Ads here
340 x 60
Rs. 5000/-
18 Views  
පීනන්න සල්ලි හොයන්න ඇදගෙන නාපු ඉලන්දාරියා

ඕනෑම දෙයක් ඕනෑවට වැඩියෙන් ඕනෑ නැහැ කියන කතාව මට තේරෙනකොට වෙන්න ඕනෑ ඔක්කොම මගේ ජීවිතේට වෙලා ඉවරයි. කොටින්ම කියනව නම් පෙරහැර ගිහින් ඉවරයි” කී ජනක හිස් අහස දෙස බලා සුසුමක් හෙළුවේ තමා ගෙවූ මේ ජීවිතය ද හිස් අහස මෙන් යැයි සිතමිනි.

ඉරිදා ලංකාදීපයේ රසවිත වෙනුවෙන් දිග හැරෙන වෙරළේ පෙම් කතාව වෙනුවෙන් ජනකගේ කතාව කියන්නට ඔහු කැමති කරවා ගත්තේ වෙරළේ අප මිතුරකුගේ මාර්ගයෙනි.


“ඔයා ලියන කතා පෙළ මම කියෙව්වා. අපේ ගොඩාක් අයට ඒ කතාවලින් තමන්ගේ ජීවිතවලට ගන්න දේවල් තියනවා. මගේ ජීවිතේ දැන් ආපහු අලුතින් පටන් ගන්න බැහැ. ඒක හීනයක් විතරයි.

ඒත් මේ කථාව කියවල කවුරු හරි මං වැටුණු වළේ නොවැටෙනව නම්... මගේ හිතට ලොකු සහනයක්. පිනක්. මගේ ජීවිතේ විනාශ වුණා. කමක් නැහැ... මම දැන් හිත හදාගෙන ඉවරයි” යයි ජනක කීවේ මුහුදේ බැස ගිලී යාමට ලක ලෑස්තිවී සිටි හිරු දෙස බලමිනි.

දකුණේ දෙස්, විදෙස් ප්‍රකට සංචාරක පුරවරයක උඩුමහලේ බැල්කනියේ තබා තිබූ වේවැල් පුටුවක වාඩිවී මා නොඉවසිල්ලෙන් සිටියේ, ජනක කියන ඔහුගේ කථාව ඇසීමටය.

“කලින් ආපු එක හොඳයි...” කියමින් ජනක ද අසල තිබූ පුටුවක් තමා දෙසට ළං කරගත්තේ තම සිත අතීතය වෙත දිව යවමිනි.

“අපි ජීවත් වුණේ හරිම අමාරුවෙන්. අපේ තාත්තා කළේ එළවළු වෙළඳාම. ඒක මහලොකු බිස්නස් එකක් නෙවෙයි. එදාට ජීවත් වෙන්න තාත්තා කීයක් හරි හොයා ගත්තා. අයියලා දෙන්නයි මායි නංගියි. ඔයාට මතකද දන්නේ නැහැ අපේ තාත්තා එළවළු කද කරේ තියාගෙන උදේ ඉඳන් හවස් වෙනකම් ගමක් ගානේ වෙළඳාමේ ගියා.

තාත්තා හරිම අහිංසක චරිතයක්. තාත්තා කතා කළේ හරිම අඩුවෙන්. අහන දේකට උත්තරයක් දුන්නා මිස වැඩි යමක් අපි එක්ක තියා අම්මා එක්කවත් කතා කරනවා අපිට ඇහිලා නැහැ. දවසක් වෙළෙඳාමේ ගියාම තාත්තා දවස් දෙකක් ගෙදර නවතිනවා. තාත්තාට පපුවේ අමාරුවක් තිබුණා.

වෙළඳාමේ ගිහින් ගෙදර එන තාත්තා බීඩි සුරුට්ටු එහෙම නිතර බිව්වා. ඒ නිසා වෙන්නැති රෑට නින්දට ගිය වෙලාවේ ඉඳල එළිවෙනකම්ම එක දිගට කැස්ස.
අම්මා එළිවෙන පාන්දර තුනට හතරට නැගිටලා කඩයප්පන් හදල හංදියේ කඬේට යවන්නේ මගේ අතේ. මම ඉස්කෝලේ යන්න කලින්, කඩයප්පන් වට්ටිය අරගෙන කඬේට දුවන්නේ කූඩුවෙන් නිදහස් වෙලා එළියට ආපු කුරුල්ලෙක් වගේ.

