Ads here
340 x 60
Rs. 5000/-
18 Views  
තිරික්කල රේස් දිනන්නට ගවයන් තුවාල කළ පුද්ගලයකුට වූ දේ

ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

කොත්මලේ රංජිත් සිසිර කුමාර සූරියආරච්චි මහතා ලියා එවූ කතාවක් මෙසේය.

තිරික්කල රේස් දිනන්නට ගවයන් තුවාල කළ පුද්ගලකුට වූ දේ

එම ප්‍රදේශය අද මෙන් නොව මෙයට වසර 40 පමණ පෙර ඉතා ග්‍රාමීය ප්‍රදේශයකි. අද දවස බහුලව දක්නට නොලැබුණත් ඒ වකවානුවේ එළහරකුන් මෙම ප්‍රදේශයේ නිවෙස්වල බහුල ලෙස හදාවඩා ගනු ලැබීය. කුඹුරුවල වැඩ වලටත්, ගැල්වල බැඳීමටත් කිරි සඳහා මෙන්ම හුරතලයටත් එදවස මෙම ප්‍රදේශයේ ගැමියෝ හරකුන් හදාවඩා ගත්හ. මෙම ගමේ එක් නිවසක පමණක් ඉහත සඳහන් කාරණාවලට නොව ගවයන් ඇතිකරනු ලැබුවේ තිරික්කලවල බැඳීම සඳහාය.

තිරික්කල රේස් සඳහා කුඩා කළ සිටම වස්සන් පුහුණු කරමින් කටයුතු කිරීම ජෝන්ගේ එකම කාර්ය විය. රබර් ඉඩම්, පොල්, කුඹුරු ආදිය යහමින් තිබුණ ජෝන්ට තම ආර්ථිකය වෙනුවෙන් ජීවිතය කැප කිරීමට අවශ්‍ය නොවුණේ තිබුණ ඉඩකඩම්වලින් සෑහෙන ආදායමක් ලැබුණ බැවිනි. ඒ නිසා ඔහුගේ කාලය බොහෝ සෙයින් වැය වුණේ රේස් සඳහා ගවයන් පුහුණු කිරීමටය. කුඩා කල සිට ආහාර බෙහෙත්හේත් දෙමින් ඇති දැඩි කරන ගව නාම්බා රේස් ගොස් දුර්වල වූ විට මස් කඩයට විකුණා දැමීමට ද ඔහු පසුබට නොවීය.

ජෝන්ගේ විනෝදාත්මක කාලය සිංහල අලුත් අවුරුදු සමයයි. එම කාල සීමාවේ අලුත් අවුරුදු උත්සවවල තිරික්කල තරග අනිවාර්යය තරග ඉසව්වක් විය. වර්තමානයේ බයිසිකල් රේස් මෙන් එදා තිරික්කල තරග අනිවාර්යය තරග ඉසව්වක් වූයේ ජනතාව අතර ඉතා  ජනප්‍රිය අංගයක් වු නිසාය.

අවට කුමන තැනක තිරික්කල තරගයක් පැවැත්වුවත් එයට ජෝන් ඉදිරිපත්විය. ජෝන්ගේ ගවයන් තරගයට සහභාගි වන්නේ නම් පළමුවැනි ස්ථානය පිළිබඳව තිබෙන බලාපොරොත්තුව අත්හැරීමට අනෙකුත් තරගකරුවෝ කටයුතු කරති. ජෝන් පුරුදු පුහුණු කළ ගවයන් අනිවාර්යෙන් පළමු වැනි ස්ථානය ලබා ගන්නා බව අනෙක් තරගකරුවෝ ස්ථිරවම දැන සිටියහ. මේනිසා ජෝන්ට විවිධ වාසි සැලසුණු අතර ගෞරවයක් ද ලැබිණි.

මේ සෑම ජයග්‍රහණකින්ම ජෝන්ට ගෞරවය  ලබාදෙන පුරුදු පුහුණු කළ ගවයා ටික දිනකින් පිටුපස ප්‍රදේශයේ තුවාලයක් ඇතිවී තුවාලය ඔඩුදුවා මියයෑම සැම විටම සිදුවුණි. ජෝන් පුරුදු පුහුණු කළ සෑම ගවයකුටම  මෙම ඉරණම අත්විය. ජෝන් ළඟ සිටි තිරික්කල රේස්වලට බඳින සෑම ගවයකුටම මෙම ඉරණම අත්වන්නේ ඇයිදැයි සොයා බැලීමට ගමේ ඇතැම්හු උනන්දුවී ටික දිනකින් රහස සොයාගෙන බලවත් කම්පාවට පත්වූහ.

