සම්මුඛ වී සිටින මේ මානව සම්පත බස්නාහිර පළාතේ හිටපු සෞන්දර්ය අධ්‍යක්‍ෂවරයාය. වියපත් පාර්ශ්වයට ජීවිතය පහන්වෙන මේ දෘශ්‍ය කලා ආචාර්යවරයා සමාජ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික ශානර කෙරෙහි ආශක්තය. සවිඥානිකය. මේ ඔහු කියන කතා. “ඒ වැඩවසම් කාලෙට කලින් යුගයේ විවාහ සම්බන්ධතාය. ඒ තරම් දැඩි කොට සැලකුණේ නැහැ. සම්බන්ධකමක් ‘ඉඟියකින්’ පටන් අරං පයින් ගහලා ඉවරකරන්න පුළුවනි යැයි කියමනක් තියෙනවා”.

ස්ත්‍රී පුරුෂ පක්‍ෂ දෙකම තම තමන්ගේ සිතැඟි අනුව ‘තැන්පත් ජීවිතයකට’ එන්න පෙර සාමාන්‍යයෙන් හතරපස් වතාවක්ම විවාහ වන බව නොක්ස් මහත්තයා ලියලා තියෙනවා. ඒවා ලිහිල් ලිංගික සම්බන්ධකම්. විවාහය බලවත් නෑ. නීති ගරුකත් නෑ.

ඒ කාලෙ මිනිස්සු තමන්ගෙ බිරියට විතරක් නෙමෙයි බිරියන් කෙරෙහිත් ඊර්ෂයා කළේ නැහැ. වනිතාවන්, රටේ උසස් යැයි සම්මත වුණා. තමන්ගෙ මිනිසා ඉස්සරහම ගෑනු තමතමන් කැමැති මිනිසුන් එක්ක කතාබහ කළා බිය සැක නැතිව.

ඒ කාලෙ මේ රටේ නීතියෙන් බලය ලැබූ ගණිකා නිවාස තිබුණෙ නැහැ. ඒ වුණත් මේ වෘත්තියේ යෙදුණු අය නගරයේ බොහෝම හිටියා. නොයෙකුත් වතාවල ඒ අයට දඬුවම් විදිහට කසපහර ලැබුණා. කන කැපුවා. හිස මුඩු කළා. ඒ වගේම දරුණු වධ බන්ධනත් දුන්නා සෑහෙන්න.
විවාහ දිවියක් අවුල් වුණා නම් අවුල් වුණේ ලිංගික සම්බන්ධතා කඩ වීමෙන් නොවන බවටයි ආචාර්යතුමා සොයාගෙන තිබෙන්නේ. එහෙම නේද? මම මෙතෙක් අසාසිටි ඉරියව්ව වෙනස් කොට ඇසුවෙමි.

“ඔව්. ඒක බුහුමන් ලබපු කටයුත්තක් නෙමෙයි. අද වාගෙ. ඒක මනුෂ්‍ය ජීවිතේ සිද්ධවෙන සාමාන්‍ය වගේම නොවැළැක්වියහැකි කටයුත්තක්. 18 පිරුණු ගමන්ම ‘වැඬේ’ පටන්ගන්නවා. ඒ කියන්නෙ කසාද බඳිනවා. වයසට ගිය ගෑනු හිටියෙ නැහැ”.

උඩරට පුරා පැතිරිලා තිබුණු බහුපුරුෂ සේවනය ගැන යුරෝපීයයන් සංස්කෘතිකව ගැටුණා. ඒ ගැටීම් සියවස් එකහමාරක් විතර දිගු වුණා. ඒත් ඊට පස්සෙත් මුහුදුබඩ පළාත්වල තිබුණා. පරංගි රට අල්ලාගත් අවධියේ මෙහි පැමිණි සිංහල විවාහ ක්‍රම ගැන රයිබීරෝ නම් ලේඛකයා මෙහෙම කියනවා.