අපි ඔක්කොම පැදුරු දාගෙන සාලේ බිම නිදා ගත්තේ. අපේ ගෙදර විතරක් නෙවෙයි ඒ කාලේ අපේ ගමේ ගෙවල්වල රෑට පත්තු කළේ කුප්පි ලාම්පුව. එහෙමත්ම ගෙදරක තමයි චිමිනි ලාම්පුවක් හරි ප්‍රැට්‍රෝමැක්ස් ලාම්පුවක් තිබුණේ.

මොනව හරි දෙයක් හදාගෙන කාලා වේලහනින්ම අපි නින්දට යන්නේ භූමිතෙල් වියදම අඩු කරගන්න.

භූමිතෙල් ලාම්පු දැල්ල වැදිල මේසය ළඟ බිත්තිය කළුවෙලා. ජීවිතේ ගෙනියන්න කොච්චර ප්‍රශ්න තිබුණත් අපිට එදා වැටුණ ගමන් නින්ද ගියා. හිතේ කිසිම බරක් තිබුණේ නැහැ. කීයක් හරි හොයාගෙන මොනව හරි තම්බගෙන කාලා එක අතකින් මාර නිදහස් ජීවිතයක් එදා අපි ගෙව්වේ.

මට හොඳට මතකයි ඉස්කෝලේ යන්න හරිහමන් කලිසමක් ෂර්ට් එකක් අපිට තිබුණේ නැහැ. එකම එක කලිසම ෂර්ට් එක හෝද හෝදා ඇන්දා. අනික අද වගේ ස්ටීම් අයන් තිබුණේ නැහැ.

සමහර වැස්ස දවස්වලට උදේට ඇඳන් යන්න කලිසම් ෂර්ට් එක වේළිලා නොතිබුණාම අම්මා කරන්නේ පොල්කටු දෙකතුනක් ලිපට දාලා ගිනිපත්තු කරලා පරෙස්සමෙන් ඒ ගිනි රස්නෙන් ෂර්ට් එක කලිසම ටික හරි වේලාගන්නවා. පොල්කටු දාලා රත්කරන කළුපාට ලොකු ස්ත්‍රික්කයක් තිබුණේ අපේ කඬේ නැන්දලාගේ ගෙදරයි, තව ගෙවල් දෙක තුනක විතරයි. ඒක ඉල්ලගන්නේ මඟුල් ගෙදරක හරි වැදගත් දුර ගමනක් යද්දී විතරයි.

ඔයා විශ්වාස කරන්න, පොල් කටු රස්නෙට වේළාගත්ත ෂර්ට් එකයි කලිසමයි කොට්ටෙ යට තියාගෙන නිදා ගන්නේ ඇඳුම්වල රැළි යවන්න.

මට මතක ඇති කාලෙක ඉඳල අපි ගෙවපු ඒ ජීවිතේ ගැන හෙට එළිවෙනකම් නොවෙයි පොතක් ලියන්න වුණත් ඒ තරම් දේ තියෙනවා. මට දැන් අවුරුදු පනස් දෙකක් වෙනවා. ඒත් මම තවම හිතන්නේ වැඩ කරන්නේ අවුරුදු තිහේ හතළිහේ කොල්ලෙක් ගාණට. කවුරු මොනව හිතුවත් මට කරන්න දෙයක් නැහැ. ඒක මගේ හැටි.

ඒ දවස්වල අපේ ගෙදරට උඩහගෙදර රේඩියෝ එකක් තිබුණා. වේලාසනින්ම මොනව හරි දෙයක් කාලා පොතක් පතක් බලලා රෑ අට, අටහමාර වෙනකොට අපි පැදුර දාගන්නේ හොඳ නින්දක් බලාගෙනම නෙවෙයි. අපි සාලේ එළපු පැදුරුවල නිදාගන්න වැටිලා ඉන්නකොට අම්මා සාලේ මේසය උඩ තියන කුප්පි ලාම්පුව අරගෙන ඉස්තෝප්පුවට යන්නේ කොහු මිටියකුත් අරගෙන අතේ ලණු අඹරන්න. සුදු කොහුවලින් අඹරපු ලණු කැරලි හරිම ලස්සනයි. පිළිවෙළයි. දඟයි. හරියට අපේ නංගිගේ කොණ්ඩ කරල් දෙක වගේ.

