18 Views  
“සුදු” මැඩම්ගේ හිතගත් “රූම් බෝයි”

සීතල උඳුවප් මහේ අග අලුත් ඉරක් පායා තිබේ. සැඳෑ අඳුරත් සමග අප තුරුලු කරගන්නා සීතල අපව අත අරින්නේ ඉර උදාවත් සමගය. අලුත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සමග අලුත් ගමනක් යන්නට අලුත් දවසක් උදාවී තිබේ.

සුබ අලුත් අවුරුද්දක් අයියේ.... ඔයාට.

ඔයාටත් එසේම සුබම සුබ අලුත් අවුරුද්දක් මල්ලී...

උදා වූ නව වසරේ සියලු ප්‍රාර්ථනා ඉටුවන්නට කියා බුද්ධි මට සුබපැතුවේ මගේ දෙඅත් තදින් අල්ලා ගනිමිනි.

මම බුද්ධි.

මම හැදුණේ වැඩුණේ හික්කඩුවේ පැත්තේ ගමක. අපේ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක්. එයාගේ ජොබ් එක තමයි එයාර්පෝට් එකට ගිහින් ලංකාවට එන ගෙස්ට්ලා හෝටලයට අරන් එන එක. මොකද හොටෙල් එක අයිති මහත්තයාගේ වාහනයක් තමයි තාත්තට දීල තිබුණේ. ඒ වාහනෙන් තමයි හොටෙල් එකේ ඉන්න සමහර ගෙස්ට්ලා රටපුරා අරගෙන ගියේ. හොටෙල් එකේ ලොකු මහත්තයා එයාගේ විශ්වාසවන්ත සේවකයා හැටියට සැලකුවේ අපේ තාත්තා. කිසිම හොර බොරුවක් නැහැ. හිතට අවංකවම තාත්තා එයාගේ ජොබ් එක හරියට කළා. ඔයා දන්නවද අයියේ අපේ තාත්තා එයා ඩ්‍රයිව් කරපු කාරෙක තියාගත්තේ අලුත බැඳපු මනමාලියෙක් ගානට. කියමින් බුද්ධි සිනාසෙන්නට විය.

“ඇයි මල්ලි ඒ....”

“ඇයිද... කියන්නේ ටුවර් එකක් යන්න කලින් වගේම ගිහින් ඇවිත් කරන්නේ කාරෙක හෝදන පිහිදන එක. මාර නීට් එකට කාරෙක තියාගත්තා. අපිට වගේම ආදරයක්.... අනුන්ට අයිති උනත් ඒ කාරකෙට තිබුණා.

තාත්තා නිතරම කිව්වේ තමන් කරන ඕනෑම රස්සාවක් ආසාවෙන් ආදරෙන් අවංකව කරනවා නම් කවදාවත් වරදින්නේ නැහැ කියලා.

කොහොම හරි තාත්තා ගෙස්ට්ලා එක්ක ටුවර් එකක් ගිහින් එනකොට සමහර දවස්වලට ගෙදරට ගොඩවෙලා අම්ම උයන බත් කටක් කාලා යන්නේ. මොකද අපේ අම්මගෙයි තාත්තගෙයි අතරේ කිසිම රණ්ඩුවක් දැකලා නැහැ. කොටින්ම කියනව නම් අම්මට සැර කරල තාත්තා කතා කරනවා කිසිම දවසක අපිට ඇහිල නැහැ. මාර ලව් එකක් ඒ දෙන්නගේ තිබුණේ. වයසට ගියත් අදටත් ඒ ලව් එකේ කිසිම වෙනසක් නැහැ. ඒවට අද ඉන්න අය. සමහර උන් ගෑණු - කෙල්ලෝ මාරු කරන්නේ ඇඳුම් මාරු කරන ගානට. සමහර කෙල්ලෝ විතරක් නෙමෙයි සමහර ගෑනුත් ඉතිං එහෙමම තමයි.

තාත්තා එක්ක අපේ ගෙදර ඇවිත් යන ගෙස්ට්ලා අපේ ගෙදරින් කෑම කාලා නොයන්නේ බොහොම කලාතුරකින්. ඔයා දන්නවද අයියේ, පුංචි කාලේ ගෙස්ට්ල අපට ටොෆි චොක්ලට් ප්‍රසන්ට් කරනවා. කොහොම හරි ඒ ෆීල්ඞ් එකට මගෙත් ලොකු ආසාවක් පොඩිකාලේ ඉඳලම තිබුණා.

තාත්තට ඕනෑකම තිබුණ මට හොඳට උගන්නන්න. ඒ නිසා වෙන්නැති ගාල්ලේ ලොකුම ඉස්කෝලෙකට මාව දැම්මේ. ඒකට තාත්තට සපෝට් කළේ හොටෙල් එක අයිති මහත්තයා.

