Ads here
340 x 60
Rs. 5000/-
18 Views  
සල්ලි ගේදොර ලස්සන මේ හැමදේම තාවකාලිකයි

තනිවම ඇවිදින් තනිවම යන්නට අවදානම තනිවම සිත දරණට මැළි වී බිය වී අසරණ වී නුඹ සිතට සවිය ගෙන බයෙන් බයෙන් ඕනෑ දෙයක් සිදුවෙන්නට කරනා විවාහය ද මේ සිදුවන්නේ?

ආශාවෙන් මන්මත් වී ආදරයේ වෙස්මුහුණු බැඳන් ආරක්ෂාවට තීන්දුවක් දෙන විවාහය ද මේ සිදුවන්නේ?

කෙනකු අයකුට අයිති වී
අයකු කෙනකුට අහිමි වී
නිබඳ සිත්තුළ සුසුම් නැගෙනා
විවාහය ද මේ සිදුවන්නේ?

මේජර් සිඞ්නි ද සොයිසා රණවිරුවාගේ “හිතෙන විදියට ඉමු අපි” අවියක රිද්මය නම් වූ කාව්‍ය සංග්‍රහයේ විසිතුන් වැනි පිටුවේ පළ වී තිබූ විවාහය ද මේ? පදවැල දෙතුන් වරක් නොව බොහෝ වාරයක්ම මහත් ඕනෑකමින් කියැවූ භාග්‍යා යළි මොහොතකට සමාධිගත වූවාය.

හ්ම්.. ඇත්තම නේන්නම්. ගොඩාක් අය සමාජයට පේන්න පවුල් කනවා. මම දන්න පිරිමින්ට තමන් කැමති තමන්ට ගැළපෙන ගෑනු කෙනා ලැබිල නැහැ. ඒ වගේම තමයි ඒකෙ අනිත් පැත්ත. ගොඩාක් ගෑනු අයට තමන් කැමති පිරිමියා ලැබිල නැහැ. දෙයියනේ. තමන්ට ගැළපෙන තමන් කැමති කෙනා තමන්ගේ ජීවිතේට එකතු වෙනව නම් මොන තරම් වාසනාවන්ත ද ඒ ජීවිතේ?

පෙර ආත්මයක කරපු පවකට වෙන්නැති මේ ආත්මේ මේ තරම්ම දුකක් විඳින්නේ.

ඉරිදා ලංකාදීපයේ රසවිත පිටුවේ වෙරළේ ප්‍රේම කථාවෙන් මෙවර ඔබට හමුවෙන භාග්‍යා මට මුණගැසුණේ කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ ඇයගේ ඥාතියකුගේ නිවසේදීය.

“මේ ජීවිතේ තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. ඒත් මම විඳවනවා” යි භාග්‍යා යළිත් කටහඬ අවදි කළාය.

“අපේ තාත්තා  ව්‍යාපාරිකයෙක්. අම්මා රජයේ රස්සාවක් කළා. අපේ පවුලේ වැඩිමලා මම. මට නංගියෙකුයි මල්ලියෙකුයි හිටියා.

අපේ ගේ තිබුණේ වෙරළ පෙනෙන මානයේ. අපිට ජීවත්වෙන්න අඩුපාඩුවක් තිබුණේ නැහැ. අම්මා තාත්තගෙන් අඩුවක් නැතිව ආදරේ ලැබුණා.

ගෙවල් කිට්ටුව තිබුණ ඉස්කෝලෙට මම ගියේ පුංචි සුරංගනාවියක් වගේ. ඉස්කෝලේ යනකාලේ මම ගොඩාක් ලස්සනයි. දැනුත් ඉතිං අඩුවක් නැහැ ඒ ලස්සනේ” කියමින් භාග්‍යා සිනාසීමට පටන් ගත්තේ පුංචි දැරියක් මෙනි.