“ඔවුන්ගේ විවාහ කිසි වැදගැම්මකට නැති දෙයක්. තරුණියක් තමාගේම කුලයේ තරුණයකු සමඟ සම්මුතියක් ඇතිකරගන්නවා. නෑදෑයන් ඒ විවාහයට එකඟ නම් භෝජන සංග්‍රහයක් පවත්වලා තරුණ ගිවිසගත් යුවළ සම්බන්ධ කරනවා. ඊළඟ දිනයේදී පුරුෂයාගේ තැන සොහොයුරෙක් ගන්නවා. පුරුෂයාට සොහොයුරෝ හත් දෙනෙක් හිටියොත් අර ස්ත්‍රිය හත්දෙනාගෙම බිරිය වෙනවා. පුරුෂයාට අනෙක් සොහොයුරන්ට වඩා වැඩි අයිතියක් නොලැබෙන විදිහට රාත්‍රියෙන් රාත්‍රිය එකිනෙකා ගැහැනිය බෙදාගන්නවා. දවල් වෙලාවක ඇගේ කාමරය හිස්ව තිබෙන බව දැක්කොත් ඔවුන්ගෙන් කාට වුණත් ඈ සමග යහන්ගත වෙලා ඉන්න පුළුවනි. ඔහු කාමරය ඇතුළේ සිටින තෙක් වෙන කාටවත් ඒකට ඇතුළු වෙන්න බැහැ. ඇයට ඔවුන්ගෙන් කිසිවෙකුව ප්‍රතික්ෂේප වෙන්නත් බැහැ. ඈ සමඟ විවාහ සම්මුතියේ ඉන්නේ කොයි සහෝදරයා වුණත් ඈ ඒ සහෝදරයන් හැමෝගෙම බිරිය වෙනවා. එහෙත් බාලම සහෝදරයා විවාහ වෙලා පවුල් කනකොට කිසිම සහෝදරයකුට බාලයාගේ බිරියට අත තියන්නවත් බැහැ. ඒ වුණාට ඔහුට කැමති නම් කැමති විටක අනෙක් ඕනෑම සහෝදරයකුගෙ බිරියක් එක්ක යහන්ගත වෙන්න පුළුවන්. ඒක අයිතියක්.

සියල්ලන්ම ගොවිතැන් කළා. එයින් උපයන දේවල්වලින් වැඩි වැඩියෙන් ගෑනිට ලැබෙන නිසා තමයි වාසනාවන්ත වුණේ. මේ හේතුව නිසා දරුවන් ඒ සේරටම කීවෙ තාත්ත කියලා. ඒ කියන්නෙ දරුවකුගෙන් තාත්තා කෝ කියලා ඇහුවාම තාත්තලා ගොඩාක් පෙන්වනවා. අම්මා කෝ කියලා ඇහුවම එක අම්මා පෙන්වන්න පුළුවනි. කිසිම අවුලක් නැහැ.

නුවර සමය වෙන තුරුම මේ බහු පුරුෂ සේවනය තිබුණු බව සැලකෙනවා. ක්‍රි.ව. (1509-28) රජුගේ ‘එක කුස උපන් මැණික් කඩවර උන් ශ්‍රී රාජසිංහ රජ්ජුරුවෝත් විජයබාහු රජ්ජුරුවොත් බාල කාලේ සිට එක දෝළිය සරණපාවාගෙන ඉඳලා තියෙනවා. එක ගෙයි ඉන්න වෙලාවේ දෙදෙනාට දාව වැදූ කුමාරවරු තුන්දෙනෙක් ඉඳලා තියෙනවා. උඩරැටියන් මේ චාරිත්‍රය හැඳින්වීමට යෙදූ පදය තමයි ‘එකගෙයි කනවා’ කියන්නෙ. නමුත් බිරියන් ඔවුන් සියලු දෙනාගේම බිරිය කියලා කිව්වෙ නැහැ. හැංගුවා. ඒ වෙනුවට ඈ කියන්නේ, ‘මං ඒ දෙතුන් දෙනාටම බත් උයා දෙනවා’ කියලයි.