ජෝන් කරනුයේ ගවයන් කුඩා කලම ගවයාගේ තට්ටම් ප්‍රදේශයේ ගැඹුරු තුවාලයක් ඇතිවන සේ උල් පිහියකින් ඇනීමයි. ඉන්පසු කුඩාවට කැබලි කරන ලද වීදුරු කැබැලි යම් ප්‍රමාණයක් තුවාලය තුළට දමා උඩින් එම තුවාලය සුව කරනු ලැබේ. එතැන් පටන් මෙම ගව නම්බා තිරික්කල පදින විට හා රේස්වලට තරග වදින විට අත ඇති කෙවිටෙන් තට්ටමේ තුවාලය තිබෙන ස්ථානයට අනිනු ලැබේ. තුවාලය ඇතුළත තිබෙන වීදුරු කටු ඇනී වේදනාවෙන් ගවයා දුවයන බැවින් තිරික්කල තරගයෙන් ජය ලබයි. ගවයන් මිය යන්නේ මේ තුවාලය ඔඩු දිවීමෙනි.

මෙසේ කාලයක් මේ ක්‍රිියාව කරගෙන යමින් තිරික්කල රේස්වලින් ජය ලබමින් ගෞරවය හා නම්බුව ලබමින් ජීවිතය ගෙවු ජෝන්ගේද තට්ටම් ප්‍රදේශයේ කුඩා සැරව බිබිලක් ඇතිවිය. එම සැරව බිබිල ක්‍රමයෙන් විශාල විය. ජෝන් එය සුව කර ගැනීම සඳහා නොකළ වෙදකමක් නැත. එහෙත් තුවාලය සුව නොවීය. අවසානයේ විශාල  ගැඹුර ඇති තුවාලයක් බවට පත්විය. තුවාලය සඳහා වෙද හෙදකම් කිරීමට වියදම් කළ බැවින් දේපොළ ද අඩුවිය. අවසාන කාල සිීමාවේ මේ විශාල තුවාලය තුළින් දුර්ගන්ධයක් ද මතුවිය. බොහෝ දෙනෙක් ඔහු අසලට යෑමට ද අප්‍රිය කළහ. අවසානයේ මේ තුවාලය නිසා මහත් වද වේදනා විඳ ජෝන් මිය ගියේ තමා කළ පාපකර්මවලට මෙලොවදීම වන්දි ගෙවමිනි.

පාප කර්මවලට උස් පහත් බේද නැත. එලොවදී කෙසේ වෙතත් මෙලොවදීම පව් පලදේ.

නිකදළුපොත කරුණාදාස සපුතන්ත්‍රී මහතා ලියා එවූ කතාවක් මෙසේය.

රාග ගින්නෙන් සිදු වූ  විනාශය

ගමට හිසරදයක් වූ ඇල්බට්ගේ රැකියාව වූයේ අතන මෙතන කුලී වැඩ කිරීම වුවත් සුරාව සූදුව සහ හොරකමට පුරුදුවීම නිසා ගම්මුන්ට මොහුගේ හැසිරීම මහ වදයක් විය. මේ නොහොබිනාකම් ඉවසන්නට බැරිව අහිංසක බිරිඳ තම එකම දරුවා සමග වෙනත් දීගයක ගියේ දුක් විඳින්නට බැරි නිසාය.

බිරිඳ නැතිව තනියම දිවි ගෙවන්නට වූ ඇල්බට් නැවත සහකාරියකගේ අත ගැනීමට වෙහෙසුනත් උත්සාහය සඵල නොවුයේ කොයි කවුරුත් මොහුගේ සැටි දන්නා නිසාය. වයස පනහ වුවත් ගැහැනියකගේ පහස නැතිවම බැරිවිය. මෙයට උපායක් කල්පනා කළ ඔහු රෑ යාමයේ පිරිමින් නැති නිවෙස්වලට රිංගන්නට විය.