උඩහගෙදර රේඩියෝ එකේ මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍ය අහගෙනම එහෙමම අපිට නින්ද යනවා. රෑ දහය දොළහ වෙනකම් නිදි මරල නිදා ගන්න අම්මා ආපහු කඩයප්පන් හදන්න උදේ තුනට හතරට නැගිටින්නේ පුරුද්දට වගේ. හතර හමාරේ කෝච්චිය යනකොට අම්මා කඩයප්පන් බාගයක් හදලා.
ඉස්කෝලේ ගියාම මම කලන්තේ දාලා සිහි නැතිව වැටෙනවා. අම්මා නම් කිව්වේ හරි කෑමක් ඇඟට වැටෙන්නෙ නැති නිසා කොල්ලගේ ඇඟ දුර්වල වෙලා කියලා. අම්මගේ භාෂාවෙන් කියනවා නම් ගිරහනිය හැදිලා කියලා.

අයියල දෙන්නම ඉස්කෝලේ දහයටවත් ගියේ නැහැ. විල්බට් සීයා එක්ක ලොකු අයියා කඳන් ඉරන්න රස්සාවට ගියා. පොඩි අයියා කුරුඳු තලන්න මාතර ගියා.

මොන ප්‍රශ්න තිබුණත් මටයි නංගිටයි උගන්වන්න අම්මා කුලී වැඩ කළා. තාත්තා නම් ලෙඩ ගානේ ඇඳට වැටිලා හිටියේ.

“හම්බ කරන්න පුළුවන් වයසක ද මගේ කොල්ලෝ දෙන්නා ඉන්නේ...” කියල අම්මා දවසට දෙතුන් වතාවක් කිව්වේ හැඬූ කඳුළෙන්. “කාටවත් කරදරයක් නැති මගේ අහිංසක රත්තරන් කොල්ලෝ දෙන්නට කතරගම දෙයි හාමුදුරුවන්ගේම පිහිටයි” කියලා බුදුපහන ළඟට ගිහින් කියන්නේ පුදුම අසරණකමකින්.
මගේ අම්මා තාත්තා වගේම අපි විඳපු අසරණකම ඒ කාලේ ඉඳලම මට තේරුණා.

හදිසියෙම ටවුමට ආවත් කොළඹ, ගාලු ගියත් බස් එකේ ජනේලය අයිනේ සීට් එකක වාඩිවෙන්නෙ, පාර අයිනේ කඩවල එල්ලපු බෝඞ්වල ඉංග්‍රීසියෙන් ගහල තියන නම් කියවන්න. මම එහෙම වචනයක් දෙකක් ඉංග්‍රීසියෙන් කතා කරනකොට මගේ සමහර යාළුවෝ මට හිනහ වුණේ... මාව පිස්සෙක් කියල හිතාගෙන.

උසස් පෙළ පංතියෙ ඉගෙන ගත්තේ පිරිමි ළමයි හයදෙනයි. ගෑනු ළමයි තිහක් හතළිහක් විතර හිටියා. මාත් එක්ක හිටපු පිරිමි ළමයි පංතියේ අන්තිම පේළියෙ වාඩිවෙලා හිටියේ ගෑනු ළමයින්ගේ ප්‍රාණ ඇපකාරයෝ වගේ.

අපිට සිංහල උගන්වන්න ආවේ සිල්වා සර්. සිල්වා සර්ට ළමයි හරි බයයි. ඒ වගේම ලොකු ගෞරවයක් තිබුණා. ගුත්තිලයේ කවි අපි කට පාඩමින් කියන්න ඕනෑ. කලින් දවසේ ගෙදර ඉඳල කවි කට පාඩම් කරගෙන ආවේ සර් ගහන වේවැල් පාරට අපි කොච්චර බය වුණාද. අපිට සර් ගැහුවත් ඒ ගැහුවේ තරහෙන් වෛරයෙන් නෙවෙයි ආදරයෙන් කියල අපි දන්නවා.