මගේ පුතා ගාල්ලෙ... ලොකු ඉස්කෝලෙකට යන්නේ කියලා අම්මා වගේම තාත්තා නෑදෑ හිතවතුන්ට කීවේ බොහොම ආඩම්බරයෙන් වගේ. මම කැම්පස් යවල හොඳ රස්සාවකට යවන්න එයාලා නිතරම හිතුවේ.

කොච්චර ඉගෙන ගත්තත් මොන උපාධි සහතික තිබුණත් අම්මට - තාත්තට සලකන්නෙ නැත්නම් රටට - ගමට තමන්ගෙකමට ආදරේ නැත්නම් වැඩක් නැහැ. වදපු හදපු අම්මට තාත්තට විතරක් නෙවෙයි උපන් රටට බරක් ණයක් වෙන්න එපා කියලා තමයි.......... එච්චර ඉගෙන ගෙන නොතිබුණ මගේ ආඩම්බරකාර තාත්තා මට කීවේ.

තාත්ත එහෙම කිව්වේ ඉස්කෝලෙ යන කාලේ සුද්දෝ සුද්දියෝ පස්සේ ගිහින් මගේ ඉගෙනීම කඩාකප්පල්වෙයි කියල බයට බව මට එදා තේරුණේ නැහැ. “ඔය ඉස්කෝලේ විභාග පාස්වෙලා ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනින්. එතකොට බැරි යැයි මොකක් හරි කරන්න.” කියලා තාත්ත මට ටිකක් සැරෙන් කියලා තියෙනවා.

මම ඕලෙවෙල් විභාගේ ලිව්වා. හැබැයි මම ජාතියයි - ආගමයි බේර ගත්තා. බුද්ධි මහහඬින් සිනාසෙමින් කීය.

සිංහල, බුද්ධාගම සබ්ජෙක්ට් දෙකට මට සම්මාන තිබුණා. හැබැයි ඉංග්‍රීසිවලට එස් එකක් තිබුණේ.

ටුවරිසම් ෆීල්ඞ් එකට මගේ යටි හිතේ ආසාවක් තිබුණා. ඒ නිසාම මම ඕලෙවල් වලින් පස්සේ ඉංග්‍රීසි ක්ලාස් එකකට ගියා. අපිට ඉංග්‍රීසි ඉගැන්වුවේ පෙන්ෂන් ගිය සර් කෙනෙක්. ආයිද කියන්නේ සුපිරි කඞ්ඩ.

මම යන්තම් ඕලෙවල් ගොඩ දාගත්ත නිසා ආර්ට්ස්වලින් ඒලෙවල් කරන්න චාන්ස් එක ලැබුණා. අනික මට ලොකු ආසාවක් තිබුණා ඩ්‍රයිවින්වලට. තාත්තට කියලා ඒ වාහනෙන්ම මම ඩ්‍රයිවින් ටික ටික ඉගෙන ගත්තා.

මම ඩ්‍රයිවින් පුරුදු වෙනවට තාත්තට එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. තාත්තාගේ පැත්තෙන් ඒක හරි කියලා මට හිතෙනවා.

මගේ තාත්තා මැරෙන කොට මට අවුරුදු අටයි. අපේ පවුලෙත් ඔක්කොම අට දෙනයි. මගේ තාත්තා කුලී වැඩ කරලා අපිව හැදුවේ. අම්ම ඒක මන්තරයක් වගේ නිතරම කිව්වා. අපේ අම්ම අපිව හදන්න විඳපු දුක මම දන්නවා. වේලක් හරි කන්න දෙන්න අම්මා නොකරපු කුලියක් නැහැ. අපිට උගන්වන්න විදිහක් තිබුණේ නැහැ. එහෙම ඉගෙන ගත්තනම් මේ කුලී රස්සාව කරන්නේ නැහැ බං. තාත්තා දවසක මට කිව්වේ ඇස් දෙකේ කඳුළු ගුලි තද කරගෙන. ඒ වගේම මගේ ආච්චිගේ සීයාගේ පරණ ෆොටෝ දෙක පෙන්වමින්.

උඹට මම පුරුදු කරන්නම් හැබැයි මම වගේ කුලියට නෙමෙයි. හොඳට ඉංග්‍රීසි ඉගෙන ගෙන තමන්ගේම කියල වාහනයක් අරගෙන මේ රස්සාව කරන්න හිතාගනින්. ඒකට මගේ අකැමැත්තක් නැහැ. මට කරන්න බැරි වුණ දේ මගේ පුතා කරනව නම් ඊට වැඩියේ සතුටක් මට නැහැ. මට බරක් නැතිව නිදහසේ ඇස් පියාගන්න එතකොට පුළුවන්. තාත්තා එදා කියපු හැම වචනයක්ම අදත් මට හොඳට මතකයි. ඒ වචන අදත් මගේ හිතේ දෝංකාර දෙනවා. ඒ දවස්වල ඩ්‍රයිවින් උගන්වන ගමන් තාත්තා කියපු ගොඩක් අවවාද අදත් මගේ හිතේ ගැඹුරුම තැනේ තැන්පත් වෙලා තියෙනවා.