රෑ තිස්සේ හොර පොල් කැඩීම, කෙසෙල් කැන් කැපීම මෙන්ම ගැහැනුන්ගේ පහස පැතීම ද මොහුගේ ජීවිතයට එක්විය. මෙම සිදුවීම ගමපුරා පැතිරුණේ විදුලි වේගයෙනි. අවිවාහක ගැහැනු දරුවන් රැකගැනීමට දෙමව්පියන් නිතරම උත්සාහ කළේය. වැඬේ කුරුවල්වීම නිසා රෑ පානේ ඇවිදීම ලෙහෙසි නොවීය.
තම බිරියවත් රෑට තනි නොකිරීමට සියලුම පිරිමින්  සිතාගත් අතර ඇල්බට් ගැන නිතරම විමසිලිමත් විය.

තවත් ඉතින් මේ වැඬේට ගියොත් මැරුම් කන්නට සිදුවන බව සිතූ ඔහු රෑට ගමන් යෑම අතහැර දැමීය.

දිනක් ඇල්බට් ඇඳිරි වැටීගෙන එද්දී හොඳටම පදම් වී වැනිවැනී ගෙදර එන්නේ පැරණි ගීතයක්ද ගයමිනි. ගමේ හැඩකාරියක වූ නීලා ඇඟලුම් කම්හලේ රැකියාවට ගොස් එනවිට  හමුවන්නේ ඇල්බට්ය. තමන්ගේ පාඩුවේ බිම බලාගෙන ඇය ඉදිරියට ගියත් ඇල්බට් ඇය ඔසවාගෙන කැලෑ රොදකට ගෙන ගියේ ඇයගේ මරළතෝනිය මැදය.

මෙය ඇසුන පාපැදියකින් යමින් සිටි සිරිමල් ඒ දෙසට දිව ගියේ ලතෝනිය සොයාගෙනය.

නීලා සමග පොර බදන ඇල්බට් දුටු සිරිමල් වැඬේ තේරුම් ගත්තේය. නීලා ගෙදර යවා ඇල්බට්ට හොඳටම  පහරදී අඩපනකොට ජංගම දුරකතනයෙන් පොලිසියට දැන්වීය.      

පොලිසියට ගෙනගිය ඔහුට විරුද්ධව සොරකම්, සූදූ, ස්ත්‍රී දූෂණ ආදි නඩු රාශියක් විය. මේ සියල්ලටම වැරදිකරු වීම වසර දහයකට පමණ සිපිරි ගෙයි තපින්නට සිදුවීමක් විය.

එළියට ගියත් තමන්ගේ ජීවිතයට පැවැත්මක් නැති  බව  තේරුම්ගත් ඇල්බට් එහිදීම දිවි තොර කර ගත්තේ පිහියකින් ගෙල කපා ගනිමිනි.

ගාල්ල පී.ඩී. ජයසිංහ ලියා එවූ කතාවකි.

පරිසරයට වින කළ තිලක්ට පරිසරය දුන් දඬුවම

දකුණු පළාතට අයත් ගම්මානයක තිලකරත්න නම් අයෙක් ජීවත් වූයේය. ගස් කපා, දර ඉරීම ස්වකීය ජිවනෝපාය කරගත් ඔහු හැඳින්වීමෙහිලා ගම්වැසියන් යොදා ගත්තේ ‘තිලකෙ’ යන නාමයයි. හය හතර දත් කාලයේ පටන්ම ලී ඉරීම සිය එකම ආදායම් මාර්ගය කරගත් තිලකේ බොහෝකොටම සිදු කළේ  වනාන්තරවල ඇති වටිනා ගස් හොරෙන් කපා විකිණීමයි. බුරුත, නැදුන්, කලුවර වැනි දැව වර්ග ලී මෝල්වලින් මිලදී ගැනීමට වඩා අඩු මිලට තිලකගෙන් ලබා ගත හැකි බැවින් බොහෝ දෙනා ඔහුගෙන් දැව ලබාගැනීමට පෙළඹුනේ තිලකරත්නගේ ආදායම දිනෙන් දින ඉහළ දමමිණි.