“ඉස්කෝලේදී ඉගෙන ගන්න වගේම හැමදේකින්ම ඉස්සරහින් හිටියේ මම. මගේ ලස්සනට වගේම මගේ දක්ෂකමට ඉස්කෝලේ හැමෝම ආදරය කළා. ඇත්තටම ඒ කාලේ මගේ ජීවිතේ ලස්සනම කාලේ.

ඒ කාලේ මට පුදුම ඉල්ලුමක් තිබුණේ. දහම් පාසලේදීත් එහෙමම තමයි ඉතින්.

පුදුම මිනිස්සු තමයි. ඔයා දන්නවද එතකොට මම නමවෙනි පංතියේ. කසාද බැඳල දරුවෝ දෙන්නෙක් ඉන්න සර් කෙනෙක් මට බැල්ම දාගෙන හිටියේ.
ඉස්කෝලේට යන්න තිබුණේ ගමේ පන්සල පහුකරගෙන. උදේ පාන්දර පොත් මිටියත් තුරුලු කරගෙන ඉස්කෝලේ යනකොට පොඩි හාමුදුරුවෝ මලුව අමදිනවා. මම ඉස්කෝලේ ගිය හැම දවසකම පුංචි හාමුදුරුවෝ මලුව අතුගාන්නේ සමාධිගත වෙලා වගේ. “ගුඞ් මෝනින්” “ගුඞ් මෝනින් අපේ හාමුදුරුවනේ” කියාගෙන මම ඉස්කෝලේ පැත්තට යන්නේ උදේ පාන්දර පිපුණු මලක් වගේ.

දහම් පාසලේදී අපේ පංතියට උගන්වන්න ආවේ ලස්සන අයියා කෙනෙක්. ඒ අයියා හාමුදුරු කෙනෙක් වගේ තැන්පත් කෙනෙක්. මට තේරුණා එයා මම ගැන ගොඩාක් උනන්දුයි කියලා. එක දවසක් ඒ අයියා මට කියවන්න කියලා කොළයක් හතරට පහට නවල මගේ පොත් උඩින් දාලා ගියේ හරිම ලැජ්ජාවෙන්. මම හිතුවේ ෂුවර් එකටම “ලව් ලෙටර්” එකක් වෙන්නැති කියලා.

මොන පිස්සුද අනේ. එයා ලියපු ලව් ලෙටර් එකක් නැහැ. එයා ලියල තිබුණේ “දුනුකෙයියා මලක් වගේ” සින්දුව.

ඔයා විශ්වාස කරන එකක් නැහැ. මම ළඟදි ගණන් කරල බැලුවා. විසි හය දෙනෙක් මට ට්‍රයි කළා. ඇත්තටම ඒ නිසා කෙනෙක් ගැන කවදාවත්ම ආදරයක් මගේ හිතට දැනුණේ නැහැ. කිසි කෙනකුට කවදාවත් වචනයකින්වත් හිත රිදෙන්න කියල නැහැ.

මට මතක විදියට මාත් එක්ක අන්තිමට යාළුවෙන්න ආවේ ගමේ අයියා කෙනෙක්. එයා හිටියේ අපේ ගම කිට්ටුවම තියන පොලිසියේ. එයා මගේ පස්සෙන් ආවත් වැඩක් වුණේ නැති නිසා තරහින් හිටියේ.

ඉස්කෝලේ දහය පංතියේ අපි ඉගෙන ගන්න කාලේ තමයි අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනාවේ. ඒකට විරුද්ධව අපේ ඉස්කෝලේ ළමයිනුත් පාරට බැස්සා. රටේ ලොකු කලබලයක් තිබුණා. අපේ ඉස්කෝලේදී ඒකට විරුද්ධව නායකත්වය ගත්තේ මම. ඒක තමයි මගේ ජීවිතේ වෙනස් කළේ.

ඔය අතරේදී ගමේ ටවුමේ කලබල වැඩිවුණා. ආමි එක, පොලිසිය පන්නන්න ගත්තා.

