0 Views  
කොළඹ පැල්පත්වාසීන්ට නිවාස 50,000 ක්. 2023 දී වැඩ අවසන්

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ බොරැල්ල ලෙස්ලි රණගල මාර්ගය ප‍්‍රතිසංවර්ධනය කර ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමිනි. මහානගර සංවර්ධන සැලැසුමට අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් ලක්‍ෂ 540 ක වියදමින් මෙම මාර්ගය ප‍්‍රතිසංවර්ධනය කරන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, බොරැල්ල ප‍්‍රදේශය ඉතාම ජනාකීර්ණ ප‍්‍රදේශයක්. මේ ප‍්‍රදේශය පසුගිය කාලය පුරාම විධිමත් සංවර්ධනයකට හසු වූනේ නැහැ. වනාතමුල්ලේ ලිපිනය වෙනස් කරන්න අපි මේ වන විට කටයුතු කරගෙන යනවා. පළමු පියවර ලෙස වෘත්තීයවේදී නගරයක් ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කළා. එතන නිවාස 600 කට අධික ප‍්‍රමාණයක් තව වසර එකහමාරකින් පමණ ඉදිවෙනවා. එමගින් බොරැල්ලට රටේ වෛද්‍යවරු, ඉංජිනේරු මහත්වරු, ගණකාධිකාරීවරු පවුල් 600 ක් පමණ පදිංචියට එනවා.

බොරැල්ල සංවර්ධනයේ තවත් එක් පියවරක් එළියට් පෙදෙසේ අපි ආරම්භ කර තිබෙනවා. ඒ වගේම තමයි ලෙස්ලී රණගල මාර්ගය ප‍්‍රතිසංස්කරණය කර පුළුල් කිරීම. අද එහි පළමු අදියර අපි ජනතාවට මෙසේ ප‍්‍රධානය කරනවා. මේ ලෙස්ලි රණගල මාවත අපට එහා පැත්තේ කොටාරෝඞ් මාර්ගය හා සම්බන්ධ කළ හැකිනම් ඉතාම වැදගත් දියුණුවක් මේ ප‍්‍රදේශය තුළ ඇතිවීමට නියමිතයි. ඒ සඳහා අපේ අමාත්‍යාංශය කි‍්‍රයාත්මක වෙනවා. ඒ සඳහා ඔබ හැමගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ බොරැල්ල ඊ ළග වසර 05 තුළදී නිසි ලෙස සංවර්ධනමය වෙනසකට ලක්වීමට නියමිතයි. දැනට ඉතාම දුර්වල තත්වයක පවතින අපේ සුපිරි වෙළඳසැල් සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊට එපිටින් තිබෙන ටයිපින් වත්ත මේ සියල්ල එකට එකතු කර කඩුවෙල සිට පිටකොටුව දක්වා දිවෙන සැහැල්ලූ දුම්රිය මාර්ගයක් ජපන් ආධාරවලින් ඉදිවනවා. එය ගමන් කරන්නේ බොරැල්ල හරහා එමගින් බොරැල්ලට හා අවට පිහිටා තිබෙන රාජ්‍ය ආයතනවලට, පාසල්වලට අලූත් නාවෝදයක්, අලූත් උදානයක් එමගින් ඇතිවෙනවා. ලබන වසර අගභාබාගයේදී එහි වැඩකටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. වසර පහක් තුළදී එම කටයුතු නිමකිරීම බලාපොරොත්තු වෙනවා.

එළියට් පෙදෙසේ තවත් මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරනවා. එමගින් බොරැල්ලට තවත් වැදගත් වෘත්තීයවේදීන් පවුල් හාර පන්සියක් පදිංචියට එනවා. ඒ මගින් බොරැල්ලේ තිබෙන ජන සංයුතිගේ ගැටළුව විසඳීමට කටයුතු කරනවා.