මේ බහු පුරුෂ සේවනය එක් කුලේකට පැළැන්තියකට සීමා වුණ එකක් නෙමෙයි. උසස්, පහත්, දුප්පත්, පෝසත් කා අතරත් බහුපුරුෂ සේවනය පොදු වුණා. දුප්පත් මිනිස්සු වෙන වෙනම විවාහ වෙලා පවුලේ නඩත්තුව ගෙන යෑමට අපොහොසත් වූ නිසාත්, උසස් පැළැන්තිවල හා ධනවත් පවුල්වල අය එවැනි එකතුවීමක් දේශපාලන අතින් වැදගත් වූ නිසාත් බහු පුරුෂ විවාහ ඇතිකරගත්තා කියලා කියන්න පුළුවන්. එයින් වුණේ පවුල් එක්සත් වුණු එක. දේපළත් බලයත් ඒකරාශි වුණ එක. දරුවන්ට යහපතක් වුණ එක. ඒ කියන්නේ තාත්තලා දෙන්නෙකු සිටින දරුවන්ට වැඩි සැලකිලි ලැබෙනවාය කියන එකයි. එක තාත්තා කෙනෙකු නැති වුණොත් තවත් තාත්තා කෙනෙකු ඉතිරි වෙනවා. ඒකයි බහු පුරුෂ විවාහ ක්‍රමයේ වැදගත්කම.


ඒ කාලෙ තිබුණෙ විස්තෘස, විසිරුණු පවුල්. අද ඒක උපරිම වශයෙන් න්‍යෂ්ටිගත වෙලා. ඉස්සර අපේ එකා, අද මගේ එකාම වෙලා. ආදරය අතුරුදන් වෙලා. ඉස්සර කවුරුහරි ඇඬුවොත් ඒ හුඟ දෙනෙක් වෙනුවෙන්. අද අඬන්නෙ තමන්ගෙ මොකක් හෝ, මොකෙක් හෝ නැති වුණාම විතරයි. මේ බංකොලොත් ධනේශ්වර පලවිපාක තමයි.


පියසිරි ජයතිලක උග්‍ර මාක්ස්වාදියකු බව මම දැන සිටියෙමි. ඔහු කියා සිටින්නේ අප වර්තමානයේ ජීවත්වෙනවා නම් අප අතීතයේ ජීවත්වුණු සැටි අනිවාර්යයෙන් සොයා ඉගෙනගත යුතු බවයි. අද ‘සෙක්ස්’ නමින් වචනයක් සමාජගත වී තිබුණාට ආතා මුත්තා කාලේ එහෙම වචනයක් වත් අසභ්‍ය යැයි වෙන්වූ ක්‍රියාවක්වත් තිබුණේ නැති බවයි පියසිරි ආචාරිතුමා කියා සිටින්නේ.


එතකොට බහුපුරුෂ විවාහ ක්‍රමය නිසා ඉඩම්වලට වුණ දේත් අපි කතා කරමු නේදැයි මම පියසිරි ගුරුතුමාට යෝජනා කළෙමි.

‘ඔව්. බහු පුරුෂ විවාහ ක්‍රමය නිසා ප්‍රවේණි දේපළ විසිරියාම හුඟාක් දුරට අඩු වුණා. සැකයක් නැහැ. සහෝදරයන් තුන් දෙනෙකු එක හවුල් බිරියක් තබාගැනීමෙන් දරුවන් හතර දෙනෙකු ලැබුණොත් දේපළ සපයන්න වෙන්නේ හතර දෙනෙකුට පමණයි. ඒ වුණාට ඔවුන් තුන්දෙනා වෙනවෙනම විවාහ වුණා නම් දරුවන් දොළොස් දෙනෙකුට අයිතිය බෙදී යනවා. මේ නිසා බහු පුරුෂ විවාහයක් ඇති වූ විට මව්පියන්ගේ ඉඩම් නොබෙදා දරුවන් හතර දෙනාටම පොදුවේ භුක්ති විඳින්න ඉඩ ලැබෙනවා. ඒ වගේම බහු පුරුෂ විවාහ ක්‍රමයත් රාජකාරියත් අතර සම්බන්ධකමක් තිබුණා.

රාජකාරි ක්‍රමය නිසා බොහෝ දෙනෙකුට පොදු සේවා කටයුතු සඳහා නිවසින් බැහැරට යන්න වෙනවා දවස් ගණනක්. මේ නිසා වරකට මාස ගණනක් පවුලේ වැඩ කටයුතු කරන්න කවුරුවත් නැති වෙනවා. එක් කෙනෙකු පොදු සේවයට ගියාම ගෙදර සිටින සහෝදරයන් කුඹුරු ගොවිතැන් කරමින් හවුල් බිරිය සහ දරුවන් රැක බලා ගන්නවා. ඒක සාමාන්‍ය සිරිතක් වෙලා තිබුණා.