තාත්තට ඉංග්‍රීසි කතා කරන්න තරම් දැනුමක් තිබුණා. හැබැයි ඒ ඉස්කෝලේ හරි ටියුෂන් හරි ගිහින් නෙමෙයි. ගෙස්ට්ලා ආශ්‍රය කරල. තාත්තාට හරියට ඉගෙන ගන්න බැරිවුණාට සමාජ විශ්වවිද්‍යාලෙ උපාධියක් ගත්ත වගේ ලොකු දැනුමක් අවබෝධයක් තිබුණා. ඒවා මේ පොත්වල දැනුම නෙමෙයි.

සමාජයෙන්ම ඉගෙන ගත්ත දේවල්. අපි හැරෙන කොට තාත්තා දන්නවා හරකා මේ හැරෙන්නේ පොල් පැළේ කන්න කියලා.

තාත්තා සුදු සරම ඇඳල සුදු පටිය බැඳල උඩට කොණ්ඩෙ පීරලා මාර නීට් එකට හිටියේ. සමහරවිට තාත්තාගේ හොටෙල් ෆීල්ඞ් එක නිසා එහෙම ඉන්න ඇති.

මට නම් දුප්පත්කම නිසා ඉගෙන ගන්න හයියක් තිබුණේ නැහැ. ඒ නිසා උඹ හරියට ඉගෙන ගනින්. අපි නොකා නොබී හරි උඹලට උගන්නන්නේ අපි විඳපු දුක උඹලට දෙන්න අකැමැති හින්දා. වෙලාව ආවම මම උඹට ලයිසන් එක අරන් දෙන්නම්. එතකම් හොඳට ඉගෙන ගනින්. තාත්තා මට කීවේ ජීවිත පාඩමේ පිටු පෙරළමින්.

කොහොම නමුත් මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලොකු ආසාවක් හිතේ තිබුණා. ඒ නිසාම තමයි වීක්එන්ඞ් එකේ ගාල්ලේ සුසිල් සර්ගේ ඉංග්‍රීසි පංතියට ගියේ. සර්ගේ ඉංග්‍රීසි පංතිය තමයි ඒ කාලේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි පංතිය.

සර් අපි එක් එක්කෙනා ගානේ ඉස්සරහට ගෙන්වලා හැමදාම ස්පීච් එකක් ගන්නවම තමයි. ගමේ සිල්වා සර්ගේ ඉංග්‍රීසි ක්ලාස් එකට ගිය නිසා සුසිල් සර්ගේ පංතියේ මට කලර්ස් පෙන්වන්න පුළුවන් වුණා.

ගාල්ලේ ඉංග්‍රීසි ක්ලාස් එක මගේ ජීවිතයේ අමතක නොවන එක තැනක්. ඒ පංතියට ගිය මුල්ම දවස මට අමතක නොවන කෙනෙක් මට මුණගැහෙන නිසා.

එයා වාසනා. මට හිතුණා කවදහරි මගේ ජීවිතයට වාසනාව අරගෙන එන්නේ වාසනා කියලා. මට නොදැනිම මගේ හිත එයා ළඟ නතර වෙලා තිබුණ කියලා මට හිතුණා. මට ඇත්තටම හිතුණේ එයා ආත්ම ගාණක ඉඳලම මගේ, මගේම වෙලා එන කෙනෙක් කියලා. මාව දැකපු මුල් දවසෙම මම වගේම එයාත් ෂොක් වුණා කියල මට තේරුණා.

අපේ ඉංග්‍රීසි ක්ලාස් එකේ ඉඳපු ලස්සනම කෙල්ල වාසනා. කවුරුත් එයාට ට්‍රයි කරන්න ගියේ නැහැ. මොකද ඒ වගේ ලස්සන කෙල්ලකුට කොල්ලෙක් නැහැ කිව්වොත් ඒක පුදුමයක් නිසා.

වාසනා උනත් ක්ලාස් එකේ මාර ඩීසන්ඞ් විදියට හිටියේ. වෙන කෙල්ලෝ වගේ පැනලා දෙන්න ගියේ නැහැ. සමහර ඩස්බින් කොල්ලෝ පැනල දෙන කෙල්ලන‘ට කැමති උනාට ඩීසන්ඞ් කොල්ලෝ ඔය වගේ ඒව දාලතියෙන්නේ ඩස්බින් ගාණට.

මටත් නොදැනිම වාසනා ගැන ආදරයක් මගේ හිතේ ඇති වුණා. ඉරිදා වෙනකම් හිටියේ බොහොම අමාරුවෙන්. ක්ලාස් ගිහින් ගෙදර ඇවිත් මම වාසනා එක්ක සිහින ලෝකෙක තනිවෙනවා.