කොහොම හරි ඕ-ලෙවල් විභාගයෙන් ඉස්කෝලේ බෙස්ට් රිසාල්ට් මම. හැම විෂයකින්ම උසස් විදියට මම පාස්වෙලා තිබුණා.

අයුක්තියට - අසාධාරණයට එරෙහි සටනට මමත් එකතු වුණේ රට වෙනුවෙන් අපිටත් යුතුකමක් වගකීමක් තියනවා කියල හිතාගෙන.

මට ඕනෑ වුණේ හොඳට ඉගෙන ගන්න. අපේ රට වෙනුවෙන් සේවය කරන්න. අපේ සීයත් රට වෙනුවෙන් සටනට ගිය කෙනෙක්. අපේ ගෙදර ගමේ කාගෙත් ආදරයට ගෞරවයට ලක්වුණ ගෙයක්. පවුලක්.

එක දවසක් අපි ඉස්කෝලේ ඉන්නකොට කැම්පස් එකේ අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි ආවා.


එදා රටේ සමාජ අසාධාරණයට විරුද්ධව සටන් කරන්න අපිව එකතු කරගන්න ඇවිත් හිටියේ. කොහොම හරි සංවිධානේ වචනයෙන් කියනවා නම් මට කොක්ක ගහන්න ඇවිත් තිබුණේ.

එදාම හවස ඒ කැම්පස් අක්කයි අයියයි ගේ ළඟදි මුණ ගැහුණා. මම එදා රෑ ඒ දෙන්නත් එක්ක අල්ලපු ගමට ගියා. මම දැනගෙන හිටියේ නැහැ කොහේද යන්නේ කියලා. ඒ අය කිව්වේ පංතියකට එක්ක යනවා කියලා. කෑලි කපන්න තරම් අන්ධකාරයේ අපි තුන්දෙනා කැලෑවෙ ගොඩාක් ඇතුළට ගියා.

අපි තුන්දෙනා එතැනට යනකොට තව දහයක් පහළොවක් ඇවිත් හිටියා. අඳුනන කවුරුත්ම එතැන හිටියේ නැහැ. එදා රෑට වට්ටක්කයි බතුයි දුන්නේ. මම ගොඩාක් බය වුණා. ගෙදර එන්න ඕනෑ කියල ඇඬුවා. “අපි ගෙදරට පණිවුඬේ යැව්වා. සහෝදරි බය නැතිව ඉන්න.” රෑ කෑමට පැය භාගයක් අරගෙන එළිවෙනකම් පංතිය. ඔය විදියට දවස් හතම පංති පහ කරා. එක දවසක් අපිව වටකරල කියල ආරංචියට අපි කට්ටිය කැලේ ඇතුළටම ගියා.

දවස් හතකට පස්සේ කැලෙන් එළියට ආවා. ගෙදර ඔක්කොම බයවෙලා හිටියේ. ඔය අතරෙදි දවසක් පන්සලේ හාමුදුරුවෝ පණිවුඩයක් එවලා තිබුණා.
පොලිසියෙන් ඇවිත් මගේ විස්තර හෙව්ව කියලා හාමුදුරුවෝ පණිවුඩය එවල තිබුණේ. දෙවැනි දවසේ රෑ පොලිසියෙන් ඇවිත් ගේ වටකළා. එතකොට මම කාමරේ නිදි. පොලිසියේ අය දොර ඇරවගෙන ගෙට ඇවිත් කාමරේ ඇඳ ළඟට ඇවිදින්. මට ඇහැරුනේ අම්මගේ විලාපයට “ආ.. මේ ඉන්නේ’” කියලා පොලිසියේ අය මාව අරන් යන්න හදනකොට අම්මා පොළොවේ හැපි හැපී අඬන්න ගත්තා. කොහොම හරි මාත් එක්ක අම්මත් පොලිසියට අරගෙන ආවා. එදා තමයි මගේ ජීවිතේටම විතරක් නෙවෙයි අම්මගේ ජීවිතේටත් පොලිසියකට ගියේ.