එක් සහෝදරයකු විවාහ වී සිටියදී පොදුවේ ඉඩම් භුක්ති විඳින, තවත් සහෝදරයන් දෙදෙනකු හෝ වැඩි දෙනකු ඒ මුල් ගෙදරම ජීවත්වන, ඔවුන් අතර එවැනි විවාහ ක්‍රමයක් තිබුණු බවට සලකුණක් විදිහට සැලකීම නුවර යුගයේ කෑ පවුල්වල බහු පුරුෂ සේවනය කොයිතරම් ප්‍රචලිතව තිබුණාදැයි කිවහැකි තරම් වෙනවා.

නෑනා කෙනෙකු සම්පූර්ණයෙන් වැඩුණු සිය මස්සිනාගේ හිස පීරමින් ඉන්නවා දැක්කොත්ම ඒ ඔහුගේ බිරිය විදිහටයි සලකුණු දිස්වුණේ.
බහු පුරුෂ විවාහ හැර ‘මිනිසුන් දෙතුන් දෙනෙකු බිරියන් දෙතුන් දෙනකු පොදුවේ තබාගැනීම සුලබ සිරිතක් බව නීති නිගණ්ඩුව’ පොතේ සඳහන් වෙනවා.

සහෝදරයන් කිහිප දෙනකු එක් බිරියක තබාගෙන සිටින හා සෙසු අය වෙන වෙනම විවාහ වී සිටින නිවසේ පැවැති සහෝදර හැඟීම කොයිතරම්ද කීවොත් එක් සහෝදරයෙක් තම බිරිය තමාටම අයිති වස්තුවක් විදිහට සැලකුවේ නැහැ. තමාට අයිති දේ තම සහෝදරයන්ටත් අයිති බව සැලකුණා අප්‍රකටව.

පසුගිය සියවසේ අන්තිම හරියේ බහුපුරුෂ විවාහ නීතියෙන් තහනම් කළාට පස්සේ එක් සහෝදරයකුගේ නමින් ලියාපදිංචි කොට අනෙක් අනෙක් සහෝදරයන්ද ඇය බිරිය විදිහට තබාගත් බව උඩරට විවාහ ආඥා පනතේ 1856 අංක 13 යටතේ පවරන ලද දික්කසාද නඩුවලදී හෙළිදරවු වෙලා තිබෙනවා.

එක් සහෝදරයකු මුල් ගෙදරට තවත් බිරියක ගෙන ආ විට බහු පුරුෂ තත්ත්වය සමූහ විවාහ තත්ත්වයකට සියුම් අන්දමින් පෙරළිලා එක නඩුවක මෙහෙම ප්‍රකාශයක් නිකුත් වෙලා තියෙනවා.

‘ඔහුට ඔහුගේම බිරියක සිටින මුත් ඒ අතරම ඔහුගේ සහෝදරයන්ගේ බිරියන් සමඟද සහවාසයේ යෙදුණේය. ඇත්ත වශයෙන්ම සහෝදරයන්ගේ බිරියන් හතර දෙනා සමග (සහෝදරයෝ පොදුවේ සංවාසයේ යෙදුණහ)’ නෑනා-මස්සිනා විවාහ ප්‍රචලිත වූ නිසා සමූහ විවාහයට අයත් බිරියෝ දෙදෙනා බොහෝ විට සහෝදරයන්ගේම වෙලා තිබුණා.

අන්තිමට පියසිරි ජයතිලක සූරීන් මට කීවේ සිංහල ඥාති ක්‍රමය හැදුණු හැටිය. ඒ මෙසේය.

ඒක වෙනම කඩ ඉමක්.

