0 Views  
වාද්දූවේ නිල්මිණී පසුපස ආ නොපෙනෙන බලවේගය ජීවිතය එපා කරවූ හැටි

“මම මළාට පස්සේ මගේ රත්තරන් බඩු කෝ කියලා මේකි ගේ පෙරළ පෙරළා හෙව්වා. හැම තැනැක්ම අවුස්සලා බැලුවා. මම ඒ බඩු ටික මගේ බුදු කාමරේ බුදු පිළිමය පිටු පස්සේ හංගලා තිබුණේ. මේකි කොහොමහරි අන්තිමට එතැනින් ඒක හොයාගත්තා.”
කාමය යනු කැමැත්තයි. ලෝභය, ආශාව හෙවත් ඇලීම කාම ලෝකයක ස්වභාවයයි. මිනිසා ඉන්ද්‍රියයන් පිනවීමට කැමැත්තක් දක්වයි.
මේ නිසා ඔහු ආශාව ඇති කරගනී. ඒ නිසා සසර ගමන දික්කරගනී.
කිසියම් කෙනෙකු යම් කිසි දෙයක් සිතින් දැඩි සේ අල්ලාගෙන සිටීම නිසා හෙතෙම උපාදාන භවයක් සකස් කර ගනී. ලෝභයෙන් හෝ ද්වේෂයෙන් ඇලී උපාදාන ඇතිවීම නිසා මිනිසා දිනකට “භව“ ලක්ෂ ගණනක් ඇති කර ගනී. යම් යම් දේ මෙලෙස සිතින් දැඩිව අල්ලා ගැනීම නිසා සංසාර ගමන කොයි තරම් දිග් කර ගනී දැයි සිතන විටත් මහත් බියක් ඇති වේ.
වාද්දුවේ නිල්මිණි හැටපස් වියේ පසුවන කාන්තාවකි. ඇය නිතර නිතර හීනෙන් බය වෙන්නට වූවාය.
නිවසේ නිතර අසූචි ගඳක් පැතිරෙන්නට ද විය. කොයි තරම් පිරිසුදු කළත් සුවඳ දුම් ඇල්ලුවත් අසූචි ගඳ ඉවත් වන්නේ ද නැත. රාත්‍රියට නිවස පුරා සද්ද බද්ද ඇසෙනන්නට වූ අතර කෙනෙක් කකුල් අද්ද අද්දා නිවස තුළ එහා මෙහා ගමන් කරන හඬ ද හොඳින් ඇසෙන්නට විය.
මේ තත්ත්වයෙන් මිදීමට නොයෙක් වත් පිළිවෙත් කළත් එයින් සහනයක් නොවු බැවින් ඇය තම ස්වාමි පුරුෂයා සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ගියාය. එහිදී ආධ්‍යාත්මිය උපදේශකවරයා මුණ ගැසී වසර එක හමාරක පමණ සිට පවතින තත්ත්වය පිළිබඳ විස්තර කරන්නට වුවාය.
ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරමින් කරන ලද මුලික පරීක්ෂණයේ දී ම නිල්මිණි වේවලන්නට වුවාය. ඇයට භූත දෝෂයක් ඇතැයි නිගමනය කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඇයට උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින නිල්මිණිට භූතාත්මයක් ආවිශ්ට වුවාය. ඇය හූ කියන්නටත් රවන්නටත් වෛරයකින් මෙන් ගොරවන්නටත් වූවාය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්න විය.
“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා කරදර කරන්නේ?”
“මම ද? මම මේකිගෙ අම්මා”
“මොකක්ද නම?”
“සුමනාවතී”
“ඇයි මේ දුවට කරදර කරන්නේ?”
“පළිගන්න.”
“මොන වරදක් කළාට ද?”
“මේකි මගේ රත්තරන් බඩු ටික ගත්තා.”
“රත්තරන් බඩු හුඟක් වටිනවද?”
“ඔව් ලක්ෂ පහළොවක විතර රත්තරන් බඩු”
“කොහොමද ගත්තේ ? හොරෙන් ද?”
“නැහැ මම මළාට පස්සේ තමයි ගත්තේ.”
“කොහොමද ගත්තේ”
“මම මළාට පස්සේ මගේ රත්තරන් බඩු කෝ කියලා මේකි ගේ පෙරළ පෙරළා හෙව්වා. හැම තැනැක්ම අවුස්සලා බැලුවා. මම ඒ බඩු ටික මගේ බුදු කාමරේ බුදු පිළිමය පිටු පස්සේ හංගලා තිබුණේ. මේකි කොහොමහරි අන්තිමට එතැනින් ඒක හොයාගත්තා.”
“කොහොමද මෙයාම ගත්ත බව දන්නේ?
“ඇයි මහත්මයා, මම දැක්කනෙ මේකි රත්තරන් බඩු ටික ගන්නවා. මම මැරුණු ගමන්ම බුදු කාමරේ තමයි උපන්නේ. මැරෙන කොට මට මතක් වුණේ මගේ රත්තරන් බඩු ටික. මේකි ඒක අවුස්සලා හොයාගන්නකොට මම කෑ ගැහුවා ගන්න එපා කියලා. අන්තිමේ මම මේකිට ශාප කර කර බිම පෙරළිලා ඇඬුවා. ඒ කිසි දෙයක් මේකිට ඇහුණේ නෑ. මේකි ඒ බඩු ටික තුරුල් කරගෙන ගෙට අරන් ගියා. අනේ දෙයියනේ මගේ රත්තරන් බඩු ටික. මහත්තයෝ ඒවා තිබුණු තැනම තියන්න කියන්න.”