“ආ හොඳ කෑල්ලක්” කියල, එක්කෙනෙක් කීවාම මට හරියට බය හිතුණා. ඒත් අම්මත් හිටිය නිසා ඒ තරම් ලොකු බයක් දැනුණේ නැහැ. එදා දීර්ඝ රාත්‍රියක් ගෙවුණේ. මරණ බිය මගේ හිත ගත දෙකම වෙළාගෙන තිබුණා. පහුවදා ඕඅයිසී මහත්තයා ඇවිත් බලලා කීවා අහිංසක ළමයෙක් ගෙනාවේ ඇයි කියලා. මට අම්මාත් එක්ක ගෙදර යන්න කිවා. ගෙදර ආවම තමයි දැනගත්තේ සීයා ලොකු තැන්වලට කෝල් කරල මාව බේරගත්තේ කියලා.
මම ප්‍රබල නායිකාවක් කියලා බොරු ඔත්තුව දීල තිබුණේ මාත් එක්ක යාළුවෙන්න අහපු ගමේ පොලිසියේ කෙනා කියල පස්සේ ආරංචි වුණා. බලන්න ආදරය වෛරයකට පෙරළුණ හැටි.

එදායින් පස්සේ මම ගෙදරින් පිටවෙලා ගියා. ඒ ගියේ සංවිධානයේ අයගේ කීමට. ඔවුන් කිව්වා ගමට වෙලා හිටියොත් මැරුම් කන්න වෙනවා. ඒ නිසා අපි දන්න තැනක නතර කරන්නම් කියලා. ඊට පස්සේ ටිකක් දුරක ගෙදරක මාව නතර කළා. ආරක්ෂක අංශයේ ඒ අයියා වැඩ කළේ. ඒ ගෙදර ඔක්කොම සංවිධානයේ අය.

එක දවසක් මම කාමරයේ ඇඳේ හාන්සි වෙලා. “අම්මා” නවකතාව කියවමින් හිටියේ. වෙලාව කියන්නේ ගෙදර කවුරුත්ම නැහැ. ගෙදර හිටියේ මට වඩා ටිකක් වැඩිමල් අයියා කෙනෙක්.

“නංගි” කියලා කතා කරන සද්දයට මම ඔළුව උස්සල බැලුවම අර අයියා මගේ ඇඳ ළඟ.

“හා එන්න අයියේ” කියල මම කිව්වා. එහෙම කිව්වේ මට බයවෙන්න තරම් සැකයක් කාරණයක් නොතිබුණ හින්දා. මාව කන්න වගේ මගේ දිහා බලාගෙන ඉඳපු අයියා මාව බදාගෙන ඇඳේ පෙරළුණා. මම එයාවත් තල්ලු කරල දාලා එළියට වෙලා ගෙදර අය එනකම් ඇඬුවා. ඒ අයට කතාව කිව්වා. ඒ අය කිව්වා ඒ අයියව කසාද බදින්න කියලා. මම බැහැ කිව්වා. ඒ ගෙදර එදා ඉඳල මට එපා වුණා.

කොහොම හරි අම්මා ගමේ අයට කියලා තිබුණේ රඹුකන හංදියේ මාව පුච්චල මරලා දාලා තියනවා කියලා අඳුනගත්ත කියලා. මම මැරුණ කියලා ගමේ අයට ඒත්තු ගන්වන්න පන්සලට දානයකුත් දීලා තිබුණා. ගෙදර අය එහෙම කළේ මගේ ආරක්ෂාවට.

ඊට පස්සේ අම්මා මාව කොළඹ නැදෑ ගෙදරකට ගෙනැත් නතර කළා. රෑට බය නැතිව නින්ද ගියේ ඒ ගෙදරට ආවයින් පස්සේ.

අපේ සීයා අඳුනන දේශපාලනඥයකුට මා ගැන විස්තර කියලා. ඒ අනුව තමයි ස්වාධීන කමිටුවට මම බාර වුණේ.