වාසනා... වාසනා... ඔයා වෙන කාගෙවත් නෙවෙයි. ඔයා මගේම. කවදහරි මගේම කර ගන්නවා. එහෙම හිතල බැන්නත් කමක් නැහැ කියල එයාට ලෙටර් එකක් ලිව්වේ මාර ට්‍රයි කරලා. මගේ මුල්ම ලව් ලෙටර් එක ලියන්න මාර දුකක් වින්දා. කොළ කීයක් ගුලි කරලා විසිකරන්න ඇද්ද?

මම එහෙම ලියන්න හිතට ගැම්ම ගත්තේ එයා මට විශේෂයක් දක්වන බව තේරුණ නිසා. එක දවසක් ක්ලාස් එකේදී ගෙස්ට් කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතාකරන හැටි පොඩි ඩ්‍රාමා එකක් කළා. ඒකේ මගේ චරිතේ මම හොඳට කළා. එහෙම කරන්න පුළුවන් වුණේ ගෙවල් කිට්ටුව තිබුණ ඉංග්‍රීසි ක්ලාස් එකට ගිහින් ගත්ත දැනුම නිසා. එදා පංතියෙන් එළියට එනකොට එයා හිනාවෙලා කිව්වා ඔයා මාර ටැලන්ට් කියලා.

“තැන්ක් යූ.... මැඩම්” කියලා මම කිව්වාම එයා මම දිහා ලස්සනට බලලා හිනාවෙලා ගියේ ලස්සන කිරිල්ලියෙක් ඉගිලිලා යන ගානට. එදා සුසිල් සර් මට ප්‍රශංසා කළේ පංතියේ ඉස්සරහම මාව තියාගෙන. ක්ලාස් එකේම වීරයා මා කියලා සර්ගෙයි යාළුවන්ගෙයි ප්‍රශංසාවලින් එදා මට දැනුණා. සර් එදා මාව ඇගැයීමට ලක් කරන කොට වාසනා මම දිහා ආඩම්බරයෙන් වගේ බලාගෙන හිටියේ. මට මාර ෆිට්. එදා ගෙදර ආවේ මාර සතුටෙන්.

වාසනාට තිබුණේ කතා කරන ඇස් දෙකක්. ඒ ඇස් දෙකට තමයි මම වහවැටෙන්න ඇත්තේ. මට එදා රෑ නින්ද නොගිය තරම්. ඇඳට වෙලා අර පැත්තට මේ පැත්තට පෙරළි පෙරළි හිටියා. කාමරේ ලයිට් දාලා තියෙනවා දැකලා අම්මා ඇවිල්ලා ඇහුවා -පුතේ මොකක් හරි අසනීපයක්ද කියලා.”

“නැහැ... නැහැ... අම්මට පිස්සුද?” කියලා කිව්වාම මට කිව්වා “මට නම් පිස්සු නැහැ. ඒත් මගේ රන් පුතාට පිස්සුවක් හැදීගෙන එනවා වගේ කියලා මට හිතෙනවා වගේ කියලා.”

මම ඊළඟ ඉරිදා ඉංග්‍රීසි ක්ලාස් ගියේ නිල්පාට ලා ඩෙනිමයි සුදුපාට අලුත් ටීෂර්ට් එක ඇඳගෙන. මම හිතාගත්තා අදනම් කොහොම හරි ලෙටර් එක වාසනාට දෙනවා කියලා. මම ක්ලාස් එකට ගියේ වෙනදටත් වඩා වේලාසනින්. පංතිය පටන් ගන්නකම් මම පංතිය ඉස්සරහට වෙලා බලාගෙන හිටියේ වාසනා එනකම්. සර්.. ක්ලාස් එකට ආවා.

අපි පංතියට ගිහින් වාඩි වුණා. මම හිතුවේ පරක්කුවෙලා හරි වාසනා පංතියට එයි කියලා. ඒත් එදා වාසනා ආවේ නැහැ. මම ගෙදර ගියේ අප්සෙට් එකේ. කන්නත් බැහැ වගේ. මම ඇඳට වැටුණේ මොකුත් හිතාගන්න බැරිව.

වාසනාට මම ලියපු ලියුම අරගෙන හත් අට වතාවක්ම මම ආපහු එක දිගටම කියවගෙන ගියා. අපරාදේ අද කෙල්ල ආවනම් කියලා මට මම ගැනම මාර දුකක් ඇති වුණා. මම හිතා ගත්තේ ඊළඟ ඉරිදා හමුවෙලා ලියුම දෙනවා කියලා. හැබැයි ඒ සතිය ගෙවන්න අවුරුදු ගාණක් ගියා වගේ මට දැනුණා.

එදා ඇඳපු ටීෂර්ට් එකයි ඩෙනිමයි ඇඳගෙන ඊළඟ ඉරිදා ක්ලාස් ගියේ වාසනා හිතපුරා දැකගන්න තිබුණ ආසාවෙන්. මට තිබුණෙ පුදුම නොඉවසිල්ලක්.
මම ක්ලාස් එකට යනකොට වාසනා ඇවිත් හිටියා. මට සතුටුයි. එයා මම දිහා බලල හිනාවුණේ සමාවෙන්න කියල කියනවා වගේ.