ඒ පංතියේදී තමයි කුමාරි මට මුණ ගැහෙන්නේ. කොහොම හරි කුමාරිට කීදෙනෙක් ට්‍රයි කළා ද යාළු වෙන්න. පුදුම අහංකාරකමක් තිබුණේ. ඒ අහංකාරකමට මම ආදරය කළා.

කොහොම හරි අපේ ඉස්කෝලේ ප්‍රදර්ශනයක් තිබුණා. වෙලාව කියන්නේ අපි දෙන්න එක පංති කාමරයක් බාරව දාල තිබුණා.

මොනවද ඉතිං... ප්‍රදර්ශනය ආරම්භ කරල එදා හවස් වෙනකොට කෙල්ල මගේ කරගෙන ඉවරයි. එදා මම කිව්ව කුමාරි... “ඔයා කැමති නැද්ද අපි දෙන්නගේ යාළුකම වැඩි කරගන්න” කියලා. එයා මොකුත් නොකියා හිනාවෙවී පංති කාමරයෙන් එළියට දුවලා ගියා.

මම හිතුවා අපරාදේ මම එහෙම කිව්වේ කියලා. ඒත් මම වැරදි දෙයක් කිව්වේ නැහැ නේද... කියල මගේ හිතත් එක්ක මම තර්ක කළා. මම හිතුවේ සිල්වා සර්ට කුමාරි මම කියපු දේ ගැන කේලම කියයි කියලා.

ටික වේලාවකට පස්සේ එයා පංතියට ආවා. මම හිතුවා කුමාරිගේ පිටිපස්සෙන් සර් එයි කියලා. ඒත් සර් ආවේ නැහැ. මම එයාට කිව්වා අද හවස වැල්ලට එන්න කියලා. එයා ගත් කටටම බැහැ කිව්වා. මම කිව්ව බය වෙන්න එපා ගෙදරට මොනව හරි කියල යාළුවෙක් එක්ක එන්න කියලා.

කොහොම හරි හවස ගෙදර ගියේ කොහොමද කියල හිතා ගන්න බැහැ. මම හිටියේ කුමාරිගේ හීන ලෝකයේ.

කොහොම හරි කිව්ව විදිහටම කුමාරි වැල්ලට ආවේ පුංචියට මල් වැටුන ලස්සන ගවුමක් ඇඳලා. කුමාරිගේ තනියට අජන්තිත් ඇවිත් හිටියා. එයා අපි දෙන්නට තනිවෙලා කතා කරන්න ඉඩදීලා රැල්ල පෑගුවා.

එදා ඉර බැහැගෙන යන හැන්දෑවේ අපි වෙරළේ ඉඳල ගොඩට ආවේ කිසිදාක වෙන් නොවන සදාකාලිකවම විතරක් නෙවේ ආත්මයෙන් ආත්මයකට යන තරමේ ආදරයකින් බැඳිලා.... ෂහ්... කොච්චර ලස්සන දවසක් ද ඒ...

ඉස්කෝලේ බෙස්ට් රිසාල්ට් අපි දෙන්නගේ. අපේ යාළුවෝ කිව්වේ උඹල ලව් කළා වගේම ඒ ලෙවල්වලින් ගොඩ වුණා කියලා සුභ පැතුවා.
කුමාරිගේ අම්මා තාත්තා රජයේ රස්සාවල් කරපු නිසා ගෙවල් දොරවල් හදලා යමක් කමක් තිබුණා. ඒ නිසා අඩුපාඩුවක් තිබුණේ නැහැ.

ලෙඩ ගානේ ඉඳපු තාත්තා මැරුණා. තාත්තා මැරිල තුන්මාසේ දානෙ දෙන්නත් කලින් නංගි ගමේ කොල්ලෙක් එක්ක පැනල ගියා. අයියලා දෙන්නා තාත්තාගෙ මරණය කරගහල වැඩ කරපු නිසා අපිට බරක් දැනුණේ නැහැ.

වෙනදා මාසයකට සැරයක් අයියලා දෙන්නා අම්මට ගෙදර වියදම එවනවා. තාත්තාගේ තුන් මාසේ දානෙන් පස්සේ ඒකත් හිමිහිට නැවතුණා.
අපේ සම්බන්ධයට කුමාරිගේ ගෙදරින් ලොකු විරෝධයක් තිබුණා. මම රස්සාවක් හොයාගන්න ට්‍රයි කළා. මිනිස්සු ඉස්සරහ කොච්චර වැටුණ ද? මේ සමාජය, මිනිස්සු ගැන ලොකු වේදනාවක්, කේන්තියක් මගේ හිතට ආවා.