මම බාරවුණායින් පස්සේ පුනරුත්ථාපන කඳවුරකට ගෙනැත් නතර කළා. අම්මා - තාත්තා මතක් වෙලා ගෙදර මතක් වෙලා නිතරම ඇඬූ කඳුළෙන් හිටියේ. අම්මා - තාත්තා පවුලේ අය විසිට් ආවම තමයි හිතට ටිකක් හරි සැනසීමක් සතුටක් තියෙන්නේ.

කඳවුර භාරව අලුතින් හමුදාවේ මහත්තයෙක් ආවා. ඒ මහත්තයා ආවේ එයාගේ නෝනාත් එක්ක. ඒ ලොකු මහත්තයා මට වැඩියේ අවුරුදු දහයක් පහළොවක් වයස ඇති.

ඒ මහත්තයා දැක්ක වෙලාවේ මම ගැස්සිලා ගියා. මට හිතුණා මාව ආත්ම ගණනක ඉඳලා දන්න කෙනෙක් මේ කියලා. ඒ තරම් සමීප බවක් මට දැනුණා. මගේ ජීවිතේ ප්‍රථම වතාවට ඒ මහත්තයා ගැන ලොකු ආදරයක් මට ඇති වුණා.

මගේ කරුමේ කියන්නේ ඒ මහත්තයා කසාද බැඳලා. ඇත්තටම එයා කසාද නොබැඳ හිටිය නම් මම මොන තරම් වාසනාවන්ත කෙල්ලෙක් ද?
හැම මොහොතකම එයා දකින්න මම ආස කළා. එයාගේ කතාව, දඟකාර හිනාව, මෙරූන් කලර් ක්‍රොකඩයිල් ටී ෂර්ට් එක, එදා වගේම අදත් හැම දෙයක්ම මට මතකයි. එයා නොදැන මම එයාට මගේ මුළු හදවතින්ම ආදරය කළා. ඒක පවිත්‍ර නිර්මල උතුම් ආදරයක්. හදවතේ ගැඹුරුම තැනින් ආ ආදරයක්.

සඳක් සේ පායා ඇවිදින්
එළිය කළා මගේ ලොව
ගතින් නොවුණත් හද බැඳි
සෙනෙහසින්
ළංව සිටියද අප
ගතින් වෙළී ළංව ඉන්න නොලැබුණත්
දෑස පුරා ඇතිවන තෙක්
හිත පිරෙන්න ඔබේ රුව දකින්න
පින්මදි වුණත්
මේ භවයේ මතු සංසාරේ
කෙදිනක හෝ
හිත පුරා දැකගන්න
හිත පුරා ළංව ඉන්න
පුරන්නම්
පිං පෙත්..........

එයා ගමට මාරුවක් අරගෙන ගියා කියල දැන ගත්තේ දවස් දෙක තුනකට පස්සේ.

ඒක අහල මම නොකා නොබී දවස් ගාණක්ම ඇඬුවා.”

“ඉතිං ඊට පස්සේ මොකද වුණේ?” මම ඇසුවේ ඇයගේ රත්පැහැ ගැන් වූ කදුළු පිරි ඇස් දිහා බලමිනි.

“මාස කීපයක් ගියාම මාව නිදහස් වුණා. ඊට පස්සේ මම ගමට ගියේ නැහැ. ගමම එපා වුණා. මට සාධාරණයක් යුක්තියක් දෛවය ඉටුකළේ නැහැ.
බතික් ෂොප් එකේ රස්සාවට ඇවිත් මාස තුනයි. ගෙස්ට් කෙනෙක් ආවා කස්ටමර් කෙනෙක් හැටියට. කොහොම හරි ඉතිං මගේ අවාසනාවට ලැබුණ මගේ ලස්සනට අර සුද්දා වහවැටුණා.

අම්මා - තාත්තට සලකන්න හොඳ මහත්තයෙක් කසාද බැඳලා කොච්චර ලස්සන හීන මගේ හිතේ තිබුණ ද? ඒවා ඉතිං හීනම විතරයි.