ගරු අග‍්‍රාමාත්‍යතුමා අපට පොරොන්දු වී තිබෙනවා ලබන වසරේදී නාගරික නිවාස සංවර්ධනය අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන්න. එමගින් අපට හැකිවෙනවා. කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා ඉදිවන නිවාස 50,000 වැඩකටයුතු 2023 වන විට අවසන් කර මේ කොළඹ නගරයේ පැල්පත්වාසීන්ගේ ගැටළුව සදහටම විසඳලා නවීන නගරයක් ඉදිකරන්න අපට ශක්තිය ලැබෙනවා.

කොළඹ නගරයට වැදගත් නායකත්වයක් දැන් අවශ්‍යයි. මැතිවරණයට කලින් පේමන්ට් බිස්නස් එකට ඉඩදීලා ඡුන්දේ ගන්න, රජයේ ඉඩම් අල්ලලා දීලා ඡුන්දේ ගන්න, පැල්පත්වාසීන්ට මත්කුඩු විකුණලා කසිප්පු විකුණලා ඡුන්දේ ගන්න යුගය අවසන් කරලා වැදගත් මිනිසුන් ජීවත්වන වැදගත් ජීවත ගෙවන ජනකණ්ඩායම් සමගිව ජීවත්වන නගරයක් ගොඩනගන්න ඉදිරි මැතිවරණයේදී අපි අධිෂ්ඨාන කරගත යුතුයි.

එසේම වැලිකඩ බන්ධානාගාරයේ, රිමාන්ඞ් බන්ධනාගාරය මාලිගාකන්දේ ප‍්‍රධාන අධිකරණ සංකීර්ණය තිබෙන ස්ථානයට ගෙන යන්න. අපි බලාපොරොත්තු වෙනවා. මෙහි ඉන්න අයගෙන් 90% ක් මත්ද්‍රව්‍ය වැරදි නිසා සිරගත වෙච්ච පිරිසක්. ඒ පිරිස අපි ප‍්‍රතිශෝධනය කරලා රටේ වැදගත් පුරවැසියෝ පිරිසක් බවට පත් කළ යුතුයි. කොළඹ නගරයේ පාසල් තිබුනට අපේ දරුවන්ට එම පාසල්වලට ඇතුළත් වෙන්න විදිහක් නැහැ. අපේ අධ්‍යාපන ඇමතිතුමා කියලා තිබෙනවා ජාතික පාසල් ප‍්‍රමාණය 350 සිට 1,500 දක්වා වැඩිකරන්න උවමනායි කියලා. හැබැයි බොරැල්ලට, උතුරු කොළඹට, මැද කොළඹට එක ජාතික පාසලක් නැහැ. ඒ නිසා අපේ දරුවන්ට වහාම අවධානය යොමුකළ යුතුයි කියා අපි කියනවා. දුරපළාත් දියුණු කළාට අපි විරුද්ධ නැහැ, නමුත් 600,000 ක් ජනතාව ජීවත්වන, අපේ දරුවෝ ජීවත්වන, මේ හිරගෙවල් පුරවන එක නවත්තලා කොළඹට සිංහල, දෙමළ උගන්වන වැදගත් ජාතික පාසල් 03 ක් අවශ්‍යයි එය වහාම ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. එවිට මේ හිරගෙවල්වල අවශ්‍යතාවයවල් ඇතිවෙන්නේ නැහැ.

සිරගෙදර පිහිටා තිබෙන මේ මුළු භූමි ප‍්‍රදේශයම නාගරික සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුවත් සමග එක්ව විධිමත් සංවර්ධනයකට ලක්කිරීමට වැඩකටයුතු සිදු කරනවා. එවිට මෙම මුළු ප‍්‍රදේශයම නගරයක් ඇතුලේ අලූත් නරගයක් බිහිවෙනවා. එදා වනාත කියපු තැනට කුරුඳුවත්ත ගෙන ඒමට අපි කටයුතු කරනවා. එහි ලිපිනය, මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා මත්කුඩු විකුණලා, රජයේ මුදල් වීසි කර ඡන්ද කරන යුගය වෙනුවට උගත්, වැදගත් මිනිසුන්ගේ හොඳ නගර සභාවක් අපි ලබන ජනවාරි මාසයේ තෝරා ගනිමු යයි පැවසීය.


o