කාලයේ ඇවෑමෙන් තිලකෙ කිරි මැණිකා නම් කාන්තාවක් සමග විවාහ වූ අතර ඔවුනට දාව කුළුදුලේම උපන් දරුවා උපන් ගෙයිම මරු වැළඳ ගත්තේ වලිප්පුව නැමැති රෝගය උත්සන්න වීම හේතුවෙනි. ඉන් වසර දෙකකට අනතුරුව තිලකරත්නගේ හා කිරි මැණිකාගේ කැදැල්ලට තවත් අමුත්තෙක් එක් වුවද ඔහු ද උපන් දා සිටම ආබාධිතයකු  වූයේ දිවියම සයනය වෙත සින්න කරමිනි. අනතුරුව තවත් වසරකට පසුව උපත ලද දියණියද මන්ද මානසික තත්ත්වයෙන් පෙලුනාය. මේ අයුරින් ආබාධිත දරුවන් පවුලට එකතු වනුයේ තිලකරත්න විසින් ඉවක් බවක් නොමැතිව පරිසරය විනාශ කිරීම නිසා වන බැව් ගමේ වැඩිහිටි උදවිය ඔහුට පහදා දුන්නද තිලකරත්න ඒ ඔවදන් කණකට හෝ ගත්තේ නැත.

පරිසරයේ පරම සතුරෙකු වූ තිලකරත්නට පරිසරය ද සතුරු වීමට වැඩි කලක් ගත වූයේ නැත. දිනක් ඔහු  ගමේ නිවසක් අසල පිහිටි විශාල කොස් ගසක් බලපත්‍ර නොමැතිව හොර රහසින් කුණුකොල්ලයට මිලට ගෙන එය කපා විකිණීමට සූදානම් වූයේය. ගස කැපීමට පෙර එහි අතු කපා, කඹ යොදා  සකස් කළ තිලකරත්නගේ ගෝලබාලයෝ  සිය ගුරාගෙන් අවසර ගෙන ගස කපන්නට වූහ. ගතවූයේ නිමේෂයකි. ගස ඇද බැඳ තිබූ කඹ සියල්ල ගලවාගෙන ගස කරකැවී ඇඹරී ගොස් තිලකරත්න සිටි දිශාවට පෙරලුණු අතර ගසේ අත්තකට හා නිවසේ බිත්තියක් අතරට ඔහුගේ බෙල්ල සිරවුණි.

මාස ගණනාවක් දැඩි සත්කාරගතව ජීවිතය හා මරණය අතර උග්‍ර ද්වන්ධ සටනක නියැලී මරණය පරදා ජීවත් වන්නට තිලකරත්න වාසනාව ලැබුවද සුව වු වහාම යළිත් සිය සුපුරුදු ජිවනෝපායෙහි  යෙදෙන්නට ඔහු අමතක කළේ නැත. වැඩිහිටියන් පමණක් නොව සිව්වන වරටත් ගැබ්බර ඔහුගේ බිරිඳ පවා ගස්කැපීම නතර කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියද ඒ කිසිවක් තුට්ටුවකට මායම් කිරීමට හෝ ඔහු කටයුතු කළේ නැත.

යළිත් වරක් ඔහු ගමේ  තිබූ විශාල ගසක් හොර රහසේ කැපීමට සූදානම් වූයේය. ගොනා පසුපස එන රිය සකසේ ඔහු කළ පව් කෙතරම් බලවත් ද යත් මෙවරද පෙර සේම කැපූ ගස කරකැවී ඇඹරී ගොස් තිලකරත්න දෙසට පෙරලුණේ කැපූ ගසේ අත්තකටත් යාබද ගසක කඳකටත්  අතරට ඔහුගේ හිස බෙල්ල මුලින්ම තද කරමිණි. මහත් වැර යොදා ඔහුගේ ගෝලයන් සිය ගුරාගේ හිස ඉන් ගලවා පසෙකට ගත්ත ද ඒ වනවිටත් ඔහු මරු හා ගොස් තිබුණේ ගැබ්බර බිරිඳත් ආබාධිත දරු දෙදෙනාත් මෙලොව තනි කරමිනි.

මෙම සිදුවීම වී දැනට වසර තිහකට අධික වුව අද වනවිටත්  ඔහුගේ ආබාධිත දරුවන් දෙදෙනා  මහා කරුමක්කාරයන් සේ ජීවත් වෙති. එසේම ඔහු මිය යනවිට බිරිඳගේ කුසෙහි සිටි දරුවා පිරිමි දරුවකු වූ අතර ‘ගහේ කටු උල් කරන්නට ඕනෑ නැත. ඉබේ උල් වෙනවා’ යන කියමන ශපථ කරමින් සිය පියාගේ අඩිපාරේම ගමන් කරනුයේ එදා  තිලකරත්න සතු වූ ගතිගුණ ඒ අයුරින්ම ප්‍රකට කරමිනි.

මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

.lankadeepa.lk


Ads here
340 x 60
Rs. 4000/-