මනුස්සකමට වඩා බල්ලෝ මරල හරි හම්බ කරන සල්ලිවලට වටිනාකමක් වැදගත්කමක් තියන බව මට තේරුණා. අපේ ගමේ දායක සභාවේ මුල්තැන ලැබුණේ අර ජරා විදියට සල්ලි හම්බ කරපු මුදලාලිට. ඌට කිව්වේ සත්ගුණවත් මුදලාලි කියලා. හැම තැනම මුල් පුටුව මුල් තැන ලැබුණා.

මට හරිහමන් රස්සාවක් තිබුණේ නැහැ. ස්ථිර රස්සාවක් හොයා ගන්න එක ලෙහෙසි වුණේ නැහැ. කොහොම හරි කුමාරි එයාගේ මස්සිනා කෙනෙකුට කසාද බන්දන්න එයාගේ අම්මා තාත්තා තීරණය කරලා කියල එයා මට ලියුමක් එවලා තිබුණා. එයා හමුවෙච්ච හැම වෙලාවකම කිව්වේ “ගෙවල්වලට හොරා පැනල ගිහින් කොහේ හරි තියන විදියකට ජීවත් වෙමු” කියලා.

ඒත් දෙයියනේ... මම කොහොමද ඒ වගේ තීරණයක් ගන්නේ? මෙච්චර දුක් විඳල අපිව හදල වඩපු අම්මා තනි කරලා දාල යන්න මට මගේ හිත ඉඩ දුන්නේ නැහැ.

“එක දවසක් කුමාරි එක්ක ගිහින් මම කසාද බැන්දා. කසාදෙට අත්සන් කළේ බයිසිකල් කඬේ අයියයි මගේ තව යාළුවෙක්.”

ඉන් පස්සේ වෙච්ච දේවල් කොච්චර තියනවද..? මාව කසාද බැඳපු නිසා, කුමාරිව ඒ අයගේ පවුලෙන් අයින් කළා. අඩුකුලේ එකෙක් කසාද බැන්දා කියලයි ගෙදර විරුද්ධ වුණේ. “අපේ එකෙක් මොකෙක් හරි කසාද බැන්දා නම් අපිට ලජ්ජාවක් නැහැ. මේකි අපේ හත්මුතු පරම්පරාවෙම දැලි ගෑවා. ඕකි මැරුණා කියලා හිතාගෙන හත් දවසේ දානේ දීපල්ල” කියලා කුමාරිගේ තාත්තා කෑගහල තිබුණා.

මේ කතා එක්කම මම හිතා ගත්තේ ෆීනික්ස් කුරුල්ලා වගේ මම ආපහු ජීවිතේ අලුතින් පටන් ගන්නවා කියලා. ලස්සන පුංචි ගෙයක් හදලා, වත්ත පුරාවටම ගස් හිටවලා, කොච්චර ලස්සන ප්ලෑන් එකක් ද මගේ හිතේ තිබුණේ... අන්තිමට ඒක හීනයක්ම වුණා. හිතපු නැති විදියට කුමාරි මගේ ළඟට ගන්න වුණේ. මම හිතාගත්තේ කොහොම හරි කුමාරිව සතුටින් තියලා, එයාට ලස්සන අනාගතයක් හදන්න. මොකද එයා ඔක්කොම දාලා මම ළඟට ආපු එක මට වටිනවා.

අවුරුද්දක් දෙකක් යනකොට කුමාරි අම්ම කෙනෙක් වුණා. කොල්ලොම දෙන්නෙක්. කොහොම හරි මුල් වතාවෙන්ම මම දෙදරු පියෙක්. දවසින් දවසම අඩුපාඩු පිට අඩුපාඩු. අපිට උදව් කරන්න කවුරුත් හිටියේ නැහැ. බැරිම තැන මම වැල්ල අයිනේ ෂොප් එකක රස්සාවකට ගියේ කීයක් හරි වැඩිපුර හොයා ගන්න.