මම බයනැතුවම වාසනා ළඟට ගිහින් ඇහුවා “ඇයි ගිය සතියේ ක්ලාස් ආවේ නැත්තෙ” කියලා. එයා කිව්වා “අසනීප නිසා ආවේ නැහැ” කියලා. මම දහපාරක් විතර වටපිට බලලා සාක්කුවේ තිබුණ ලියුම එයාට දුන්නා. එයා ඇහුවා “මොකක්ද මේ” කියලා.

“ඔය අසනීපයට බෙහෙත්... ලියලා ඇති” කියලා මම කිව්වා.

එන සතියේ එනකොට රිප්ලයි එක ගේන්න කිව්වම “හ්ම්” කියාගෙන පංතියෙන් එළියට දිව්වා.

ඊළඟ ඉරිදා මම පංතියේ දහසක් බලාපොරොත්තු ඇතිව. වාසනා පංතියට ඇතුළු වෙනකොටම මට කිව්වේ ඔයාටත් අද බෙහෙත් තුණ්ඩුවක් ලියාගෙන ආවා කියලා.” මම ඉල්ලුවම “බැහැ... බැහැ පස්සෙ දෙන්නම්” කිව්වා.

සර් තේ බොන්න යන්න අපිට පොඩි රෙස්ට් එකක් දුන්නා. මම වාසනා ළඟට යනකොට පොත ඇතුළේ තබුණ ලියුම අරගෙන අහක බලාගෙන වගේ ලජ්ජාවෙන් මට ලියුම දෙන්න අත් දික්කළා. මම ලියුම ගන්න අත දික්කරනකොට පිටිපස්සෙන් ආපු අපේ පංතියේ යාළුවෙක් ලියුම උදුරගෙන පංතිය වටේ දිව්වා. ඌ පංතියටම ඇහෙන්න ලියුම කියැව්වා. කොහොම හරි සර්ට වැඬේ මාට්ටු. වාසනා හිටියේ මාර ලැජ්ජාවෙන්. අඬන්න ඔන්න මෙන්න වගේ.
එදා වාසනා පංතිය ඉවරවෙලා ගෙදර ගියේ මං දිහාවත් බලන්නේ නැතුව.

සති දෙකක්ම එක දිගට වාසනා පංති ආවේ නැහැ. ඊළඟ දවසේ මම වාසනා හොයාගෙන උණවටුනට ගියා. ඒත් ඇඞ්ඩ්‍රස් එකක් මගේ ළඟ තිබුණේ නැහැ. වාසනා ගැන තොරතුරක් කවුරුත්ම දන්නේ නැහැ. මාසයක්ම වාසනා පංති ආවේ නැහැ. මම දැනගත්තා ආයිමත් වාසනා එන්නේ නැහැ කියලා. මට හිතුණා මම ලොකු වැරැද්දක් කළේ එයාගෙන් සමාව ගන්න ඕනෑ කියලා.

ඉංග්‍රීසි පංතිය මට අපායක් වුණා. අතර මග පංති යෑම නැවැත්තුවා. ගෙදරින් ඇහුවම මම කිව්වා ආපහු පංති යන්නේ නැහැ කියලා. ඒකට අම්මා තාත්තා කැමති වුණේ නැහැ. තාත්තා කිව්වේ උඹේ කරුමේ අපිට වෙනස් කරන්න බැහැ කියලා. කොහොම හරි තාත්තට කියල තාත්තා වැඩකරපු හොටෙල් එකේම රූම්බෝයි කෙනෙක් හැටියට මම රස්සාවට ගියා. මගේ පෙනුමටයි තාත්තාගේ සම්බන්ධකමටයි මට රස්සාව ලැබුණේ.

රස්සාව කරන අතර තුරේ මම ඩ්‍රයිවින් ලයිසන් එක හදාගත්තා.

මට ඉංග්‍රීසි කතාකරන්න පොඩි දැනුමක් තිබුණා. ඒක මම කරපු හොටෙල් ජොබ් එකට ලොකු හයියක් වුණා. මම හිතාගෙන හිටියේ මගේ ජීවිතේ ආපහු මෙතනින් පටන් ගන්නවා කියලා.

තාත්තා එක දවසක් ගෙදර ඇවිත් කිව්වේ දැන් නම් මට පෙන්ෂන් ගන්න කාලේ හරි කියලා. තාත්තාගේ එක ඇහැක පෙනීම අඩුවෙන්න ගත්ත නිසා තාත්තා එහෙම කීවේ. ටික දවසක් යද්දී පරම්පරාවෙන් පරම්පරාවට යනවා වගේ තාත්තාගේ ජොබ් එක මට කරන්න වුණා. එදා වාහනේ අරගෙන ගෙස්ට් කෙනෙක් හොටෙල් එකට අරන් මම ගියේ ප්ලේන් එකක් අරගෙන යන පයිලට් කෙනෙක් ගාණට.