එසේ කියමින් ප්‍රේතිය අඬන්නට වුවාය.
නිල්මිණිගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කොට අම්මාගේ ප්‍රාණකාරිය කියන කතාව ඇත්ත දැයි ගවේෂකවරයා ඇගෙන් විමසුවේය.
“ඔව් මහත්තයා. අම්මගෙ රත්තරන් බඩු ටික බුදු කාමරයේ පිළිමය පිටුපස තිබිලා මම හොයා ගත්තා. ඒවා මම තනියෙන් ගත්තේ නෑ. නංගිලා දෙන්නටත් දුන්නා.”
ඇය ගවේෂකවරයාට කීවාය.
“එහෙම නම් ඒ බුදු කාමරයේ උදේ සවස හොඳට වත් පිළිවෙත් කරලා තව සති දෙකකින් එන්න. ඒ එනකොට නංගිලා දෙන්නවත් කැඳවා ගෙන එන්න.”
ගවේෂකවරයා ඇයට උපදෙස් දුන්නේය.
ඊළඟ දිනයේ තම සහෝදරියන් ද කැටුව නිල්මිණි ගවේෂකවරයා හමුවට පැමිණියාය. එදින ද නිල්මිණීට මවගේ භූතාත්මය ආවිශ්ට වූවාය. ගවේෂකවරයා සුපුදුරුදු පරිදි භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ….?”
“මම සුමනාවතීම තමයි මහත්මයා?”
“අද වෙනදා වගේ සැර නැහැ නේද?”
මගේ රත්තරන් බඩු ටික ඔබතුමා මට අරන් දෙයි කියලා හිතුවා.”
“දැන් ඔබ කොහේ ද ඉන්නේ?”
“බුදු කාමරය ළඟ”
“බුදු කාමරයේ මේ දවස්වල වෙනසක් තියෙනවාද?”
“තියෙනවා…. තියෙනවා…. දැන් මේකි උදේ සවස බුදුන් වඳිනවානෙ මහත්මයා. බයක් ඇතිවෙන්නම ඕනෑ මුන්ට දෙයියන් බුදුන් සිහිපත් වෙන්න.”
“ඔව්. හැබැයි ඔබත් බුදුන් වැන්දා. ඒත් බුදු දහම දන්නේ නැහැ. දැඩි ලෝභය නිසා පේ‍්‍රතියක් වුණා. බුදු කාමරයේ හිටියත් අසූචි ගඳ නිසා ඔබ පේ‍්‍රතියක්. උපාසකඅම්මලා වැද වැඳ හිටියත් ධර්මාවබෝධය නැති කමින් අපාගත වෙනවා. ඔබට වුණෙත් ඒ ටිකම තමයි. ඔය රත්තරන් ටිකත් අසූචි ගොඩක් වගෙයි. ඔය රත්තරන් ටිකම තමයි ඔබව පේ‍්‍රතියක් කළේ. ඔය රත්තරන් ටික ගත්තේ පිට අය නෙවෙයි. තමුන්ම කුසින් වදාපු දරුවෝ. ඒ නිසා ඔය තණ්හාව අත හරින්න. දැන්වත් දුවට කරදර නොකර ඉවත් වෙලා යන්න.”
“එතකොට මගේ රත්තරන්?”
“ඔය රත්තරන් මාල වළළු මුදු කරාබු විතරක් නොවෙයි රත්තරන් ඔටුණු පවා ලබා දෙන දේවාතාවියක් වෙන්න හිතන්න. ඉස්සර කරපු පින් සිහිපත් කරගන්න.”
“අනේ මහත්තයා දේවතාවියක් වුණොත් රත්තරන් ආභරණ ලැබෙනවාද?”
“ඔව් රන් රසු දැළෙන් විසූ ඇඳුම් පැළඳුම් පවා ලැබෙනවා.”
“අනේ මහත්තයෝ එහෙම නම් මට දේවතාවියක් වෙන්න ඕනෑ.”
“එහෙම නම් සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමට යොමු වෙන්න ඕනෑ.”
එසේ කී ගවේෂකවරයා නිල්මිණීටත් සහෝදරියන්ටත් තවත් සතියකින් අනුරාධපුරයට යෑමට සුදානම් වී එන්නැයි නියම කළේය.
සතියකින් පසු ඔවුහු ගවේෂකවරයා හමුවට පැමිණියහ.
එදින භූතාත්මය සුදු මල් වට්ටියකට සම්බන්ධ කළ ගවේෂකවරයා නිල්මිණි අතම අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රවයට යැවීය.
තමන් මැරෙන බව සිතිය යුතුය. දූ දරුවන් ඥාති මිත්‍රාදීන් අතහැර යෑමට සිදුවන බව නිතර මෙනෙහි කළ යුතුය. රන්, රිදී පමණක් නොව ගෙවල්, දොරවල්, ඉඩකඩම්, දේපළ ද ඒ නිසා නැතිවන බව සිහිපත් කළ යුතුය. එසේ නොකළ හොත් අවසාන චුති චිත්තයට එවැනි දෙයක් අරමුණු වුවහොත් ඒ ඇලීම හේතුකොට ගෙන එතැනම පේ‍්‍රතයෙක් හෝ පේ‍්‍රතියක් වී උපදින්නට සිදු වනු ඒකාන්තය ප්‍රේතාත්මවලට ආයුෂ දීර්ඝය. ආහාරය සඳහා කෙළ සෙම් සොටු ගන්නා ප්‍රේතයෝ අනන්තය. විඳින දුක අනන්තය.


o