එක දවසක් වැල්ල අයිනේ තිබුණ අපේ ෂොප් එකට ගෙස්ට්ලා වගයක් ආවා. කොළඹ කම්පැනියක ලොකු බස් එකකින් මේ සෙට් එක ආවේ.
ඒ සෙට් එකේ ඉඳපු අපේ අම්මලාගේ වයසටත් වැඩි වයසකම ගෙස්ට් කෙනෙක් ලිස්සලා වැටෙන්න ගියා. ඒ ළඟින්ම මම ගිය නිසා ඒ ගෙස්ට් බේරුණා. නැත්නම් එදා එයා ඉවරයි.

එයාව වැටෙනකොට මම වීරයා වගේ පැනල අල්ල ගත්ත.

එදා මගේ ජීවිතේ අමතක නොවන දවසක්. එදා රෑ ගෙස්ට් හිටපු හොටලේට මට එන්න කීවේ රෑ කෑමට.

එයා ස්විට්සර්ලන්ත ලේඩි කෙනෙක්. වයස ගියත්... ආයේ කෙල්ලෙක් වගේ. අපේ කෙල්ලොන්ට හැරෙන්න බැහැ. මාර ඇක්ටිව්.

එදා රෑ කෑම කාලා හෝටලයෙන් එළියට එන්න කලින් එයාගේ රූම් එකට මම ගියා නෙවේ... යන්න සිද්ධ වුණා. ඒ මගේ දුප්පත්කම අසරණකම විතරක් නෙවෙයි සල්ලිවලට තිබුණ කෑදරකමට.

එදා රෑ මම හෝටලේ ඉඳල එනකොට මට හොඳ වොච් එකකුයි සල්ලියි දුන්නා.

මම ගෙදර එනකොට කුමාරියි දරුවෝ දෙන්නයි තුරුලු වෙලා හොඳටම නිදි. අම්ම කිව්වා උයන්න මොකුත් නොතිබුණ නිසා බඩ ගින්නෙම නිදා ගත්තා කියලා. මම කාපුවා ඔක්කොම දාල පිච්චිලා ගියා.

පහුවදා උදෙන්ම ටවුමට ඇවිත් කන්න බොන්න බෑග් දෙකකුත් පුරවගෙන ගෙදර ගියා. එදා දවල් කුමාරි දරුවෝ දෙන්න ළඟට අරගෙන බත් කවනකොට මට හරි දුකක් හිතුණා.

මෙතනින් එහා කතාව දිගටම මට කියාගෙන යන්න හරිම අමාරුයි.

ඊට පස්සේ වෙච්ච දේ මම කෙටියෙන්ම කියන්නම්. අර ස්විස් ලේඩි මගේ ආච්චිගේ වයසේ වුණත් මම එයාව කසාද බැන්දා. ඒ එයාගේ සල්ලිවලට...


එයාගේ මහත්තයා මැරිලා ගොඩාක් කල්. එයා සල්ලිවලින් හොඳට ෆන් ගන්න කැමති කෙනෙක්. ඒ ෆන් එකෙන් මට වුණේ ලෙඩෙක් වෙන්න. ඩ්‍රග්ස් ගත්ත විතරක් නෙවෙයි, මේ සල්ලි තමයි මාව ලෙඩෙක් කළේ.

කුමාරිට දරුවන්ට හොඳ ගෙවල් තුනක් හදලා තියනවා. මේ ළඟදි අම්මා මැරුණා. ජීවත්ව සිටි අම්මට වඩා මැරිච්ච අම්මට ගෞරවයක් දෙන්න මම ගාව තිබුණ සල්ලිවලට පුළුවන් වුණා. කුමාරි කියන්නෙ මේවා වැඩක් නැහැ. එයයි දරුවෝ ගාවට එන්න කියලා. අර ලේඩි මැරිලත් දැන් අවුරුදු ගාණක් වෙනවා. මම කොහොමද ආපහු කුමාරි ළඟට යන්නේ? මම මොනව නැතත් එක දෙයක් ඉගෙන ගත්තා. සල්ලි තියෙන්න ඕනෑ ජීවත් වෙන්න මිසක්, පීනන්න නෙවෙයි. මේ සල්ලි, ගෙවල්, ඉඩම්වලට මොනවද කරන්න පුළුවන්?

lankadeepa.lk


Ads here
340 x 60
Rs. 4000/-