මම එයාපෝට් එකට ගිහින් කාර් පාක් එකේ ඉන්නකොට මට කෝල් එකක් ආවා. බුද්ධි.... කියලා මට කතා කළේ මම ගෙනියන්න ආපු ගෙස්ට්. මම එයා ළඟට ගිහින් බැගේජ් ඩිකියේ දාලා කාරකේ පිටිපස්සේ දොර ඇරියා.

“නෝ.... නෝ.....” කියලා එයා කාරකේ ඉස්සරහ දොර අරලා සීට් එකේ වාඩි වුණේ මම දිහා බලලා හිනා වෙලා.

ඊට පස්සේ එයාව හොටෙල් එකට ගෙනාව විතරක් නෙවෙයි රූම් සර්විස් එකටත් මාව දැම්මේ හොටෙල් එකේ බොස්. ඒක ලොකු හොටෙල් එකක් නෙවෙයි. වැල්ල අයිනේ කාමර පහක පොඩි හොටෙල් එකක්. එදා රූම් සර්විස් එකට ඉඳුනිල් ඇවිත් හිටියේ නැති නිසයි බොස් මාව ඒකට දැම්මේ.

කොහොම හරි මගේ රූම් සර්විස් එක මැඩම්ගේ හිතට අල්ලලා එයා යනකම් එයාගේ රූම් සර්විස් එකට මාව දාන්න කියලා බොස්ට කිව්වා.

පහුවෙනිදා මාඳු ගඟේ බෝට් ටි්‍රප් එකක් යන්න බළපිටියට ගියා. මම වාහනේ පාක් කරලා කූල් ඩි්‍රන්ක් එකක් බිබී හිටියා. මම හිතුවේ මැඩම් තනියම බෝට් ටි්‍රප් එක යාවි කියලා. බෝට් ටි්‍රප් එක යන්න මාවත් එකතු කරගත්තා. මැඩම් ගොඩාක් ලස්සනයි. එයා ඉංග්‍රීසි ගුරුවරියක්. බෝට් ටි්‍රප් එක ගිහින් ආපහු එනකොට මැඩම් මට කිව්වා ගිය සැරේ එයා හස්බන්ඞ් එක්ක ලංකාවට ආපු වෙලාවේ එයාලා අරගෙන ගියේ පීටර් කියලා. මම කිව්වා ඒ මගේ තාත්තා කියලා. මම තාත්තාගේ විස්තර කිව්වාම මැඩම් කිව්වා අපේ ගෙදර ගිහින් තියෙනවා කියලා. එදා හවස මැඩම් මා එක්කගෙන තාත්තා බලන්න අපේ ගෙදර ගියා.

“හව්... ආ යූ... පීටර්” කියලා මැඩම් තාත්තාගේ ඇඳ ළඟට ගිහින් කතා කළාම තාත්ත ඇස් ඇරලා බලලා මැඩම් කියලා ඇඳෙන් නැගිට්ටේ අලුත් පණක් ලැබුණා වගේ. දුර නොපෙනුනාට තාත්තට ළඟ පෙනුනා. බුද්ධි කීවේ සිනාසෙමිනි.

එදා මැඩම් ඩිනර් එක ගත්තේ අපේ ගෙදරින්. තාත්තාට රුපියල් දහදාහකුත් දුන්නා බෙහෙත් ගන්න කියලා. ඊට පස්සේ මැඩම් එක්ක මම හොටෙල් එකට ගියා.

පහුවදා අපි දවස් පහක ටුවර් එකක් යන්න හොටෙල් එකෙන් පිට වුණා. අපි යන ගමන් ගොඩක් දේ කතා කළා. මැඩම් මගේ කකුලට අත තියලා කිව්වා එයා හස්බන්ඞ්ගෙන් ඩිවෝස් වුණා කියලා.

දවස් පහට රට වටේම අපි දෙන්නා ගියේ අලුත බැඳපු කපල් එකක් වගේ. එකම රූම් එකේ යන හැම තැනකම. මගේ අත අතඇරියේ නැහැ.

මැඩම් මුල්ම දවසේ මට බොන්න කියලා බියර් කෑන් එකක් දුන්නා. “නෝ තෑන්ක්ස්” කියලා මම කිව්වම එයා මාව සිපගත්තා.

මම කිව්වා මම කවදාවත් ලිකර් අරන් නැහැ කියලා. එයා කිව්වා මේවා ලේඩිස්ලා ගන්න ඩි්‍රන්ක්ස්. එකක් බොන්න කියලා. එයා විස්කි බෝතලයක් ළඟ තියාගෙන සිගරැට් පැකට් එකත් ළඟ තියාගෙන හිටියේ පුරුදුකාරියක් වගේ.