ඒ පාට පාට හීන පුංචි පුංචි සබන් බෝල වගේ සුළඟේ හැම තැනම පාවෙලා ගියා. මට අල්ලන්නවත් බැරි විදියට මගේ දෑස් ඉදිරිපිට.

එයාගෙ නම ටෝනි.

ටෝනියි මායි අතර හිතවත්කම අවසන් වුණේ විවාහයකින්. බොහොම අප්‍රසිද්ධියේ තමයි ඒක කළේ. පරදේසක්කාරයෙක් බැඳගත්ත කියල අම්මා - තාත්තා තියා අපේ පවුලේ කිසිම කෙනෙක් ඒ වෙලාවේ ආවේ නැහැ.

ලංකාවේ ටික දවසක් ඉඳල ඊට පස්සේ එයාගේ රටට ගියා. දැන් මට එහේ පුරවැසි භාවයත් තියනවා. මගේ එකම දුව එයා හොඳට ඉගෙන ගන්නවා. මට තියන එකම සතුට බලාපොරොත්තුව එයා විතරයි.”

“ඇයි භාග්‍යා ඔයා එහෙම කියන්නේ?” ඇයගේ කතාවට බාධා කරමින් මම ප්‍රශ්න කෙළෙමි.

“ඇයි එහෙම කියන්නේ නේද” ඇය මා දෙස බලා එසේ කීවේ ආවේගයෙනි.

“ටෝනි මම කසාද බැඳපු මනුස්සයා තමයි. සල්ලි ලොකු ගෙවල් දොරවල් යාන වාහන අතට පයට වැඩකාරයෝ මේ හැමදේම තියනවා. ඒත් මගේ ජීවිතේ නම් කිසිම සතුටක් නැහැ. ටෝනි කියන්නේ විකෘති ආශාවන් තියන වේලාවකට සතෙක් වගේ හැසිරෙන කෙනෙක්. මට හරිම අප්‍රියයි. ඒ මිනිහත් එක්ක මෙච්චර කල් කොහොම හිටිය ද කියල මටවත් හිතාගන්න බැහැ. ඒ තරම් අප්‍රසන්නයි.

මම ටෝනිගේ සල්ලිවලට වහවැටිලා ගිය කෙනෙක් නෙමෙයි. මම ගැන වැරදියට හිතන්න එපා. මොනව වුණත් මගේ දරුවගේ තාත්තා. ටෝනි මට ගොඩාක්ම ආදරෙයි. ඒත් මට එයා ගැන කොයි මොහොතකවත් ආදරයක් ඇතිවෙන්නේ නැහැ. ආදරයක් කොහොමද බලෙන් ගන්නේ? මට වේලාවකට හිතෙනවා ලංකාවේ දුප්පත් කොල්ලෙක් කසාද බැන්ද නම් මීට වැඩිය සතුටින් මම ඉන්නවා කියලා.

සල්ලි ගෙවල් දොරවල් ලස්සන මේ හැමදේම තාවකාලිකයි කියල ඇත්තටම තේරෙන්නේ ගොඩාක් පහුවෙලා.

කොහොම හරි මගේ එකම දරුවා ගැන වුණත් මගේ ලොකු බලාපොරොත්තු නැහැ. මම ඉන්නේ ජීවිතේ ගැන පුදුම කලකිරීමකින්. ඒත් මට මේ ඔක්කොම අතහැරල දාලා යන්න හිතෙනවා.

මගේ නම භාග්‍යා. ඒ වුණත් මම තරම් අභාග්‍ය සම්පන්න ගෑනියෙක් නැතුව ඇති. මම මගේ මුල්ම ප්‍රේමයට අදත් හරිම ආදරෙයි. ළෙන්ගතුයි.
මට මගේම නොවන....

මගේම... ආදරයක් තිබුණා.....

ඒත්.... විවාහය ද මේ?”

.lankadeepa.lk


Ads here
340 x 60
Rs. 4000/-