පළමුවෙනි පරම්පරාව අත්තා, මුත්තා.
මුත්තා - පියාගේ පියා, මවගේ පියා
ආත්තා (ආච්චි) - පියාගේ මව, මවගේ මව
2 වැනි පරම්පරාව:-
මාමා - මවගේ සහෝදරයා - බිරියගේ පියා
පියාගේ සහෝදරියගේ සැමියා.
නැන්දා - පියාගේ සොයුරිය - බිරියගේ මව
මවගේ සොහොයුරාගේ බිරිය
අප්පා, අප්පච්චි, පියා, ලොකු තාත්තා - තමාගේ පියා.
පියාගේ වැඩිමහල් සහෝදරයා,
පියාට වැඩිමල්වූ පියාගේ සමාන්තර - ඥාති සහෝදරයා,
මවගේ වැඩිමහල් සහෝදරියගේ සැමියා.
කුඩප්පා (බාප්පා) - පියාගේ බාල සොහොයුරා,
පියාට බාල පියාගේ සාමාන්තර ඥාති සොහොයුරා,
මවගේ බාල සොහොයුරියගේ සැමියා
අත්තාට හා අත්තම්මාට පෙර පරම්පරාව මී මුත්තා මී අත්තා යනුවෙන්ද හඳුන්වමි.
අම්මා (මව)  - තම මව
ලොකු අම්මා - මවගේ වැඩිමහල් සහෝදරිය.
පියාගේ වැඩිමහල් සොහොයුරාගේ බිරිය.
කුඩම්මා (පුංචි අම්මා)  - මවගේ බාල සොහොයුරිය
පියාගේ බාල සොහොයුරාගේ බිරිය
කුඩම්මා - පියාගේ දෙවැනි බිරිය
මේ තුන්වන පරම්පරාවයි.
නෑනා - මවගේ සහෝදරයාගේ දුව
පියාගේ සොහොයුරියගේ දුව
බිරියගේ සොයුරිය
මස්සිනා - පියාගේ සොහොයුරියගේ පුතා
මවගේ සොහොයුරාගේ පුතා
බිරියගේ සොහොයුරා


එකල නෑනාට මස්සිනා අවශ්‍යය. ඒ නිසා ‘ඇවැස්ස’ නම භාවිතයට පැමිණ තිබේ. ඇවැස්ස නෑනලා වූයේ එසේය. නෑනා මස්සිනා විවාහවලින් ජාන විකෘති වීමෙන් දරුවන් උපදින බව නවීන විද්‍යාවෙන් කියැවෙතත් ආදරයක් හටගත්විට ඒ කිසිවක් අහලකටවත් වද්දාගන්නට නෑනලා මස්සිනාලා වග බලා ගනිති.

අපි මුලින්ම ප්‍රාග් මිනිසකු වීම, ඊළඟට වහලුන් වී සිටියෙමු. ඊට පසු පැමිණියේ වැඩවසම් සමයයි. එකල කුලයට තැන ලැබිණ. චින්තනය පසුගාමී විය. අදද සමාජය වැඩවසම් ලක්‍ෂණ සහිතය. එය ගෙවී ගොස් තුන් ජාතියකට යටත් වී සිටියෙමු. දැන් අප කිසිදු ජාතියකට යටත් නැතත් යටත් විජිතවාදී ලක්‍ෂණ නොඅඩුව පවතී.

වාණිජයක් එකල නොවිණ. කලාවත්, විද්‍යාවත් අද තරම් නොදියුණු නැතත් එකල තිබිණ. වාණිජ්‍යය නැති තැන ‘ආදරය’ නොඅඩුව තිබිණ. ‘කොමර්ස්’ හෙවත් වාණිජය ආ සැණින් ආදරය අතුරුදන්විය. අද ආදරය සොයන්නකුට ඊට සිදුවූ අගතිය වටහා ගත හැකිය. එසේ නම් ආදරය යනු කුමක්දැයි අපට කියාදෙන්න. මම අවසානයට ඇසුවෙමි.

“ආදරය යනු කොන්දේසි විරහිත පරිත්‍යාගයයි. එය අප රටේ ජීවත්වූ සාලිය-අශෝකමාලා දෙපළ වැනි ආදරණීය ආදරවන්තියන්ගෙන් තවදුරටත් අසා දැනගත හැකියි”.

අද ආදරයක් නැත. ඇත්තේ කොන්දේසි පමණි. පවුල් කෑ යුත්තේ කොන්දේසි සමගය. 

lankadeepa.lk


o