එදා රෑ දොළහ එක වෙනකම් අපි බිව්වා. මැඩම් කිව්වා එයා හස්බන්න්ඞ්ගෙන් ඩිවෝර්ස් උණු දවසේ ඉඳලා ඩි්‍රන්ක්ස් ගන්නයි ස්මෝක් කරන්නයි පුරුදු වුණා කියලා. මම කිව්වා දැන් ඇති මැඩම් කියලා. එයා කිව්වා මැඩම් කියන්න එපා ක්‍රිස්ටිනා කියන්න කියලා. කොහොම හරි එදා රෑ මම හිටියේ එයාගේ රූම් එකේ.

සති දෙකක්ම අපි අලුත බැඳපු ජෝඩුවක් වගේ ආදරෙන් හිටියා. මට හිතුණා මගේ ජීවිතේ සහකාරිය මට ලැබුණා කියලා.

කොහොම හරි දවස් තුන හතරක්ම එයා මට කිව්වා කැස්බෑවන් බලන්න ආසයි කියලා. එයා කිව්වේ කැස්බෑවන් බිත්තර දානව බලන්න බීච් එකට යන්න ඕනෑ කියලා. දවසක් අපි ඉඳුරුව බීච් එකට ගියේ ටිකක් රෑ වෙලා. මගේ වෙලාවටම කොහේද කැස්බෑවෙක් බිත්තර දාන හැටි බලලා එයා ගොඩක් සතුටු වුණා.

පහුවදා උදේ එයා හිටියේ දුකෙන් වගේ. එයාව එයාර්පෝට් එකට ඇරලවන්න තිබුණා. එයා මාව රූම් එකට ගෙන්නගෙන මාව අමතක කරන්න බැහැ කියලා හොඳටම ඇඬුවා.

එයාර්පෝට් එකට යනකම් අපි දෙන්නම කතා කළේ නැහැ. යන්න ගිහිනුත් එයා හොඳටම ඇඬුවා.

එයාව එයාර්පෝට් එකට දාලා මම ආපහු හොටෙල් එකට එන්න පිටත් වුණා. මට නිදිමතයි. හරිම තෙහෙට්ටුයි. ඊට වඩා මාර පාළුවක් කාන්සියක් වේදනාවක් දැනුණා. මට හිතුණා මම ක්‍රිස්ටිනාට ආදරේ කරනවාද කියලා.

මම අම්බලන්ගොඩ පාස් කරල කහව හරියට එනව මට මතකයි. කහව පාර අයිනේ මුහුදේ එන හුළඟින් මගේ ඇස් පියවෙනවා වගේ. මම බොහොම අමාරුවෙන් ඇස් ඇරගන්න හැදුවා. මට පාර පෙනුණේ බොඳවෙලා වගේ... එච්චරයි මට මතක.

දවස් තුනකට පස්සේ මට සිහිය එනකොට මගේ ඇඳ වටේ කට්ටිය පිරිලා හිටියා. එතකොටයි මම දැනගත්තේ මම ඉන්නේ හොස්පිටල් එකක කියලා.
පස්සේ දැනගත්තා මට නින්ද ගිහින් කාරකෙ රෝන් සයිඞ් ගිහින් ඇක්සිඩන්ට් වෙලා මම බේරිලා තියෙන්නේ අනූනවයෙන් කියලා. මගේ වාසනාවට කියලා.

පස්වෙනි දවසේ මට නින්ද ගිහින් තිබුණේ. වෝඞ් එකට ආපු නර්ස් අල්ලපු ඇඳේ හිටපු ලෙඩාට ඉන්ජෙක්ෂන් ගහන කොට මට ඇහැරුණේ. මම නර්ස් මගේ ඇඳ ළඟට එනකම් ඇඳ උඩින් සිවිලිමේ කැරකෙමින් තිබූ ෆෑන් එක දිහා බලාගෙන හිටියා.

බුද්ධි.... නැගිටින්න කියල නර්ස් කිව්වා. මම ටක්ගාලා නැගිටලා නර්ස් දිහා බැලුවා. එයා මගේ දිහා පුදුමයෙන් වගේ බලා කබඞ් එක උඩ තිබුණ මගේ කාඞ් එක අරගෙන බැලුවා. “බුද්ධි අස්සලආරච්චි”

“ඔව්. මම... මේ ඔයා..... වාසනා නේද?” මම පුදුමයෙන් වගේ ඇහුවා.

“ඔව්. මම වාසනා.”

එයා ස්ටාෆ් එකට කිව්වේ එයාගේ නෑදෑයෙක් කියලා. කොහොම හරි එයා ඕෆ් වෙලා ගෙදර ගියේ නැහැ. නර්ස් ක්වාටර්ස්වල නැවතිලා ඉඳගෙන ඊළඟ දවසෙත් මාව බලන්න ආවා. මට අවශ්‍ය හැමදේම හොයලා බැලුවා. වෝඞ් එක භාර ඩොක්ටට කිව්වා.

දවස් දහයක්ම එයා මගේ දුක සැප බැලුවා. දහවැනි දවසේ කිව්වා ඔයා හෙට ඩිස්චාර්ච් කරනවා කියලා. පහුවදා දවල් හොස්පිටල් එකෙන් පිට වුණේ ඊළඟ දවසේදී වාසනා මුණගැහෙන්න කතා කරගෙන. නර්ස් කිට් එකට එයා හරියට ගැළපෙනවා.

ඊළඟ දවසේ අපි දෙන්නා ගාල්ලේදී මුණගැහුණත් අපි කවදාවත් නොහිතපු විදියට කොටුවේ ඇවිදින්න යන්න එයා බය වුණා. කවුරුහරි අඳුනන කෙනෙක් ඉඳීවි කියලා.

අපි එදා නිදහසේ කතා කළා. දවල්ට කන්න පාර අයිනේ පොඩි හොටෙල් එකකට ගියා. ඒකේ කුලියට දෙන රූම් තිබුණා.

අපි රූම් එකක් අරගෙන කෑම එවන්න කියලා කාමරේ දොර වහගත්තා.

කාලෙකට පස්සේ මුණගැහුණත් අපි දෙන්නටම හිතුණේ අපි කාලයක් තිස්සේ ආශ්‍රය කරනවා වගේ හැඟීමක්.

මම ඇඳ විට්ටමට කොට්ට දෙකක් තියාගෙන ඇඳේ හාන්සි වුණා. වාසනත් මගේ ළඟම වාඩි වුණා. මම ඉංග්‍රීසි පංතියේ ඉඳලා ඉස්පිරිතාලෙට එනකම් වෙච්ච සියල්ලම එකක් නෑර එයාට කිව්වා. කිසිම දෙයක් හැංගුවේ නැහැ. මම කතාව කියල දිග හුස්මක් අරගෙන පපුව සැහැල්ලු කරගත්තා.

එයාත් එයාගේ කතාව කිව්වා. පංති ඇවිත් නැත්තේ එයාගේ තාත්තගේ මරණය නිසා. පස්සේ කොහොම හරි නර්සිං පුහුණුවට ගිහිල්ලා තියෙන්නේ අම්මා... නංගි, මල්ලි බලාගන්න. ඒ කාලේ එයාත් ගොඩක් දුක් විඳලා තියෙනවා. එයා ඉගෙන ගෙන තියෙන්නේ දොස්තරවරියක් වෙන්න. ඒත් තාත්තා හදිසියේ මැරුණ නිසා ඒක හීනයක් වෙලා.

ඊට පස්සේ පුහුණුවෙන් පස්සේ හොස්පිටල් එකකට පත්වීම් ලැබිල ගියාම ලස්සන ඩොක්ටර් කෙනෙක් එයාට වහවැටිලා. මෙයාගේ ඩියුටියට ඒ වොර්ඞ් එකටම එනවලු. කොහොම හරි ඩොක්ටර් කියලා තියනවා වාසනා මැරි කරනවා කියලා. අන්තිමට ඩොක්ටර් එයාටත් නොකියා පිටරට ගිහින්. එයාගේ කතාව අපහු මම එයාට තවත් ගොඩක් ළංවුණා. එයා මගේ ළඟටම අරගෙන එයාගේ දිලිසෙන ඇස් දිහා බැලුවා.


ගොඩාක්ම ආදරණීය බලාපොරොත්තු දිලිසෙන ලස්සන ඇස් දෙකේ තිබුණා. අලුත් ඉරක් යට අලුත් අවුරුද්දක් ආරම්භ කරන අද වගේ හොඳ දවසක පැහැබර හෙට දවසකට අප පියවර තියනවා යි කියමින් බුද්ධි මගෙන් සමුගත්තේ ඔබට ඉගෙන ගන්නට බොහෝ දේ කියමින්.

සුපුරුදු ලෙසින්ම මෙවරද මේ සටහන මා නිමා කරන්නේ මේජර් සිඞ්නි ද සොයිසා රණවිරුවාගේ පදපෙළකිනි.
මා සඟවනා ටික මා හෙළිකළ පසු
ඇය සඟවනා ටික ඇයත් හෙළිකළා
අප සඟවන ටික අප දැනගත් පසු
දෙදෙනම එක බව අපට වැටහුනා

ඇයත් මාත් ආ මේ කෙටි ගමනේ
අපේ සුසුම් රැල් තවත් ළංවුණා
ඇය පිළිගනිමින් මා පිළිගනිමින්
අපේ ආදරේ ගීතවත් වුණා

සිත් ඇතුළට එබි එබී බලන්නට
අපට තවදුරට ඕනෑ නැති වුණා
එක සිතකට අප දෙදෙනාම යාවි
අපට අප නැතිව ඉන්න බැරි උනා...

lankadeepa.lk/


o